ආදරය වගේ නෙවෙයි අඟහිඟ දැනෙයි කූඩුවේ

ලක්ෂ්මන් හේවාවිතාරණ
ජුනි 6, 2019

වසර 2000 දී හෝ 2001 දී විශාරද ගුණදාස කපුගේ ප්‍රංශයේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට ප්‍රංශය බලා ගියේය. සංගීත ප්‍රසංගය නිමා වීමෙන් පසු එක්තරා සුන්දර සන්ධ්‍යාවක එරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ එක් වූයේ ප්‍රසංගයේ සතුට මධුවිතක් සමඟ ද සමරමින්ය. එවකට පුරා වසර 10 – 15 ට ආසන්න කාලයක් ප්‍රංශයේ ජීවත් වූ තරුණයෙකු ද මෙකී සුහද හමුවට සහභාගි වූයේය. මධුවිතත් සමඟ ගෙවුණු සත්සර මුසුව එකී පිරිසට අපූර්ව මතක සටහනක් වූයේය. විශාරද කපුගේ සමඟම සංගීත සැඳෑව තුළ පැමිණ සිටි බොහෝ පිරිස් ද තමන්ට හැකි අයුරින් ගී ගායනා කරන්නට එක් වූයේය.

කලාව, සංගීතය කෙරෙහි කුඩා කල පටන්ම කිසියම් වූ සංවේදිතාවකින් යුතු තරුණයෙකු එදින එම සොඳුරු සැඳෑව රසවත් කරන්නට සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් ගැයුවේය. එය රස විඳිමින් අසා සිටි විශාරද කපුගේ,

‘උඹට හොඳට සින්දු කියන්න පුළුවන්නේ. උඹේ කටහඬ ලස්සනයි. ලංකාවට ආවම කියන්න මම සින්දුවක් හදල දෙන්නම් යැයි කීවේය. තරුණයාගේ හිසේ මලක් පිපුණේය. ඒ මොහොත උදාවන්නේ කෙදිනකදැයි ඔහු ඇඟිලි ගැන්නේය. දින, සති, මාස, අවුරුදු බවට පෙරළෙමින් වර්ෂ 2002 දී මෙකී තරුණයා සිය මවු බිමට එන්නේ නිවාඩුවක් ගත කිරීමටය. මවු බිමට පය තබද්දීම ඔහුගේ සිතට මතක් වූයේ එදා විශාරද ගුණදාස කපුගේ ඔහුට ප්‍රංශයේදී දුන් පොරොන්දුවය.

ඔහු කපුගේ මහතාගේ දුරකථනය සොයාගෙන ඔහු ඇමතුවේය.

‘කපුගේ අයියා . . . මම ලංකාවට ආවා . . . තවත් දේ ඔහුට මතක් කරන්නට අවැසි නොවීය. ඔහු හනික සිය සර්පිනාව ද රැගෙන එකී තරුණයාගේ නිවෙසටම පැමිණියේය. එදා එම නිවෙසේදී නිර්මාණය වූ ගී තනුව මෙකී තරුණයාගේ ජීවන ගමන සුවිශේෂී ලෙස වෙනස් කරන්නට හේතුවක් වූයේය.

‘ආදරය වගේ නෙවෙයි අඟහිඟ දැනෙයි කූඩුවේ

දුක දරා ගන්න වේවි නුඹට මහා මෙරක් වගේ

වෙන කවුරුවත් නොයන උයනේ වඳුළු වන පෙතේ

අපි අනාගතේ මැව්වත් ඒ ඇත්තටම නොවේ

මගේ කූඩුවට ඇවිත් කඳුළක් ඇති වුණොත් නෙතේ

මට හදා ගන්න බැරි වෙයි හිත මගෙ කිරිල්ලියේ . . .’

