පැරීසිය බලන්න ඉන්දියාවෙන් සපත්තු ගත්තා

කුමාර කරව්දෙණිය
මැයි 30, 2019

ඇඳුම් නිර්මාණයට දිනූ මුල්ම අන්තර්ජාතික සම්මානය

තිරය පිටුපස සිට නිර්මාණයකට දායක වන පිරිස පිළිබඳ ඔබේ අවධානය අවදි කරවන අදිටනින් ලියැවෙන මේ ලිපි පෙළේ අද කතා නායකයා කුමාර කරව්දෙනියයි. ඔහු ඔබ වෙතට අප සිතුවාට කලින් කැඳවා එන්නට හේතු වූයේ මෙරට පළමු වතාවට ඇඳුම් නිර්මාණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් දිනා ගැනීමට හැකි වූ ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස පසුගිය 18 වැනිදා වාර්තාවක් තැබීමයි. ප්‍රංශයේ පැවැති නීස් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්වරයාගේ පාංශු චිත්‍රපටය සම්මාන ද්වයකට හිමිකම් කීවා. එහිදී විදේශ භාෂිත වෘත්තාන්ත චිත්‍රපට අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමි වුණා. අපි අද අසමු ඔහු මේ ක්ෂේත්‍රයට පියමැන්න අයුරු...

මුලින්ම සම්මානෙට අපේ උණුසුම් සුබපැතුම්!

තැන්ක් යූ මචං තැන්ක් යූ...

ඔහු මටත් තිලක් අය්යාටත් දෙදෙනාටම මචං කියන්නේ පරණ ඇඳුණුම්කම් නිසාය. මාතා චිත්‍රපටයේදී කුමාර කරව්දෙණිය හඳුනාගත් අයුරු තිලක් අය්යා අප යන මඟදී මට කීවේය. මම ද මේ සම්මාන ලාභියා කලින් හඳුනන බව තරගයට මෙන් කීවේ සුපුරුදු පරිදි ටීවීටී ආයතනයේ වැඩ කළ යුගයේ රසකතා මතක් කරමිනි. ඒ කාලයේ අප වැඩිපුර හඳුනන්නේ කාංචනා අක්කාය. කාංචනා තල්පාවිල නමට ඉදිරියෙන් ප්‍රවීණ කලා අධ්‍යක්ෂිකා හෝ ඇඳුම් නිර්මාණ ශිල්පිනී යන වචනය යෙදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇගේ සහාය ශිල්පියා ලෙසය මම කුමාර හඳුනා ගන්නේ. ඒ අනූව දශකයේ අගභාගයේදීය. කුමාරට සිය අත්දැකීම කියාගන්නට වචන මදි තරම්ය. ඒ තරමටම ඔහු ප්‍රහර්ෂයට පත්ව එහි ආහ්ලාදය විඳීමින් සිටින බව කතා විලාසයෙන්ම පෙනේ.

"මචං-මචං මම ඇත්තෙන්ම නොමිනේට් වෙලා කියලා දැන ගත්තේ වයිෆ් එක්ක ඉන්දියාවේ ටුවර් එකක ඉද්දි. අපි දෙන්නම ඇවිදින්න හරි ආසයිනෙ. විසා අය්යා (අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්) මට කෝල් කරලා කිව්වා මෙන්න මෙහෙම කොස්ටියුම් ඩිසයිනර්ට නොමිනේට් වෙලා ඉන්නවා යනවද කියලා. මම ඒත් ඇහුවා කොස්ටියුම්වලටත් සම්මාන දෙනවාද කියලා. මට තිබුණේ මුකුත් නෙවෙයි ප්‍රංශෙ බලන්න ආසාව. පැරිස් බලන්න පුළුවන් කියලා හිතුණාම මම හා කියලා ඉන්දියාවෙන් සපත්තු දෙකකුත් අරගත්තා."

