රන්ජන්1 හේමාල් 2 මට වෙන අභියෝග නෑ

ආර්යන් කුලරත්න
ජුනි 13, 2019

කඩවසම්කම මෙන්ම දක්ෂතාවය තිබුණ ද සමහර නළුවන්ට සිදු වෙනවා කල එළි බැසීමට හරි වෙලාව එනතරු ඉවසන්න. ආර්යන් කුලරත්නට ද එහෙම ඉන්න සිද්ධ වුණා. සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙලා හිටියට වැඩි දෙනකුට ඔහු Click වුණේ නැහැ. ගෝරි සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන ආර්යන්ගේ එකම බලාපොරොත්තුව ලාංකේය සිනමාවේ Action Hero කෙනෙකු වීම.

ආර්යන් ඔබ සිනමාවට පැමිණි අන්දම මතක් කළොත්?

නාලක විතානගේ ගේ නිලංජනා චිත්‍රපටයෙන් තමයි සිනමාවට ආවේ. ඒකෙ පොඩි චරිතයක් කළේ. රන්සයුර, ඊතලය වගේ සිනමා නිර්මාණ ඊට පසුව කළා.

සිනමාවේ ඇක්ෂන් හීරෝ කෙනෙකු වෙන්න හිතුණේ?

සිනමාවට නෑදැකමක් තිබුණා පුංචි කාලේ ඉඳලා. මගේ තාත්තත් සිනමාවට සම්බන්ධයි. කාලයක් තිස්සේ චිත්‍රපට නැරැඹීම තුළින් සිනමාවට ආසාවක් ඇති වුණා. මට විශ්වාසයක් තියෙනවා අපේ සිනමාව තුළ මට යමක් කරන්නට පුළුවන් කියලා.

අප සිනමාවේ ඔබ කැමැතිම ඇක්ෂන් හීරෝ?

අංක එක රන්ජන් රාමනායක.ඊට පසුව හේමාල්.

ඔවුනට අමතරව දක්ෂ තරුණ නළුවන් සිනමාවේ ඉන්නවා. ඒ අය ඔබට අභියෝගයක් නොවේද?

නැහැ. මට කවුරුවත් අභියෝගයක් නෙවෙයි. තව අය එනකොට තරගකාරිත්වය වැඩියි. තරගයක් තියෙන තරමට හොඳයිනෙ.

ඔබේ පියා ගැන සඳහනක් කළොත්?

මගේ තාත්තා නිමල් කුලරත්න. ඔහු තමයි එම්. පී. අයි. මණ්ඩලයේ කළමනාකරණ අධ්‍යක්ෂ.

පියාගෙන් මොන වගේ සහායක් ද ඔබට ලැබෙන්නේ?

තාත්තා නම් මුලදි වැඩිය කැමැති වුණේ නැහැ මං ක්ෂේත්‍රයට එනවට.

ඇයි ඒ?

ඔහු හැම තිස්සෙම කිව්වේ මේක තේරුමක් නැති වැඩක් කියලා. තාත්තලා සිනමාවේ ඉන්නේ දශක ගාණක ඉඳලා. ඔවුන්ට හිතෙන්න ඇති මගේ අනාගතය එතරම් හොඳ නොවේවි කියලා සිනමාවේ මං හිටියම. නමුත් මට හිතෙනවා මේක තමයි තැන. මගේ දක්ෂතාවයන් අපතේ නොයවා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සිනමාවෙන් විතරයි.

ආර්යන්ට වැඩිම ප්‍රතිචාර ලැබුණු චරිතය?

රන් සයුරේ මං කළ යාළුවාගේ චරිතයට හොඳ කමෙන්ට් ලැබුණා.

ඔබ ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ?

ඔව්. ඒක මගේ ප්‍රතිපත්තියක්. සිනමාවේ විතරයි මගේ රඟපෑම් දැක බලාගන්න පුළුවන්.

ආර්යන් රඟපෑමට අමතරව පිටපත් රචනයෙත් යෙදෙනවා?

රෂ් කියලා එන්න තියෙන චිත්‍රපටයක පිටපත රචනා කළේ මම.

අධ්‍යක්ෂණයට අදහසක් නැද්ද?

තවම නැහැ. ඒක ගැන ඉගෙන ගන්න ඕනෑ.

වර්තමානය වන විට චිත්‍රපට හැදෙනවා අඩුයි නේද?

එහෙම තත්ත්වයක් තියෙනවා. මං හිතනවා අනාගතයේදී තව තවත් චිත්‍රපට හැදේවි කියලා. තරුණ නිර්මාණකරුවෝ ක්ෂේත්‍රයට එකතු වෙලා ඉන්නවානේ. අනාගතය සුභ වේවි කියලා හිතනවා.

චිත්‍රපට කිහිපයක රඟපාලත් ඔබ මිනිසුන් අතරට ගියා මදි කියලා හිතෙන්නේ නැතිද?

වැරැද්ද කොහෙද කියලා මං දන්නේ නැහැ. හැමෝම හිතන්නේ මං සැඟවුණු නළුවෙක් කියලා. කොහොමත් හදිසි ගමනක නෙවෙයි මං මේ යෙදෙන්නේ. බොහොම හිමින් ගමනක යන නළුවකු හැටියට එක අතකින් සතුටු වෙන්නත් පුළුවන්. ඒක දිගුකාලීන ගමනක් වෙන බවට මට විශ්වාසයි.

ආර්යන්ගේ ඉදිරි නිර්මාණ?

එම්. පී. අයි. මණ්ඩලයෙන් කරනවා තවත් චිත්‍රපටයක්. ඒකේ රඟපානවා. තව ජීවන් කුමාරතුංග මහත්මයා චිත්‍රපටයක් කරනවා. ඒකටත් කතා කරලා තියෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.