දැන් මම ගරු රඟපෑම් කරන්නේ නෑ

සම්මානනීය රංගවේදිනි සංගීතා වීරරත්න
ජුනි 20, 2019

ඇය බොහෝ කාර්යබහුලය. සියත නාළිකාවේ විවිධ තීරණ තීන්දු ගැනීම් සඳහා ඇගේ උපදෙස් අත්‍යවශ්‍ය මොහොතකි. එහෙත් සරසවිය පුවත්පත වෙනුවෙන් කෙසේ හෝ කාලයක් වෙන් කිරීමට ඒ අතර ඉසිඹුවක් ලබා ගන්නීය. මාත් සමඟ ගිය නිශ්ශංක දැක ඇය කලබල වන්නීය. 'පින්තූර ගන්නම ඕනෙද? මම අලි පැටියෙක් විතර මහත් වෙලා. වෙලා නෙමෙයි මහත් වෙන්න වුණා.' ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න අපට මාතෘකාවක් සපයමින්ම අධ්‍යක්ෂ මණ්ඩල කාමරයේ අසුන් පැනවූවාය. අපි එතනින්ම පටන්ගෙන ඇගේ වත්මන් තොරතුරු විමසමු.

මොකටද ඉතින් අලි පැටියෙක් තරමට මහත් වෙන්න වුණේ?

මේ දවස්වල මම හරිම කාර්යබහුල වුණා. මොකද අවුරුදු දෙකකට කලිනුයි මම ඝරසර්ප කළේ. ඊට පස්සේ මේ වසරේ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. ඉතින් එකක ඒ කියන්නේ බෙනට් රත්නායකගේ චිත්‍රපටයේ මම ගරු රඟපැමක් කරන්නේ. මොකද මම දැන් ගරු රඟපැම් නතර කළා. මොකද සමහරු ආසා වුණත් මම ඒ අයගේ චිත්‍රපටවල ඉඳීම හොඳයි කියලා මේක මගේ වෘත්තියනේ. ඒ නිසා නිකම්ම කරන්න හොඳත් නැහැ. ඒත් ඉතින් බෙනට් මගේ නැයොත් වෙන නිසා කළා. අනෙක ඒක මම ඉදිරියේදී ප්‍රධාන චරිතයක් කරන්න කියලා හිතාගෙන ඉන්න දේශපාලනඥයකුගේ චරිතයක්. ඒකට පෙරහුරුවක් වගෙත් නිසා මම ආසාවෙන් බාරගත්තා. හැබැයි මට ඕන වුණේ නැහැ මහ ඇමතිවරිය ලස්සන හැඩ කෙනෙක් විදිහට නිරූපණය කරන්න. ඒ නිසා ඒකට මහත් වෙන්න වුණා. ඒක ඉවර වෙන්නේ 28. ඒ්ත් ෂමීර නාඔටුන්නගේ වයිෆ් චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය අවුරුදු තිස්පහක විතර කාන්තාවකගේ. ඒකට සූදානම් වෙන්න තියෙන්නේ සති හත අටක් විතරයි. මම දන්නේ නැහැ කොහොම මේ මහත් වුණ එක ඒ තරම් කෙටි කාලයක් ඇතුළත අඩු කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් කරන්න වෙනවා. චිත්‍රපටයකට අවශ්‍ය පෙනුම ලබාදීමත් අපේ වගකීමක්. මුලින් ආවා වගේ නෙවෙයි අපි පන්නරය ලබද්දි චරිතය පිළිබඳවත් එයින් ලබා දෙන පණිවිඩය ගැනත් අපට වගකීමක් තිබෙනවා. ඒකත් ලේසි වැඩක් නෙවෙයි.

ඇය දෙබැම ඔසවා වගකීම් සහගතව කියා පසුව ඩිම්පලය වඩාත් පෙනෙන පරිදි සුරතල් ලෙස පැත්තකට හිස ඇද කර සිනාසෙයි.

ආසාවෙන් ඉන්න ප්‍රධාන චරිතයක් කියනකොට මට නිකං සැකයක් එනවා මේ දේශපාලන චරිතේ කරන්න යන්නේ සිනමාවෙද සැබැ ජීවිතේද කියලා?

(සිනාසෙමින්) නෑ. නෑ. නෑ. (මොහොතක් නිහඬව සිට) නිළි ජීවිතේ.

