මං චිත්‍රපට 20 ක් කරනවා

ඒත් උදයකාන්තට වඩා අඩුවෙන්
ජුනි 27, 2019

බර්මින් ලයිලි ප්‍රනාන්දු

අප රූපවාහිනියට පෙම් බැන්ද කාලයක් විය. අද මෙන් යනෙන ගමන් ටෙලිවිෂනය නැරැඹීම හෝ රාජකාරිවල යෙදෙන අතරතුරදී දෙබස්වලට සවන් දී පමණක් ටෙලි නාට්‍ය රස විඳීම සිදු කළේ නැත. යම් නිශ්චිත කාලයකදී පවුලේ සැවොම රූපවාහිනිය ඉදිරියේ වාඩි වුණේ තමන් නොකඩවා රස විඳින ටෙලි සිතුවමෙහි ඊළඟට වෙන්නේ කුමක්දැයි දැනගැනීමේ අටියෙනි. එලෙස හදවතින්ම අප ප්‍රේක්ෂකයන් වූ නිසා අදටත් එම නිර්මාණයන් ඉතා හොඳින් මතකය. ඒවාහි අධ්‍යක්ෂවරුන්ගේ නාමයන් ද සිතේ සනිටුන් වී ඇත්තේය. එකල ටෙලි නිමැවුම් හි නාමාවලිය අවසානයේ අධ්‍යක්ෂවරයාගේ නම වැටෙද්දී බර්මින් ලයිලි ප්‍රනාන්දු යනුවෙන් සටහන් වු අවස්ථා ගණන බොහෝය. ඔහුගේ නම ජනප්‍රිය කළ නිර්මාණයක් ලෙසට ගංගා සහ නිශ්ශංක නාට්‍යය හඳුන්වා දීම වරදක් නැති බවට විශ්වාසය. බෝඩිමද එසේමය. එදා මෙදාතුර ටෙලි නිර්මාණ ඉතිහාසයේ වඩා හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යය කුමක්දැයි අසමින් සමීක්ෂණයක් සිදු කළහොත් ඒ සඳහා තෝරා ගන්නා පිරිසෙන් සියයට අනූවක් පමණ දෙනාගේ පිළිතුර නිසැකවම බෝඩිමය. එලෙස ටෙලි නාට්‍ය වංශ කතාව තුළ බර්මින් තැබූ අමරණීය නිර්මාණ නාමයන් කිහිපයකි. තමන්ගේ නවතම චිත්‍රපටයෙහි රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය, අත් පත්‍රිකා, නොයෙක් ලියුම් කියුම් රැගත් පැරැණි ෆයිල් කවරයක් ද රැගෙන ඔහු සරසවියට ආවේය. ඒවා පසෙකින් තැබූ බර්මින් වෙනදාටත් වඩා කතා කිරීමට සූදානම් වන බව මට දැනිණ.

එහෙනම් අපි කතා කරමු?

හොඳයි.

ඔබෙන් අහන්නට තියෙනවා ප්‍රශ්න කිහිපයක්ම?

අහන්න . . . ඕන දෙයක් අහන්න.

හදවතට එකඟව කතා කරන්නට ඔබ සූදානම්ද?

මම එදත් අදත් කවදත් කතා කළේ හදවතට එකඟව තමයි. ඒකනෙ මෙච්චර කැපිලි කෙටිලි. ඒවා තිබුණට ප්‍රශ්නයක් නැහැ.

ඔබේ නවතම චිත්‍රපටයේ නම?

සිකුරුයෝගය. ඒක තිරගත විම ආරම්භ වුණා පසුගිය 21 ඉඳලා.

මේක ඔබේ කීවෙනි චිත්‍රපටයද?

තිරගත වුණු තුන්වැනි එක. මුලින්ම කළේ වාලම්පූරි කියන චිත්‍රපටය. සිවුරඟ සේනා කළා. ඒකේ මගේ නම කැපුවනෙ. චිත්‍රපට කෙරුවාව එපා වුණේ ඊට පස්සේ.

මොකද වුණේ කියලා කිව්වොත්?