අපටද සිනාවක් දෙමින් මේ අව්‍යාජ ප්‍රකාශය කළ මිනිසා තවමත් එදා මෙන්මය. යාන්තම් වක් වූ සේ පෙනෙන කුඩා සිරුර, කොට රැවුල, කූරු කොණ්ඩය, උපැස් යුවළ, අත්කොට කමිසය වෙනසක් නැත. වෙනසක් වේ නම් කාලය විසින් ඔහුගේ කොණ්ඩයටත් රැවුලටත් ලබා දෙමින් පවතින වර්ණය පමණි.

"ජපන් ගැනු ළමයි තමයි මචං අපිව කෝඩිනේට් කළේ. නවතින තැනක ප්‍රශ්නෙට සුජීව ගුණරත්න ලැස්ති කරලා දුන්නා ජානක උඩගෙදරලැ ගෙදර ඉන්න. ගැනු පිරිමි භේදයක් නැ, හරිම හොඳ මිනිස්සු ප්‍රංශෙ ඉන්නේ. එක කෝල් එකයි ගත්තේ සල්ලි ඉවරයි, මගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නැ. භාෂාව දන්නෙත් නැ. ඒත් ඒ ටැක්සි ඩ්‍රයිවර් එයාගේ ෆෝන් එකෙන් මට කෝල්ස් අරන්දීලා අවශ්‍ය තැනට ගෙනිච්චා. මම ගිය වෙලේ ඉඳන් පැරිස් බලන්න තමයි කල්පනාව. අයිෆල් කුලුනේ මුදුනටම ගියා. පස්සෙ තමයි දන්නෙ පවුල් පිටින් යන්න අවස්ථාව තියෙනවා කියලා. අපරාදෙ වයිෆ්වත් ගෙනියන්න තිබුණා. නීස්වලට කිලෝමීටර් 1000ක් විතර තියෙනවා පැරිස්වල ඉඳන්. පැය එකහමාරක විතර දුර. සම්මාන උලෙළ තිබ්බෙත් නීස්වල නැවතිලා හිටිය හෝටලේමයි. කොහොමහරි ගියාට පස්සේ හෝටලේ ලිස්ට් එකේ මගෙ නම නැහැ. අනාතයිනේ මචං. පස්සේ සොරි කියලා විනාඩි දහයක් විතර බලද්දි ඒගොල්ලන්ට මගේ නම මිස් වෙලා. පස්සේ මම කාමරෙන් ඇඳුම් ටික තියලා මූණ යන්තම් හෝදගෙන ඒ නගරෙත් ඇවිද්දා. හරිම ලස්සනයි. කඳු තියෙන්නේ බීච් එක දිගේ. නුවරඑළියට වඩා සීතලයි.

අපිට හරියට හවස 5.00ට වෙල්කම් ඩ්‍රින්ක් එක කියලා එන්න දැනුම් දීලා තිබුණේ. ඉතින් ගියාම ෂයිනි කියලා ඉන්දියන් සාරිය ඇඳපු ලස්සන ලේඩි කෙනෙක් හමුවුණා. එයා මගේ නම කියපු ගමන් මගේ තොරතුරු ටික ඉල්ලගත්තා. පස්සේ දන්නේ එයා විනිශ්චය මණ්ඩලයේ කියලා. කලින් ෆිල්ම් එක රටවලට ගියත් මට යන්න හිතුණෙත් නැහැ. හෝල් එකේ ටේබල් දාලා තියෙන්නේ. වෙජිටේරියන්ද නන්වෙජිද කියලා අහනවා. පළවෙනි ඩිෂ් එක එවනවා. මට සෙට් වුණේ ජපන් කණ්ඩායමක්. දෙන්නෙක් මීගතාවල. ඒ අයට මම කන්දක් සේමා එකේ ට්‍රේලර් එක පෙන්නුවා මීගතාවල ෂූට් කළේ කියලා, හරිම සතුටුවෙලා යාළුවුණා. සම්මාන දෙන තැන එවෝඩ්ස් යායක් වගේ මට පෙනුණේ. මට පින්තූරයක් ගන්න මතක් වුණේ කීපයක් ගියාට පස්සේ. (ජංගම දුරකථනයෙන් ගත් සම්මාන යායේ පින්තූර පෙන්වමින් කුමාර කියයි.) ඒකේ වයසක සංවිධායකවරියක් ඉදිරිපත් වුණ රටවල්වල ලිස්ට් එක මතකෙන් කියලා නමක් මඟහැරුණද කියලා අහනවා. ඔස්ට්‍රේල්යාව, යේමනය වගේ රටවල කණ්ඩායම් පිටින් තමන්ගේ රටේ නම කියලා කැගහනවා. මමත් තනියෙන්ම ශ්‍රී ලංකා... කියලා කැගැහුවා. මට මාර ලව් කට්ටිය."

