මෝඩකම් කළාට අපි මෝඩයෝ නෙමෙයි

රොජර් සෙනෙවිරත්න
ජුනි 13, 2019

රන් බැඳී මිනිස්සු ටෙලි නාටකයේ යකුන්ගෙන් පවා වැඩගන්නා, සුද්දාටත් අභියෝග කරනා ගලේ පන්සලේ සීලරතන හාමුදුරුවෝ රසික හදවත් තමන් වෙත රන් හුයකින් බැඳ තබා ගන්නට සමත් වූ හිමි නමකි. අපි උන්වහන්සේගේ ගිහි ස්වරූපය බැහැ දැකීමට හෝකන්දර බලා පිටත් වීමු. පෙර දා රැ වට වැස්සෙන් පිරුණ මඩ කඩිති පැනගෙන වෙල් යාය දෙකක් පසුකර ගිය තැන ඒ නිවෙස හමුවිය. ගේට්ටුව අරිමින් තිලක් අය්යාවත් මාවත් 'ආ වරෙල්ලා වරෙල්ලා' කියමින් පිළිගත්තේ රතු පැහැ ෂර්ටයක් සහ ඩෙනිමකින් සැරසී සිටි රොජර් සෙනෙවිරත්නයි.

'මෙහෙත් හීලෑ කරපු කට්ටිය ඉන්නවාද?' මම සිනාසී විමසුවෙමි.

ඔහුද මහ හයියෙන් සිනාසී හිස දෙපසට වනමින් නැතැයි ඉඟි කළේය. ඒ එක්කම දිව ආ ස්නෝවි, රොජර්ගේ සුරතලා අප පිළිගත්තේ දෙපයේ වෙළෙමින් අතට අත දෙමිනි. තම්බර්ජියා මල් වියන අතරින් යන අපට අවුකන පිළිම වහන්සේගේ කුඩා ප්‍රමාණයේ පිළිරුවක් වැන්නක් සමඟ ජේසුතුමන්ගේ පිළිරුවක් ද ඊට පිටුපසින් තවත් දෙවිවරුන්ගේ රූප ද ඉදිරිපිට තෙල් මල් පහන් පූජා කර ඇති අයුරු පෙනේ. ඉන් දකුණත පැත්තේ තණකොළ යායේ රවුම් බෝතලවල, මැටි පාත්තරවල, මැදින් හැරූ කබොක් ගල් මෙන්ම කුඩා පෝච්චි තුළ බොන්සායි ක්‍රමයට සිට වූ මාදං, තේක්ක, පොල් ඈ විවිධ පැළ යායකි. ඔහු ඒවා එකිනෙක වෙත ගොස් විස්තර කියයි. අතගා සුරතල් කරයි. දුර්ලභ ගස් පෙන්නා අපෙන් නම් විමසයි. මේ සියල්ලට පසු අපි කතාවට වැටුණෙමු.

කොහොමද සීලරතන හිමියන්ට ප්‍රතිචාර?

සියයට අනුනවයයි දශම නවයයි නවයක්ම ලෝකෙ වටේ ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන් කතාව බලනවා. ඒකේ සිංහල බෞද්ධද, කතෝලිකද, දෙමළ හින්දුද මුස්ලිම් ද කියලා නැහැ. මාව දන්න හඳුනන මිනිස්සු, මේ රටට ආදරය කරන වෙනම ජන සමූහයක් ඉන්නවානේ ඔය සුළු ජනවර්ග ඇතුළෙ පවා, ඒ අය, මට ප්‍රතිචාර දක්වනවා. හන්දියේ මී කිරි කඩේට ගියාම දවසක් කියනවා 'අම්බේ දැක්කමත් ඇඟ කිළිපොළා යනවා' කියලා. මම ඇහුවා ඇයි ඒ කියලා. 'ඒ වගේ වටින චරිතයක් අපි දැක්කමයි. බත් එක බෙදාගෙන අපි ටීවී එක ළඟට එනවා නවයට පහක් වෙද්දි. හදිසියේ හාමුදුරුවො නැති නම් එදාට අපිට හිතටත් මදි' කිව්වා. එහෙම ප්‍රතිචාර විශාල වශයෙන් තියෙනවා. .ස්වාමීන් වහන්සේලා බොහෝ නමක් මට අමතලා අහනවා 'මහත්තයා අපට පන්සලේවත් ඉන්න දෙන්නේ නැනෙව ඔහේ'. අර ටීවී එකේ හාමුදුරු නමකගේ චරිතයක් කරනවා, දායකයෝ ඇවිත් අපට උන්නාන්සෙගේ ගුණ වර්ණනා කොරනවා. අපටත් දැන් පාරට බහින්නයි වෙලා තියෙන්නේ රට බේරගන්න ඔහේ හින්දා' කියලා.