සිවුරඟ සේනා චිත්‍රපටයෙන් මගේ නම අයින් කළානේ. විජයලා (විජය කුමාරතුංග) එහෙම චිත්‍රපටයට ආවේ සල්ලි බලාගෙන නෙවෙයි. මං හින්දා. මට හුඟක් ආදරෙයි ඒ මිනිස්සු. මම නැහැ කියලා ඔවුන් බොහෝ දෙනකු චිත්‍රපටයෙනුත් අයින් වුණා. තුන් දෙනයි වැඩ කළේ. (බර්මින් කනට ළං වී ඒ තිදෙනාගේ නම කියයි. ඔවුන් ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන බැවින් පුද්ගල නාමයන් මෙතැන සටහන් නොකරමි). කමක් නැහැ මං චිත්‍රපටවලින් අයින් වුණා.

ඒකෙන් ඔබට හොඳක් වුණානේ?

ඔව්. මං ටෙලි නාට්‍ය කරන්න පටන් ගත්ත ඔය සිද්ධියෙන් පස්සේ. අසූ දෙකේ ඉඳන් තමයි නාට්‍ය කරන්නේ. දැනට පණස් පහක් කරලා තියෙනවා.

ඒ අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන ටෙලි නාට්‍යය?

දෙකක් තියෙනවා. කුල කුමරිය සහ ගුරු ගීතය.

ඔබ ගුරු වෘත්තීයේ යෙදුණ කෙනෙක්?

කොළඹ කේරි සහ ශාන්ත බෙනඩික් යන පාසල්වල තමයි ඉගැන් වූයේ.

බිහි කරපු ගෝලයෝ?

ගොඩක් ඉන්නවා. පාසලෙන් වගේම ක්ෂේත්‍රය තුළත් මගේ ගෝලයෝ ඉන්නවා. මම හොඳ ගුරුවරයෙක් නිසා තමයි ජීවන් කුමාරතුංග වගේ ගෝලයෙක් බිහි කරන්නට ලැබුණේ. නුවන් ජූඩ් ලියනගේ, චන්න විජේවර්ධන, ලසන්ත රුහුණගේ, කපිල ආරියරත්න, ගාමිණී කොස්තා, අර සන්ෆ්ලවර් ගායකයා නොයෙල් රාජ්, තිරකතා රචක සනත් සමරනායක, සුදත් රෝහණලා, සම්පත් ශ්‍රී රෝෂන්ලා, අශෝක ආරියරත්න, චන්දන සමරසේකර මේ සේරම මගේ ගෝලයෝ. නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ හිටපු අයත් ඉන්නවනෙ.

ඔබ අති විශාල ප්‍රමාණයක් නිර්මාණ කළත් මාධ්‍ය මඟින් ඔබව ඔසවා තබුවේ හරිම අඩුවෙන්?

ඒක ඇයි කියන්න හේතුව මං දන්නේ නැහැ. මේ වෙලාවේ ඔබට මං රහසක් හෙළි කරනවා. පුළුවන්නම් නම් ගම් වශයෙන්ම දාන්න.

ඔබේ අදහස් එලෙසින්ම පළ කරන්න පුළුවන්. නමුත් නම් ගම් දැමුවොත් . . . ඒක හරි නැහැ නේද?

හරි . . . ඔබ මගේ අදහස් පෙරලා කරලා ගන්න . . . සඳ මද්දහන කියලා නාට්‍යයක් මං කළා. ඒක කළේ ආගන්තුකයා චිත්‍රපටයට කලින්. මගේ කතාවමනේ ආගන්තුකයා ෆිල්ම් එකට ගත්තේ. මං කරනවා තීර්ථතරණය කියලා නාට්‍යයක්. ඊට පස්සෙනෙ තීර්ථ යාත්‍රා චිත්‍රපටය ආවේ. දෙකේම එකම ප්ලොට් එක. ආගන්තුකයට සම්මාන තියෙනවා මට නැහැ. තීර්ථ යාත්‍රාවලට තියෙනවා, මට කෝ සම්මාන. බෝඩිම කරපු සෝප් ඔපෙරාකාරයා කියලනේ මාව හැඳින්නුවේ. මහාචාර්ය . . . . . මට කෙළින්ම ලිව්වානෙ මස් වැද්දා කියලා. ඕන නම් බලන්න . . . මං දිනෙත් එක්කම පත්තරේ මොකක්ද කියලා කියන්නම්. ඒ මහාචාර්යතුමන්ම රුපියල් විසි පන්දාහක් දීලා මගෙන් බෝඩිම නාට්‍යය ගත්තා විකාශය කරන්න. මං වපුරන්නේ මුං. මුං අස්වැන්නට තල බලාපොරොත්තු වෙන්න බැහැනේ. මුං වපුරන මගෙන් තල බලාපොරොත්තු වෙන්න නරකයි.

