මම අනිත්‍යය දිහාත් ධනාත්මකව බලන කෙනෙක්

ප්‍රවීණ සහාය අධ්‍යක්ෂරන්ජන් ප්‍රසන්න
ජුනි 20, 2019

තිරය පිටුපස චරිත පිළිබඳ පාඨක ඔබේ අවධානය යොමු කිරීම සඳහා අරඹන ලද මේ ලිපි පෙළෙහි අද කතා නායකයා වන්නේ රන්ජන් ප්‍රසන්නයි. ඔහුගේ සේයා රූ දකින ඔබ යම් විටෙක මේ ලිපියේ අරමුණ හා මේ චරිතය ගැළපෙනවාදැයි සිතුවොත් එහි ද වරදක් නැත. හේතුව රන්ජන් ප්‍රසන්න යනු තිරය පිටුපස මෙන්ම තිරය මත අපට දකින්නට ලැබෙන්නෙකු බැවිනි. ඔහු විටෙක නළුවෙකි, විටෙක කලා අධ්‍යක්ෂවරයෙකි, තවත් විටෙක වේශ නිරූපණ ශිල්පියෙකි, නිෂ්පාදන කළමනාකරුවෙකි. එහෙත් ක්ෂේත්‍රය වඩාත් හොඳීන් ඔහු හඳුන්වන්නේ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසය. ඒ කෙසේ වෙතත් ඔහු මේ වන විට අන්තර්ජාතික අවධානයට ලක් වූ වෘත්තාන්ත චිත්‍රපටයක් කළ සිනමා අධ්‍යක්ෂවරයෙක් ද වෙයි.

මීට වසර ගණනාවකට පෙර ජීවිතේ පළමු වරට රන්ජන් මට මුණ ගැසෙන්‍නේ ද වීඩියෝ ටීම් ආයතනයට පැමිණි අවස්ථාවකදීය. ඒ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන කාලයේය. එවකට බොහෝ සිහින් සිරුරක් සහිත වූ රන්ජන් කාලයාගේ ඇවැමෙන් තලත්තැනි පෙනුමක් ගෙන තිබේදැයි විටෙක සිතේ. එහෙත් ඔහුගේ මුහුණේ ළා බාල පෙනුම තවමත් එලෙසමය. එදා මෙන්ම තමන්ට අවශ්‍ය සියල්ල අඩංගු පාසල් බැගයක් පිටේ එල්ලාගෙන ඔහු සරසවියට ගොඩ වැදුණේ අපේ ආරාධනාව පිළිගෙනය.

ඉතින් ඉතින් කොහොමද අලුත් තොරතුරු?

ප්‍රසන්න අය්යාගේ (විතානගේ) ගාඩි ෆිල්ම් එකේ සහාය අධ්‍යක්ෂ කටයුතු කළා. සරත් (කොතලාවල) අය්යයි, කුමාර (තිරමාදුර) අය්යයි කරපු ද නිවුස් පේපර් චිත්‍රපටයෙත් ඒ තනතුරමයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කීපයකුත් කළා, ඊට අමතරව මගේ විසංගමනය චිත්‍රපටයේ ට්‍රේලර්ස් වගයක් එළි දක්වන්න කටයුතු කළා.

ඔබේ චිත්‍රපටය අන්තර්ජාතික අවධානයට ලක් වුණා?

ඔව් ලන්ඩන් නුවර ලිෆ්ට් ඕෆ් සිනමා උලෙළේදී අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා නිර්මාණය සඳහා රටවල් තිස් අටකින් ඉදිරිපත් කරපු චිත්‍රපට තිස් අටක් අතරින් 5 වැනි ස්ථානයට තේරෙන්න ඒ චිත්‍රපටයට හැකි වුණා.

සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට ඉඳලා අධ්‍යක්ෂවරයෙක් වෙද්දි අත්දැකීම කොහොමද?

මම කොහොමත් ටෙලි නාට්‍ය කොටස් 1500ක් විතර අධ්‍යක්ෂණය කළ කෙනෙක්නේ. සිහින පුරය, සුජාතා, රැන, සේයා, ප‍හේ කල්ලිය, දුටිමි හිරු රැයක, සුර විමන වගේම රිදී සිත්තම් සහ හුදෙකලාව කියන ඒකාංගික ටෙලි නාට්‍ය දෙකත් කළා. එයින් හුදෙකලාව ඒකාංගික ටෙලි නාට්‍යය රයිගම් ටෙලීස්වල ආනන්ද අබේනායක ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ ඒකාංගික නාට්‍යයක් සමඟ නිර්දේශත් වුණා. ඉතින් ඒ නිසා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම වෙනස් වුණත් එහි අමුත්තක් දැනුනෙ නැහැ.