මේ තරම්ම මේ චරිතය ප්‍රේක්ෂකයන්ට දැනෙන්න හේතුව?

එකක් 'කොණ්ඩදෙණියේ' හාමුදුරුවන්ගේ වික්‍රම, අනෙක කතාවේ තිබෙන අපේකම. හාමුදුරුවෝ හැඟීමෙන්ම කියනවානේ (රොජර් සැණින් සීලරතන හිමියන් වෙයි. එහි අශ්ව කරත්තෙ සිට ලොකු කම් පැ සුද්දාට එරෙහිව කියන්නාක් මෙන් ගුගුරයි) 'මේක අපේ රට...' කියලා එතකොට මචං ඒක වැදුණා මිනිස්සුන්ට. අනෙක් කාරණේ පහුගිය කාලේ ආපු ඔය වගේ ඓතිහාසික කතාවල විශ්වසනීයත්වයක් නැත. ඒවා ව්‍යාජ වුණේ කතාව කරන මිනිහා, ලියන මිනිහා සහ රඟපාන මිනිස්සු කියන ත්‍රිත්වයට ඒ කාලපරාසය පිළිබඳ හරි දැනුමක් නොතිබීම. සියයට හතළිහක් ස්ක්‍රිප්ට් එකෙන් දෙනකොට සියයට හැටක් නළුනිළියන්ගෙන් එන්න ඕනෙනෙ නිර්මාණයක් ඉස්සරහට එන්න. තිරපිටපතයි, නළුනළියනුයි එකට ගොනු කරන චරිතය තමයි අධ්‍යක්ෂවරයා. ඔහුට තිබෙන දැනුම් සම්භාරය තමයි නිෂ්පාදනයෙන් එළියට එන්නේ. ඉතින් ලක්ෂ්මන් පුෂ්පකුමාරට ඕක කරන්න බැරිනම් වැඩකුත් නැහැ. මොකද වේදිකාව හරහා, ගුවන්විදුලිය, ගුවන්විදුලි නාට්‍ය හරහා විවිධාකාර චරිත අධ්‍යක්ෂණය කරපු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරපු කෙනෙක්. ඉතින් එයාගේ මුදුන් මල්කඩ හා සමානයි මේ නාට්‍යය මටනම්.

ඒ වගේම සෝමවීර සේනානායක මහත්තයාගේ අන්තිම පිටපත. සාහිත්‍යධරයෙක් හැටියට එයාගේ සියලූ..ම දැනුම් සම්භාරය අන්තිමටම කැටිවෙලා කාන්දුවෙලා සමාජගත වෙච්ච පිටපත. ඒ එක්කම කතාවෙන් දෙන සියයට හතළිහට නළුනිළියන්ගේ දැනුම, හැකියාව සියයට සියයක් දාලා ගත්තාම තමයි නිර්මාණයක් මෙහෙම මලක් වගේ පිපිලා එන්නේ.

හැබැයි ඉතින් විචාරක ක්ෂේත්‍රය ගත්තොත් මේ වර්ගයේ නිර්මාණවලට මොනවගේ විචාර කරයිද කියලා නම් මම දන්නේ නැහැ. මොකද ටෙලි නාට්‍යවල චරිතයක් අරගෙන කරපු විචාරයක් කරන කෙනෙක් මම දැකලා නැහැ.

රොජර් සෙනෙවිරත්න ටෙලි ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වුණේ චාතුර්යා එකේ තේමිය වගේ කොණ්ඩෙ බොකුටු පෙම්වතෙක් හැටියට? එදා සහ අද 'රොජර්' ඔබ දකින්නේ කොහොමද?