මොකක්ද මේ සිකුරු යෝගය?

බෝඩිම නාට්‍යම නෙවෙයි. ඊට සමාන ඊට වෙනස් අත්දැකීමක්. මගෙන් බෝඩිම සංකල්පයත්, සෝමපාල ලීලානන්දගෙන් තවත් සංකල්පයකුත් අරගෙන හදපු සිනමාපටය තමයි මේ.

කොයි කාලේ වගේ ද චිත්‍රපටය රූපගත කළේ. විජය නන්දසිරි රඟපානවා කියලා දැක්කම තමයි ඒ ප්‍රශ්නය අහන්න හිතුණේ? අනර්කලී එහෙමත් ඉන්නවනෙ . . .

දෙදහස් දහතුනේ තමයි ෂූටිං කළේ. මේක කර කර ඉද්දි අනර්කලී රට ගියා. එතකොටත් විජය නන්දසිරිගේ ෂූටිං ඉවරයි. දයා අල්විස්ගෙත් ෂූටිං ඉවරයි. ආයෙ අනර්කලී ලංකාවට ආවට පස්සේ ඉතුරු ටික කළේ. හොඳ කෙල්ල . . . මගෙන් මේකේ රඟපානවට සතයක්වත් ගත්තේ නැහැ. රට ඉඳලා ඇවිල්ලා ෂූටිං ඉවරවෙලා මගේ සාක්කුවට සල්ලි ටිකකුත් දාලයි ආයේ ගියේ.

සිකුරුයෝගය චිත්‍රපටයේ නිෂ්පාදකත් ඔබමයි. මෙච්චර කල් හිටියේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවනෙ. නිෂ්පාදකගේ භූමිකාව ඊට හාත්පසින්ම වෙනස්?

හම්මේ . . . හරිම සංකීර්ණයි. සොඳුරු ආඥාදායකයකු විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වුණත් කී දෙනෙකුට බනින්න සිද්ධ වෙනවද. සමහරුන්ට හිමිහිට කම්මුලටත් ගහනවා, ගහලා රිදුණද කියලත් අහනවා. ඒ මගේ හැටි. ගුරුවරයකු විදිහට උගන්වද්දිත් එහෙමනේ. ළමයින්ට ගහලා රිදුණද කියලා අහනවා. නිෂ්පාදකවරයෙකු වුණාට අතේ මේ වෙලාවේ සතයත්වත් නැහැ. බැංකු එකවුන්ට් මට නැහැ. ඒකත් තිබුණා නම් මං ඩේට් දාලා චෙක් දෙනවනෙ. ඔය දේවල් නැති නිසා මං කාටත් ණයක් නැහැ.

චිත්‍රපටයට දින ලැබුණේ ඉතාම කයිමුඩියේ නේද?

මේ බලන්න සෙන්සර් සහතිකය (බර්ම්න් තමන්ගේ ෆයිල් කවරය දිග හැර චිත්‍රපටයේ රැගුම් පාලක මණ්ඩලයේ සහතිකය මට පෙන්වයි) බලන්න සෙන්සර් කරපු දිනය.

මේ මාසේ තුන් වැනිදා.

ඒකනේ. . . හොඳ දෙයත් කළොත් ප්‍රතිඵලය හොඳයි. චිත්‍රපටයේ වැඩ ඉවර කළාට පසු මට සල්ලි නැහැ. මොකද කරන්නේ . . . චිත්‍රපටය විකුණුවා ඩී. වී. ඩී. රයිටිස්වලට. දින සියයක් ඇතුළත ඩී. වී. ඩී. මාකට් එකට එනවා. ඊට කලින් මං චිත්‍රපටය පෙන් විය යුතුයි. ගැප් රිලීස් ක්‍රමයට මට දින ලැබුණා. දින විස්සක් . . . ඇතිනේ. පොඩි බජට් එකකින් තමයි කෙරුවේ. දෛවය කියන්නේ ඕක තමයි.

බර්මින් අයියගේ බොහෝ වැඩ වාසනාවට වුණු ඒවද?

