මම තවමත් රස්සාවක් කරනවා කියලා හිතෙන්නේ නෑ

සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය
ජුනි 13, 2019

තිරයෙන් පිටුපස සිට නිර්මාණ සඳහා දායක වෙමින් රසික හදවත් මන්මත් කරන්නට දරන්නා වූ වෙහෙස වෙනුවෙන් සරසවිය උපහාරයක් ලෙස ඇරඹුණු මේ විශේෂාංගයෙන් අද අප හමුවන්නේ ප්‍රවීණ කැමරා ශිල්පී චන්න දේශප්‍රියයි.

සුපුරුදු පරිදි මට චන්න දේශප්‍රිය මුලින් මුණ ගැසුණු ස්ථානය වන්නේ ටීවීටී ආයතනයයි. වෙළෙඳ දැන්වීම් සඳහා චන්න අය්යා කැමරාව මෙහෙය වන අතර මම සහාය අධ්‍යක්ෂිකාව වූයෙමි. මැත කාලීනව කලාකරුවන්ගේ තෝතැන්නක් බවට පත් වූ ද වීඩියෝ ටීම් ආයතනයෙදී නිරන්තර රාජකාරීමය වශයෙන් මෙන්ම හමුවීම් වශයෙන් කලාකරුවන් මුණ ගැසෙන බව රහසක් නොවේ. එහෙත් අද අප චන්න දේශප්‍රිය මුණ ගැසුණේ ඔහුගේම ආයතනයක් වූ රාජගිරියේ මැජික් ලයිට් ආයතනයේදීය. වසර පහළොවක පමණ කාලයක් තිස්සේ ඔහු සහෝදර, ප්‍රවීණ කැමරා ශිල්පීන් වන රුවන් කොස්තා සහ පාලිත පෙරේරා සමඟ මේ ආයතනය පවත්වාගෙන යයි. ලෝකයේ වත්මන් උපකරණවල ස්වභාවය හා මිල ගණන් අනුව සීමිත සම්පත් සමඟ අසීමිත සතුටින් ඔහු සිටින බව සිනාවක් සමඟ පවසයි. ඒ අතර වත්මනේ ඔහු නියැළෙන නිර්මාණාත්මක කටයුතුවලින්ම අපි කතාව අරඹමු.

මේ දවස්වල මම කැමරා ශිල්පියකු හැටියට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය, ජැක්සන් ඇන්තනි මහත්තයාගේ එකගෙයි සොකරි, අරුණ ජයවර්ධන මහත්තයාගේ 1970 ලව් ස්ටෝරි කළා වගේම චරිත් අබේසංහ මහත්තයාගේ වැඩකට සැරසෙමින් ඉන්නවා, හඳගම මහත්තයාත් එක්ක කතා කරමින් ඉන්නවා, කරපු වැඩවල පසු නිෂ්පාදන කටයුතු කරමින් ඉන්නවා. ඒ එක්කම එම් එන්ටර්ටේන්මන්ට් ආයතනයට මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා යූ ටර්න් කියලා. එය රී මේක් එකක්. භාෂා තුන හතරකින් ඉන්දියාවේ රූගත කර සාර්ථකවුණු ප්‍රේක්ෂකාගාරය බොහෝ ආකර්ෂණය කරගත් චිත්‍රපටයක් බව මට සුසාර දිනාල් මහත්මයා කීවා. ඒ අය මට ආරාධනා කළා එය අධ්‍යක්ෂණය කරන්න කියලා.

ෂා.. මරුනේ. ඉතින් මොකද අයියා හිතන්නේ ඒ ගැන?