මේ එදා විශාරද කපුගේ ශූරීන් නිර්මාණය කළ ගී තනුවට ගැයුණු ගීතයයි. ගායකයා වූයේ ප්‍රංශයේ සිට පැමිණි තරුණයා වූ ලක්ෂ්මන් හේවාවිතාරණයි. එදා මෙදා ආපස්සට හැරී බලන විට ඒ සුමියුරු ගී තනු නිර්මාපකයා අප අතැර ගොස් බොහෝ කල්ය. එහෙත් ඔහුගෙන් අනු ප්‍රාණය ලබා සංගීත ගමනට ආශිර්වාද හිමි කර ගත් ලක්ෂ්මන් අද සිය සංගීත දිවි මඟේ වසර දාහතකට ආසන්න කාලයක් ගමන් කොට ඇත්තේය. දිගු ගමන වෙහෙස කර වුවත් එය සොඳුරු අත්දැකීමක් ඔහුට.

‘මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිල බලත්දි මං කවදාවත් ගායකයෙකු වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මගේ පවුලේ සහෝදර සහෝදරියන් ඔක්කොම ජීවත් වෙන්නේ ප්‍රංශයේ. ඒ නිසා මමත් අධ්‍යාපනය ඉවර කරපු ගමන්ම ප්‍රංශයට ගියා. ගිහින් එහි රැකියාවක නියුතු වුණා. හැබැයි ඉස්කෝලෙ යන කාලේ මගේ සංගීතයට උනන්දුවක් තිබුණා. ඒ කාලේ ආචාර්ය දයාරත්න රණතුංගයන් ළඟින් මම ගායනය, වාදනය ඉගෙන ගත්තා. ප්‍රංශයට ගිහින් එහේ අවුරුදු 10 – 15 ක් ඉන්නකොට තමයි එහෙදි විශාරද ගුණදාස කපුගේ මැතිතුමාව මට මුණ ගැහෙන්නේ. ඒ හමුවීම මගේ ජීවිතේ වෙනස් කරයි කියලා මටවත් හිතුණේ නෑ. නිවාඩුවට ලංකාවට ආවම මම නිකමට වගේ කපුගේ අයියට කතා කළේ. ඒත් අන්තිමේ ඔහු මට ඉතාම ලස්සන ගීත දෙකක් නිර්මාණය කරලා දුන්නා. එකක් ‘ආදරය වගේ නොවෙයි’ ගීතය, අනික ‘මල් කැකුළකට’ ගීතය.

‘මල් කැකුළකට ආදරෙයි කියන්න

තහනම් නෑ පුංචි සමනළුන්ට

ළඟට ලංව කවි කියන්න අවසර ඇත්නම්

මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල් . . .

ගීත දෙකක් පටිගත කර ගුවන් විදුලි නාලිකාවලට ලබාදී ලක්ෂ්මන් නැවත ප්‍රංශය බලා ගියේය. ගුවන් විදුලියෙන් ඇහෙන මේ අලුත් හඬ ගැන එකල කාගේත් අවධානය යොමු වූයේ එය තරමක වෙනස් සේම අලුත් හඬක් වූ නිසාවෙනි. ගීත දෙක ශ්‍රී ලාංකික ශ්‍රාවකයන් අතර ජනාදරයට පත් වූයේ ලක්ෂ්මන් පවා නොසිතූ විලසටය. මේ ජනප්‍රියත්වයත් සමඟ ඔහු මාස දෙක තුනකින් යළි ලංකාවට ආවේ ගීත එකතුවක් එළි දැක්වීමේ බලාපොරොත්තුවෙනි.