ඒක විශාල දැනුමක්. හොයාගෙන යන්න ඕන කේස් එකක්. මෙහෙමනේ අපිට පොඩි පිස්සුවකුත් තියෙනවානේ... ඒ නිසා චරිතයක් හම්බුණාම විතරක් නෙවෙයි අපි චරිත පරිශීලනය කරන්නේ. දැන් විජය කුවේණි කීවාම අපි ඓතිහාසික පසුබිම පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඒත් චිත්‍රපටය ලැබුණම අපි හොයන්නේ එතනින් එහා ටික. කොණ්ඩදෙණිය හාමුදුරුවෝ ගැන අපේ තාත්තලා එහෙම කියපු කතා. ඒ ලියවුණු ලිපි ලේඛන අපි කියවලා ඒවා ඔළුවේ තියෙනවා. ඒ එක්කම අපි වගේ උන්ට ඔය චරිත හොයා ගන්න එක ඒ තරම් අමාරු නැත්තේ අපි ඒ පැතිවල ගිය වෙලාවටත් නිකමට හරි වයෝවෘද්ධ අයත් එක්ක කතාබහ කරලා, ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ගේ මතකයන් ගැන අහලා තිබුණු නිසා. සීලරතන හිමියන් කොණ්ඩදෙණියේ හාමුදුරුවන් බවට පත්වන්නේ කොහොමද කියන එකේදී උන්වහන්සේ විඳපු දුක්ඛ දෝමනස්සයන් ගොඩාක් තිබුණා. සාමනේර යුගයේ ඉඳන් දරිද්‍රතාවට පත්වෙලා, මානසික පීඩනයට ලක්වෙලා, පුස්කොළ පොත් කියවලා ලබපු පරිචය තමයි මේ ආවේ. අදත් ඒ වගේ හිමිවරු සිවුනමක් රටේ හතර කොණේ වැඩ හිටියා නම් මේ රටට මේ තරම්වත් හානියක් කරන්න බැහැ එකෙකුටවත්. එදත් කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ සුද්දට විරුද්ධව කතා කළා. අදත් මන්තර සාස්තර නැතත් අපේ හාමුදුරුවරු රට වෙනුවෙන් කතාකරන්න ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා. මොකද හැමදාම මේ රට රැක්කේ අපේ බෞද්ධ ශිෂ්ඨාචාරය.

ඔබ උපතින් කතෝලිකයෙක්?

ඔව් අපේ අම්මා අපි හම්බෙන්න විලිරුදාවට කැගහල තියෙන්නෙත් ඕ ජීසස් කියලා. ඒත් මගේ අවුරුදු පහේ විතර ඉඳන් මට මතකයි. එදා ඉඳන් ගහක අත්තක එල්ලිලා වුණත් මම කැගැහුවේ බුදු අම්මෝ කියලයි. ඒකට හේතුව අපට තිබුණේ බෞද්ධ වටපිටාවක්. අපි ජීවත් වෙන්නේ බෞද්ධ රටක කියලා මම දන්නවා. අපි වැඩිපුරම ඇහුවේ පන්සලේ ඝණ්ටාර හඬ, පිරිත්, බණ, පෙරහැර, දානය, ගම්මඩු, ශාන්තිකර්ම. මේ සියල්ල අපි නාට්‍යකරුවන් හැටියට අධ්‍යයනය කරද්දි ඒවා අපට කාන්දුවෙලා අපි කතෝලික බෞද්ධයෝ මේ රටේ. බුදුන් වහන්සේත් දේශනා කළානේ මගේ දහම රැකෙන්නේ මේ රටේ කියලා. ඒක අපි දන්නවා. ඒක තුළ ඉද්දි මේ තරම් සුන්දර ශිෂ්ඨාචාරයක් සහිත රටක් ලෝකේ කොහේවත් නැහැ. අපි රාජරාජ මහාමාත්‍යාදීන් පිරිවරාගෙන රාජ්‍යය කරද්දි ඇමරිකාවේ හිටියේ කොළ අතු ඇඳගෙන විලිවහගත්තු එවුන්. ලෝකේ බොහෝ දියුණුයි කියන රටවල් අපෙන් හොරකම් කරගෙන ගිය දැනුමෙන් ජීවත් වෙන එවුන්. අපේ කොයි තරම් පුරාවස්තු සම්භාරයක් හොරකම් කළාද එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය. ඒ රටවල පරසුද්දෝ ඇවිත් කළේ අපේ දේවල් හොරකම් කරපු එක. දැන් මාර කේස් එකක්නේ මේක. 1505 ඉඳන් අපේ රට උන්ගේ යටත් විජිතයක් වුණානේ. දැන් තාමත් යටත් විජිතයක් කරගන්න දඟලන එකනේ වැඩේ. මොකක්ද මේකට හේතුව. එදා කෙළින්ම අවා අද රහසිගතව ඒකම වෙනවා. එදත් පාවා දෙන්නො හිටියා. අදත් ඉන්නවා. හැබැයි එදාට වඩා අද අපේ රණවිරුවෝ ප්‍රබල හන්දා, ඓතිහාසික වගකීම කරට ගත්ත නිසා මෙහෙමවත් බේරෙනවා. ඒ ජාතික වගකීම ගුරුවරයාට, කලාකරුවාට, පුවත්පත්කලාවේදියාට පවා පැවරෙනවා. රට ඇතුළෙ කෙලින් හිටගෙන ඕන එකෙක්ට විරුද්ධව ලියන්න පුළුවන් මාධ්‍යවේදීන් හිටපු රටක් මේක. ඒ ගැම්මට අපි අදත් ආසයි. අද බහුලව තිබෙන්නේ ගොසිප් කලාව. ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරන ගමන් ශිෂ්ඨසම්පන්න මාධ්‍යයට අපි ගරු කරනවා. අපි ලේසියෙන් මාධ්‍යය කැඳවන්නේ නැත්තෙත් ඒකනේ..