සිනමාවට හෝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඕනා කියලා පුංචි කාලේ ඉඳන්ම හිතේ තිබුණද?

මම මුලින්ම ගියේ ගෙවල් ළඟ ඉස්කෝලෙ හැඩිගම ශ්‍රී සුදර්ශන කණිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ මම මොරටුව වේල්ස් කුමර විදුහලට ගියා. තාත්තාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණෙ නැහැ. ඇත්තටම කීවොත් ඔරොප්පු වුණා මේ වැඩවලට. ඒත් අම්මා මගේ බොහෝ දේවලදි හැකි තරමින්, තේරෙන අන්දමින් උදව් කළා. මට බොහෝ වෙලාවට මගේ කටයුතු කරගන්න වුණේ තනිවම. ඇත්තම කීවොත් වේල්ස් කුමර විදුහලට ඉල්ලුම්පත්‍රය පවා පුරවා ගත්තේ පුංචි මම තනිවම.

කොහොම හරි ඒ පාසලේදී තිස්ස ගුණවර්ධන සර්, අපේ නාට්‍ය සර් මට මුණ ගැහුණා. හැබැයි ඊට කලින් මට අවුරුදු 11ක් 12ක් කාලේ ඉඳන් ජයලාල් (රෝහණ) සර් ගාව නාට්‍ය පුහුණු වෙන්න ගියා. ඊට පස්සේ ජයලාල් සර් එක්ක හැන්ඩ් මපට් ඒ කියන්නේ අත් රූකඩ කළා.

මගේ සිත අතීතයට ඇදී ගියේය. ජයලාල් රෝහණයන් වැනි තරුණයන් මපට් කලාවට යොමු වූණේ මගේ අම්මාගේ (පෙම්සිරි) සහ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් රූපසේන කංකානම්ගේ සහ ඔහුගේ සොහොයුරු විජේසිංහ, ශ්‍රීනාත් මද්දුමගේ, සන්ධ්‍යා පෙරේරා ආදී තරුණ තරුණියන් පිරිස සමඟ එක්ව කිරුළ පාරේ චිත්‍රාලේන් පාසලේ ඇරඹු වැඩමුළුව නිසාය. සන්ධ්‍යා පෙරේරා පසු කලෙක ලේක්හවුසියේ සේවය කරද්දීද ඒ රසබර දවස් ගැන සිහි කළාය. ජාතික රූපවාහිනියේ මුල්වරට දේශීය මපට් කතා ඇරඹුණේ ඔවුන් කළ පැංචයි පිංචියි සමඟිනි. රූපවාහිනී ආයතනයේ පාර්ශ්වකරු ලෙස සිටියේ ශ්‍රීමතී ලියනගේ මහත්මියයි. ඒවායේ තිරනාටක රචනයේදී මකාගෙ යලක් ලියූ පියල් උදය සමරවීර මහතා ද සම්බන්ධ වී කළ රසවත් කතාබහ කුඩා දරුවකු ලෙස මා මුව අයා අසා සිටි අයුරු මොහොතකින් මැවී මැකී ගියේය. රූපවාහිනී මැදිරියේදී තිරයක් පිටුපස සැඟවී රූකඩ නටවන අතර මිනිසුන් මෙන්ම හාවන්, නරියන්, පූසන් ලෙසින් වෙනස් හඬ මවමින් ඔවුන් සිය දක්ෂතා මැනවින් දැක් වූ අයුරු මගේ මනසේ ඇඳී තිබෙන්නේ අපූරු චලන චිත්‍රයක් මෙනි. ඒ අසූව දශකයේ මැද භාගයට ආසන්න කාලයේය. තමන් ලද ඒ දැනුම ජයලාල් රෝහණ විසින් තවත් පිරිසකට බෙදා දී තිබීම අපූරු තොරතුරකි. ඒ විස්තර දැන ගැනීමට මම උනන්දු වුණෙමි. රන්ජන් පවසාගෙන යයි.