කුමාර සිනාසෙමින් කීවද ඒ මොහොතේ ඔහුට කෙතරම් තනිකමක් මෙන්ම දේශාභිමානයක් දැනෙන්නට ඇතිදැයි කියන්නාසේ මිශ්‍ර හැඟීමක් මේ මොහොතේද මුහුණේ සනිටුහන් විය.

"මුලින්ම ෂෝට් ෆිල්ම්ස් කැටගරිය. ඒකේ මම මුල් වතාවට දැක්කේ මේකප්, හෙයා ඩ්‍රසර් වගේම බොඩිමේකර් කියලා සම්මානයක් දෙනවා. ඒ කියන්නේ හරියට විරාගයේ අරවින්දගේ චරිතයට සනත්ගේ ඇඟ හැදුවා වගේ, නළු නිළියන්ගේ ශරීර චරිතයට ගැළපෙන්න සකස් කරන ශිල්පියාට දෙන සම්මානය. ඒ සම්මාන දීලා මචං පොඩි විවේකයක්. සිගරට් එකක් එහෙම බොනවානම් එළියට යන්න ඕනා. දෙවෙනි කැටගරියේ කෙටි සහ දිගු වාර්තා වැඩසටහන්. ආයෙ දිග බ්රේක් එකක්. ඉතින් කට්ටිය රෙඩ් කාපට් ගිහින් ෆොටෝ ගන්නවා. අඳුනාගන්නවා. ඒ අතර ඩිෂස් එනවා. අඩ අඳුරේ, වයින් වර්ග එනවා. සෙවන් ඩිෂස් ඩිනර් එකක් ඒක. පළමු වතාවට තමයි එහෙම එකකට ගියේ. මැජික් වගේ ඒකත්. මාර ෆන් මචං.. ඒක වෙනමම වැඩක්. ඉන්ටනැෂනල්ම තමයි.. ලංකාවේ සම්මාන උලෙළ වගේ නෙවෙයි. මම තමයි මචං එතන හිටය සයිස් එකෙන් පොඩිම එකා." කුමාර කියන්නේ සිනාපිරි මුවිනි.