අධ්‍යක්ෂණය කියන්නේ ඉතින් කැමරා ශිල්පියාගේ කාර්යයට වඩා ගොඩාක් වෙනස්. කැමරා ශිල්පියකු වශයෙන් ලබන අත්දැකීම්වලින් බොහොම ටිකයි අධ්‍යක්ෂවරයකුට අවශ්‍ය වන්නේ. ක්ෂේත්‍රයේ අවුරුදු 25ක් විතර කැමරා ශිල්පියකු ලෙස ඉඳලා තිබෙන අත්දැකීම් මෙයට ප්‍රයෝජනවත් වුණත් මෙය අලුත් අත්දැකීමක් හා ඒ අභියෝග ඉදිරියේ මම ආධුනිකයි කියලයි මට හිතෙන්නේ. මම චිත්‍රපට 34ක පමණ කැමරා අධ්‍යක්ෂ වශයෙන් ලබපු අත්දැකීම් මෙයට ප්‍රයෝජනවත් වෙයි කියලාත් මට හිතෙනවා.

ඔබට ලංකාවේ හොඳම අධ්‍යක්ෂවරුන් සහ අධ්‍යක්ෂවරියන් සමඟ ලද අත්දැකීමුත් තිබෙනවා?

ඔව්. ඒක එහෙම වුණාට සමහර ප්‍රශ්න තිබෙනවා ගෙදර අම්මා හෝ තාත්තා විතරයි දන්නේ. ඒ වගේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රශ්න තමන්ම මුහුණ දීලා විසඳගන්න වෙනවා. ඒවා කැමරා ශිල්පියකුට නෙවෙයි අධ්‍යක්ෂවරයකුටයි ආවේණික.

ඔබ සම්මාන ලාභී කැමරා අධ්‍යක්ෂවරයෙක්?

ඔව්. ලංකාවේ බොහෝ සම්මාන උලෙළවලින් සම්මාන ලැබී තිබෙනවා. ඒ වගේම 27 වැනි ඩර්බන් උලෙළෙදි සුළඟ එනු පිණිස සඳහාත්, සුළං කිරිල්ලී සඳහා නිව්යෝර්ක් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් උලෙළේ වෘත්තාන්ත සිනමා කැමරාකරණය සඳහා හොඳම සම්මානය, ඩුබායි සම්මාන උලෙළේ අහසින් වැටෙයි සඳහා ලැබුණා. ඔය වගේ විදේශ සම්මාන හතරක් විතරත් දේශීය සම්මාන විසි පහක් හයක් විතරත් ලැබිලා තියෙනවා.

ඔහු සුපුරුදු පරිදි දැඩි හුස්මක් අදිමින් කීවේය. රවුම් කළු කණ්ණාඩි දෙකින් ගෙනෙන මුහුකුරා ගිය පෙනුම මෙන්ම ටී ෂර්ටයට උඩින් දැමූ කමිසය නිසා ඇති වූ තාරුණ්‍යය මිශ්‍ර පෞරුෂයක් ඔහු කෙරෙන් මතු වී පෙනෙයි. මා වරින් වර දැක ඇති ඔහුගේ කල්පනාභරිත අංගචලනය යළිත් ප්‍රශ්නයකට පිළිතුරු දෙන විට මතුව එයි. ඒ නළල් තලය මත මහපටැඟිල්ල තබා නිමග්න වූ මතකයක සිටින්නා වැනි ඉරියව්වකි.

අවුරුදු 25කට විතර කලින් මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතුණු විදිහ මතකද?