මම පිළියන්දල සුවාරපොළනේ. මාව සුබෝධි මානව සංවර්ධන මධ්‍යස්ථානයේ නාට්‍ය පාඨමාලාවට මාව එක්කන් ගියේ මගේ නැන්දගේ පුතා පියල් ප්‍රනාන්දු. ජයලාල් සර් වේදිකා නාට්‍ය පාඨමාලාව කළා. සුගතපාල ද සිල්වා මහත්මයත් එතන ඉගැන්නුවා. ෂෙල්ටන් පයාගල මහත්මයා සිනමාව ගැන ඉගැන්නුවා. එතැනදි මංගල ප්‍රනාන්දු අය්යා හමුවුණා. එයා තමයි මාව මුලින්ම කලා අධ්‍යක්ෂණ සහායට එක්කන් ගියේ සුසිල නිෂ්පාදන ආයතනයට. නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නැදැයෝ, සත්පුර වැසියෝ, සෙනෙහෙවන්තයෝ වගේ ටෙලි නාට්‍ය තොගයක වැඩ කරන්න ලැබෙනවා. ඒ අතර චමින්ද පත්බේරිය කියලා කෙනෙක්ගේ ටෙලි චිත්‍රපටයකදි දමින්ද මඩවල කියන ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයා හමුවෙනවා. එයා මගෙන් අහනවා ටෙලි චිත්‍රපටයක කලා අධ්‍යක්ෂණයට එන්න පුළුවන්ද කියලා. ඒ ඕගොල්ලන්ගේ කර්තෘ අරුණ ගුණරත්නගේ සූර්ය විංසතිය. ඒකෙන් දමින්ද අය්යා මා ගැන පැහැදිලා චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න කැමතිද අහනවා. මිල්ලෙ සොයා, අස්වැසුම, මගේ වම්අත, බොරදිය පොකුණ, වලා පටල, ඉරමැදියම වගේ චිත්‍රපට 15ක විතර දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙස. ඒ අතර ආයේ සුසිල නිෂ්පාදන මගෙන් අහනවා නාලන් මෙන්ඩිස්ගේ වසන්තය ඇවිල්ලා ටෙලි නාට්‍යයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න පුළුවන්ද කියලා. ඒ එක්ක විවිධ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ැබෙනවා. චිත්‍රපටත් ලැබෙනවා.

මම උසස් පෙළ කළේ වාණිජ අංශයෙන් 96දි. ඒත් අවුරුදු දෙකකින් විතර මට හිතෙනවා කලා අංශයෙනුත් ආයේ විභාගේ ලියන්න. සරසවි වරම් ලැබුණත් ගෙදර තිබුණු ආර්ථික ප්‍රශ්නයි මම පොරොන්දුවෙලා හිටිය නිෂ්පාදන එක්කයි කැම්පස් යන්න හිතෙන්නේ නැහැ. ඒ එක්කම මට තුන්වෙනි රැයක කියන නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න ලැබෙනවා. ඊට පස්සේ තවත් නාට්‍ය කීපයක් අධ්‍යක්ෂණයට ලැබෙනවා.

බඹර වළල්ල නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරන්න ලැබෙනවා.

මේවාට කලින් මම කළේ රඟපාන එක. මොන්ටිසෝරි කාලේ ඉදන් මම ඇක්ට් කරන්න හරි ආසයි. රන්සිරිගේ සංග්‍රාමය, රන්මසු උයන වගේ ටෙලි නාට්‍යවල රඟපැවා. චිත්‍රපටවලත් චරිත ලැබුණා. බඹර වළල්ල, ගින්නෙන් උපන් සීතල, ඩී.එස්., සිංහාවලෝකනය වගේ ඒවායේ. ඒකට ආසාව ආවේ රොබෝ බබා, සෙවණැලි සහ මිනිස්සු, නිරුවත, කස්පා, මැක්බත්, මහාමාරිය වගේ වේදිකා නාට්‍යවල රඟපාලා, අධිපතියාගේ මරණ මංචකයේ වේදිකා පරිපාලනය එහෙම කරලා. වේදිකා නාට්‍ය බලන්න මාර පිස්සුවක් ඒ කාලේ තිබුණෙ. හැබැයි වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස පැවතීම අපේ වගේ රටක අමාරුයි. ඒ නිසා මේ වෘත්තිය මට රහ වැටුණා. සමහර අවුරුදුවල නාට්‍ය උලෙළෙ දිගු නාට්‍ය ඔක්කොම බලනවා. ඒ පිස්සුව දැන් චිත්‍රපට බලන තත්ත්වයට වෙනස් වෙලා. ඇත්තෙන්ම ප්‍රසන්න විතානගේ, අරුණ ගුණරත්න සහ දමින්ද මඩවල කියන තුන්කට්ටුව ආශ්‍රය කිරීම නිසා තමයි ඒ පිස්සුව ඇති වුණේ. මම ඒ අයට ෂොපින් බැග් පුරවලා වීඑච්එස් කැසට් ඇදලා තියෙනවා.