ඇත්තටම මම හරි ආසයි දේශපාලනේ කරන්න. ඒත් මේ වාතාවරණය නෙවෙයි. මොකද මම දරන මත, මම කියන පුද්ගලයා ක්‍රියා කරන විදිහ මේ වාතාවරණයට ගැළපෙන්නේ නැහැ.

සංගීතා වීරරත්න කියන පුද්ගලයාගේ මතය සහ දේශපාලනමය ක්‍රියා ස්වභාවය ගැන අපි දැනගන්න ආසයි?

මෙහෙමයි. මම විශ්වාස කරනවා ඕනැම වැඩක සාර්ථකත්වය පිටුපස නායකත්වය තිබෙන්න ඕනා. මම වැඩක් බාරගත්තොත් එය සාර්ථකත්වය කරා ගෙන යැම තමයි මගේ අවශ්‍යතාව. උදාහරණයකට ව්‍යාපාරයක් ගමු. එහෙම නම් එය සාර්ථක ව්‍යාපාරයක් වෙන්න ඕනා. එතකොට සමහර දේවල් කියන්න කරන්න වෙන්නේ සියලු දෙනාගේම කැමැත්තට හෝ හිත හොඳ කිරීමට වඩා ඒ ව්‍යාපෘතියේ අභිවෘද්ධිය වෙනුවෙන්. එහෙම වාතාවරණයක් මම අද දකින්නේ නැහැ. දේශපාලනයේදී විවිධ පක්ෂ හෝ රටවල් සතුටු කිරීම කියන්නේ මම දකින සාර්ථක වාතාවරණයක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබ ටිකක් ටෆ් ලීඩර් (දැඩි නායිකාවක්) කෙනෙක්?

ම්... (ඇයට මහත් සිනාවක් එයි) මම කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි නම්‍යශීලීයි. නායිකාවක් ලෙස වැඩ කරද්දි ඊට වෙනස්. ඒ දෙක හසුරුවන විධිත් වෙනස්නේ?

එහෙම වාතාවරණයක් උදාවෙනකල් කියලා හිටියම කාලය?

අනේ මන්දන්නේ... නැහැ. ඉතින් අපට චිත්‍රපට තමයි... හදන්න වෙන්නේ මේ... වා... ගැන. ඉතින් නිර්මාණකරුවන්ට හොඳ කාලයක් මේක. ඒ අයට කැමති නිර්මාණයක් එළි දක්වන්න පුළුවන් නේ.

එහෙම කීවාම මට ප්‍රශ්නයක් එනවා අර පෝලිමේ තියෙනවාය කියන නිර්මාණ ගැන?

ඒක ගැන කතාකරන්න ගියාම අපි ආපහු මැක්කාගේ කතාවට එනවානේ. මොකද ඒ බෙදා හැරීමේ ක්‍රියා කලාපයට මම තදින්ම විරුද්ධයි, මේ වගේ පුංචි රටක. එක චිත්‍රපට ශාලාවක චිත්‍රපට 6ක් විතර පෙන්වනවා. සාමාන්‍යයෙන් මල්ටිප්ලෙක්ස්වල නම් ඒ විදිහට පෙන්වනවා තමයි. ඒත් මේ තනි ශාලාව මල්ටිප්ලෙක්ස් වගේ කරනකොට රසිකයා අතරමං වෙනවා. මටත් ආවා අලුත් චිත්‍රපට ශාලාවක් විවෘත කරන එකකට ආරාධනයක්. ඒත් මම නොයන්න තීරණය කළා. මොකද මුලින්ම පෙන්වන්නේ හින්දි චිත්‍රපටයක්. මට එකපාරටම හිතුණා මේ දවස්වල මම දන්න තරමින් ඉතා හොඳ සිංහල චිත්‍රපට කීපයක් එළි දැක්වූවා. ඉතින් මම මේ කාටවත් දොස් කියනවා නෙවෙයි. ඒත් ඒ ශාලා හිමියන්ගේ හෝ මණ්ඩලයේ කැමැත්තනේ ඒක. ඉතින් තව මොනවා කියන්නද?

හින්දි චිත්‍රපටය වගේම හින්දි ටෙලිනාට්‍ය හඬ කැවීම ගැනත් ඔබ දරන්නේ ඔය මතයමද?

