රැල්ලට එරෙහි ගීතවලට ලොකු ඉල්ලුමක් තියෙනවා

රහතන්ගම නාගිත හිමි
ජුනි 20, 2019

ගීත රචනා කලාවට භික්ෂූන් වහන්සේලා ආගන්තුක නැත. රඹුකන සිද්ධාර්ථ හිමි, පල්ලේගම හේමරතන හිමි ඇතුළු හිමිවරු රැසක් අප ගීත කලාව පෝෂණය කළහ. අප ගොඩනැඟූ මේ සංවාදය රහතන්ගම නාගිත ස්වාමින්වහන්සේ සමඟය. උන්වහන්සේ ද කලක සිට ගීත රචනයේ යෙදුණහ.

ඔබ වහන්සේ ගීත රචනා කරන්න පිවිසුණු අයුරු ?

මම ඉපදුනේ බුත්තල රහතන්ගම කියන ගම්මානයේ. ගමේ පන්සල පිහිටා තිබුණේ අපේ නිවස ඉස්සරහා තමයි. ගමේ ඒ කාලේ වැඩ සිටි ලොකු හාමුදුරුවෝ බෞද්ධ ගීත ඉරිදා දහම් පාසල් දවසට සහ පෝය දවසට ගමටම ඇහෙන්න විකාශනය කරනවා. ඒ වාගේම අපේ ගෙදර පොඩි ගුවන්විදුලියක් තිබුණා. ඒ ගුවන්විදුලි යන්ත්‍රය නිතරම ක්‍රියාත්මක කරලයි තිබුණේ. මමත් එහි යන ගීත ඉතා ඕනෑ කමකින් ආසාවකින් අහන් ඉන්න පුරුදු වුණා. ඒ වාගේම කුඩා කාලයේ මා සෙල්ලම් කරන්න ගියේ අපේ ගෙදරට ගෙවල් තුන හතරකට එහා තිබුණු සමරසිංහ මාමලාගේ ගෙදරට. ඉතින් එහේ සෙල්ලම් කරලා එන්න පරක්කු උණොත් අපේ අම්මා දෙන දඬුවම තමයි පුටුවකට හෝ මේසයකට නග්ගලා සින්දු පහක් කියවන එක. අපේ අම්මා කවදාවත් ලේසියෙන් දඩුවම් කරන්නේ නෑ. ඒ වගේ දේවල් තමයි දඩුවම් විදිහට මට කරන්න දුන්නේ. ඉතින් ඔහොම කාලය ගෙවී මා මහණ වීමේ ආසාවෙන් රත්නපුර තිරිවානාකැටියේ එවකට වැඩ විසූ අහුලියද්දේ අතුල ලොකු හාමුදුරුවෝ සමඟ රත්නපුර පන්සලට ආවා. එහිදී පැවිදිවීමෙන් අනතුරුව අධ්‍යාපනයට යොමු වුණා. ඒ වන විටත් මට වචන ටිකක් අමුණ ගෙන ගීතයක් විදිහට ගැටහලා ලියාගන්න පුලුවන් යම් හැකියාවක් තිබුණා. අපේ ගෙදර තිබුණු පසුබිම සහ පන්සලෙන් ලද ආභාසය නිසා ගීත රචනයට මා සතු වූ දක්ෂතාවය ඔපමට්ටම් වුණු බව මා විශ්වාස කරනවා.

මුලින්ම රචනා කරපු ගීතය ?

මං ලියපු ගීතයක් මුලින්ම ගායනා කළේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ප්‍රථම තරගයේ සිව්වැනියා වූ කමනි ලසන්තිකා අක්කා. ‘ළංවීලා ඉමු කීවත්‘ ගීතය ඒ විදිහට ජනප්‍රිය වෙන විටදී මට මේ ක්ෂේත්‍රයේ බොහෝ අය මුණ ගැසීමට අවස්ථාව ලැබුණා විතරක් නෙවෙයි ගීත රචනය සම්බන්ධව යම්කිසි අවබෝධයකුත් ලැබුණා. තව දෙයක් තමයි රහතන්ගම නාගිත කියන හාමුදුරුවෝ ගොඩ නැගුණේ ඒ ගීතය නිසා කියලා මං විශ්වාස කරනවා.

මේ වන විට රචනා කර ගීත ප්‍රමාණය සහ ගායන ශිල්පීන් ගැන සඳහන් කළොත්?