අද ඔබ ඉන්න තැනට එන්න ඔබ සතුව තිබෙන විශේෂ ලක්ෂණයක් කියන්න පුළුවන්ද?

ඇත්තෙන්ම මම වැඩක් පටන් ගත්තාම රැයක් දවාලක් නැතුව ඒක කරලා ඉවර කරනවා. මට මුලින්ම පළමු සහාය අධ්‍යක්ෂ තනතුර ලැබුණේ සෙනේෂ් බණ්ඩාරගේ පුලින ප්‍රාසාද ටෙලි නාට්‍යයෙන්. ඒකට මට දවස් තුනයි තිබුණේ සියල්ල සූදානම් කරන්න. ඒ අතර ත්‍රිශුල දීප තඹවිටගේ කඩතිරත් ලැබුණා. මම සුගත් කියලා අය්යා කෙනෙක් එක්ක අද උදේ ඉඳන් හෙට උදේ වෙනකල් ෂෙඩුල් එක හදලා නිෂ්පාදන කළමනාකරුට ඒක බාර දීලා පහුවෙනිදා ෂූටින් ගියා. ඒ කැපවීම තමයි මාව ඉදිරියට ගෙනාවේ. ඒ එක්කම මට දැනෙන දෙයක් තමයි අපි මේ ක්ෂේත්‍රයෙන් කීයක් හරි හම්බ කරන් කන නිසා මොනවා හරි දෙයක් ක්ෂේත්‍රයට කරන්න ඕනා කියන එක. ඒ නිසා මට පුළුවන් දේ තමයි හැම අවස්ථාවකම මගේ සහායකයෙක් ෆර්ස්ට් ඇසිස්ටන්ට් කෙනෙක් දක්වා ගොඩනැඟීම. නම් වශයෙන් කීවොත් ඉරමැදියමේදී මට පුහුණු කරන්න හමුවෙනවා සාරංග මෙන්ඩිස් කියලා කෙනෙක්. දැන් ඔහු අධ්‍යක්ෂවරයෙක්. උදය ප්‍රසන්න, ලක්රුවන්, චමින්ද වගේ කීපදෙනෙක් හදන්න මට පුළුවන් වුණා.

මොකක්ද එහි අරමුණ?

හොඳ ඇසිස්ටන්ට්ලා හැදුණොත් ප්‍රඩක්ෂන් එකක සල්ලි නාස්ති වෙන්නේ නැහැ. මම එක අවුරුද්දකදි දැක්කා සහාය අධ්‍යක්ෂවරුන්ගේ අඩුපාඩු නිසා නිෂ්පාදකයන්ට දිගින් දිගටම පාඩු සිදුවන ආකාරය. ඒ නිසා මම එකපාරක් අවුරුද්දක් විතර මුළු ලංකාව පුරාම ඉන්න සහාය අධ්‍යක්ෂවරුන් 50ක් ගෙන්නලා, පෝය දින හයක් පුරා රටේ හොඳම අධ්‍යක්ෂවරු ගෙන්වලා පාඨමාලාවක් වගේ කරලා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයකුත් අරන් දෙන්න කටයුතු කළා ටෙලිනිස එක්ක එකතුවෙලා.

මේ මොහොතේත් මම තවත් සහායකයෙක් පුහුණු කරමින් ඉන්නේ.

තවත් දෙයක් මම හිතාමතාම කරනවා. ඒ කාගේ හරි ෂෙඩුල් එකක් අවුල් වෙලා වගේ දැනෙනවා නම් මට පොඩි හරි ඉඟියක් දුන්නොත් මම ගිහින් ඒක ගොඩ

දාලා දෙනවා කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී. ලංකාව පුරා කොහේ හෝ නැවතුණු, ගොඩදාගන්න බැරි වුණු චිත්‍රපටයක් තියෙනවා නම් මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ගොඩදාලා දෙනවා. බාගෙට හම්බුණු ළමයි වගේ නිෂ්පාදන දකිනකොට මට පුදුම දුකක් දැනෙන්නේ. ඒ නිසයි මම මෙහෙම කරන්නේ. මොකද මේ ක්ෂේත්‍රයේ නිර්මාණ සාර්ථක වුණොත් විතරයි කර්මාන්තය රඳාපවතින්නේ. එක නිර්මාණයක නිෂ්පාදකයෙක් නැති වෙනවා කියන්නේ පවුල් තිහකට විතර කන්න බොන්න ක්‍රමයක් නැති වෙන එක. ඉතින් අපි අපේම වළ කපා ගන්නේ නැතුව නිෂ්පාදකයන්ගේ මුදල් නාස්තියෙන් වළක්වා ගන්න තමයි මම එහෙම කළේ.