ඔව්. සියතේ අපි ඒ වගේ හඬකැවූ ටෙලි නාට්‍ය විකාශය කරන්නේ නැහැ. මම හිතනවා අපේ සංස්කෘතිකමය වෙනස් වීමට ප්‍රධාන හේතුව මේ විදිහට හඬ කැවූ අපි වගේම මිනිසුන්ගේ කතාවලින් ලැබෙන ආභාසය. හැමෝටම දැනෙන හරිම පහසු උදාහරණය තමයි විවාහය. මම කියන්නේ ඒක ගෞරවණියයි කියලා වෙනම විදිහකට හිතාගෙන ඉන්න ඕනා කියන එක නෙවෙයි. ඒත් කවුද ඔසරි ඇඳලා හින්දි සින්දුවලට නැටුවේ විවාහවලදි. ඒත් හින්දි ටෙලි නාට්‍ය සිංහලෙන් හඬකවලා ඒ උත්සවවල වගේ නටන එක හෝ ඒ නැදැකම්, මනුෂ්‍ය සබඳතා අපේ රටට ආවේණික හෝ අපේ සංස්කෘතිය එක්ක යන දේවල් නෙවෙයි. එත් අපේ කියලා තියෙන්නේ මොකක්ද? සිංහල භාෂාව. ඉතින් අපි වගේම මිනිස්සු ටිකක් අපේ භාෂාවෙන් අවුරුදු දහයක් පහළොවක් ඒ සංස්කෘතිය ඉදිරිපත් කරද්දි අපේ අවරුදු 15ක ළමයා ජීවිත කාලය පුරාම දකින්නේ ඒක. අවුරුදු 25ක ළමයාත් හය හතර තේරෙන වයසේ ඉඳන් දන්නේ ඒ සංස්කෘතිය. එතකොට ඒ ළමයින්ට බැනලා වැඩක් තියෙනවාද? ඒ අය කරන කියන දේවල් විවේචනය කරලා වැඩක් තියෙනවාද? ඉතින් ඒ දේ වෙනස් කළ යුතුයි කියන්නේ කවුද? අපි රංගන ශිල්පීන් ටෙලි නාට්‍යකරුවන් සියලු දෙනාම මේ බව කීවාම ඒ නාට්‍යවලට බද්දක් දැම්මා. එතකොට මට හොඳට මතකයි මම ඇහුවා ඒ බදු මුදලට අපේ සංස්කෘතිය විකුණුනාට කමක් නැද්ද කියලා. සමහරු ඒකට මාත් එක්ක තරහත් වුණා. ඒ්ත් අපි ඉල්ලුවේ ඒ නාට්‍ය පෙන්වන්න ඕනෙ නම් භාෂාව එහෙමම තියලා සබ් ටයිට්ල්ස් (උප සිරැසි) දාන්න කියලා. මොකද එතකොට අපට ඇහෙන්නේ වෙනම භාෂාවක්. අපට අවශ්‍ය නම් කියවලා තේරුම් ගන්නවා. එතනදි ඇහෙන්නේ වෙන භාෂාවක් නිසා අපට ඒ වෙන පිරිසක් කියලා තේරෙනවා. සුද්දෝ සිංහලෙන් කතා කළත්, ජපනුන්, කොරියන් අය සිංහලෙන් කතා කළත් අපට ඒ මුහුණුවර, ඔවුන්ගේ රූප ස්වභාවය වෙනස් නිසා අපේම පිරිසක් කියලා හිතෙන්නේ නැහැ. ඒත් අපි වගේම ඇඳුම් අඳීන පිරිසක්, අපේම භාෂාවෙන් යමක් කියද්දි තත්ත්වය හුඟක් වෙනස්. මේක රටකට විරුද්ධව කියන දෙයක් නෙවෙයි. අපේ සංස්කෘතිය රැකගන්න කරන සටනක්. ඉතින් මම එදා ඉඳන්ම එකලෙසින් මේ තත්ත්වයට විරුද්ධව ඉන්නවා. අපේ නාළිකාවටත් ලේසියෙන්ම විකුණන්න පුළුවන්, ලාබ, ඉල්ලුමක් සහිත දේ තමයි දෙබස් කැවූ ටෙලි නාට්‍ය. මගේ ප්‍රවර්ධන කණ්ඩායම මා එක්ක හරියට තර්ක කරනවා ඒ ගැන. ඒත් කොහොම හරි උඩුගම් බලා යනවා. මම විශ්වාස කරන දේ තමයි කිසිම වැරැදි දෙයක් සමාජයට නොදීමේ වගකීම අපට තිබෙනවාය කියන එක. මොකද තමන්ගේ කැමැත්තෙන් ගිහින් සල්ලි දීලා චිත්‍රපටයක් බලනවා වගේ නෙවෙයි රූපවාහිනියෙන් නිකම්ම ගෙදරට ගෙනත් දෙන දේ. ඒකේ වගකීම නාළිකාවට බොහොම වැඩියි. චිත්‍රපටවලට නම් මණ්ඩලයකින් තීරණය කරනවා. අපේ ඒවා තීරණය කරන්නේ කවුද? අපිමයි. එයට කිසිම නීතියක් රීතියක් නැහැ. ඒ නිසා අපි ස්වයං වාරණයක නිරත වෙනවා. ඒ ප්‍රතිපත්ති නිසා වෙන්න ඇති අපිත් එක්ක අපිටම පිරිසක් ඉන්නේ.