"ඔන්න වෘතාන්ත සිනමා කොටසට ආවා. ඒකේ බෙස්ට් කොස්ටියුම් ඩිසයිනර් කියලා යන්නේ චිත්‍රපටවල නම්. මුලින් දහයකින් තමයි හතරක් තෝරගෙන තියෙන්නේ. ටයිටැනික් ලෙවල් එකේ ඒ තිබුණු චිත්‍රපට එක්ක මචං ජීවිතේට හිතන්නේ නැහැ අපේ එකක් නොමිනේට් වෙයි කියලා. එක, දෙක, තුන්වැනියට අර්ත් (ඡ්චපබඩ) කියලා පාංශු චිත්‍රපටයේ නම ගියා. ඊළඟට තවත් එකක්. එනවුන්ස් කරපු ලේඩි කාඩ් එක උස්සලා අහනවා කාටද සම්මානේ කියලා. කට්ටිය කැගහනවා. ඊට පස්සේ හිනාවෙලා කියනවා අර්ත් කියලා. මාව මචං කරකවලා අතැරියා වගේ. චුට්ටක් සෙට්වෙලත්නෙ හිටියෙ. මට සැකයි ඒකමද කිව්වෙ කියලා. ජපන්නු ටික අත්වලින් මට නැඟිටින්න කියනවා. මම ගිහින් සම්මානේ ගත්තා. හැමෝම නැඟිටලා චියර් කළා. ටේබල් එකේ ජපන්නු ටික තමයි මං වෙනුවෙන් හුරේ කීවෙ. ඒ උලෙළේ සම්මාන සමහරු ගත්තේ සතුටට බිම පෙරළිලා අඬලා. තව ගැනුළමයෙක් ඉකිගගහ ඇඬුවා. හැමෝටම මයික් එක දෙනවා. සමහරු දිනුවොත් කියන කතා ෆෝන්වල දාගෙන ඇවිත්. මම විසා අය්යාට කිව්වෙ සියයට දහයක් විතර තමයි චාන්ස් එක කියලා. කිසිම සූදානමක් නැහැනේ. පස්සේ යන්තං හැමෝටම ස්තුතියි කියලා බැස්සා. ඊළඟට ටිකකින් හොඳම තිර රචනයට විසාකේස අය්යාව නොමිනේට් වුණා. කට්ටියට හරි හැපි. අත්පුඩි ගහන එකමයි වැඩේ. ඊළඟට හොඳම නිළිය විදේශ භාෂිත කියලා ආපහු නීටක්කාගේ (නීටා ප්‍රනාන්දු) ක්ලිප් එකක් යනවා. අත්පුඩිය ඉවරයක් නැහැ. මොකද එහෙම සම්මාන කීපයකට නිර්දේශ වුණේ චිත්‍රපටි දෙකයි. එකක් ෂෝට් ෆිල්ම්. නීටක්කාගේ නම කීවාම මම දන්නවානේ නීටක්කා නැහැ කියලා. ඉතින් ගිහින් ගත්තා. ඒ සම්මාන දෙකම අතේ තියාගෙන ගැම්මෙ ගත්ත පින්තූරයක් තමයි මචං ඔය තියෙන්නෙ. අරුන් මාව බදාගෙන උඹලා හරි ලකී කියලා දන්න ඉංග්‍රීසියෙන් කියනවා. ෆෝන් එක ජපනෙක්ට දීලා ගියේ ඒත් මම සම්මානේ අරන් ඉවර වුණාම තමයි පින්තූරෙ තියෙන්නේ. කොහොම හරි ග්රූප් ෆොටෝ එකට එන්න කීවා. ඔක්කොම ලැස්ති වුණාට පස්සෙ එක පාරටම සුස් ගාලා ලයිට් ඔන් කළේ අමුතුම විදිහට ඔක්කොමලා හූ කියලා කැගහලා චියර් එක දුන්නෙ. නියම සර්ප්‍රයිස් එකක් ඒක. ඒ එක්කම මට මතක් වුණා මම පිටත් වෙද්දි නැන්දම්මා කිව්වා මේ සැරේ කුමාරට සම්මානේ හම්බවෙනවාමයි කියලා. එදා තමයි මගේ ජීවිතේ හොඳම දවස..."

ඔහුගේ මුව පිරි සිනාව සමඟ දෙනෙත දිලිසෙන්නට විය. ඒ සතුට දරාගත නොහැකිව බව දන්නා නිසා අපි ද සිනාසුනෙමු.

ඔහුගේ බිරිඳ චමිලා රාජපතිරණ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් විදිහට වැඩ කරනවා. ඔහු ඇය ගැන කියන්නේ මෙහෙමයි. "අපි දෙන්නාගෙම විනෝදාංශය ඇවිදීම නිසා අපි හරි සතුටින් ජීවිතය ගෙවනවා. මොකද අපි අපේ වෘත්තීන් පිළිබඳවත් හොඳ අවබෝධයකින් ඉන්නේ. "

ඉන්පසු ඔහුගේ අතීතයට අපි යන්නට වීමු.

