සුදු ඇඳගෙන උමයංගනා ආයෙත් ඇවිත්...

ජුනි 6, 2019

මේ වෘත්තීය තුළ විවිධත්වයක් තියෙනවා. රංගනයේ අපි වැඩ කරන්නේ මනසින්. මනසින් තමයි හැම දෙයක්ම මෙහෙය වන්නේ. ඒකත් සුවිශේෂී කරුණක්. වෙන අය අත් නොවිඳින දේවල් අත්විඳින්න පුළුවන්.

උමයංගනා වික්‍රමසිංහ බොහොම ආදරයෙන් සරසවිය පිළිගන්නවා.

කාලෙකින්නෙ මගේ ආර්ටිකල් එකක් සරසවියේ යන්නේ.

ඔබ වැඩිය මාධ්‍ය පසුපස යන නිළියකුත් නෙවෙයිනෙ.

ඒක ඇත්ත. සමහර පත්තරවලට මම අර්ටිකල් දෙන්නෙත් නැහැ. ඒ අය අවශ්‍ය දේවල්වලට වඩා පළ කරන්නේ අවශ්‍ය නැති ඒවා.

ඔබ ඉන්න නාට්‍ය දෙකක් . . . නැහැ . . . තුනක් . . . විතර මේ දිනවල විකාශය වෙනවා නේද?

සුදු ඇඳගෙන කළු ඇවිදින්, හේලංකඩ වගේ නාට්‍ය විකාශය වෙනවා. මෝදර බඹරු නාට්‍යයෙත් රූපගත කිරීම් අවසන් වුණා.

සාමාන්‍යයෙන් ඔබ කොළඹින් දුරබැහැර රූගත කිරීම් තිබෙන නාට්‍ය වැඩි වශයෙන් බාරගන්න බවක් පේනවා?

ඒක ඇත්ත. හේලංකඩ වගේම සුදු ඇඳගෙන නාට්‍යවල දර්ශන තල තිබුණේ කොළඹින් ගොඩක් ඈත. මං බොහොම කැමැත්තෙන් ඒ වගේ නිර්මාණ බාර ගන්නේ. ඇත්ත දුෂ්කර වුණත් ලැබෙන චරිතයේ තෘප්තිමත්භාවය වැඩියි එවැනි නිර්මාණවල.

රංගනයේ යෙදීම තුළින් ජීවිතයට එක්වන සතුට වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. මිනිස්සු ඒවා අගයනවා. අඩුපාඩු හෝ වෙනත් ගුණ ප්‍රශංසා ලැබීමත් මේ වෘත්තියේ කොටසක්.

දැන් කොපමණ කල් ද ඔබ රංගනයට ඇවිත්?

වසර දහසයයි.

ජීවිතයේ ඒකාකාරී බවක් දැනෙන්නේ නැතිද?

කවදාවත්ම නැහැ. මේ වෘත්තීය තුළ විවිධත්වයක් තියෙනවා. රංගනයේ අපි වැඩ කරන්නේ මනසින්. මනසින් තමයි හැම දෙයක්ම මෙහෙය වන්නේ. ඒකත් සුවිශේෂී කරුණක්. වෙන අය අත් නොවිඳින දේවල් අත්විඳින්න පුළුවන්. වෘත්තීයක් හැටියට රංගනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මට කවදාවත් ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ.

චරිතයක නමින් ඔබව මිනිසුන් හඳුනනවා නම් ඒ මොන චරිතයේ නමින්ද?

තවමත් ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ දේදුනු කියන නමින්. බලංගොඩ සරත්මධු මහත්මයාගේ ඉතින් ඊට පස්සෙ කතාවේ ඉන්න දේදුනුට මම සාධාරණයක් කළා කියලා එතකොට දැනෙනවා. ජීවිතය ලස්සනයි නාට්‍යයේ ධනංජනාත් මිනිස්සුන්ට මතකයි. එනමින් අමතන අයත් ඉන්නවා.

උමයංගනා, ඔබට ලැබුණු සම්මාන ප්‍රමාණය අඩුයි. ක්ෂේත්‍රය තුළ සිටිය කාලය හා සසඳද්දී? අනික ඔබ රංගනයේ යෙදෙන චරිත තෝරා බේරාගෙන බාර ගත්තු ඒවා?

මට සම්මාන ලැබුණා. නිර්දේශත් වුණානෙ. නමුත් රංගනය පිළිබඳ තීරණය කරන්නේ සම්මානවලින්ද කියන එක මම දන්නේ නැහැ. ක්ෂේත්‍රය තුළ මං කතාබහට ලක්වෙන චරිත කළා. ෆෙන්ෂුයි ගෙදර නාට්‍යයත් මට ගොඩක් දුර එන්න ලැබුණා. හරියට ක්ෂේත්‍රයෙම අය දුරකතනයෙන් කතා කරලා සුභපැතුවා. මං කියන්නේ සම්මාන ලැබීමම නෙවෙයි මිනිසුන් අතර කතාබහට ලක්වීම තමයි වැදගත් වන්නේ.

කට කතා ගැන උමයංගනාට මොනවද කියන්න තියන්නේ?

කටකතා . . . මනුෂ්‍යයෝ වුණාම විවිධ සමාජ තල තියෙනවා, විවිධ ක්ෂේත්‍ර තියෙනවා. කටකතා කියන කාරණය ඔය සෑම ක්ෂේත්‍රයටම පොදුයි. සමහර කටකතා හැදෙනවා ඇත්තක් නිසා. සමහර ඒවා බොරුවට හැදෙනවා. කටකතා කියන දේ හිතන්නේ නැතුව හිටියා නම් තමයි හොඳ.

ඔබේ මව අද හිටියා නම් . . . එහෙම දැනිල නැතිද?

අම්මව හැම තිස්සෙම මතක් වෙනවා. අම්මා තමයි මගේ පිටුපසින් හිටියේ කලා කටයුතුවලදී. අම්මා නැති වුණේ මට අවශ්‍යම කාලෙදි. අද අම්මා හිටියා නම් ගොඩක් සතුටු වෙයි. අම්මා නැති පාඩුව හැමදාමත් මගේ හිතේ තියෙනවා.

රටේ වත්මන් තත්ත්වය ගැන කලාවට දැනෙන හැටි උමයංගනාගේ වචනවලින් කිව්වොත්?

රටේ තත්ත්වය කලාවට විතරක් නෙවෙයි සෑම ක්ෂේත්‍රයටම බලපාලා තියෙනවා. වේදිකා නාට්‍යවලටත් විරාමයක් ලැබිලා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි ඉපදෙන්නේ මනුෂ්‍යයො හැටියටනෙ. ඊට පසුයි ආගම ජාතිය වගේ දේවල් අපට ලැබෙන්නේ. ඒවත් වෙන කවුරු හරි අපිට දීපු දේවල්නෙ. අපි හැමෝම සොබාදහමෙ කොටසක්. සොබා දහමට අනිසි දෙයක් කළොත් සොබා දහමෙන්ම දඬුවම් ලැබෙනවා. ඒක ස්ථිරයි. රටක් විදිහට අපි ඉක්මනින් නැඟී සිටිය යුතුයි. අපිම ඒ ශක්තිය ඇති කර ගන්න ඕනෑ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.