මේ කතා කරන දේවල් කලාකරුවන්ගේ සංවිධානයකින් ක්‍රියාත්මක කළොත් හොඳනැද්ද?

මම සම්බන්ධ එක සංවිධානයකටයි. ඒ සිනෙස්ටාර් පදනම. එයින් කෙරෙන්නේ තුන් සියයක් හාරසියයක් පමණ වන සාමාජිකයන් සියලු දෙනාට රුපියල් ලක්ෂයක ජීවිත රක්ෂණයක්, රෝහල් රක්ෂණයක් වගේ දේවල්වලට රිදී රැයක් ෂෝ එක මඟින් පහසුකම් ලබා දීම. මෙය සමාජ සේවාවක්. සිනමා කර්මාන්තය වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ කලාකරුවන් වෙනුවෙන් අපට කළ හැකි දේ තමයි ඒ. සුනාමි ව්‍යසනයෙදි අපි ගෙවල් 50ක් හදලා දුන්නා. මේ ළඟදි වුණ බෝම්බ ප්‍රහාරයෙන් හානි වූ අයට ගෙවල් දෙකක් හදලා දුන්නා. ආනෝජා (වීරසිංහ) අක්කා ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කටයුතු කළා. ලක්ෂ පහක මූල්‍යාධාර කාදිනල්තුමාට ලබාදෙමින් අපට පුළුවන් අයුරින් විපතට පත් අයට උපකාර කළා. එයින් සමාජයට හා සාමාජිකයන්ට සුබසාධන කටයුතු කරනවා. ඒ හැරුණම කර්මාන්තයේ දියුණුවට හෝ ඒ සදහා ප්‍රතිපත්ති, යෝජනා ඉදිරිපත් කිරීමක් හෝ පදනමෙන් සිදු වන්නේ නැහැ. ඒ නිසා අර වගේ දේකට නම් ව්‍යාපාරික ඥානය සහිත කලාව දන්න පිරිසක් එකතු වෙන්න ඕනා.

එහෙම එකතුවෙලා වැඩ කරන්න කවුරුන් හෝ කවදා හෝ උත්සාහ කළාද?

ඔව්. ඒත් ඒවා... එක එක... මංදන්නැහැ. මෙහෙමයි, දැන් අපට ඇවිත් තිබෙන ඇමතිවරයා හොඳයි කියලා ආරංචියක් තිබෙනවා. ඒත් කිසි කෙනකුට එක රැයින් හෝ සතියෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ මේවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා.