මම ඉපදුණේ අකුරැස්සේ. ඉස්කෝලෙ ගියේ ගොඩපිටිය මහා විද්‍යාලයට. දැන් මධ්‍ය මහා විද්‍යාලයක් වෙලා මයෙ හිතේ දැන් හොයන්නත් බැ අපි ගිය ඉස්කෝලෙද කියලත්. පොඩි කාලේ චිත්‍රපටි බලලා තියෙනවා. ඊටපස්සේ හෝල්වලින් නෙගටිව් ඉල්ලගෙන ඇවිත් ලයිට් ගහලා අතින් කරකවලා අනිත් අයට පෙන්නලා තියෙනවා. මම එක එක දේවල් හදනවා ඉස්සර. කොළඹ ආවේ 88-89 කාලේ භීෂණය නිසා. ගමේදි කොරන්න තියෙන ඔක්කොම කරලා ඉවරවෙලා ජීවිතේ බේරගන්න තමයි ඒ ආවෙ. බත්තරමුල්ලෙ පුංචිලැ ගෙදර නතර වෙලා වයරින් අරවා මේවා කරන පෞද්ගලික කොම්පැනියක ටික කාලයක් ඉද්දි මානි අක්කා (අභාවප්‍රාප්ත ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී මානි මෙන්ඩිස්) අඳුනගන්න ලැබුණා දානෙ ගෙදරකදි. මානි අක්කා කාන්චනාලා අඳුනනවා. මම ඒ දවස්වල ඕසීඅයිසී කෝස් එකකට ඉල්ලුම් කරලා ඒත් මඟුල්ගෙයක් නිසා යන්න බැරිවෙලා ඊළඟ අවුරුද්දට යන්න හිතාගෙන හිටියේ. මොකද චිත්‍රපට පැත්තට මගේ හිත ඇදිලා තිබුණේ කොළඹදි. මානි අක්කා මගෙන් ඇහුවා පොඩි වැඩක් තියෙනවා එයත් එක්ක එන්න පුළුවන්ද කියලා. මමත් හා කිව්වා. ඒ ගියේ ගොළුහදවත ටෙලිනාට්‍යයට. ඉතින් මට ජීවිතේ පළමුවැනිම වතාවට මානි අක්කාගේ සහාය කලා අධ්‍යක්ෂ විදිහට වැඩ කරන්න වුණේ ලෙස්ටර්- සුමිත්‍රා කියන ලංකාවේ ඉහළම නිර්මාණකරුවන් යුගල එක්ක. ප්‍රී ප්‍රඩක්ෂන්වලදි රෙදි ගන්නවා ඩයි කරනවා ඒවගේ දේවල් කළා. මානි අක්කා ඒ ඇඳුම්වල තොරතුරු ලියා ගන්න කියලාත් දුන්නා. ෂූටින් පටන්ගෙන දවස් පහ-හයකට පස්සේ මානි අක්කට කොළඹ එන්න වුණා. මම ඒ දවස් ටිකේ තනිවම කලා අධ්‍යක්ෂණය කරන්න සිද්ද වුණා. එදා ෂූට් එකට ඉඳීආප්ප වගයක් මදි වෙලා පස්සේ සුදු කොළවලින් පිඟාන පුරවලා ඊට උඩින් ඉඳීආප්ප තියලා වැඩේ ෂේප් කළා. ඒවා මගේ ඇඟෙන්ම ආපු දේවල්. පස්සේ බීබීසී එකට විලේජ් බයි සී කියලා එකක් කළා ඩොක්ටර් පීරිස් තමයි ඒකෙත් ලංකාවේ කෝඩිනේටර්. මානි අක්කා තමයි ඇඳුම් කළේ. කාන්චනාගේ (තල්පාවිල) අම්මා මගේ ලොකු අම්මා වෙන්නේ නැකමට. මේ සම්මානෙත් පෙන්නුවේ මුලින්ම එයාට තමයි.

ඊළඟට ගිරය ටෙලි නාට්‍යයට ගියා. මානි අක්කා ඔක්කොම විස්තර ටික කියලා මාව මාදම්පෙ යැව්වා. කාන්චනා ඔය අතර මගෙන් ඇහුවා ෆිල්ම් එකක වැඩකරන්න කැමතිද කියලා. බූඩි (කීර්තිසේන) අඳුනගත්තේ එදා සිහින දේශයෙන් චිත්‍රපටයෙදි. කාන්චනා බරසාර වෙලාවලදි ආවා. අනෙක් වෙලාවට මට තමයි වැඩේ බාර වුණේ. බූඩි කිව්වා මාරයාගේ ඇඳුම වෙස්ටර්න් වැඩියි කියලා. ඒපාර මම බූඩි එක්ක කතාවෙලා වෙනස් විදිහකට එකක් හැදුවා. ඒක තමයි අන්තිමට හරිගියේ. පස්සේ සුදුයි රතුයි ඒවත් ඕනා කිව්වා. පස්සේ සුදු එකේ ෂෙඩුල් ඉවර කරලා රතු වෙන්න ගෙදරම ඉඳන් ඩයි කළා."