ඔව්. මම පුංචි කාලේ ඉඳන් සටිල් ෆොටෝග්‍රැෆිවලට උනන්දුවක් තිබුණා. අපි පොඩි කාලේ, පොඩි කීවට අවුරුදු 20 විතර තරුණ කාලේ වගේ තමයි මේ ටෙලිවිෂන් තාක්ෂණය ලංකාවට එන්නේ. ඒ අලුත් තාක්ෂණයට ආසා නිසා ඒ මඟ ඔස්සේ ගියා. එතකොට අපි එන්නේ මේ ක්ෂේත්‍රයට ටෙලිවිෂන් කාරයෝ හැටියටමයි. ඒ නිසා සාම්ප්‍රදායික සිනමා කැමරාකරුවකු බිහිවන විදිහට නෙවෙයි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මොකද රූපවාහිනී රූපරාමුව පිළිබඳ අදහසක් හැදිලා ටෙලි නාට්‍ය කරලා වෙන විදිහක රූප රාමු පිළිබඳ අත්දැකීමක් සහිතවයි අපි සිනමා ක්ෂේත්‍රයට එන්නේ. ඒත් අපි ටෙලිවිෂනයට වගේම සිනමාවට කැමති නිසා සිනමාවේ කළ යුතු දේවල් තමයි ටෙලිවිෂනයේත් කරන්න උත්සාහ කළේ. ටෙලි නාට්‍යවලට මුල් තැන දුන්නා, ඒ අතර වෙළෙඳ දැන්වීම් කළා, වාර්තා වැඩසටහන් ප්‍රවෘත්ති ආදියත් කරන්න වුණා. ටීවීටී ආයතනයත් එක්ක විස්මිත කතා කළේ අපියි. මගේ පළමුවැනි ටෙලි නාට්‍යය සුසීමා. ඊටපස්සේ කඩවර, දඩබිම, රුපියල් ශත, රන්සිරිගේ සංග්‍රාමය, මේ පාරෙන් එන්න, දියකැටපහන වගේ ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට පුළුවන්, සාම්ප්‍රදායික කැමරාවෙන් ඔබ්බට ගිය වැඩසටහන් කීපයක් කරන්න මට අවස්ථාව ලැබුණා. ‍

ඒ කාලේ ටෙලිවිෂනයේ හිටපු ගොඩක් අය සිනමාවට ආවා. ඒ එද්දි අපි වගේ පරිවාර පිරිසුත් අරගෙනයි ඔවුන් ආවේ. ඉතින් සිනමාවේ අලුත් ගමන ඇරඹුණේ පළපුරුදු ටෙලිවිෂන්කරුවන් අතින් කීවට වරදක් නැහැ. මගේ පළමුවෙනි චිත්‍රපටය වුණේ මේ මගේ සඳයි.

මුලින්ම කැමරා අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබෙන්නේ නැහැ ශිල්පියකුට?

ඔබ හරි. මම මුලින්ම කැමරා ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කළා ප්‍රවීණ ශිල්පීන් ළඟ. සුමින්ද වීරසිංහ, නෝබට් රත්නසිරි, ඩොනල්ඩ් කරුණාරත්න, ලාල් වික්‍රමාරච්චි, එම්.ඩී මහින්දපාල වගේ කැමරා අධ්‍යක්ෂවරුන් වගේම තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, විජය ධර්මශ්‍රී, එච් ඩී ප්‍රේමරත්න වගේ පෙර පරම්පරාවේ අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කිරීමෙන් අපට තවත් උත්තේජනයක් ලැබුණා, ඒ වගේ නිර්මාණකරුවන් විය යුතු බවට.

මම ගියේ මහරගම මධ්‍යමහා විද්‍යාලයට. පාසලේ තිබුණූ සංගම්වල තමයි මුලින්ම හිටියේ. මුලින්ම නාට්‍ය කරන කණ්ඩායම් ආදියත් එක්ක එකතු වුණා. මම ඉස්සල්ලාම චිත්‍රපටයක වැඩකළේ, මේකිං එක (චිත්‍රපටයක් හැදෙන අයුරු පිළිබඳ වාර්තා වැඩසටහන) කරන්න. අපි කාලයක් තිස්සේ ඒ චිත්‍රපටය සමඟ කටයුතු කළත්, මට ඒ වෙලාවේ ඒ සිනමා කැමරාවට ළංවෙන්නවත් හම්බුණේ නැහැ. අද කාලෙනම් එහෙම නැහැ. හැබැයි ඉතින් අර වගේ අවස්ථා නිසා මුළු ජීවිතේටම හොඳ දිරියක් ලබා දෙන, මේ කැමරාවේ මැජික් එකක් තිබෙන බව සහ එය කෙසේ හෝ පහදාගත යුතු බවට හිතට ධෛර්යය ලැබුණ සිදුවීමක් බවට එය පත් වුණා.

මුලින්ම මිලිමීටර තිස්පහේ කැමරාවක් අල්ලද්දි?