හිටි හැටියේ මොකක්ද වුණේ?

(රොජර් සෙනෙවිරත්න නම් දේශපාලනඥයා පිටියට පිවිසි බව වැටහුණු මම විමසුවෙමි.)

මම කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් ගස් 15000ට වැඩිය හිටවලා තියෙනවා අරුණි. කවුද දන්නේ. කවුරුත් දන්නේ නැහැ මම කැස්බැව ආසනේ එළිමහන් රංගපීඨ හදලා තියෙනවා. ඒවා ප්‍රයෝජනයට ගන්නවා. ඒත් දධ ධදඥ ඬදධඹඵ (කවුරුත් දන්නේ නැහැ). ඉතින් මාධ්‍ය එක්ක නෙවෙයි අපි ජනතාවත් එක්කයි යන්නේ. මයික් එකේ බෙරිහන් දිදී දඟල දඟල අපි කලාව කරන්නෙත් නැ. දේශපාලනය කරන්නෙත් නැ. හැබැයි අද වැඩිපුර දේශපාලනය සිද්ධ වෙන්නෙත් ගොසිප් කලාව එක්ක, මාධ්‍ය සන්දර්ශන එක්ක නිසා හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හොඳට දේශපාලනේ දන්න මිනිස්සු මේවා කරන්නේ. මම කියන්නේ හැම දේශපාලන චරිතයක්ම මේ රටේ මිනිස්සුන් වෙසෙන බිමට බහින්න ඕනා. දේශපාලනයට උනන්දු තරුණ තරුණියන් ටිකක් විෂයානුබද්ධ දැනුමත් එක්ක ඉදිරියට එන්න ඕනා. ඒ ගේම් ගහන්න නෙවෙයි. මේ 78 ඉඳන් ආපු යල් පැනපු, අධිකාරි මානසිකත්වයක් සහිතව යන ගේම් දේශපාලන ප්‍රවාහයෙන් අපි මිදෙන්න ඕනා. මම ඔය දේවල්වලින් පොඩ්ඩක් බැහැර වුණෙත් මේ ක්‍රමේ හරියන්නේ නැති නිසයි. බුදුන්වහන්සේව පාවිවි කරලා දේශපාලනය කරන එකත් මහා පාපකර්මයක්. උන්වහන්සේගේ මඟ කියාදෙන එක වෙන දෙයක්. ඒත් බෞද්ධකම ඉස්සරහට දාගෙන මෙහෙම යන්න ගියොත් මඟ වරදින එකත් වරදිනවාමයි. අනෙක මේ 225 ඇතුළෙ එකාට එකා නැති කමකුත් තියෙනවානෙ. වින්ස්ටන් චර්චිල් පවා කියලා තියෙනවානේ ප්‍රජාතන්ත්‍රවාදය තරම් දරුණු පාලන ක්‍රමයක් තවත් නැතෙයි කියලා. ඒත් අපේ කට්ටිය ඒකම උඩතියාගෙන ඉන්නවා. හැබැයි පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති පක්ෂයි ඒ ගැන කතා කරන්නේ. මිනිස්සුන්ට මේක තේරෙනවා. අපේ බෞද්ධ විනය පිටකය ගේන්න ඕනා දේශපාලනයටත්. රටේ සියලුම තරුණ තරුණියන් ජාති ආගම් භේදයකින් තොරව අවුරුදු දෙකකට පන්සල්ගත කරන්න ඕනා. ශ්‍රී ලාංකික නීතියක් තියෙන්න ඕනා රටට. අපේ රටේ මිනිස්සු සියයට අනූපහක් විතරම බුද්ධිමත්. 'ජාතික'වාදී මනසකින් ඉන්නෙ. ජාති වාදී නෙවෙයි. අපේ මිනිස්සුන්ව එහෙම නතු කරන්න බැහැ. ප්‍රභාකරන් අවුරුදු තිහක් ලක්ෂ දෙකතුනකට වැඩි මිනිස් පළිහක් තියාගෙනත් රට නතු කරගන්න බැරි වුණා. ඒකා මොනතරම් පල් මෝඩයෙක්ද? 2005 විතර ප්‍රජාතන්ත්‍රවාදීව කතාකරලා විසඳගමු කීවාම ආවානම් අද පාර්ලිමේන්තුවේ ඉන්නවානෙ. මොකද ජේවීපී එක පාර්ලිමේන්තුවේ නැද්ද? ඒකත් 70 ඉඳන් ඔය අරගලේ කළේ නැද්ද? අපිත් ඒ අරගලේ කරපු එවුන්නෙ. 78නෙ මම ජේවීපී එකට බැඳෙන්නේ. පන්ති පහ මම කරන්නේ විජේවීරගෙන්නෙ. අද මේ නායකයෝ කවුරුත් හිටියේ නැනේ එදා. මම 82 රෝහණ විජේවීරගේ ජනාධිපතිවරණයටත් කැලණිය ආසනේ වැඩ කළා. හතරදිබ්බාගේ ගියා. පෝස්ටර් ගැහුවා. රණහඬ හයිකරන්න පොල්ගසුත් නැග්ගා. ඒ අය අතින් රටට විනාශයන් සිද්ධ වුණේ නැද්ද? ඒවා ගැන පට්ට කණගාටුවෙන් නෙවෙද අපි ඉන්නේ? ඒත් ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයට ආවේ නැද්ද? අපේ මැරිච්ච 69000ක් කොල්ලො කෙල්ලන්ට වෙච්ච අසාධාරණේ කොච්චරද? ජීවිතය දන්දුන්න ඒ තරුණ පිරිසගේ දෙමව්පියන් ලක්ෂ ගණනකගේ ලේ මස්වලින් හැදුණ දරුවන් නැතිව ඔවුන් අසරණ වුණේ නැද්ද? එයාලට වර්තමාන ජේවීපී එක හරහා සාධාරණයක් වුණාද? මේ අලකලංචියට වගකියන්න ඕනේ ජේවීපියම නෙවෙයිද? තමන්ගේ ජීවිතය දන්දුන්න කොල්ලො කෙල්ලන්ගේ මරණයට අර්ථයක් දුන්නේ නැහැ දේශපාලනික වශයෙන්. අර්ථයක් නෑ මහත්තයෝ...