එතකොටත් මහන්න දන්නවද? මට නිතැතින්ම ඇසුණි.

ඔව්. ඇයි මම අකුරැස්සෙ පුංචිඅම්මලැ ගෙදර ඉද්දි ඔය ගමේ අයගේ චීත්ත-සරම් මූට්ටු කරලා දෙනවානෙ. එතකොට මම දහයේ පන්තියේ විතර ඇති. පුංචි වයිස් ප්‍රින්සිපල් කෙනෙක්. බාප්පා ප්‍රින්සිපල්. ඒගොල්ලන්ට තිබුණේ පොඩි බොක්ස් මෙෂින් එකක්. අතින් කරකවලා මහන්නේ. ඉතින් කාන්චනා තමයි මාව සිනමාවට හඳුන්වලා දුන්නේ. ඒ බව මම එදා සම්මානේ ගෙනියලාත් කිව්වා. විකුම්සිහ කතන්දර, මගේ පළමුවැනි යුග පිළිබඳ කතාව ඒක ඉවරවෙලා ගෙදර එද්දි තවත් වාහනයක් ඇවිත් නවත්තලා තියෙනවා එක්කන් යන්න. පිටගම්කාරයෝ පළමුවැනි එපිසෝඩ් 15 දවස් 105ක් ෂූට් කළා. දවසට සීන් දෙකක් වගේ තමයි ගන්නේ. ඔන්න ඒ කාලේ ටෙලි නාට්‍යවල හැටි. අද ඉන්න සමහර නළු නිළියන්ට පහසුකම් ඕනැවට වඩා ඉල්ලද්දි මම කියන්නේ එදා මාලනී අක්කා (මාලනී ෆොන්සේකා) ඇඳුම් වෙනස් කරගන්නේ වැන් එකක් ගාව මායි මානි අක්කයි රෙදි දෙකක් ඇල්ලුවාම ඒක ඇතුළට වෙල බව.

ජුලියට්ගේ භූමිකාව කරද්දි මට තව වැඩක් තිබුණු නිසා ටික දවසයි සම්බන්ධ වුණේ. ඒ වෙලාවේ මට හොඳට මතකයි චාන්දනීගේ (සෙනෙවිරත්න) ගවුම අයන් කරන්න ගිහින් මගේ අතින් පිච්චුණා. කාන්චනා වචනයක්වත් කිව්වේ නැ. කමක් නැහැ අපි ඒකට පොඩි දෙයක් කරමු කියලා හැදුවා. මට අද වගේ මතකයි ඒ ඉවසීම. ඒවා මට හොඳ අත්දැකීම් වුණා.