උදාහරණයක් හැටියට කියමු දැන් අපට ඉතා හොඳ ශාලා කීපයක් ස්කෝප් සිනමා සංකීර්ණයේ ඇවිත් තිබෙනවා. ඒත් ඒක බීඕඅයි (ආයෝජන මණ්ඩල) ව්‍යාපෘතියක්. එතකොට ඒ අය චිත්‍රපට සංස්ථාවට හෝ කිසිම නායකත්වයකට යටත් වෙන්නේ නැහැ. එහෙම ශාලා 100ක් ලංකාව පුරා හදන්න නියමිතයි. එතකොට අපේ කර්මාන්තයට මොනවා වෙයිද? හැබැයි මට කීයටවත් මේ ශාලාවලට විරුද්ධව කතා කරන්න බැහැ. මොකද මමත් ඒවායේ ගිහින් හොඳට චිත්‍රපට බලනවා. මමත් ආසයි ලස්සන චිත්‍රපට ශාලාවක, පිටරටින් පිරිස එනකොට ගුණාත්මක බවින් යුතුව චිත්‍රපට බලන්න තැන් තිබෙන එකට. ඒත් එහෙම ව්‍යාපෘතියකදි අපි හිතන්න ඕනා මේ රට හරි චූටියි, අපේ සිනමා කර්මාන්තය හරි පොඩියි. ඉතින් රටක සිනමා කර්මාන්තය වැටෙන එක ප්‍රශ්නයක් නෙවෙයි නම් මේ ක්‍රමේ කමක් නැහැ. හැබැයි අපට පුළුවන්ද තරගයක් දෙන්න. අපට ළිඳේ ඉන්න ගෙම්බො වගේ මානසිකත්වයෙන් මේ දේවල්වලට උත්තර සොයන්න බැහැ. චිත්‍රපට ගෙන්වන එකට විරුද්ධ වෙන්නත් බැහැ. ඒත් අපට පුළුවන් මේවාගේ ව්‍යාපෘතිවලදි එකඟතාවකට එන්න ඕගොල්ලන් ශාලා 100ක් හදනවා නම් එයින් 10ක් දේශීය චිත්‍රපට වෙනුවෙන් වෙන් කරන්න කියලා. ඒ කියන්නේ අපටත් මොනවා හරි දෙයක් සිද්ධ වෙන්න ඕනා කියන එකයි. නැතුව කාගෙවත් දියුණුවකට අපට අකුල් හෙළන්න බැහැනේ.

මට දුක මේ අලුත් දක්ෂ අධ්‍යක්ෂවරු කොච්චර ඉන්නවාද? ඒ අය අපේ රටේ සිදුවන දේවල් මාතෘකා කරගෙන පොඩි බජට්වලට හොඳ චිත්‍රපට හදනවා. ඒත් ඉස්සරහට එන්න අවස්ථාවක් නැනේ.

ඔය ගැන කතා කරන හැමෝම සංවිධානය වෙන්න ඕනා කියනවා. ඉන්දියාවේ සංවිධානවල ප්‍රබලත්වය ගැන කතාකරනවා. ඒත් ඇයි අපේ රටේ ක්‍රියාකාරී සංවිධානයක් නැත්තේ?

අපි එකක් පිළිගන්න ඕනා. ඔයාට රුපියල් දාහක් තියෙනවා නම් කරන්න පුළුවන් දේ මට රුපියල් 22කින් කරන්න පුළුවන්ද? අපි මේ කරන්නේ මාකටිංනේ. ඒරටේ මිලියන දාහකට විකුණන දේ අපේ මිලියන විස්සකට විකුණලා හම්බ කරන්න පුළුවන්ද? ඒ උපාය උපක්‍රම දෙකත් වෙනස් නේ. අපි නිකං ෆෙස්බුක් එක ගමු. ඉන්දියාවේ නළු නළියන්ට ඉන්න ෆලෝවර්ස්ලා ගාන මිලියන තිහයි හැටයි. ඒ අයගේ නිකම්ම කෙනකුටත් මිලියනය පනිනනවා. අපි මිලියනයක් කියන්නේ මහාලොකු ගාණක් වගේ කියනවා. ඉතින් අපි දැනගන්න ඕනා අපි ක්‍රියා කරන්නේ කොතන ඉඳන්ද කියලා. ඒත් අපට තිබෙනවා අපේම කියලා සංස්කෘතියක්. අපි වෙනස් වුණොත් අපට දාහක් එක්ක හිටගන්න පුළුවන් වෙනම විදිහකට. ඒත් අපි අර දාහා වගේම කරන්න ගියොත් අපට බැරි වෙනවා. ඒ නිසා අපි ඉන්දියානු ආභාසයට හෝ ඒ දේවල් පස්සේ යමින් හිටගන්න බැහැ. අපි අපට ආවේණික දෙයකින් තමයි ලෝකේට වෙනසක් පෙන්වන්න පුළුවන් වන්නේ. නිර්මාණවලදි වගේම සංවිධානවලදිත් ඒ වෙනස අඳුනගන්න වෙනවා.