අන්න සීලරතන හිමි ආරූඪ වුණා ආයෙත්?

(මම කතාව වැඩි දුර යන්න නොදී බාධා කළෙමි. තිලක් අය්යාටද සිනා ආවේය. රොජර් දේශපාලන දැහැනින් මිදී සිනාසී)

උඹලට මහත්තුරු කිව්වට කමක් නැ මචං. ඉතින් දැන් මං කියන්නේ මේ හාමුදුරුවන්ගේ චරිතෙත් අමුත්තක් නැ මට. මගේ අභ්‍යන්තරයේ හාමුදුරුවෝ ඉන්නවා. පර සුද්දට අකමැති හිතක් තියෙන එකෙක් මම. පරසුද්දන්ගේ නම වෙනස්කරලා සිංහල වාසගමක් දාගත්ත එකෙක් මම. ඔහෙලා දන්නේ නැ ඒවා. මගේ නම ස්ටෙයින්වොල්. අපේ බාප්පලා සෙනෙවිරත්නලා කඹුරුපිටිය පැත්තෙන් කොළඹට ආපු. මට ඕනේ ඒ නම.

මගේ ළමයි ධර්මාචාර්ය කරනවා. මක්කටෙයි මගේ ළමයි කතෝලිකනේ. මොකද උඹ ජීවත්වෙන්නේ බෞද්ධ රටේ පුතේ. ඒක දැනගං කියලා මම කියන නිසා. කොල්ලට 16යි ඒත් පට්ට දේශපාලන දැනුමක් තියෙන්නේ. ගහට කොළට ආදරෙයි. මාත් එක්ක මේ වවන කියන වැඩ කරනවා රෑවෙනකල්. තබ්ලා ගහන්න පුළුවන්. පුතයි දුවයි දෙන්නම බී ශ්‍රේණියේ ගායකයෝ. උන් කවදා හරි අපට යන්න බැරි වුණ යුනි එකට (විශ්වවිද්‍යාලයට) ගියාට පස්සේ රංගන පාසලකටත් යන්න ඕනා. අපට තිබුණේ වර්ක්ෂොප්වලට සහභාගී වෙන්න විතරයි පුළුවන්කම. ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තා. ඊළඟට ලෝකෙ වටේම තියෙන පොතපත කොච්චර ගෙන්නගත්තද කියවන්න.