මම අවුරුදු 25ක් රූපවාහිනී වෙළෙඳ දැන්වීමක්වත්, කෙටි චිත්‍රපටයක්වත් නොකර තමයි යූටර්න් අධ්‍යක්ෂණයට ආවේ. ඒක මම චණ්ඩිකමක් කියලා හිතන්නේවත් නැහැ. ඒ වගේම මම මේ මගේ සඳයි කරද්දි මට තිබුණේ අඩි 400ක් වගේ පොඩි ප්‍රමාණයක කළ ටෙස්ට් එකක් පමණයි. එය අරන් දුන්නේත් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්මයා. ඒ අය වගේ අපට උදව් කළ අයට කරන ගරු කිරීමක් ලෙස, අපිත් අපට පුළුවන් හැටියට ළමයින්ට උදව් කරනවා.

රොහාන් වැලිවිට මට අමතක නොවන්නේ ටෙලිවිෂනයේ විශාල අත්දැකීම් සමුදායක් තිබුණු කෙනෙක් ලෙස සුසීමා මට දෙද්දි මටත් අවුරුදු 24යි. ඒ අභියෝගය මම බාරගත්තා. මට සතුටු නැහැ අද බලද්දි ඒක කෙරුණු විදිහට. ඒත් සුසීමා බැලූ කට්ට්ය, අද ප්‍රවීණයන් ලෙස, 'ඒ නාට්‍යය නිසා මම බැන්ඩ් එකක් දැම්මා', 'සංගීත කණ්ඩායම් හැදීමේ පිස්සුව ඇති වුණා' වගේ ඒවා කියද්දි මටත් හරි සතුටුයි. ඒ කියන්නේ අපි ඒ කාලේ කළුවරේ අතපත ගැවා කියලා හිතුණත් කොහෙන්හරි ඒ පොටපාදා ගන්නා ඉව අපට තිබුණු බව දැනුණාම සතුටක් දැනෙනවා. මම පෞද්ගලිකව ඒ නිර්මාණයේදී දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. අපට ලයිට් නැහැ. තිබුණත් කරගන්න දන්නේ නැහැ. හැබැයි අපේ ප්‍රවීණයන් මට ලොකු සහායෝගයක් දුන්නා මේ වැඩේදි. අලුත් කෙනෙක් කියලා වචනෙකින්වත් මුකුත් කීවේ නැහැ.

කමල්, ජැක්සන්, පාලිත අපි එක යුගයක කට්ටියක් හැටියට පටන් ගත්ත ගමන තමයි තාමත් අපි හැමෝම යන්නේ.

ටෙලි නාට්‍ය අභියෝග ඉවර වේගන එද්දි චිත්‍රපට කැමරාව අභියෝගයක් වුණාද?

මේ මගේ සඳයි කරද්දි අපට මහින්දපාල මහත්තයා ගුරුවරයෙක් විදිහට උපදෙස් දුන්නා. මගේ බොහෝ දේවලට ගුරුහරුකම් දුන්නේ මහින්දපාල සහ අප අතර අද නොහිටියත් සුමින්ද වීරසිංහ යන දෙපළ තමයි. මේ වැඩේදි මහින්දපාල මහත්මයා දුන්නා අපූරු උපදෙසක්. ඒ තමයි; ඔයා මේ වැඩේ අලුතින් කරන නිසා වැඩිය ලොකු හරඹ නොකර වැඩේ සරල කරගන්න කියලා. අද ඉන්න අයට ලොකු ලොකු දේවල් ඕනා. මම ඒකේ වරදක් දකින්නේ නැහැ ලෝකේ එහෙම තමයි. ජිබ් ආම්, ස්ටෙඩි කැම්, කැමරා දෙකතුනක් ඕනා. ඒත් මේ මගේ සඳයි කරද්දි මට ට්‍රයිපෝඩ් එකක් විතරයි තිබුණේ. රූපරාමු 509ක් තිබුණා. ඒ කිසි එකක් පැන් වෙන්නේත් (පැත්තෙන් පැත්තට දිවෙන්නේ) නැ. ටිල්ට්අප් ඩවුන් (ඉහළට පහළට) මුකුත් චලන නැහැ. සියල්ල ස්ථායි රූපරාමු තිබුණේ. ඉතින් මම අලුත් දෙයක් හඳුන්වා දෙන්න උත්සාහ කළේ. ඒකට අශෝක හඳගමගේ හිතේ තිබුණු පන්සල් චිත්‍ර වගේ රූපරාමු විය යුතුයි කියන අදහසත් ගැළපිලා ගියා. ඒ දවස්වල මිලිමීටර තිස්පහට අලුතින් කැමරා ශිල්පියකු එනවා කියන එකත් විශාල ප්‍රශ්නයක්. මොකද කැමරා ශිල්පියා තමයි චිත්‍රපටයට සම්පූර්ණයෙන් වගකියන්නේ. අද වගේ රූපරාමු එනවාද බලන්න මොනිටර් නැහැ. දළ සේයා පටය මොන විදිහට එයිද දන්නෙත් නැ. අද වගේ නම් ලක්ෂ තුන්හාරසියයක වගකීමක්. ඉතින් හඳගම වගේ කෙනෙක් වෙනස් විදිහකට සිනමාවේ ගමනකට එද්දි මට දායක වෙන්න ලැබීම ගැන සතුටක් තිබෙනවා. ඒ නිසාම අදත් මම කරන වැඩේ ගැන විශාල කැපවීමකින්, අවංකභාවයකින් කටයුතු කරනවා. මට ඒ කැපවීම අවංකබව නිර්මාණයකට දෙන්න බැරිනම් මම අයින්වෙනවා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.

