මං චණ්ඩියි තමයි

පූජනී භාග්‍යා
ජුනි 13, 2019

තවත් අලුත් තාරකාවක් පුංචි තිරයට පායා ඇවිත්. ඇගෙන් අප නම ඇහැව්වා.

පූජනී භාග්‍යා.

පූජනී රඟපාන්න එන්නේ වයස අවුරුදු දොළහෙදි පමණ. මොකක්ද පූජනී ඒ නිර්මාණය?

දරුවනේ චිත්‍රපටය. මමත් එතැන හිටපු දරුවන්ගෙන් කෙනෙක්. ඔය කලෙදිම සිරිවාසල නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතයත් කළා.

අනතුරුව ඔබ කෙටි කලක් රංගනයට සමුදෙනවා?

ඔව්. අධ්‍යාපන කටයුතු නිසා මඳකට රංගනයෙන් ඉවත් වුණා. පාසලෙනුත් වැඩිය යන්න දුන්නෙ නැහැ.

පූජනීගේ ඉස්කෝලේ?

කැලණිය ගුරුකුල.

ඒ පාසලෙන් ඉගෙන ගත් කලා තරු බොහොමයක් ඉන්නවා නේද?

ඔව්. එහෙම වුණාට පාසලේ විදුහල්පතිනිය මාව වැඩිය කලා නිර්මාණවලට යැව්වෙ නැහැ. අධ්‍යාපනය කඩාකප්පල් කර ගනී කියලා හිතන්න ඇති. මං හරිම දඟයි අයියේ. හරියට ප්‍රින්සිපල්ට මාව නෝට්.

පසුකාලිනව ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවද තියෙන්නේ?

කොන් කළ දෝණි, ආදර ගීතය, අහිමි, මංසල. මේ දිනවල මං ඉන්න නාට්‍ය දෙකක් විකාශය වෙනවා. හුස්මක් තරමට සහ යං.

ඔබේ උස නිසා නාට්‍ය ගොඩක් මඟ හැරෙනව කියලා ආරංචියි?

මං පහයි අටක් විතර උසයි. නාට්‍යවලට තෝර ගත්තට පස්සේ ඒකෙ ඉන්න නළුවන් අනුව මාව ඒවායින් ඉවත් කරන්න සිදු වුණා. මං උසයි නළුවා කොටයි. ටෙලි නාට්‍යවලින් එහෙම බාධක තියෙන නිසා සිනමාවට තමයි ආස.

දැනට චිත්‍රපටවලට කතා කරලා තියෙනවද?

චිත්‍රපට තුනක රඟපෑවා. රෙවලුෂන් බැක් ටු ස්කූල් සහ ගුත්තිල.

පූජනී ලැබෙන සෑම ආරාධනයක්ම බාර ගන්නවාද?

නැහැ අයියේ. මට ගැළපෙන ඒවට විතරයි යන්නේ.

ගැළපෙන ඒවා කියලා කිව්වේ?

මට සිනමා නිර්මාණ කිහිපයකටම කතා කළා. එකක තිබුණා සමලිංගික චරිතයක්. සිප ගැනීමේ දර්ශන සහ බිකිනි ඇඳන් රඟපාන්න වෙනවා. මට එහෙම කරන්න බැහැ. ඉතාමත් සුදුසු මගේ නමට හානියක් නොවන චරිතවලට පමණයි මං යන්නේ.

ඔබ ජනප්‍රියයිද?

අනේ නැහැ. මං එහෙම ජනප්‍රිය වෙන්න තරම් නිළියක් නෙවෙයිනෙ. සමහර විට පාරෙ යද්දි මිනිස්සු ටිකක් වෙලා බලාගෙන ඉන්නවා නම් අන්න මං හිතනවා මාව අඳුරගෙන කියලා.

නවක නිළියො ගැන සමාජයේ ඇතැම් අය බලන්නේ අමුතු ඇසකින් නේද?

මමත් කාලයක් එහෙම හිතාගෙන හිටියා. එතකොට මං ක්ෂේත්‍රය ගැන නොදන්නා තත්ත්වයක හිටියේ. දැන් මමත් මේකෙනෙ ඉන්නේ. යම්තාක් දුරකට මං දැනුම්වත්. මට හිතෙන්නේ අපි හොඳට හිටියොත් හොඳයි. නරකට හිටියොත් නරක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ.