(ඔහු තම කුඩා පුස්තකාලය වෙත යයි. ස්ටැනිස්ලවුස්කිගේ 'ඇන් ඇක්ටර්ස් වර්ක්' පොත ගෙනැවිත් මට දෙයි.) මේවා ගැන කතාකරන්න අපිට කොච්චර දේවල් තියෙනවාද? උවමනාවක් තියෙනවාද? දැන් ඇවිත් රඟපානවා කියලා සියල්ල නිකං හලලා යන කොල්ලන්ට කෙල්ලන්ට කොච්චර දේවල් කියන්න තියෙනවාද? මේ එකෙක්වත් ඒ කිසිදෙයක් සංවිධානය නොකිරීම ගැන කොච්චර කනගාටුවක් අපට තියෙනවාද?

ඇයි ප්‍රවීණයකු හැටියට ඔබ එවැන්නක් සංවිධානය නොකරන්නේ?

කළාට එන්නේ නැනේ. මං කීගමනක් කළාද? එන්නේ නැ. ඒ අය ගොඩා...ක් දන්නවනේ. එනකොටම බොඩි බිල්ඩින් කළාම නාට්‍ය කලාව ඔළුවට එනවානෙ ඉබේ. ජිම් එකේ උගන්වන්නේ නාට්‍ය කලාවනේ. මට නං දැන් ඔක්කොමලා එක වගේ. රැවුල, කොණ්ඩෙ එකවගේ. කතා කරන්නෙත් ගැනු වගේ. සීන් එකක ජෝඩුවක් ඉන්නකොට කෙල්ල කවුද කොල්ලා කවුද කියහං මට. දෙන්නම ෂෝල් දාගෙන. රඟපාන්නේ උගේ හැඟුම නෙමෙයි ඇඳුම. එදා ගාමිණි ෆොන්සේකා, විජේ කුමාරණතුංග පිරිමිකම මතු කළේ නැද්ද? ටෝනි රණසිංහ, කලංසූරිය, විමල් කුමාර ද කොස්තා වෙනම ආරකින් ඒවා ගෙනාවේ නැද්ද? මාලනී අක්කලා, ගිතක්කලා, ස්වර්ණක්කලා, නීටක්කලා දැකලා, යූ ආරියවිමල්ලා, ඩබ්ලිව් ජයසිරිලා වේදිකාවේ දැකලා අපට මේ රූපණ සාහිත්‍යය කියවන්න ඕනා කියලා හිතුණෙ නැද්ද? අපේ වාසනාවකට සුගතපාල ද සිල්වලා, මහාචාර්ය සරච්චන්ද්‍රලා, දයානන්ද ගුණවර්ධනලා වගේ අය ඇසුරු කරන්න ලැබුණා. ටීවී මගුල් තිබුණේ නැහැ එතකොට. අපි මේකේ ඇතුළෙ කරක්ගහල-කරක්ගහලා, රුපියල් 15 පඩියට රඟපාලා තමයි පරිචයක් ලැබුවේ. ඒ අපේ කම නෙවෙයිද? අපි නයිට්ක්ලබ්, කැසිනෝ ගිහින් නැ. ඒ නිසා අපි ඒ වගේ නයිට් ලයිෆ් දන්නේ නැ. ඒත් අපට ගෙදර නයිට් ලයිෆ් එකක් තියෙනවා. එක්කෝ පොතක් පතක් කියවනවා. නැත්නම් ලයිට් ඇදගෙන ගස්වලට සාත්තු කරනවා. ඒක අපේකම නෙවෙයිද? මම අභියෝග කරනවා රොජර්ව ඔය නයිට්ක්ලබ්, කැසිනෝ, කැරෝකේ, බ්‍රොතල් හවුස් (ගණිකා මඩම්) එකක හිටියා කියන්න පුළුවන්නම්. අපි බොන කාලේ බාර්වල හිටියා. ඒ බොන කාලේ. මීට අවුරුදු 28කට කලින්. දැන් නැහැ. එදා බාර්වල මිනිස්සුන්ගෙනුත් අපි අත්දැකීම් ගත්තා. ඒත් අද වෙනකල් අපිත් බිබී හිටියා නම් අපිත් නැහැ. දියවෙලා. ඒත් බොන ඕන තැනක නොබී ඉන්න අපට පුළුවන්. හැබැයි මම අවුරුදු හතළිහක් තිස්සේ විට කනවා. අපේ ආච්චිටයි සීයටයි විට කොටලා පුවක් පට්ටෙක තියලා දෙන ගමන් මමත් ටිකක් කටේ දාගන්නවා. ඉස්කෝලෙ විනය පාලක මහත්තයාගෙනුත් විට ඉල්ලන් කාලා තියෙනවා. ඒ ගුරුවරු තමයි අපට ඉගෙන ගන්න ඉගැන්නුවා. අපි ඩීමන් ආනන්දගෙ පොත් කියවලා ආපහු ගිහින් දුන්නාම තියාගත්තු සත තුනෙන් දෙකක් ආපහු දෙනවා. අද ඒ ශිෂ්ඨාචාරෙ නැ. පොත් ගන්න සල්ලි නැති නිසා ගුණසේන එකේ රාක්කෙට හේත්තුවෙලා පොත් කියවද්දි ලාල් ප්‍රේමනාත් මහත්තයා කිව්වා කන්තෝරු කාමරේ බංකුවට වෙලා කියවන්න කියලා. ගීතා, වංශ අපට ප්ලේන්ටියකුත් දුන්නා. ඒ අපේ ගුරුවරු. අද ඉන්නේ දන්න දේ හලලා යන අයනේ.