දැනට මම ගීත 50 පමණ රචනා කරලා තිබෙනවා. ඒ අතර දමිත් අසංක ගායනා කරන මේ හිතේ ආදරේ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායන ඔයා වගේ කෙනෙක් නෑ, දෙරණ ඩ්‍රීම් ස්ටාර් උදේශ් ඉන්දුල ගයන මං විදිනා මේ දුක්, රණවිරු රියල් ස්ටාර් සම්පත් ගයන මේ ඇස්, ජනාගේ මගේ තාත්තා, ඉන්දික ප්‍රසාද් ගයන මා රකින්න අම්මා, මාගේ හිත, මා මෙසේ පෙම් කළේ, තේරුම් ගන්නේ නෑ වගේ, තමාරා ගයන ඔයා නමින්, අමිල බද්දේගම ගයන මඟ බලන්නම්, ප්‍රගීත් ගයන ඔබ ගාව මට දුශ්‍යන්ති නදීශාගේ සොයා නොයමි ඒ අතරින් කිහිපයක්.

එම ගීතවලට ලැබෙන ප්‍රතිචාර ?

මෙහෙමයි ඉතින් මේ ලෝකේ මිනිස්සු හොඳ කළත් නරක කළත් චෝදනා කරන එක මිනිස් ස්වභාවයයි. උදාහරණයක් විදියට ගත්තොත් අතීතයේ මේ රටේ වැඩියෙන්ම අග්‍රගණ්‍ය පොත් පත් ගීත රචනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලායි. අපට පෙර වැඩිසිටි හිමිවරු පවා ගීත රචනා කරලා තිබෙනවා. රසිකයන් අතළොස්සක් හැර බොහොමයක් දෙනෙක් ගීත ඇහැව්වට එම ගීත රචනා කළේ කවුද කියලා දන්නේ නෑහැ. ඒ කොහොම වුණත් මම රචනා කළ ගීත සියල්ල ඒ ඒ ශිල්පීන්ගේ අදහස් අනුව සහ මගේ මිතුරන්ගේ අදහස් අනුව රචනා කළ ඒවා බව සදහන් කළ යුතුයි. ඒ වගේම විරහා ගීත රචනා කරන එකම හිමි නම මම නෙවෙයි. තවත් හිමිවරු මෙවැනි ගීත රචනා කරලා තියෙනවා. නින්දා ප්‍රශංසා මේ දේවල් අපට අයත් ඒවා. ප්‍රශංසා වගේම නින්දා බොහොම ඉවසීමෙන් උපෙක්ෂාවෙන් භාරගත යුතුයි.

දැන් බොහෝ දෙනෙක් ගීත ලියන්නේ රිගින් ටෝන්වලට නේද?

රිගින් ටෝන් කියන කාරණය මුල් කරගෙන මං ගීත ලියන්නේ නෑ. නමුත් අපේ අතින් වියදම් කරලා හරවත් ගීත නිර්මාණයන් මා එළි දක්වලා තියෙනවා. ඒ ගීත රචනා කළේ අපේ රස වින්දනය සදහා පමණයි. නමුත් මම ලියූ ගීත රිගින් ටෝන් සදහාත් භාවිතා වෙනවා. මම මූලිකවම හිතන්නේ නිර්මාණයක් ගැන මිස මුදල් ගැන නෙවෙයි. නිර්මාණකරු තෘප්තිමත් නොවී කෙතරම් මුදලක් ලැබුණත් වැඩක් නෑ.

වර්තමානයේ එළි දක්වන ගීත සම්බන්ධව අදහස ?

ඉස්සර නිර්මාණය වුණු ගීත වගේ වටිනා කියන ගීත අහන්න ලැබෙනවා අඩුයි. නමුත් දක්ෂතාව තියෙන ගායන ශිල්පීන් ශිල්පිනියන් අපේ පුංචි රටේ ඉන්නවා. ඒ වගේම හොඳ පද රචනා ඇති ගීතත් ඒ අය නිර්මාණය කරනවා. මට අහම්බෙන් වගේ හොඳ තත්ත්වයක තියෙන ගී නිර්මාණයන් කිහිපයක්ම අහන්න ලැබුණා. අපි කවුරුත් දන්න ප්‍රවීණ කලා ශිල්පී වික්ටර් රත්නායක මහතා සමඟින් සංඛ දිනෙත් ගයපු හිතින් යන අය, සමන් ලෙනින් ගායනා කරන අමුඩේ, කසුන් කල්හාර ගායනා කරන හන්තාන නැතිමුත් වැනි ගීත එයට උදාහරණ කිහිපයක්. රැල්ලට එරෙහි ඒ වගේ ගීත වලට ලොකු ඉල්ලුමක් තියෙන බව පැහැදිලියි. ඒක අපි හැමෝටම සුබ ලකුණක්. දැන් ගීත ඇහෙනවට වඩා අහන්න සල්සවන එකයි කරන්නේ. ඒ සදහා මුදල් පවා ගෙවලා තමන්ගේ ගීත ප්‍රචාරය කරගන්න ක්‍රමයක් නිර්මාණය වී අවසන්. මගේ අදහස නම් අද මුදල් මත නිර්මාණශීලි බව යටපත් වී ඇති බවයි.