සිඩ්නි චන්ද්‍රසේකරගේ පියාඹන අස්සයා තමයි මාව මුලින්ම කලා අධ්‍යක්ෂ ලෙස නම ප්‍රසිද්ධ කළේ. මිල්ලේ සොයාවලට තමයි අඳුම් නිර්මාණය සඳහා නම ඇතුව කටයුතු කළේ. ඊට කලින් පවුරු වළලු කළා මගේ මතකේ හරිනම්. මට මුලින්ම හමුවුණු සිනමා කැමරාකරු තමයි සුමින්ද වීරසිංහයන්, ටෙලි නාට්‍ය කැමරා ශිල්පියා කේ.ඩී. දයානන්දයන්. අපිත් එක්ක තමයි අවසන් වශයෙන් සුමින්ද අය්යා වැඩ කළේ. වනස්පති කළාට පස්සේ දිගටම සිරසේ වැඩ කළා. සහශ්‍රක වර්ෂයටත් කලා අධ්‍යක්ෂණය කළේ මම. ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලීට තමයි මම මුලින්ම තනිවම කලා අධ්‍යක්ෂණය කළේ චිත්‍රපටයකට. ඒකටම 2004 සිග්නීස් හොඳම කලා අධ්‍යක්ෂ සම්මානය ලැබුණා. පළමුවැනි වතාවට ජනාධිපති සම්මානයක් ඇඳුම් නිර්මාණයට ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ගරිල්ලා මාකටින් වෙනුවෙන් මට. ඊට පස්සේ ඉර මැදියම කළා ප්‍රසන්න විතානගේගේ. චත්‍ර වීරමන්ගේ ආලෝකෝ උදපාදිවලටත් මට සම්මානයක් ලැබුණා. සුදත් අය්යා (දේවප්‍රිය) එක්ක උඩුගං යාමය කළා. ආයේ බූඩි එක්ක නිම්නයක හුදෙකලාව.

මේ වෙද්දි චිත්‍රපට කීයක් කරලා තියෙනවාද?

තිස් පහක් විතර. ටෙලි නාට්‍ය 20ක් විතර. වේදිකා නාට්‍යත් කීපයක් කරලා තියෙනවා. අවසාන වශයෙන් කේමදාස මාස්ටර් කරන්න හිටිය පිරිනිවන් මංගල්‍යය වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කරන්න හිටියේ. ඒත් මාස්ටර් ඊට කලින් නැති වුණා. ඇත්තෙන්ම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් සම්මානයක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. අනෙක මගේ සහායකයන් විදිහට වැඩ කළ දිනිඳු, සංජීව, වජිර, චින්තක සහ මනෝජ් විශේෂයෙන් මතක් කරන්න ඕනා. මොකද ඔවුන් වෘත්තිය ඇඳුම් නිර්මාණ ශිල්පීන්. ඒත් මම කතා කළාම එනවා. ඒ වගේම මමත් තාමත් කාංචනා එහෙම කතා කළොත් එයාගේ ඇසිස්ටන්ට් විදිහට යනවා. මොකද මම බොහෝ දේ ඉගෙන ගත්තේ එයාගෙන්.

ඔබ ඇඳුම් නිර්මාණය නිර්වචනය කරන්නේ කොහොමද?

මට තේරෙන විදිහට පිටපත කියවද්දී එය විසින් ඉල්ලනු ලබන කාලය හා චරිත ප්‍රතිනිර්මාණයයේදී ඒවායේ ස්වභාවය ඉස්මතු කිරීම. උදාහරණයක් ලෙස ගරිල්ලා මාකටින්වල ජැක්සන් අය්යාව (ඇන්තනි) හැදුවේ ජේ ආර් වගේ වෙන්න ඔහු ප්‍රතිනිර්මාණය වන අයුරින්. පාංශුවල නීටා අක්කා රඟපාන බබානෝනා චරිතය මට හසු වුණේ අපේ ගෙවල් පැත්තේ රෙදි නැන්දා කෙනකුගේ ප්‍රතිනිර්මාණයක් ලෙසයි. ඒ වගේම අධ්‍යක්ෂවරයා ඉල්ලන දෙයක් තිබෙනවා. එයත් සිතට ගත යුතුයි. අධ්‍යක්ෂවරයා හිතන විදිහට සිතිය යුතුයි. ඇත්තෙන්ම අපි පාංශු කළේ අය කරන මුදලින් තුනෙන් එකක්වත් නොගෙන. ඒත් දිමුතු අපේ කලා අධ්‍යක්ෂණය සඳහා යොදන දේවල් කැමරා කාචයට හසු කරගන්නා නිසා අපට සතුටුයි. අප කරන දේ ප්‍රයෝජනයක් තිබෙන්නේ කැමරාව එය රූප රාමුවට හසුකර ගත්තොත් පමණයි.

ඔබ ජීවිතය දකින්නේ?

ජීවිතය කියන්නේ විඳවන්න නෙවෙයි විඳීන්න ඕනා දෙයක්. මම ඒක විඳීනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.