සීලරතන හිමියන්ගේ නිරූපණය ගැන කොයිතරම් තෘප්තිමත්ද?

මට නම් තව මදි. සමහර වෙලාවට දැක්කාම හිතෙනවා වෙන විදිහකට ඒ කොටස කරන්න තිබුණා කියලා. මම දැන් උත්සාහ කරන්නේ ඇක්ටින් ඇතුළේ ඇක්ටින් නවත්වන්නේ කොහොමද කියලා බලන්න. (ඩ්ධඹ බධ ඵබධන චජබඪදඨ ඪද චජබඪදඨ) (ඔහු නැවත පුස්තකාලය වෙත ගොස් පොතක් ගෙනැවිත් මා අත තබයි. හැරල්ඩ් ගස්කින්- හව් ටු ස්ටොප් ඇක්ටිං)

මම මේක කියෙව්වා ඒක මගේ අත්පොතක් වගේ. ඉතින් මේවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට කියල දෙන්න උන් කැමති වෙන්න එපායැ. මාන්නය කියන එකේ වර්ග කීපයක් තියෙනවා නොවැ. ඒකෙන් බරපතළම කේස් එක තමයි හීනමානය. තමන් අධිතක්සේරුවෙන් ඉන්නවා තමන් ගැන ඒත් අපට පේන්නේ බිඳ වැටීමක්. ඒක තමන්ම තේරුම් ගන්න ඕනා.

නිෂ්පාදක කියලා තිබුණා රන්බැඳී මිනිස්සුවල සමහර නළුවන්ගේ දේශපාලනය නිසා නාළිකාවලින් ප්‍රතික්ෂේප වුණා කියලා?

