දැන් මගේ Boss මමයි

තනුජා ජයවර්ධන
ජුනි 20, 2019

මෙරට රූපවාහිනී කලාව තුළ තනුජා ජයවර්ධන නාමය ප්‍රබලය. ඇය නාරද බක්මීවැව සමඟ එක්ව ගෙන ආ රස රිසි ගී වැඩ සටහන නොබලපු කෙනෙකු නැති තරම්ය. අදටත් තනුජාව ඇතැමුන් හඳුන් වන්නේ රස රිසි ගී තනුජා ලෙසිනි. නාරද - තනුජා යුවළ අමුතුම නිවේදන සම්ප්‍රදායක් ගොඩ නැඟුවෝය. ඔවුන්ගේ ශෛලිය පසුකාලීනව රැල්ලක් බවට පත් විය. නාරද - තනුජා අනුකරණය කරමින් ඩුප්ලිකේට්ලා ද බිහි වන්නට පටන් ගත්තේය. කොපි කළ හැකි නමුත් සම කළ නොහැකි බව පසක් කරමින් අනුකරණවාදියෝ නැති වී ගිය ද තනුජලා අදටත් රසිකයන් අතරය. අද අපේ කතා නායිකාව තනුජාය. ඇය එකල කළ වෙනසට නොයෙක් දෙනා නොයෙක් දේ කිවෝය. ඒවා අතරින් බහුතරයක් තිබුණේ විවේචනය. මෙරට එතෙක් පැවැති සම්ප්‍රදායික නිවේදිකාවගේ රාමුවෙන් තනුජා පිටතට පැන්නේ අඥතචය නිවේදන කලාව භාවිත කරමිනි.

ඇගේ වෘත්තියට අනුව දහසකුත් දෙනාගෙන් ඇය මේ වන විට ප්‍රශ්න අසා ඇතුවාට කිසිදු සැකයක් නැත. මේ සිදු වන්නේ එහි අනෙක් පැත්තය. තනුජාගෙන් අප අද ප්‍රශ්න අසන්නෙමු.

තනුජා බොහොම නිදහසක් විඳිනවා කියලා පේනවා?

ඇත්තටම ලොකු නිදහසක් දැනෙනවා. වසර එකහමාරක් පමණ සිට මගේ බොස් මම. මානසික වශයෙන් ඒ නිදහස මං අත් විඳිනවා. ඒක මගේ මුහුණෙන් පේනවා ඇති.

ඔබ සිරසෙ නැහැ කියලා දැන් හැමෝම වගේ දන්නවනෙ?

මං හිතන්නේ ඔව්.

ඉන් අයින් වුණායින් අනතුරුව මොන වගේ මාධ්‍ය අත්දැකීම් ද ඔබ ලැබුවේ?

මං සිරසෙන් අයින් වුණේ නිසි කාලයේ. මීට කාලෙකට ඉහතදී අයින් වුණා නම් හොඳයි කියලා හෝ තව හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ හිතිලාවත් නැහැ. මං කොහොමත් වෙච්ච දේ හොඳයි කියලා ඉදිරියට වැඩ කරන කෙනෙක්. සිරසෙන් ඉවත් වුණායින් පසු මගේ අත්දැකීම් ජීවිතයට බ්‍රෑන්ඩ් නිව්. ඒවා මං ජීවිතයේ මෙතෙක් අත් නොවිඳපුවා. තාල භාෂණත් එහෙම එකක්.

මං එතැනට තමයි ඊළඟට එන්න හැදුවේ.

ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යංගනී තමයි මේකට කතා කළේ. ඇය දන්නවා මගේ විදිහ. ඇයට මාවම අවශ්‍යයි කියලා කිව්වා. අමුතුම විදිහේ අත්දැකීමක්. මං තාල භාෂණ වැඩ සටහන ඉදිරිපත් කරන්න වාඩි වෙන්නේ හරියට පාඩම් කරලා විභාගයකට ලියන්න වගේ. වැඩසටහන ඉවර වෙද්දි දන්න විෂයකින් විභාගේ ලිව්වා වගේ සතුටකුත් දැනෙනවා. එක එක ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස වැඩසටහනට එනවනේ. මං ඔවුන් ගැන දැනගෙන ඉන්න ඕන. ඒක නිසා වැඩසටහනට ප්‍රථම හෝම්වර්ක් තියෙනවා කරන්න.

අද බහුතරයක් නිවේදක නිවේදිකාවන් හෝම්වර්ක් කරන්නේ නැහැ නේද?

අපිට වැරදුණේ එතන. මං නවකයන්ට වර්ක්ෂොප්වලට දේශකයකු විදිහට සහභාගී වෙනවා. ඔවුන් එක්ක අත්දැකීම් බෙදා ගන්නවා. ඒ වගේ තැන්වලදි මට තේරෙන හැඟෙන දෙයක් තමයි ඒ අයගේ අරමුණ ජනප්‍රිය වීම. මට අවුරුදු විස්සක් ගියානේ මේ තැන හදාගන්න. මාස දෙකෙන් තුනෙන් ආවා නෙවෙයිනේ. අපි නිතර හෝම්වර්ක් කළා. මෙලෝ දෙයක් නොදැන නිවේදන පුටුවේ වාඩි වුණේ නැහැනෙ. විෂයානුබද්ධව නිතර ඉන්න ඕනෑ. නැත්නම් ගමන බොහොම කෙටියි.

ඔබ සහ නාරද එකල වැඩසටහන් ඉදිරිපත් කළ අමුතු Style එකට සමහරු බැන්නා. දොස් කිව්වා?