‘ඇත්තටම කපුගේ අයියා මට පළවෙනි සින්දු දෙක හදල දුන්නේ කිසිම ආර්ථික බලාපොරොත්තුවක් හෝ පරමාර්ථයක් ඇතුව නෙමෙයි. මේ ගීත දෙකේ පද රචනාත් මම හොයා ගත්තේ පත්තරවලින්. ප්‍රංශයේ ඉන්නකොට ඒ කාලේ අද වගේ ගෝලීයකරණය වෙලා තිබුණේ නෑනේ. දැන් වගේ වයිෆයිවත්, ෆේස්බුක්වත් නෑ. හැබැයි ඉරිදා පත්තර ටික සඳුදට ප්‍රංශයේ තිබුණ පත්තර කඩේට ආවා. මම හැමදාම ගිහින් පත්තර ටික ගන්නවා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම කවිවලට ආස කරපු නිසා කවි පිටුව තමයි ඉස්සරලම කියවන්නෙ. එහෙම කියවන කොට මම ආස කරන කවි තිබුණොත් කපල පොතක අලව ගන්නවා. ඒ වගේ හදපු කවි පොතක්ම මා ගාව තිබුණා. ඒ කවි පොතේ තිබුණ කවියක් තමයි ‘ආදරය වගේ නොවෙයි’ ගීතය වුණේ. ලක්මාලි හේවාවසම් තමයි ලියල තිබුණේ. ‘මල් කැකුළකට’ සින්දුවත් ලංකාදීපයේ පළ වුණ කවියක් . . .’

ගායකයෙක් වෙන්න පෙරුම් නොපුරපු ලක්ෂ්මන් ගායකයෙකු වුණේ එහෙමයි. පළවෙනි සංයුක්ත තැටිය එළි දැක්වීමෙන් පසුත් ඔහුගේ ගීත කීපයක්ම රසික ජනතාව ආදරයෙන් වැලඳ ගත්තේය. ඔහුට පිහිටා තිබුණේ ආදරයට, ප්‍රේමයට, විරහවට අපූරුවට ගැළපෙන සංවේදී කට හඬකි. ප්‍රේමයේ විරහව ඔහු තෝරා ගත් ආදරණීය පදවැල්වලින් මෙන්ම ඔහුගේ කටහඬින් ද අපේ රටේ ශ්‍රාවක සිත් සතන් වෙත ඉතා ඉක්මනින් සන්නිවේදනය කළේය.

‘මම අහන්නෙ නම් නෑ රත්තරනේ

දුක දරා ගත්තේ කොහොමද කියලා

මට දුරින් ඉන්න කාලෙදි දැනුණා

මම මට විතරක් අයිති නෑ කියා . . .’

ඔහු ගැයූ මෙවන් ගීත කිසිදු තල්ලුවකින් තොරව ජනතා ප්‍රසාදය දින ගත්තේය. වත්මනෙහි ගායකයෙකු බිහිවන්නට තිබෙන්නා වූ තරගයක් හෝ හදිසියක් නොවූවද කාලයේ හැටියට අලුත් හඬකට ඉඩක් ඒ වන විට ක්ෂේත්‍රය පුරා ද පැතිරී තිබිණ.

‘මම ගායකයෙක් වෙන්න හිතාගෙන මඟට බැස්සේ ඊට පස්සෙයි. සී. ඩී. තුනයි මම කරලා තියෙන්නේ. ඒ තුනෙන් බොහොමයක් ගීත ජනප්‍රිය වුණා. ඊට පස්සේ මට හිතුණා ඒක මගේ වෘත්තීය කර ගන්න. ඇත්තටම කිව්වොත් අපේ පවුලේ සහෝදර සහෝදරියන් කවුරුත් කැමති වුණේ නෑ. නමුත් ඒකට මම කොච්චර ආස වුණා ද කියනවා නම් ප්‍රංශයට යන එකත් එපා වෙලා 2004 ලංකාවේ පදිංචියටම ආවා. නමුත් ප්‍රංශ පුරවැසිකම තාමත් මට තියෙනවා. ප්‍රංශය වගේ අර තරම් රටක් දාලා එනවට මගේ පවුලේ අය පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. ඒගොල්ල හිතන්නේ ඒගොල්ලන්ගේ පැත්තෙන්නේ. යුරෝපීය රටක අවුරුදු 15 – 16 ක් ජීවත් වෙලා ලංකාවට ඇවිත් මේ පරිසරයට හුරුවන එක මට අමාරු දෙයක් වුණා. සමහර දේවල් තියෙනවා තාමත් මට වෙනස් කර ගන්න බැරි වුණ. විශේෂයෙන් කෑම බීම. නමුත් මම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා වැඩ ටික කර ගන්නවා.’