අපි ගත්ත දේවල් ඉන්දියානු ටෙලි නාට්‍ය හතරක් උපරිම තලයේ තියෙද්දිවත් බිඳීන්න බැරි වුණා. ඒත් බට්ටි නාට්‍ය කරලා කොටස් පනහක් හැටක් පෙන්නන්න ගත්තාම ඒ ඉන්දියානු ප්‍රවණතාව ගොන් දෙපැයක් වුණේ නැද්ද? කොච්චර සේවයක්ද ඒක. අද වෙනකල් ඒ නාළිකාව මට වැඩසටහනකට කතා කරන්නේ නැති බව දන්නවාද? ඒ මම රටට අවැඩක් කරලද? හොඳ කරද්දි එහෙමද? අපේ කලාකරුවන් පට්ට එවුන් හිටියට ඉදිරිපත් වෙන්න බයයි. වැඩ නැති වුණොත් ගෙදරින් එළවන හින්දා. ඒ නිසා හරියට සංවිධානය වෙන්න බැරිවෙලා. අද කලාකරුවන් පාලනය කරන්නේ නාළිකා නෙවෙයිද? හරි විදිහ කෘතිය නාළිකාව පාලනය කිරීම නෙවෙයිද? අද පිටපත ඉල්ලන නළුවා හෝ නිළිය ගන්න පුළුවන්ද? අපි ඉදිරියටත් කුඩාපොළ හාමුදුරුවන්ගේ හෝ කීර්ති වැලිසරගේ මහත්තයාගෙ පොතක් දෙකක් අරගෙන රටේ අනන්‍යතාව තහවුරු වන කතා කීපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට මිලක් හදාගන්න ඕන කලාකරුවද නාළිකාවද කියලා අපට තේරෙන්නැතිව ගිහින්. අද කලාව පිළිබඳ අබමල් රේණුවක් දන්නේ නැති නිලධාරීන් තමයි මිල නියම කරන්නේ. ඉතින් එක ගේක ගෙවල් හතරක ඒවා ෂූට්කරනවා. කුණු කොල්ලෙට ගන්න පුළුවන් නළු නිළියන් අරගෙන අජූත ඒවා පෙන්වනවා. අපේ ඒවාට එහෙම කරලා ඉන්දියන් ඒවාට ගෙවනවා. මේවාට විරුද්ධව කතා කරන්න අපි එකතු වෙලා ඉන්නවා. ඒත් මේක මේ කාලේ කතා කරන්න බැහැ. බුද්ධිමතුන්, බෞද්ධයන්, අපේ සංස්කෘතිය කෙලෙසන කාලයක් මේක. කලාකරුවා විකුණලා මම දේශපාලනෙන් හම්බ කළේ නැහැ.

මම දිනපතා පඩියට වැඩකරන්නේ නැති නිසා ගොඩක් ටෙලිනාට්‍යවල නැහැ. අපේ සමහර නළු නිළියෝ ඒ දවසේ පඩි ක්‍රමේ වාසියට අරන් වරුවට රඟපාලා එහෙන් දහදාහයි මෙහෙන් පාළොස්දාහයි හොයාගෙන යන එකද කලාව කියන්නේ. කොච්චර කෘත්‍රිමද? ඊට හොඳයි කොන්දොස්තර ජොබ් එක කරහංකො. අපි මහපොළොව වගේ මේ දුක් දරාගෙන ඇවිත් තියෙන්නේ. ඒ දුක පේන්නේ නැහැ සමහර මිනිස්සුන්ට. ජංගිය පේන්න නටහංකො කොච්චර ජනප්‍රිය වෙනවද බලන්න. ඉස්සර එහෙමද? ගණිකාමඩම්වලින් බැහැපු ගැනු නිළියන් වුණාම අසාධාරණේ සිද්ධවෙන්නේ නීටක්කලා වගේ සම්මාන ගන්න සැබැ අහිංසක නිළියන්ගේ අනන්‍යතාවට. මේ තත්ත්වය නැති වෙන්න නම් ප්‍රවීණයන් එකට පාරට බහින්නම ඕනා. ගාර්ෂියා මාකේස් සෞන්දර්ය චාරිකා පොතේ මුල් පිටුවේ ලොකු මල් කූඩයක් පිටේ බැඳගෙන යන මිනිහෙක් ගැන කියලා අහන්නේ කලාව නෙවෙයිද ඒ මනුස්සයා කරගහන් යන්නේ? සොබාදහමට කොච්චර කිට්ටුද ඒ මිනිහා. හෙට අනිද්දා මම හමුදාපතිතුමා හම්බෙන්න යනවා කුඹුක් පැළයි මී පැළයි 10000ක් විල්පත්තුවේ හිටවන්න දෙන්න. හැම මිනිහෙක්ම එක ගහක් හිටෙව්වොත් දෙකෝටි විසිලක්ෂයක් පැළ මේ බිමේ පැළවෙයි නේද? අපේ වතුර ටික රැකෙන්නැද්ද? ඕසෝන් ස්ථරය රැකෙන්නැද්ද? මම මට ආවේණික මගේ අනන්‍යතාව සහිත ශිෂ්ඨාචාරයක් හදාගෙන තියෙනවා මගේ ඉඩමෙ. එකයි මචං කියන්න තියෙන්නේ. අපි මෝඩකං කළාට මෝඩයෝ නෙවෙයි. අනන්‍යතාව සහිත කලාකරුවන් පිරිසක් නිහඬව ඉන්නවා. තමන්ට වඩා අනෙක් අය මෝඩයි කියලා හිතන අය ඉන්න තාක් මේ රට කවදාවත් ඉස්සරහට ගන්න බෑ.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.