චාන්දනී මහත්මිය සමඟ රඟපෑම මගේ සිහිනයක්

- මධුශානි වර්ණකුලසූරිය
ජුනි 6, 2019

 ගලේවෙල ඉඳලා ගෑනු ළමයෙක් ඇවිත් ඉන්නවා සරසවියට. ලේක්හවුසියේ පිළිගැනීමේ කවුන්ටරයෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. අප බලාපොරොත්තුවෙන් සිටිය තරුණිය ඇයය. සිය පළමු පුවත්පත් ලිපිය පළ කර ගැනීිමේ අරමුණින් ගලේවෙලින් පාන්දර හතරට පිටත්ව ඇය කොළඹ ඇවිත් තිබේ.

අයියෙ මම තමයි මධුශානි වරණකුලසූරිය. අර සුදු ඇඳගෙන නාට්‍යයේ ඉන්නේ මම.

ඇය තමාව හඳුන්වා දෙයි.. ෆොටෝ ටික අරගෙන ඉමුදැයි නිශ්ශංක විජේරත්න කැමරාව සකසමින් අසයි

මේක තමයි මගේ පළවෙනි ෆොටෝ ෂූට් එක. මුලින්ම සරසවියට ස්තූති කරනවා. ඇය කියාගෙන යයි. මම ඇගෙන් තව විස්තර විමසමි.

මගේ ගම ගලේවෙල. ගලේවෙල මධ්‍ය මහ විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. සුනිල් කොස්තා සර්ගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ ඔඩිෂන් එකක් තියෙනවා කියලා යාළුවෙක්ගේ මාර්ගයෙන් දැන ගත්තා. ඒකටගිහින් හැකියාව පෙන්නලා තමයි අවස්ථාව ගත්තේ. මීට කලින් ඔය වගේ චරිතයක් කරලා නැහැ. සුරංගි කියන්නේ ප්‍රධාන චරිතයක්නෙ. මං කොළඹ සෞන්දර්යේ අයියේ. රූපණවේදය පිළිබඳ විශේෂවේදී උපාධියක් මට තියෙනවා. කැම්පස් එකේ ඉන්නකොට නාට්‍ය කළා. රංගනයට ආසයි. ඒත් වෘත්තීයෙන් ගුරුවරියක් වෙන්නයි හිතාගෙන ඉන්නනේ.

 

සුරංගි වෙස්ගෙන කළ පළමු රංගනය මතකද?

 

අම්මෝ ඔව්. එදා මං හරිම බයෙන් රඟපෑවේ. අදත් ඒ බය තියෙනවා. පැංචාට රඟපාන දුලාජ් එක්කයි පළමු රංගනය සිදු වුුණේ. ටෙලි නාට්‍ය කරන එක ලෙහෙසි නැහැ කියලා හිතුණේ. මං එතෙක් හුරවෙලා හිටියේ වේදිකා නාට්‍යවලටනෙ. කැමරාවක් ඉදිරියේ රඟපෑම තරමක් අසීරු වුණා. වෙලාවකට හිතුණා මේ හැම දෙයක්ම දාලා රඟපෑමෙන් අයින් වෙන්න. නමුත් හිත දැඩි කරගෙන රංගනයේ යෙදුණ. අධ්‍යක්ෂතුමා, ප්‍රවීණ නළු නිළියෝ සේරම මට උදවු කළා. ඔවුන් නිසා තමයි චරිතය මං හොඳින් රඟපෑවෙ.’

සුදු ඇඳගෙන නාට්‍ය කරද්දී වෙච්ච අමතකම නොවන සිදුවීම් ගැනත් මධුශානි කතා කළා

සුනිල් කොස්තා සර්ගෙන් අහපු බැනුම් ටික නම් අමතක වෙන්නේ නැහැ. හවස් වෙලාවේ දර්ශන කරද්දී තමයි ඔවැනි බැනුම් ඇහැව්වෙ. ඊට වඩා නාට්‍යයක දෙයක් ගැන කියනවා නම් පැංචත් එක්ක බයිසිකලයේ ගිහින් වැටෙන්න ඕන දර්ශනයක් තිබුණා. අපි දෙන්නා ඒක කරන්න ගිහින් ඇත්තටම වැටුණා. ඒ සිද්ධිය නම් අමතක වෙන්නේ නැහැ.

 

කොහොමද චරිතයට ලැබෙන ප්‍රතිචාර?

 

ගොඩක් අය කියනවා මං රිලැක්ස් රඟපානවා කියලා. එහෙම රඟපානවද කියලත් හිතෙනවා. තව වැරැදි අඩුපාඩු තියෙනවා. ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනෑ.

රංගන ක්ෂේත්‍රය පිළිබඳ මධුශානිට දැනෙන අන්දම ගැන ඇය කීවේ මෙහෙමයි.

 

රංගනය ඉතාම හොඳ ක්ෂේත්‍රයක්. හැකියාව වගේම වාසනාවත් තිබිය යුතුයි මේ ක්ෂේත‍්‍රයේ ඉදිරියට යන්න. මට කවදා හරි දක්ෂ නිළියක් මිසක් ජනප්‍රිය නිළියක් වෙන්න නෙවෙයි අවශ්‍ය. හොඳ විදිහට හොඳ නිළියක් වුණාම ජනප්‍රියත්වයත් ඉබේම ලැබෙනවා.

 

රංගනය පිළිබඳ මධුශානිට ඇති ඉදිරි බලාපොරොත්තු?

 

මගේ එක හිනයක් තිබුණා චාන්දනී සෙනෙවිරත්න මහත්මිය එක්ක රඟපාන්න. ඇය ඉස්සර අපේ කැම්පස් එකට එනවා. එතකොට හිතිලා තියෙනවා අනේ මෙයත් එක්ක රඟපාන්න තියෙනවා නම් කියලා. ඇත්තටම ඒ හිනය සැබෑ කර ගන්න ලැබුණා. හොඳ අධ්‍යක්ෂවරුන්ගේ හොඳ නිර්මාණවලට එකතු වෙලා හොඳ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන්ව හමුවීම තමයි මගේ අදහස.

මධුශානි කතාබහ අවසන් කළේ එහෙම. ඇය අනතරුව මෙලෙස ඡායාරූපවලට පෙනී සිටියා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.