ඔබ කැමරාකරුවා කියන භූමිකාව හඳුනාගන්නේ කොහොමද?

අද කැමරාකරුවා සහ කැමරා අධ්‍යක්ෂවරයා කියන දෙදෙනා චරිත දෙකක්. වශේෂයෙන් ඩීඕපී නැත්නම් ඩිරෙක්ටර් ඔෆ් ෆොටොග්‍රැෆි (කැමරා අධ්‍යක්ෂ) කියන නම අද වැඩිය භාවිත වන්නේත් නැහැ. මොකද රූප රාමුවට අධ්‍යක්ෂවරයෙක් ඉන්න නිසා සිනමැටෝග්‍රැෆර් තමයි අද වැඩියෙන් මේ ශිල්පියාට භාවිත කරන නම. ඔහුයි ඇත්තටම බොහෝ වෙලාවට අධ්‍යක්ෂවරයාගේ දැක්ම, අදහස ප්‍රේක්ෂකයා අතරට ගෙනයන මාධ්‍යය හදන්නේ. ක්‍රිකට් මැච් එකක් රූපගත කරන්නා ඊට වඩා වෙනස්. සිනමැටෝග්‍රැෆර්ට ඊට වඩා සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක වගකීමක් තිබෙනවා. ඔහු තමයි සමස්ත නිර්මාණයේම ගැරන්ටර් නැත්නම් විශ්වසනීයත්වය රකින්නා. ඔහු හරි කියලා කියන වචනය තමයි සියලු දෙනා පිළිගන්නේ. ඒ සඳහා විශ්වාසය තැබිය හැකි පුද්ගලයකු හැදිලා ඉන්න ඕනා සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න නම්.

අද ජංගම දුරකථනවලින් පවා කැමරාකරණය කරනවා. එය දියුණුවක්ද?

මෙහෙමයි. මතකද අපි පොඩි කාලේ අර ප්‍රිස්ම භාවිත කරලත් පින්තූර බලනවානේ. ඒ වගේ තමයි ඕවත්. මම කියන්නේ නැහැ ඒවායෙන් නිර්මාණයක් කරන්න බැහැ කියලා. ඒත් සීමාවන් තියෙන්න පුළුවන්. ඒත් ඒ වළල්ල නිර්මාණාත්මක පැත්තක තිබෙන බව තාම පෙනෙන්නේ නැහැ. මම ප්‍රංශයේ හොඳම සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වන 'ඉන් ටු ද වයිල්ඩ්' කරපු එරික් ග්‍රීෂාඩ් හමුවුණු වෙලාවේ ඇහුවා මිලිමීටර තිස්පහ නැති වීම ගැන. ඒ අතීතකාමය නිසා අපි තවමත් තිගැස්මක ඉන්නවා. මම ඒ ගැන කණගාටුවෙන් ඇහුවාම එරික් කීවේ ලෝකෙ නවත්වන්න අපට බැහැ. ඒ නිසා තිබෙන දෙයින් නිර්මාණාත්මක යමක් කිරීමයි වැදගත් කියලයි. ඒ නිසා රීල් ගැන දුක් වෙවී ඉන්නවාට වඩා අලුත් දේ වඩා හොඳට හසුරවන්නේ කොහොමද කියලායි දැන් හොයන්න වෙලා තිබෙන්නේ.