අපට අති දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා, කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඒ සමහරු එක්කෝ කුඩා කාලේ රට ගිය අය, නැත්නම් අධ්‍යාපනය වෙනස් වෙලා ආපසු මෙහෙ පැමිණි අය. එතකොට ඒ අයගේ සිතිවිලි ශ්‍රී ලාංකීය වෙලා, පුංචිකාලේ තදින්ම කා වැදුණු දේවල් අපේ කියන හැඟීම එක්ක ඒ අයගේ නිර්මාණ හඳුනගන්න පුළුවන් වෙනවා. ඒවා වෙනරටවල කොපි නෙවෙයි. ඒවා හරි විදිහට පෙන්වන්න තැනක්. ඒ වගේම ප්‍රචාරණය ආදියට යන වියදම වගේ දේවල් අපේ රටටම ආවේණික වුණු ප්‍රශ්න. ඒ නිසා ඉන්දියාවේ හෝ වෙනත් රටක ක්‍රමවේද අපට ගළපන්න යන එක හරි අසාධාරණයි. ඉතින් ඒවාට අදාළ හැමෝම අපේ රටට හා අපේ මිනිසුන්ට හරියන දේ තේරුම් ගන්නවා නම් හොඳයි.

ඔබ ව්‍යාපාරවලටත් දක්ෂයි, කලාවත් දන්න නිසා ඔබම ඉදිරිපත් වුණොත් නරකද මේවාට?

ගොඩක් අය ඔය යෝජනාව මට කරලා තියෙනවා. ඒත් මට වඩා ජ්‍යෙෂ්ඨ අය ඉන්නවා. මට පුළුවනි ඒ අයට සහාය වෙන්න. අනෙක මම ගොඩාක් සෘජුව කතා කරලා, සෘජුවම මගේ අදහස් එක්ක පෙනී සිටිය නිසාම ප්‍රශ්න ඇති වුණ නිසාම වෙන්න ඇති මම දැන් කටවහගෙන ඉන්නේ.

පසුගිය ප්‍රහාර නිසා අපේ සිනමාවට බලපැමක් වුණා කියා ඔබට හිතෙනවාද?

ඇත්තටම මට හරිම කනගාටුදායක කාරණයක් ඒක. මම බෞද්ධයෙක් නිසා මම දරන මතයේ කීී දෙනකු ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. ඒත් ඒ සිදුවීම් සිනමාවට පමණක් නෙවෙයි ශ්‍රී ලාංකිකයන් හැටියට ශ්‍රී ලාංකිකයන්ට බලපාන ප්‍රශ්නයක්. අපේ ශ්‍රී මහා බෝධිය ගාව වෙඩි තියලා මරලා, දළදා හාමුදුරුවන්ට බෝම්බ තියපු රටකයි අපි ජීවත් වෙන්නේ. අපි බෞද්ධයො හැටියට ඒවා නොදැක්කා නෙවෙයිනේ. ඒත් මම තරයේම විශ්වාස කරනවා වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන දෙය. ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ඇති වන්නේ නීතියක් නැති තැනක. ඒකට ආගම අදාළ නැහැ. ආගම කියන්නේ මානව අයිතියක්. පෞද්ගලික දෙයක්. ඒත් නීතිය කියන්නේ රටකට අයිති දෙයක්. අපේ රටේ නීතිය නෙවෙයි වෙනත් රටක තිබෙන්නේ. මේ රටේ ජීවත් වෙනවා නම් රටේ නීතියට යටත් වෙන්න ඕනා ආගම් භේදයකින් තොරව. නීතියට විරුද්ධව තමන්ගේ ආගම අදහනවා නම් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. බෞද්ධයෙක් හැටියට මම අනෙක් සියලු ආගම්වලටත් ගරු කරනවා. ඒ ආගම් අදහන්න ඔවුන්ට අයිතියකුත් තිබෙනවා. ඒත් සියලු පුරවැසියන් නීතියට යටත් නම්, නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඉදිරියේදීවත් මේ වැනි දේ සිදුවන එකක් නැහැ.

අලුත් චිත්‍රපටයක් නිෂ්පාදනයට අදහසක් නැද්ද?

එකක් නිෂ්පාදනය කළානෙ. ඒත් තව එකකට යන්න හදද්දි හැමෝම කියනවානේ දැන්ම අත ගහන්න එපා කියලා. ඉතින් මටත් බයයි. මොකද 2010 පෝෂෙ හම්බෙලා ආවාට පස්සේ මම අවුරුදු 6ක් විතර ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා. ඒ කාලය තුළ මහ අරුම පුදුම වෙනස්වීම් තමයි සිනමාවේ වෙලා තියෙන්නෙ. ඒ නිසා නැවත සම්බන්ධ වෙද්දීත් අලුතෙන්ම සම්බන්ධ වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ. සුනිල් ටීලා වගේ අයත් ක්‍රමයෙන් නිහඬ වෙලා නිසා ආසාව තිබුණත් කල්පනා කරමින් ඉන්නේ. බලමු.