‘හරි ආදරයෙන් මා ළඟ ඉන්න

මට බැරි නෑ හිරිහැර විඳගන්න

මට හිනාවෙන්න වීරිය දෙන්න

අර ඉස්සර වාගේම මට ඉන්න . . .’

ලක්ෂ්මන් සතු වනුයේ ප්‍රේමය මැනවින් දැනවිය හැකි ආදරණීය කටහඬකි. ඔහුගේ ගීතය බොහේ ශ්‍රාවකයෝ තමන්ගේ කර ගනිමින් එකී හැඟීමෙන් සංවේදී වූයේය. ඔහුගේ ගීත ගොන්න සුපරික්ෂාවේදී. සියයට අනූවක්ම වූයේ ප්‍රේම ගීතය. නැතහොත් විරහ ගීතය.

‘එපා වෙන්නට පෙර ඔබට

මට අවසරයි නික්ම යන්න

ලියූ දහසක් කවිවලින් මට

එකම කවියක් වත් දෙන්න . . .’

‘ප්‍රේමය විතරක් තෝරා ගැනීමක් කරලා නෑ. පළවෙනි ගීතය ප්‍රේමය හා පසුබිම් වුණාම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ මගෙන් ප්‍රේම ගීත. ඒක හරියට නළුවෙක් ‘තාපස’ චරිතයක් කළාම දිගටම ඔහුට ‘තාපස’ චරිත ලැබෙනවා වගේ දෙයක්. ගීත නිර්මාණය කරන අයත්, ගී පද රචකයනුත් ඒ ගැන හිතනවා ඇති. කොහොම වුණත් මගේ ගීත අතුරින් වැඩියෙන්ම තියෙන්නේ ප්‍රේම ගීත. සංයුක්ත තැටියක් කරත්දී එහි විවිධත්වය ඇති කරන්න මවු ගුණ ගීයක්, දේශාභිමානි ගීතයක් ඇතුළත් කරලා ඇති. නමුත් පස්සෙ කාලෙක මට හිතිලා තියෙනවා මගේ හඬ ගැළපෙන්නේ ප්‍රේම ගීතවලට කියලා.’

ඔහු එසේ සඳහන් කළ ද ඔහු එසේ විශ්වාස කළ ද ඔහුගේ ‘නුඹ තරම්’ සංයුක්ත තැටියේ එන මවු ගුණ ගීතය ඔහුගේ නිර්මාණ ගොන්නෙන් අපට ඉවතලිය නොහැකිය. ඒ තරමට එය සුගායනීයය. හැඟුම්බරය. මව් සෙනෙහසට මෙතෙක් නොඇසූ උපමා රූපකයන් බොහෝය.

‘කිරි වෙහෙර වැන්දා වාගේ

මගේ අම්මේ ගමට ඇවිදින් නුඹව වැන්දාම

සෙත් පිරිත් ඇසුවා වාගේ

නුඹේ ආදර කතා අහගෙන කොළඹ ආවාම . . .’

‘මම දැන් අවුරුදු 18 ක් විතර මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්නවා. ප්‍රංශය වගේ රටක් දාලා මෙහේ ආපු එක ගැන තාමත් මගේ පවුලේ අය දොස් කියනවා. ඒත් මේක මට හිතට දැනෙන රැකියාවක්. මේක දුෂ්කරයි තමයි. රෑ තිස්සේ නිදි මරන්න ඕන තමයි. ඒ වුණාට ඒකට දැන් මම හදවතින් බැඳිලා ඉවරයි. ආර්ථික පැත්තෙන් වුණත් මට සැපදායක නෑ තමයි. ප්‍රංශය කියන්නේ ලෝකයේ තියෙන සුඛෝපභෝගීම රටක්. නමුත් මගේ නිර්මාණ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දී මට සතුටුයි. ගායකයෙකු වෙච්ච එක ගන සතුටුයි. නමුත් මගේ පවුලේ අය ජීවත් වෙන්න මේ රට තෝරා ගැනීම ගැන සතුටු නෑ.