අපොයි නැහැ. ටෙලි නාට්‍ය පහක් ඇඳ යට තියෙනවා. එකක් ලක්ෂ පනහට මිල කළොත් ලක්ෂ දෙසිය පණහක් ඇඳ යට තියාගෙන තමයි නිදා ගන්නේ. මොනවා කරන්නද . . . මගේ පරණ නාට්‍ය සියතට විකුණනවා. ඒවායින් ලැබෙන ආදායමෙන් තමයි සමහර දවස්වල ජීවත් වුණේ. කෙළින් කතා කිරීම, පගා නොගැසීම නිසා මං අනිත් අයගෙන් වෙනස්ව තමයි පේන්නේ. ඔය නාට්‍ය අංශවල ගොඩක් ඉන්නේ හොරු. මං බය නැතිව ඒක කියනවා. මගේ ෆේල්් වෙච්ච නාට්‍ය පවා පෙන්නලා තියෙනවා ඔවුන්. මොකක්ද හේතුව, කොමිස්වලට.

ඔබේ ඇතැම් නිර්මාණ දඩිබිඩියේ කරපු ඒවා කියලා පේනවා. ඇයි මේ නොසැලකිල්ල?

චෝදනාව පිළිගන්නවා. මගේ මේ ළඟදි කරපු වැඩ දඩිබිඩියේ කළා. මේ කතාව අහන්න . . . සුරඅසුර නාට්‍යයේ තිබුණා මඟුල් ගෙදරක දර්ශනයක්. ඒක කරන්න දවස් පහක් ගත වුණා මේ එක දර්ශනය. චාරිත්‍ර ගැන අධ්‍යයනය කළා. ඇඳුම්, මල්මාලා, තිර රෙදි, පුන්කලස් ආදිය හෙව්වා. අද මං මඟුල් ගෙදරක දර්ශනයක් කරනවා නම් පිටකොටුවට යනවා. නැෂනල් සූට් එකක් ගන්නවා, එච්චරයි.

හේතුව?

දැන් නාට්‍ය බලලා ප්‍රේක්ෂකයෝ මට රිදෙන්න දෙයක් කියන්නේ නැහැ. ඉස්සර එහෙම නැහැනේ. නාට්‍යවල අල්පෙනෙත්තක පවා ගැටලුවක් නම් ඒක පෙන්නලා දුන්නා. අද එහෙම නැහැනෙ. ප්‍රේක්ෂකයා බලන්නේ බලන්නන් වාලේ. මං මේ ළඟදි නාට්‍යයක් බැලුවා. ඒ නාට්‍යම මාස හතරකින් බලන්න ලැබුණා. හත්දෙයියනේ . . . එකම ලොකේෂන් එක, එකම දෙබස්මයි. මං ගරු කරන නාට්‍යකරුවන් හතර දෙනයි ඉන්නේ. පතිරාජ, හඳගම, ජයන්ත චන්ද්‍රසිරි සහ ජැක්සන්. ඔවුන්ගෙන් පහළ මං ඉන්නේ. මං පට්ට නාට්‍යකරුවෙක් නෙවෙයි. හැබැයි මතක හිටින දේවල් කළා. මිනිස්සු ඉස්සර හරිම ආදරයෙන් මගේ නාට්‍ය බැලුවේ. අද අඩු මුදලට නාට්‍ය කරනවා. එතකොට කීයකට හරි චැනල් එකකට දෙත හැකි. නිෂ්පාදක බේර ගන්නත් ඕනනෙ.

ඒකද බර්මින්ට තවමත් සම්මාන නැත්තේ?

ඔය ජී. බී. ලට, ජෝතිපාලලට වෙච්ච දේ බලන්න. ඔවුන් මැරෙනකම්ම ඔවුන්ගේ වටිනාකමට තැනක් ලැබුණද . . . නැහැ. මගේ නිර්මාණ ශක්තියත් එහෙම කියලා මං හිතනවා. මාව හරියටම හඳුනගත්තේ සුනිල් මිහිඳුකුල සහ නිලාර් එන්. කාසිම් කියන මාධ්‍යවේදියෝ. ඔවුන් මං ගැන මගේ නිර්මාණ ගැන ජනතාව අතරට ගෙන ගියා. ලංකාවේ දැනට තියෙන ටෙලි නාට්‍යකරුවන්ගේ සංසදයට අවුරුදු 15 වෙද්දි සඟරාවක් කළා. ඒකට මගේ නම නැහැ. මං විතරක් නෙවේ. ලංකාවේ වැඩියෙන්ම නාට්‍ය කරපු මාපිටිගමත් නැහැනෙ. මගේ තමයි වැඩිම ප්‍රමාණයක නාට්‍ය විකාශය වුණේ.

