සිස්ටර් මේරි සහ මල්ලිකා බිසව ආශාවෙන් කළ චරිත

- ඉනෝමි සාරා අලුත්වල
ජුනි 27, 2019

 

අපට ගණිත ගුරුවරියක් හමු විය. ඇය උගන්වන්නේ මහරගම බුවනෙකබා විදුහලේය. එහි හය වසරේ සිට එකොළහ වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇගෙන් ගණිතය ඉගෙන ගනිති. මේ ගුරුවරියව ඔබට නුහුරු නැත. අරුණ ජයවර්ධනගේ සක්කාරං ටෙලි නිමැවුමේ ඇය සිස්ටර් මේරිය. ඉකුත් දිනවලදී ඔබට ඇය හමු වුණේ කුසුමාසන දේවි ටෙලි සිතුවම සමඟිනි. ඉනෝමි සාරා අලුත්වල ඇගේ නමය.

ඉනෝමි ගුරු වෘත්තිය ද නිළි වෘත්තිය ඔබ මුලින් තෝර ගත්තේ?

ගුරුවරියක් ලෙසට තමයි මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ. නිළියක් වුණේ පස්සේ. ගුරු වෘත්තියට ඇවිල්ලා අවුරුදු එකොළහක් විතර වෙනවා.

පළමුව ඉගැන්වීම් සිදු කළේ?

මීගමුව පළඟතුරේ සිංහල මිශ්‍ර කනිෂ්ඨ විදුහලේ.

ඉනෝමි නමැති නිළියට කොහොමද ඉස්කෝල ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ටීචර්ට විහිළු කරනවා. මේ දවස්වල මං ඉන්න කමර්ෂල් එකක ‘ගැටවු බැහැලා’ කියන දෙබසක් තියෙනවා. දැක්කම ගැටවු බැහැලා කියලා කෑගහලා දුවනවා.

උගන්වන වේලාවේදී ඔවැනි අකරතැබ්බවලට මුහුණ දෙන්නේ නැතිද?

උගන්වද්දි මං ටිකක් සැරයි. ගුරු වෘත්තියේ ගෞරවය නිතරම ආරක්ෂා කරනවා. දඬුවම් ලැබෙන බව දන්න නිසා මං උගන්වන වෙලාවට කවුරුවත් අනවශ්‍ය විහිළු කරන්නේ නැහැ.

අපි සිස්ටර් මේරි ගාවට එමු?

සිස්ටර් මේරිත් වෘත්තියෙන් ගුරුවරියක්. ඇය උගන්වන්නේ මියුසික් සහ ඉංග්‍රීසි. හරිම ආසාවෙන් කරපු චරිතයක්. අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන අයියා බොහොම නිදහසේ අපිට රඟපාන්න දෙනවා. කවුරු හරි ඇහැව්වොත් මගෙන් මෙච්චර කල් ආසාවෙන්ම කරපු චරිත මොනවද කියලා මං උත්තරේ හැටියට කියන්නේ සිස්ටර් මේරි සහ කුසුමාසන දේවිය එකේ මා කරපු මල්ලිකා බිසවගේ චරිතය කියලා.

ගුරු වෘත්තියත් එක්ක කොළඹින් දුර බැහැර තිබෙන රූපගත කිරීම්වලට ඔබ යනවද?

යනවා. සක්කාරං එකෙත් ෂූටිං තිබුණේ කොළඹ අවට නෙවෙයි. නුවර. දෝන කතරිනා එකෙත් එහෙමයි. එක දවසටත් නුවර ආව ගිය අවස්ථා තිබුණා. එහෙම රූපගත කිරීම්වලට සහභාගී වුණාට කිසිසේත්ම ගුරු වෘත්තියේ වැඩ අතපසු කරලා නැහැ. සිලබස් කවර් කරනවා. කොච්චර පාන්දර ගෙදර ආවත් උදෙන්ම ඉස්කෝලෙට යනවා. මගේ පෞද්ගලික නිවාඩු ඇතුළත තමයි මෙතෙක් සියලු රංගන කටයුතු කළේ.

ඇයි ඔබ නිළියක් වුණේ?

ඒක මගේ පොඩි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. නිළියක් වුණාම රසික ආකර්ෂණය ලැබෙනවා. ඒ ආදරය විඳීමේ මොකක්දෝ කැමැත්තක් මට තිබුණා. මං රඟපාන චරිත ගැන කතා කරද්දි ලොකු

තෘප්තියක් අද මට ලැබෙනවා.

මං මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වොත්. දැන් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ ගුරු වෘත්තියට ද නිළි වෘත්තියටද?

ඒකට මං දෙන උත්තරේ තමයි ගුරු වෘත්තිය. ගුරුවරියක් ලෙසට ලැබෙන ගෞරවය වෙනමම එකක්. දර්ශන තලවලදී ආ . . . අරයා ටීචර් කෙනෙක්නෙ කියනවා මට ඇහිලා තියෙනවා. ඒක නිසා සමහරු අනවශ්‍ය විහිළු කරන්නෙත් නැහැ. මං ඉදිරියේ වෙන අයත් එක්ක කතා කරද්දිත් සැලකිලිමත්ව කතා කරන්නේ.

ඔබ චරිත බාර ගනිද්දී ගුරු වෘත්තීය ගැන හිතනවද?

එතනදි මෙහෙමයි නිළියක් හැටියට මට විවිධ චරිත ලැබෙනවා. එතකොට ඒවට බැහැ කියන්න බැහැ. සමහර විට හෙට මට කතා කළොත් කළු චරිතයකට ඒක හොඳ නම් මං බාර ගන්නවා. නමුත් ඒ චරිත සඳහා ලැබෙන ඇඳුම් පැළඳුම් ගැන නම් හරියට සැලකිලිමත් වෙනවා.

චිත්‍රපටවලින් ඔබව දක්නට ලැබුණේම නැති තරම්?

සෝමරත්න දිසානායක සර්ගේ සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව මට වෙනත් අවස්ථා ලැබුණේ නැහැ. ඇත්තටම සිනමාවට හරිම ආසයි. උදයකාන්ත වර්ණසූරිය වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.

මේ දිනවලදී පාසල් ප්‍රේම කතා රැගත් ටෙලි නාට්‍ය විකාශය වෙනවා දක්නට ලැබෙනවා. ගුරුවරියක් හැටියට මේ ප්‍රවණතාවය ඔබ කොහොමද දකින්නේ?

පාසල් නිල ඇඳුමෙන් පේ‍්‍රම දර්ශන තියෙන එක නම් මං අනුමත කරන්නේ නැහැ. අපි හැමෝටම පාසල් ප්‍රේම කතා ඇති. එහෙම වුණයි කියලා ඒවා ප්‍රසිද්ධියේ පෙන්වන්න ඕන නැහැනෙ. අවශ්‍යම නම් සංයමයක් ඇතුව ඒවා නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න පුළුවන්.

මේතාක් කල් පැමිණි ගමනේදී ඔබට තුති පුදන්න ඕන කාටද?

මාව රංගනයට තල්ලු කළ සංජිවනී වීරසිංහ අක්කට. ඒ වගේම අපේ ඉස්කෝලේ විදුහල්පතිනිය දිස්නා වැලිකල ඇතුළු පාසලේ ගුරුවරු සියලුම දෙනාවත් මේ වෙලාවේ මතක් කරනවා.

 තිලක් පෙරේරා

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.