ඒක ඉතින් සාමාන්‍ය දෙයක් අපේ රටට. නිමල් ලක්ෂපති ආරච්චි තමයි ඔය සිස්ටම් එක පටන් ගමු කියන යෝජනාව ගෙනාවේ. Relax Presenting ක්‍රමය. අපි හරි නිදහස්. හරිම Genuine ක්‍රමයට වැඩ සටහන කළේ. මං හිතන්නේ ඒ වගේ කලාවත් හඳුන්වා දුන්නේ අපි දෙන්නා. නාරදටත් බැන්නනෙ කොණ්ඩෙ වවාගනෙ ඉන්නවා කියලා.

ඔබ කළ දේ පසුව රැල්ලක් බවට පත් වුණා?

නිදහසේ වැඩසටහන් ඉදිරිපත් කළාට අපි නොදැනුවත්කමින් දේවල් කරලා නැහැ. මවාගත්තු දේවල් තිබුණේ නැහැ. අපි අපි විදිහටම තමයි හිටියේ. ඒ System එක තමයි ඉදිරියට ගියේ. සමහර චැනල්වලට නිවේදකයෝ ගන්න ඉන්ටර්වීව් කරද්දී ඔවුනට අපේ නම් වශයෙන් කියලා තියෙනවා. ආ . . . නාරද තනුජා වගේ කරලා පෙන්නන්න. ඉතින් ඔහොමයි. මමයි නාරදයි වැඩ සටහනක් ඉවර වෙලා අත් දෙක ඉස්සරහට ගේන ක්‍රමයක් තිබුණා. අපි කවදාවත් මුණ වැහෙන්න අත දිගු කළේ නැහැ. ඔය වගේ අපේම ක්‍රමවේදයන් තිබුණා. අනෙක් අය ඔවැනි සියුම් තැන් දැක්කා ද කියලා මං දන්නේ නැහැ. මතුපිටින් හරි Relax වුණාට හරයකුත් තිබුණනෙ.

හැමෝම අහන හැමදා විමසන කාරණය මමත් අහනවා. ඒ ඇයි තවමත් තනිකඩ කියලා . . . රූපයෙන් අඩුවක් ද, සමාජයේ පිළිගැනීමේ අඩුවක් ද, මිල මුදල් යානවාහන මේ සියල්ලගෙන්ම ඔබ පරිපූර්ණයි. ඒත් එක අඩුවක් තියෙනවා. . . විවාහය?

මං බොහෝ දේවල් හිතෙන් අත හැරපු කෙනෙක්. ලොකු වගකීම් නැහැ. විවාහ වෙනවා කියන්නේ තවත් බැඳීමක ආරම්භය. එතැනින් පසුව. . . දරුවෝ. එයාලගේ වගකීම් . . . සසර තවත් දිගු වෙනවා. මගේ හීනය ඒක නෙවෙයි. පුළුවන් තරම් සසර කෙටි කර ගැනීම.

ඔබේ පිළිතුර තුළ මොන යම් හෝ කලකිරීමක් තිබෙන බව පේනවා. අර අතහැරියයි කියපු දේවල් අත හැරියේ හිතට එකඟවද?

අනිවාර්යයෙන්ම සියල්ල අතහැරියේ සියල්ල දැනගෙන. කලකිරීමෙන් කළ දේවල් නැති තරම්. ඕනෑවට වැඩිය දේවල් ඔළුවෙ දාගෙන හිිටියම හිතට හරි බරක්නෙ. ඒවා අතහැරියම ලැබෙන සතුට අප්‍රමාණයි කියලා දැනෙනවා.

කාන්තාවකට ලබන්න පුළුවන් ඉහළම පදවිය තමයි මවු පදවිය. කවදාවත් තනුජට මවක් වෙන්න දරුවකු හදන්න බැරි වීම ගැනවත් දුකක් හිතිලා නැද්ද?

මං කිව්වේ මට හැම දෙයක්ම ලැබිලා තියෙනවා කියලා. එකම එක අඩුවයි තියෙනවා නම් තියෙන්නේ. ඒ තමයි දරුවකු නැති එක. ලංකාව වගේ රටක තිබෙන නීති පද්ධතියත් එක්ක මං වගේ අයකුට දරුවකු අරන් හදාගන්න බැහැ. බැරි වෙලාවත් එහෙම නීති තිබුණා නම් දරුවකු මං හදා ගන්න ගන්නවා.

තනුජාව අපට හැමදාම දැක බලා ගත හැකියාව ඇත්තේ නිවේදිකාවක ලෙසින්ම පමණද?

නැහැ. පාසල් යන කාලයේ මට තිබුණ නාට්‍ය පිස්සුවක්. කවදා හරි වේදිකාව තුළ වෙනස්ම අන්දමේ නාට්‍යයක් කරනවා කියලා හිතාගෙන හිටියේ. නිවේදන කලාවට ආවට පස්සේ ඒ ඔක්කොම දියාරුවෙලා ගියා. හිතට ලැබුණු නිදහසත් එක්ක මගේ අදහසක් තියෙනවා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. පෙර සූදානමක් විදිහට කෙටි චිත්‍රපටයක් කළොත් හොඳයි කියලා හිතෙනවා. දක්ෂතා අපතේ යවන්නේ නැතුව කාලයෙන් ද උපරිම ප්‍රයෝජනයක් අරගෙන සිනමා නිර්මාණයක් කිරීමටයි මගේ ඊළඟ වෑයම.

නිශ්ශංක විජේරත්න

Add new comment