මම දකින විදියට මැදුම් පිළිවෙතේ ඉන්න කොට ලංකාවේ ජීවත් වෙන්න ලේසියි. මගේ ඇඳුම් පැළඳුම් වුණත් හරි සරලයි. මඟුල් ගෙදරට ගියත් මළ ගෙදරට ගියත්, රජ ගෙදරට ගියත් මගේ කලිසමයි කමිසෙයි එකයි. පන්සලට යන්න විතරයි වෙනස් වෙන්නේ. ඇත්තටම ඒක තමයි යුරෝපයේ විදිය. එහේ මිනිස්සු හරි සරලයි. ඔවුන් අද සශ්‍රීක මිනිසුන් බවට පත් වෙලා ඉන්නේ ඔවුන් ජීවත්වෙන විදිය නිසයි. එහෙම නැතුව මහන්සි වෙලා වැඩ කරලා නොවෙයි. ඒ රටවල්වල කාටවත් අනිසි විදියට මුදල් හම්බ කරන්න බෑ. නීත්‍යානුකූලව හරි හම්බ කරන දේ පමණයි. සමාජය හැදිලා තියෙන්නේ හරිම සාධාරණව, ආරක්ෂණය ඇතුව. ඒ රටවල කොච්චර ධනපතියෝ වුණත් අපේ රටේ වගේ වහල තියෙන්න කාමර තියෙන විශාල ගෙවල් හදන්නේ නෑ. තුන් දෙනෙක් ඉන්නවා නම් කාමර තුනයි. ඇත්තටම කියනවා නම් බුදු හාමුදුරුවෝ දේශනා කරපු අල්පේච්ඡ ජීවිතය මම දකින්නේ යුරෝපයේ මිනිසුන්ගෙන්. අඩුවෙන් වැරදි කරන්නේ. අඩුවෙන් බොරු කියන්නේ. පුදුම විදියට අනුන්ට උදව් කරනවා . සංගීත ක්ෂේත්‍රය ද හැමදා එක ලෙස පවතින්නක් නොවේ. විවිධ රැළිවලට හසු වී ගසාගෙන ගිය යුග මෙන්ම නවක ශිල්පීන්ගේ පැමිණීමෙන් අලුත් වන යුග ද පවතී. එහෙත් ලක්ෂ්මන් මේ සියල්ල හමුවේ තම ගමන් මඟ ස්ථාවරව එක අරමුණකින් පවත්වාගෙන ආ අයෙකි. ඔහු එක්තරා කාල වකවානුවක මේ රටේ ජනප්‍රියතම ගායකයෙකු වී සිටියේය. එකල ඔහු අය කළ යම්කිසි මුදලක් වී නම් ඉන් වසර 10 ක් ගියතැන ද එම මුදලේ වැඩි වෙනසක් නොවන්නට ඔහු වග බලා ගත්තේය. ඔහු මිනිසුන්ට ළං විය හැකි පුද්ගලයෙකි. ඔහුට මේ පාඩම කියා දී ඇත්තේ ද විශාරද ගුණදාස කපුගේය. ඔහු එදත්, අදත්, හෙටත් අප හඳුන්වන්නේ ජනතාවාදී ගායකයෙකු ලෙසය. ඔහුගෙන් විවරණ ලැබූ ලක්ෂමන් ද ඒ ගුරු උපදෙස් කිසි විටෙකත් නොසලකා සිටින්නට උත්සාහ නොගනුයේ එවන් උත්තම මිනිසුන්ගේ ගුණ හොඳින්ම දන්නා හෙයිනි.

ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට දුර ගමනක් යන්නට පූර්වාදර්ශ සැපයූ අය ඕනෑ තරම්ය. ලක්ෂ්මන්ගේ ජීවිතයේද එවන් පූර්වාදර්ශ ඕනෑ තරම්ය.