බර්මින් ලයිලි ප්‍රනාන්දු කියන්නේ නිළියන් අතරේත් ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. විවෘතව කතා කරමු ඒ ගැන?

මං මල් කැකුළු කඩන්නෙත් නැහැ. කුරුලු කූඩුවලට ගල් ගහන්නෙත් නැහැ. මට කොච්චර නම් නිළියො හමුවෙලා තියෙනවද අධ්‍යක්ෂවරු නිසා හිංසනයට පත් වුණු. මං ඒ අයට උපකාර කරලා තියෙනවා. හැබැයි කොයි වෙලාවකවත් ඔවුන්ගෙන් මං අයුතු ප්‍රයෝජන අරගෙන නැහැ. මගේ ළඟම මිතුරිය චංචලා වර්ණසූරිය අද උදෙත් මට කතා කළා. චතුරිකා පීරිස්, ජානකී විජේරත්න, මංජුලා තිළිණි, සඳනි සුලක්නා ආදී නිළියන් කොච්චර නම් මං හඳුන්වා දුන්නද . . .

එක්තරා නිර්මාණයක නිෂ්පාදකවරයෙක් කියලා තිබුණා ඔබට අධ්‍යක්ෂණය කරන ගමන් නින්ද යනවා කියලා? මොකක්ද ඒකේ ඇත්ත?

ඇත්ත. මට එදා නින්ද ගියා. ගුරුවරයකු විදිහට මං ඉගැන්වීම් කළේ හිටගෙන. කොයි වෙලාවකවත් වාඩි වෙලා ඉගැන්වූවේ නැහැ. දර්ශන තලයේදී මං මොනිටර් තියා ගන්නෙත් හරිම අඩුවෙන්. ඔය කියන දවසේ මං වාඩි වුණා. නොදැනීම නින්ද ගියා. හිතලා නෙවේ කළේ. මට හරියට හිත රිදුණා ඔහු කිව්ව දේට. ඔයයි මමයි වාඩිවෙලා මෙහෙම කතා කරනවා. ඔබ මොහොතකට හරි නැගිටලා ගියොත් මට මොකද වෙන්නේ. මං රිලැක්ස් වෙනවා. ඒ වගේ දෙයක් තමයි වුණේ. එදායින් පස්සේ මං විසික් කරලා දැම්මා පුටු . . . හිටගෙනම තමයි අධ්‍යක්ෂණය කළේ. ඒ පිටින් දාලා ඔහු ඒක චිත්‍රපටයකට කපලා. ඔහුගේ නමත් දාගෙන. මගේ නමත් කපලා. නළු නිළියො අට දෙනෙක් පිළිගන්නවා ඒක ටෙලි නාට්‍යයක් කියලා. තිර රචකත් පිළිගන්නවා ඒක ටෙලි නාට්‍යයක් කියලා. තව කවර කතාද. මගේ නම කපලා ඔහුට ඒක පෙන්න ගන්න බැහැ. එහෙම කළොත් මං නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා. මේක විහිළුවක් නෙවෙයි. හඳගමගේ එක්තරා නාට්‍යයක බීඩියක් උරන දර්ශනයක් තියෙනවා කියලා නාළිකාවෙන් ඒක අයින් කළා. හඳගම උසාවි ගියා. නිර්මාණකරුවකුගේ දෙයක් කාටවත් මුකුත් කරන්න බැහැ. අන්තිමේ හඳගම දිනුවා.

මොනවද ඔබේ ඉදිරි කටයුතු? සිකුරුයෝගයෙන් පසුව චිත්‍රපට කෙරුවාව ආයේ එපා වුණාද?

නැහැ නැහැ, මගේ බලාපොරොත්තුව චිත්‍රපට විස්සක් කිරීම. හැබැයි උදයකාන්ත වර්ණසූරියට වඩා මං චිත්‍රපට කරන්නේ නැහැ. ඔහුට වඩා එකක් හෝ අඩුවෙන් තමයි නිර්මාණ කරන්නේ. උදයකාන්ත තමයි මගේ සිනමා වීරයා. දැන් මට හැත්තෑ එකයි. ඒත් හිතන්නේ මට තිස් හතයි කියලා. අවුරුදු 81 දී මං මැරෙනවා. ඊට කළින් චිත්‍රපට විස්සක් කරනවා.

Comments

Anonymous (තහවුරු වී නොමැත)
He is my teacher at Carey College, Most popular person and well dressed person in school. May God bless you Sir!!
සඳු, 07/01/2019 - 15:49

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.