ගීත රචනයකට රූප රචනාවක් අවශ්‍යමද ?

කෙලින්ම පිළිතුරක් දුන්නොත් අවශ්‍ය නෑ. තව දුරටත් පැහැදිලි කළොත් ගීතයක් රස විදීමේදී රූප රචනාවක් නරඹමින් එය රස විඳීමේදී සිතීමේ යම් ප්‍රමාණයක් අපට නැතිව යනවා. අප ගීතයක් රස විදින්නේ හඬ ඔස්සේ පමණක් යැයි සිතන්න. එවිට යම් චිත්ත රූප මවා ගැනීමක් අපේ සිතේ ඇති වෙනවා. ඒ ඔස්සේ යම් බුද්ධි මට්ටමක් අපේ සිතේ නිර්මාණය වෙනවා. අප සිතන්න පටන් ගන්නවා. රූප රචනය නිසා ඒ සියලු දේ නැතිවෙලා යනවා. අනෙක් කාරණය නම් රූප රචනයෙන් කියවෙන්නේ ගීතයේ අර්ථයමද යන කාරණය පිළිබඳවත් මට නම් තිබෙන්න ගැටලුවක්.

ඔබවහන්සේ අතින් රචනා වුනු ගීත අතරින් මේ දවස්වල ජනප්‍රිය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගයන ඔයා වාගේ කෙනෙක් නෑ ගීතය නිර්මාණය වූ පසුබිම ගැන කිව්වොත් ?

මට මුලින්ම දිලුම්ව මුණ ගැහුණේ මා මිත්‍ර රවීන්ද්‍ර ශ්‍රීනාත් අයියා හරහායි. දිලුම් විසින් සංගීතවත් කළ මගේ පද රචනය ඇසූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, එය ඇසූ වේලාවේදීම ගායනා කිරීමට කැමැත්ත පළ කළා. දැනට මේ ගීතයට තියෙන රසික ප්‍රතිචාරත් එක්ක මම හිතනවා අපිට පුළුවන් විදිහට නිර්මාණය කරපු ගීතය සාර්ථක වුණා කියලා.

ඉදිරියට එළි දැක්වීමට ඇති ගීත?

ඕල් රයිට් සංගීත කණ්ඩායමේ නායක ශලින්ද ප්‍රනාන්දු අයියා, රණවිරු රියල් ස්ටාර් සම්පත් ශ්‍රී පලංසූරිය, දෙරණ ඩ්‍රීම් ස්ටාර් කමනි ලසන්තිකා වෙනුවෙන් නිර්මාණ වුණු ගීත එළිදැක්වීමට නියමිතයි. ඒ වගේම දමිත් අසංක අයියා ඇතුළුව තව කිහිප දෙනෙකු වෙනුවෙන් ගීත කිහිපයක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා.

හාමුදුරුවනේ මේ වගේ කලා කටයුත්තකට ඔබ වහන්සේට උදව් කළ පිරිස ?

පළමුවෙන්ම මගේ ලොකු හාමුදුරුවෝ කොළඹගේආරේ අතුලසේන ගුරුදේවයන් වහන්සේ, කොස්වානේ නන්දසාර ගුරු දේවයන් වහන්සේ, මගේ මාමා චමින්ද, මගේ නැන්දා මංජුලා, මගේ අයියා ප්‍රදීප් රුවන්, තේවත්ත පාරේ තුෂාර නයනජිත් අයියා ඕපනායක සමන්ත පුෂ්පකුමාර, රුවන් පුෂ්පකුමාර, ධම්මි නැන්දා ඇතුළු පවුලේ සැම, තේවත්ත පාරේ තිලක් උක්වත්ත මාමා, ජනිත් කඳනආරච්චි අයියා, කිරිදිවැල කල්‍යාණි උඩකන්ද මව්තුමිය ඇතුළු පවුලේ සැමත් නිරෝෂා අල්විස් අක්කා ඇතුළු පවුලේ සැමත්, මගේ මිත්‍ර රහතන්ගම මෛත්‍රී අයියත්, තිලනි නර්මදා අතුකෝරල අක්කා ඇතුළු සියළු දෙනාම මේ මොහොතේදී සිහිපත් කරනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.