අලුත් අය දිනෙන් දින ක්ෂේත්‍රයට නොයෙක් අන්දමින් එන නිසා ඔබ වගේ අයට ක්ෂේත්‍රය තුළ රැඳී සිටීම එක්තරා අන්දමක අභියෝගයක් නොවේද?

අභියෝගයක් . . . මං හිතන්නේ නැහැ එහෙම මට තියෙනවා කියලා. ක්ෂේත්‍රයට එන හැමෝම තරගෙක ඉන්නේ. මට ලැබෙන දේවල් කොහොමත් ලැබෙනවා. ඒක මට විශ්වාසයි. එක් කෙනෙක් නෙවෙයි සියයක් දෙනා ආවත් පූජනී භාග්‍යාව අවශ්‍ය අය නිර්මාණවලට ගනියි.

ඔබ හරිම චණ්ඩි චරිතයක් කියලා මට දැනගන්නට ලැබුණා?

ඇත්තටම චණ්ඩියි. ඉස්කෝලෙ යද්දි අම්මට හැමදාම කම්ප්ලේන්. ඇයි ඉතිං මං කොල්ලන්ට තඩිබානවනෙ. ගිය අවුරුද්දේ වෙසක් බලන්න ගිහින් මට කොල්ලෙක් විහිළු කරලා මං හොඳටම ගැහැව්වා. ළඟ හිටපු එයාෆෝස් එකේ නිලධාරීන් කිහිප දෙනෙක් ඇවිල්ලා තමයි කොල්ලව බේර ගත්තේ. මේ අහන්නකෝ, එදා මං විලුඹ වෙනකම් දිගට ඇඳගෙන හිටියේ. එහෙම ඉඳලත් අනවශ්‍ය විහිළුවක් කරද්දි තද වෙන්නෙ නැද්ද.

ක්ෂේත්‍රයේ කටයුතු කරද්දි මීට වඩා තැන්පත්ව ඉන්න ඕන නේද?

අනිවාර්යයෙන්ම. මං දැන් දඟ වැඩ අඩු කරලා ඉවසීමෙන් කටයුතු කරනවා.

පූජනී භාග්‍යා කියන්නේ මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්ද?

දඟකාරයි කියලා කලින්ම කිව්වනෙ. මං හරි ඕපන්, රහස් හිතේ නැහැ. ඉන්න තරමක් ඉන්නේ පිරිමි යාළුවො. හරිම සරල කෙනෙක්. ආ . . . කියවන්න ගත්තම කච කචේ ඉවරයකුත් නැහැ.

නවක නිළියක් ජනප්‍රිය වෙමින් ඉදිරියට එද්දී අනවශ්‍ය දුරකතන ඇමතුම් එහෙම එනවා?

මටත් එනවා අයියේ ඕන තරම්. මේ ළඟදි දවසක මට කෝල් එකක් ආවා සන්නාම තානාපති කෙනෙකු කියලා කියා ගත්තු කෙනෙකුගෙන්. එයා කියනවා එයාලගෙ කම්පැනියේ වැඩක් තියෙනවා එන්න කියලා. අම්මත් එක්ක එන්නත් එපාලු. තනියමම එන්නලු. මේ . . . දැනුත් මතක් වෙද්දි කේන්තියි. මට හිතුණා මේක නම් හරි යන වැඩක් නෙවෙයි කියලා. මං දන්න කෙනකුටත් එහෙම කරලා. අන්තිමේ කෝල් එක බ්ලොක් කළා. ඔය වගේ දේවල් නම් අනන්තවත් වෙනවා.

පූජනීගේ උපන් දිනයත් සඳහන් කළොත්?

අනූ අටේ ජුනි තුන.

මේ වන විට පූජනී පෙම්වතියක්ද?

අනේ නැහැ. අම්මා එක්ක බැහැනෙ ඕවා. ක්ෂේත්‍රයෙන් නම් නෙවෙයි පිට අයගෙන් මංගල යෝජනා නම් එනවා. මං තවම පොඩියි. තවම විසි එකයිනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.