තාත්තගේ චිත්‍රාගාර එහෙම කොහොමද?

පානදුරේ ස්ටුඩියෝ එකට අවුරුදු 100ක් වෙනවා මේ අගෝස්තුවලට. ඌව ස්ටූඩියෝ තාත්තා පටන්ගත්තේ 1967. අදවෙනකොට වීරරත්තන ඇන්ඩ් සන්ස් කියලා තාත්තාගේ අය්යගේ සහ අක්කගේ දරුවන් එක්ක කරගෙන යන්නේ. තිමති ස්ටූඩියෝසුත් එහෙමයි. අපි දැන් තුන්වෙනි පරම්පරාව. ඒකත් ඇත්තෙන්ම ලොකු වගකීමක්.

වෙළෙඳ දැන්වීම් කීපයකමත් දැක්කා?

මම කීපයකම හිටියා. එක නිෂ්පාදනයක් හොඳ නැ කියලා ආරංචි වුණා. මම ටක් ගාලා කොන්ත්‍රාත්තුව ආපස්සට අරන් ඉවත් වුණා. දැන් ඉන්ස්ටග්‍රැම් හෝ ෆේස් බුක් පෝස්ට් දාන අයත් ඉන්නවානේ. මම එහෙම කරන්නෙත් නැහැ. මොකද මම විශ්වාස කරනවා මම හොඳයි කියන දෙයක් ගන්න පිරිසක් ලංකාවේ ඉන්නවා කියලා. ඒ අයට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න මට බැහැ. ඒ නිසා මම පාවිච්චි කරලා ඇත්තටම හොඳයි කියලා හිතෙනවා නම් විතරයි ඒ දේ වෙනුවෙන් මම පෙනී හිටින්නේ. ඒක මගේ ප්‍රමිතිය. ඒ නිසයි මම වෙළෙඳ දැන්වීම් ගොඩක නොඉන්නේ. වියදමක් නැතුව පෝස්ට් එකක් දාලා සල්ලි හම්බ කරන්න ඕන නැති මට්ටමේ ස්ථාවරයක ඉන්න එක ගැන මට සන්තෝසයි. ඊටත් වඩා ප්‍රමිතියක් ඇතුව ජීවත් වන එක ගැන මට හුඟාක්ම සන්තෝසයි.

අපි පවුලේ විස්තර ටිකකුත් කතා කරමු?

පෝ‍ෂෙට දැන් අවුරුදු 9ක්. අපි දැන් කතා කළ දේටත් සම්බන්ධව ගත්තොත් දුව යන්නේ බ්‍රිටිෂ් ස්කූල් නිසා එයාට ඉන්න හොඳම යෙහෙළිය තුර්කි ජාතික දුවක්. අනෙක් කෙනා මුස්ලිම් දුවක්. ඒ ළමයි මේ ප්‍රශ්න දන්නෙත් නැහැ. ඒ අය හොඳ යාළුවෝ. එයාලාට අද වෙනතුරු මමවත් ඒ දෙමව්පියන්වත් ප්‍රශ්න ඇති කරලා නැහැ. සංහිඳීයාව කියන්නේ ඇත්තටම ඒකටනේ.

රොෂාන්තත් ඉතින් කාර්ය බහුල කෙනෙක්. ඒත් අපි ඉතින් අපේ වැඩකටයුතු කරගෙන ඉන්නවා. මම කොහොම හරි 1.15 වෙද්දි පෝෂෙ ගන්න ඉස්කෝලෙට යනවා. අපි දෙන්නටම අපහසු වෙලාවට රොෂාන්තලැ අම්මා උදව් කරනවා. රොෂාන්තට සහෝදර සහෝදරියන් පස් දෙනෙක්. ඒ අතරින් තුන්දෙනෙක්ම ලංකාවේ ඉන්නේ. ඉතින් නැදැ පිරිවරක් ඉඳීමේ ශක්තිය මට හොඳටම දැනෙනවා. ජීවිතේ මීටත් වඩා දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෙ කියලා හිතන අයත් ඇති. ඒත් මට නම් මේ තරම සතුටින් ඉන්න හොඳටම ඇති.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.