මෙසේ අලුත් ලොව ගැන සිතන චන්න දේශප්‍රියට තමන්ගේ කටයුතුවලට ඉඩසලසා දෙන්නී උත්පලා බිරිඳයි. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. ලොකුදුව කව්මිණි වෛද්‍ය ශිෂ්‍යාවකි. දෙවැනි දුව වත්මිණි නීති ශිෂ්‍යාවකි. තුන්වැනියා සචිව් පුතු තවම සාමාන්‍යපෙළ සඳහා සූදානම් වෙයි. චන්න දේශප්‍රිය කිසි දිනෙක ආයතනයකට බැඳී සේවය කරනු මා දැක නැත. ඒ ගැන ඔහු කියන්නේ මෙසේය.

මම තාමත් රස්සාවක් කරනවා කියලා මට හිතෙන්නේ නැහැ. කැමරාවක් අරගෙන ඉස්කෝලේ ෆොටෝ ගහපු එකාම තමයි තාමත් ඉන්නේ. ඒ රස්තියාදුකාර ජීවිතේමයි තාමත්. ආයතනගත වෙච්ච ජීවිතයක් මට කවදාවත් තිබුණේ නැහැ. මගේ අම්මා තමයි මට මුලින්ම කැමරාවක් අරන් දුන්නේ. ඒ කාලේ කිසිකෙනෙක් කැමරාවක් අල්ලන්නවත් දෙන්නේ නැහැ මොකද ලොකු ගාණක්නෙ එකක්. කොහොම හරි මම ඒ කැමරාවත් කඩලා බැලුවා. එහෙම තමයි ඉගෙන ගත්තේ. ඒත් එදා වගේම අම්මා තමයි අදත් වැඩියෙන් සතුටු වෙන්නේ. අනෙක ඉතින් අපට චිත්‍රපට පිස්සුවනේ එදා ඉඳන්. අපි බැලුවෙත් තර්කොස්කිලාගේ, බර්ග්මාන්ලාගේ, රායිලාගේ වගේ කලාත්මක නැත්නම් සෞන්දර්යාත්මක පැත්තට බර චිත්‍රපටනේ. මුලින්ම චිත්‍රපට උලෙළමඟහරින්නේ නැතුව බැලුවා. ඊටපස්සේ වීඑච්එස් ආවාම ඒවා බැලුවා. අද නම් ඩවුන්ලෝඩ් කරලත් චිත්‍රපට ටික බලන්න පුළුවන්.

ඔබ ජීවිතය දකින්නේ කොහොමද?