මේ වගේ පුරුද්දක් ඇති වුණේ කොහොමද?

මට හැම තිස්සේම දැනෙනවා මමද ඇතුළුව මේ ලෝකේ සියලු සත්ත්වයන් පවු කියලා. දවසක් කඩයක් ගාව හරක් තොගයක් වටවෙලා ඉන්නවා. මම ඇහුවා මොකද කියලා. ඉතිරි වෙන පරණ පාං කන්න කීවා. මම අතේ තිබුණු සල්ලි ඔක්කොමෙන් ඒ සත්තුන්ට පාං අරන් දුන්නා. මේ ලෝකේ අපි හැමෝම අසරණයි. අපි මේ කළ යුතු දේවල් නෙවෙයි කරමින් ඉන්නේ. පැවැත්ම වෙනුවෙන් මොනවා හෝ කරන එකයි. ඉතින් මේ සොබා දහමට ලෝකයට අපි ණයක් තියෙනවා. ඒක ගෙවන්න උත්සාහ කරනවා යමක් කරමින්. වතාවක් අනතුරකින් කොන්ද කැඩිලා මදිවට ක්ෂේත්‍රයේ හැමෝගෙන්ම පාහේ බැනුම් අහමින් හිටිය නිෂ්පාදකයෙකුගේ මඟ හිටල තිබුණු නිර්මාණ තුනකින් හොඳ එකක් බලලා සංස්කරණය කරලා විකුණලා බෙහෙත් ගන්න සල්ලිත් හොයලා දෙන්න මට පුළුවන් වුණේ මේ සිතිවිල්ල හින්දා.

නිර්මාණයක් සාර්ථකත්වය කරා ගෙනියන්න සහාය අධ්‍යක්ෂවරයාගේ වගකීම දකින්නේ කොහොමද?

එකක් ඔහු හොඳ ඕගනයිසර් (සංවිධායකයෙක්) කෙනෙක් වෙන්න ඕනා. හොඳ සැලසුම්කරුවෙක් වෙන්න ඕනා. හොඳ මනෝ විද්‍යාඥයෙක් වෙන්න ඕනා. එතකොටයි අපිත් එක්ක වැඩකරන අයගෙ සිතුම් පැතුම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි දෙන කෝල් ෂීට් එකට තමයි ශිල්පීන් 60-70ක් වැඩ කරන්නේ. නිෂ්පාදකගේ වියදම තීරණය වන්නේ. නිර්මාණකරුවා ඉදිරියට එන්නේ. මේ සියලු දෙනා පිළිබඳ සොඳුරුව දැකලා ඒ අයගේ අවශ්‍යතා වගේම නිර්මාණය හරියට කරන්න, අධ්‍යක්ෂවරයාගේ හිසට බරක් නොවී කටයුතු කරගන්න, විශේෂයෙන් චිත්‍රපට කලාවේදී ඒ රූප රාමුව හරියට සකසා ගන්න නිර්මාණය හරියට කරගන්න තමයි සහාය අධ්‍යක්ෂවරයා කටයුතු කරන්න ඕනා. මම සාමාන්‍යයෙන් කරපු හැම නිෂ්පාදනයක්ම සාර්ථක වුණා වගේම මුදලුත් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ගාඩි විතරක් වැස්සට අහුවෙලා ෂෙඩුල් පැන්නා. ද නිවුස් පේපර් දින කීපයක් කලින් ඉවර කරලා ලක්ෂ ගාණක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඒකට මම පුංචි පුංචි ක්‍රමවේද මුෂ්ටි යොදනවා. ඒවා මම ඉගෙන ගත්තේ දමින්ද මඩවල, ප්‍රසන්න ඉත්තැපාන, සිවා(ශිවගුරුනාදන්)අය්යා, ඉරේෂ් (ලොකුබණ්ඩාර)අය්යා වගේ සියලු දෙනාට පින්සිද්ධ වෙන්නයි. මම තේරුම් ගත්තේ මේ ක්ෂේත්‍රයේ අධ්‍යාපනික කාරණයක් නැති නිසා ඒ ඒ අයගෙන් උකහා ගත් දේවලින් මම මගේ ක්‍රමවේදයක් හදාගත්තා. නැවේ කප්පිත්තා සහාය අධ්‍යක්ෂ. ඔක්කොම වැඩකරන්නේ මම කියන විදිහට. ඒකටත් මම කැමතියි. මාර තෘප්තියක් දැනෙන්නේ. හැබැයි මට කවුරුහරි ලයිට් අල්ලන්න කියලා උදව්වක් ඉල්ලුවොත් මම ඒක කරලා දෙනවා.

ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නේ?

අපි ලොකු ආර්ථික ශක්තියක් තිබුණු පවුලක් නෙවෙයි. තාත්තත් අඩු වයසින් නැති වුණා. ඒ නිසා මට වගකීමක් තිබුණා නංගිලා දෙන්නගේ අධ්‍යාපනය, විවාහ කටයුතු ආදිය කරලා දෙන්න. ඒ වෙනුවෙන් මගේ අධ්‍යාපනය කැප කරලා මුදල් හොයන්න මට සිද්ධ වුණා. මම මෙගා නාට්‍ය අධ්‍යක්ෂණය කළෙත් ඒ වෙනුවෙන් මිසක වැඩි කැමැත්තකින් නෙවෙයි. ඒකෙන් ජනප්‍රියත්වය සහ සල්ලි ලැබුණා. ඒත් මගේ යාළුවෝ ඇහුවා මගේ රසය දැනගෙනත් මොකද ඒ වගේ දේවල් කරන්නේ කියලා. මම ඔවුන්ගෙන් ඇහුවේ ඒ නිර්මාණ ගැන කතා කරන අය අපි කන්නේ කොහොමද බොන්නේ කොහොමද ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන දේවල් හොයලා බැලුවද කියලයි. මම ඒක කළේ බිස්නස් එකක් හැටියට දැනගෙන. ඔවුන් මට ආදරේට කියූ නිසා මම කීවා අවශ්‍ය නියම වෙලාවෙදි මම මෙගා නවත්වනවා කියලා. මගේ බිරිඳ සුචරිතා නදීෂානි නාට්‍ය හා රංගකලා ගුරුවරියක්. මට ඉන්නේ පොඩි දුවෙක්. රුසඳී සෙනායා. දැන් මගේ ඔළුව ටිකක් නිදහස් නිසා මඟහැරුණු අධ්‍යාපනයට යොමු වෙන්න ඕන. ඒ නිසා චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාව කළා. ජපුර කැම්පස් එකේ ඩිප්ලෝමාවත් කරනවා. වැඩ වැඩි නිසා ඒවා වෙලාවට සම්පූර්ණ කරන්න බැරුව කල් ගියත් කොහොම හරි සංස්ථාවේ සහතිකේ ගන්න පුළුවන් වුණා. දැන් මම ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ප්‍රඩක්ෂන් ටෙක්නොලොජි කියන උපාධිය කරනවා යුනිමෝ ටෙක් එකේ. ඒ අතර අලුත් චිත්‍රපට කීපයක ෂූටින්වලට රටයන්නත් වෙලා තිබෙනවා.

මේ සියල්ලත් එක්ක ජීවිතේ ගැන හිතෙන්නේ කොහොමද?

මගේ මූලික අරමුණ බෞද්ධ දර්ශනයට අනුව ජීවිතය ගෙන යාම. එහෙම බැලුවාම වැරදිම ක්ෂේත්‍රයට වැටිලා තියෙන්නෙ. ඒත් මම ධනාත්මකව ජීවිතේ දකිනවා. ලංකාවේ මේ සමස්ත දේශපාලනය, සිනමාව සහ සියල්ල පිළිබඳ කලකිරීමක් සහ කශේරුකාවක් සහිතව රටට කලාවට හිතවත් කෙනෙක් ඇවිත් මේ ප්‍රශ්න විසඳන්නෙ නැති එක ගැන කනගාටුවක් තියෙනවා. අප්සට් සිස්ටම් එකක ඉන්න වෙලා තියෙද්දි පුළුවන් තරම් කුණු ගාගන්නේ නැතුව, පපුව කුණු කරගන්නේ නැතුව ඉන්න බලනවා. අනිත්‍යය දිහා වුණත් ධනාත්මකව බලනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.