‘මගේ ජීවිතේ මුල්ම පූර්වාදර්ශය වුණේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්. ඒ කාලේ මම ගායනා කළෙත් ඔහුගේ ගී. එදා කපුගේ අයියා හමු වු සන්ධ්‍යාවේදී ගායනා කළෙත් ඔහුගේ ගීත. ඔහු ගීත තෝරන හැටි, ගායනා කරන හැටි ඔහුගේ උත්තේජනය, ජවය ගැන මම හැම මොහොතකම හිතනවා. තාමත් මට එහෙම වෙන්න ළං වෙන්නවත් බැරි වුණානේ කියලත් හිතෙනවා. මම කොච්චර ගීත ගායනා කරලා තිබුණත් තාමත් මම ඔහු තරම් ලස්සන ගීත ගායනා කරලා නෑනේ. ඔහු ගායනා කළ සඳකඩ පහණ වගේ ගීතයක් මට ලැබුණොත් මම කොච්චර ආශාවෙන් ගායනා කරයිද? ඒත් එක්කම එච්. එම්. ජයවර්ධනයන්, ගුණදාස කපුගේ වැන්නන් මගේ ජීවිතේට පූර්වාදර්ශ සැපයුවා. ඔවුන් නිර්මාණය කළ සුමියුරු ගී තනු මාව ගායකයෙකු ලෙස අභිෂේක කළා.’ ගීතයක උපත සරල සංසිද්ධියක් යැයි කෙනෙකුට සිතිය හැකිය. වත්මනෙහි බිහිවන බොහෝ අරුත් සුන් ගීත පිළිබඳ සිතීමේදී නම් එවැනි සිතුවිල්ලක් ඇතිවීම සාධාරණය. එහෙත් අපේ ගීත ක්ෂේත්‍රය අලංකාරයෙන් පිර වූ ශ්‍රේෂ්ඨ ගී නිර්මාණයෙහිලා මේ තත්ත්වය වෙනස්ය. බොහෝ විට හොඳ නිර්මාණයක නිමාවට තිදෙනෙකුගේ එක්වීම බොහෝ කාලයක් පුරා සිදු විය හැකිය.

‘ගීිතයක් නිර්මාණය කිරීමේදී ඒ කාලේ අපි බොහෝ සුන්දර රාත්‍රින් රැසක හමුවීම් සිද්ධ වෙනවා. ගායකයාත්, ගීත රචකයාත්, ගී තනු නිර්මාපකයාත් සාකච්ඡා වට ගණනාවක් වෙත යොමු වෙනවා. තනු දානවා. නැවත වෙනස් කරනවා. ගී පද වෙනස් කරනවා. අපේ හමුවීම කතාබහ දුරකථන පණිවිඩ අසීමිතයි. එහි අවසානය තමයි සුන්දර ගීතයක නිමාව දකින්නේ. ඒත් අද මේ තත්ත්වය දකින්න නෑ. පසුගිය දිනක මම ගීතයක් කළා. ඒ ගීතය රචනා කළේ ස්වාමීන් වහන්සේ නමක්. අදටත් මම ඒ ස්වාමීන් වහන්සේ දැකලාවත් නෑ. නමුත් ඒ ගීතය කරලා දැන් ඒක අලෙවි භාණ්ඩයක් වෙලා ඉවරයි. ඉස්සර නිර්මාණකරණයට යොමු වුණ කාටවත් ආර්ථිකමය ප්‍රතිලාභ පිළිබඳ හැඟීමක් තිබුණේ නෑ. ඒ පස්සෙන් පැන්නුවෙත් නෑ. ඔවුන්ට තිබුණේ නිර්මාණකරණයේ පිපාසය පමණයි. මට මතකයි විශාරද ගුණදාස කපුගේ ශූරීන් ගී තනුවක් නිර්මාණය කළොත් ඒක ඉතින් පළවෙනි වතාවටම හරියටම හරි යනවා. ඒකෙ ආයේ වෙනස් කරන්න දෙයක් නෑ. ඒකට හේතුව වුණේ ඔහු කාට තනුවත් හැදුවත් හැදුවේ ඒක තමන්ට කියන්න කියලා සිතාගෙනයි. ඒ නිසා ඒකේ අඩුපාඩුවක් තිබුණේ නෑ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.