ජීවිතේ දකින විදිහ ගැන මම කවදාවත් හිතලා නැහැ. ඒත් බලාපොරොත්තුව අධිෂ්ඨානය හැම කෙනකුටම තියෙන්න ඕනා. ඒවගේම ලංකාව තුළ මනුස්සයකු වෙන්න නම් තමන්ට ආදර්ශමත් චරිතයක් ගුරු කර ගන්න ඕනා. ඒ කියන්නේ තාත්තා, අය්යා, හෝ වෙනත් කවුරුහරි වටේ තමයි චරිත ගොඩ නැගෙන්නේ. ඒක බුදුන්වහන්සේ හෝ ක්‍රිස්තුන් වහන්සේ වගේ අය නෙවෙයි. මට හිටියා සිනමාකාරයෝ කියන වැඩිහිටියන් රැසක් මගේ ආදර්ශවත් චරිත හැටියට. මම මේ කියන්නේ තුංමංහන්දියේ මාමා වගේ චරිත ගැන. එහෙම රැඩිකල් චරිතයක් ඉන්නවා අපට උපදෙසක් ගන්න, චිත්‍රපටයක් හොඳයි කියන, අර පොත කියවන්න කියන කෙනෙක්. 71න් සහ 89න් පස්සේ ඒ චරිත අපට නැතුව ගියා. ඒ කියන්නේ ඝාතනය වුණා කියලා විතරක් නෙවෙයි. එහෙම වෙනස් විදිහට හිතන චරිත ගොඩ නැඟුණේ නැහැ. අනෙක ඒ චරිතවලට තුබුණු ඉඩ නැතුව ගියා. උතුරේ යුද්දෙ නිසාත් එහෙම වෙන්න ඇති. අපේ වගේ රටක කිසිම දේක ක්‍රමවේදයක් නැති වුණාම තමන්ටම තමයි දෙයක් හොයාගෙන යන්න වෙන්නේ. සමාජයක් හැටියට ඉදිරියට යන්න බැරි නිසා. එය සිනමාවටත් පොදුයි. අපට යා හැකි සීමාව තීරණය වෙලා තියෙන්නේ. රටක් ලෙස සපෝට් කරන්නෙ නැති තත්ත්වයක්නේ තියෙන්නේ. අපි ඉන්දියාවෙ වත් හිටියා නම් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. මම ඇමරිකානු වැඩමුළු සහ ජර්මන් වැඩමුළුවලට සහභාගී වුණා. අදටත් මම හිතනවා තවමත් අපට ඉගෙනගන්න විධිමත් ආයතනයක් තිබුණානම් හොඳයි කියලා. ඒත් අපේ දැනුමෙන්, අත්දැකීමෙන් වැඩක් නැති අයාලේ ගිය, අපේ උවමනාවට ගොඩනැඟුණු දෙයක් හැටියට සිනමාව තියෙන රටක්නේ මේක. ඒකෙත් කෙළවරකටම ඇවිත් තිබෙන්නේ අපි. මම විශ්වාස කරන්නේ නැහැ සිනමා කර්මාන්තයක් අපේ රටේ තිබෙනවා කියලා. මොකද වෙන කිසිම කර්මාන්තයකුත් නැනේ. කර්මාන්තයක් සතු විය යුතු කිසිම ලක්ෂණයක් හෝ සුදුසුකම් අපට නැහැ. ඉතින් සිනමාවට විතරක් එහෙම තියෙන්න බැහැනේ. අද නළු නිළියන් ගත්තත් එදා අය සහ අද අය අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔවුන් ගෙයක් හෝ කාර් එකක් ගන්න එක ගැන නෙවෙයි මම කතා කරන්නේ, ගුණාත්මක බව ගැන. සමහර වෙලාවට මේ ක්ෂේත්‍රයේ දේවල් වැරදියට භාවිත වන තත්ත්වයකුත් තියෙනවානේ...

මම උදාහරණයකින් කියන්නම්. අපි ටෙලි නාට්‍යයක් ගමුකො. ඒකේ එක එපිසෝඩ් එකකට කැමරා ශිල්පීයාට රුපියල් 10ක් ගෙවනවා නම්, කොටස් 25කට රුපියල් 250ක් ලැබෙනවා. ඒ ටෙලි නාට්‍යය නාළිකාවකට විකුණන අතරමැදියා කිසි මහන්සියක් නැතුව රුපියල් 1000ක් විතර ගන්නවා. ඉතින් කර්මාන්තයක් නැති නිසාම සැබැ සිනමාකරුට හෝ නිර්මාණකරුට ලැබෙන කොටස නිවැරැදි නැහැ. ඒ නිසා කලාකරුවාගේ දරාගැනීමේ සීමාව ඉක්මවන ගාණට ආවාම හොඳ නිර්මාණ කෙරෙන්නෙත් නැහැ. වෘත්තිය කලාකරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක්. එය ඉතින් නොවිසඳුණු, නොවිසඳෙන සදාකාලික ඛේදවාචකයක්ම තමයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.