ජැක්සන් සර් යටතේ රඟපෑම පෙර පිනක්

ජූලි 4, 2019

මගෙ ගම රත්නපුර. රත්නපුරේ අපේ ගමේ තමයි රුවන් අයියා. රුවන් පෙරේරා. ඔහු නළුළුකු විදිහට බොහොම ජනප්‍රියයිනෙ. රුවන් අයියගෙ මඟ පෙන්වීම ඔස්සේ තමයි මං රංගනයට ආවේ. දස්කොන් තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. එක දවසක සීන් එකකට පෙනී සිටීමයි මුලින්ම කළේ. ඊට පස්සේ ජැක්සන් මහත්තයගෙම සීරජ නාට්‍යයට එක් වෙන්නට වාසනාව ලැබුණා. දවස් දහ හතක් මට ෂූටිං තිබුණා.

ශිහාන් මධුෂ ඔහුගේ කතාව කියන්නට පටන් ගත්තා. ඔහු රංගනයෙන් දායක වූ හුස්මක් තරමට නාට්‍ය මේ දිනවලදී විකාශය වෙනවා. එතනට එන්නට පෙර ශිහාන් තමන්ගේ ආරම්භක කාලය ගැන තවත් බොහෝ දේ කිව්වා.

සී රජ නාට්‍යයේ අත්දැකීම් හරිම විස්මයජනක වුණා මට. ටී වී එකේ අපි දැකපු ජනප්‍රිය ප්‍රවීණ නළු නිළියො එතැන හිටියා. මං ඔවුන් එක්ක රඟපෑවා. ගෙදර ඇවිත් හරි සතුටින් හිිටියේ. පවුලේ අයත් එක්ක සීරජ අත්දැකීම් දවස් කිහිපයක් යනකම් විස්තර කළා. ජැක්සන් සර් වගේ කෙනෙක් යටතේ රඟපාන්න ලැබීමම පෙර භවයක වාසනාවක් කියලා මට හිතුණේ. ඔය අතරතුරදි මට තරංග දිසානායක සහ රවින්ද්‍ර විජේරත්න කියන බොහොම අපූරු පුද්ගලයින් දෙදෙනාම හමු වෙනවා. ඔවුන් නිර්මාණය කළ නාට්‍යවලට දිගින් දිගටම කතා කළා. කුටු කුටු මාමා, සූරිය නෑයෝ, රැජිනියෝ, සූරියවච්චසා වගේ නාට්‍ය ඒ අතරේ තියෙනවා. සඳපිනි වැස්ස, වෙස් වගේ නාට්‍යවලත් චරිත රංගනයේ යෙදුණා. සූරිය නෑයෝ නාට්‍යයේ කළු මල්ලිගේ චරිතයෙනුත්, රැජිනියෝ නාට්‍යයේ ජගත්ගේ චරිතයෙනුත් මාව ප්‍රේක්ෂකයන් වඩාත් හඳුනා ගත්තා.

ශිහාන් ඊළඟට ආවේ හුස්මක තරමට නාට්‍ය ගාවට.

හුස්මක් තරමට නාට්‍ය තමයි මගේ රංගන ජීවිතයට ආලෝකයක් ගෙනාවේ. මං ඒකේ චමෝද්. චමෝද් කියන්නේ නාට්‍යයේ විලන්. නාට්‍යය බලන අය නම් දන්නවා නාට්‍යයේ පාසල් සිසුන් පිරිසක් ඉන්නවනේ. චමෝද් තමයි නාට්‍යයේ එපාම කරපු චරිතය. කළොත් කරන්නේ බැනුම් අහන වැඩ. මගේ පාසල් ජීවිතයේ නම් මං ඔහොම චරිතයක් නෙවෙයි. මගේ ගතිගුණ එකක්වත් චමෝද් තුළ නැහැ. මවිසින් ඒවා ගොඩ නඟා ගත්තා. චමෝද්ගේ චරිතය හොඳින් කරන නිසා කියලා හිතනවා මෙහෙම වෙන්නේ. නාට්‍ය බලන අය නම් මට නොසෑහෙන්න හිිතින් බනිනවා. හැබැයි ඔවුන් මාව ඇත්තටම හඳුන ගත්තට පස්සේ කියන්නේ මං එහෙම කියලා හිතන්නත් අමාරුයි කියලා.

චමෝද්ගේ චරිතය නිසා ශිහාන් ජනතාව අතරේ ජනප්‍රිය චරිතයක් වුණා. එතෙක් ඒ ආ ගමන ශිහාන්ට ලෙහෙසි එකක් වුණේ නැහැ.

ටීවී එක තුළ මේ දැන් දකින තැනට වෙනකම් පුදුමාකාර කට්ටක් කෑවෙ. එක සීන් එකක් වෙනුවෙන් මං රත්නපුරේ ඉඳලා කොළඹ ඇවිත් තියෙනවා. ඒක ඉවර වෙලා ආයෙ රත්නපුර යනවා. එහෙම ආවත් එක සීන් එකකට පෙනී හිටියත් මං ඉතුරු වේලාවන් අපතේ යැව්වේ නැහැ. ප්‍රවීණ අය හැමෝත් එක්කම මිතුරු වුණා. මගේ අඩුපාඩු අහගත්තා. දෙවැනි සැරේ වැරදි කරන්නේ නැතුව ඉන්න තැනට මං හැදුණා. පුළුවන් තරම් ක්ෂේත්‍රය ගැන දැනුම එකතු කළා. ඒවා මට වටිනවා. මේ මොහොතේදිත් කරන්නේ දෙයක් ඉගෙන ගන්න එක.

හුස්මක් තරමට නාට්‍යය බොහෝ දෙනෙක් විවේචන එල්ල කළා. විශේෂයෙන් පාසල් නිල ඇඳුම භාවිත කරන ඇතැම් දර්ශන තමයි ඒ අයගේ මාතෘකා වුණේ. ශිහාන් ඊට දැක් වූයේ මෙවන් අදහසක්.

මේක පාසල් කාලෙනෙ. හැමෝගෙම පාසල් කාලය හරිම සුන්දරයි. පුංචි පුංචි ප්‍රේම කතා නැතුවම නෙවෙයිනෙ. ඒ සඳහා පාසල් නිල ඇඳුමෙන් ඉන්න දර්ශන තියෙන එකනෙ ඔය ප්‍රශ්නෙ. නාට්‍යයේ අසංවර දේවල් නැහැ. පාසල් නිල ඇඳුම භාවිත කරමින් ඔයිට වඩා කොච්චර දේවල් නම් වෙනවද. මේ වෙලාවේ හුස්මක් තරමට නාට්‍ය පීක් එකේ තියෙනවා. සමහරුන්ට ඒ තත්ත්වය දරාගන්න බැරුව අපේම අය ඔය වගේ කතා හදන්නත් ඉඩ තියෙනවනෙ. මොනවා කිව්වත් ආයෙත් පාසල් චරිතයකට කතා කළොත් මං යනවා.

ශිහාන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය ගැන කිව්වේ මෙවන් වූ කතාවක්.

ගැහැනු ළමයින් කොහොමත් තරුණ නළුවන්ට ආසයිනේ. ඔවුන්ගෙන් මටත් ප්‍රතිචාර ලැබෙනවා. ඒත් අපි දැනගන්න ඕන සිමාව මොකක්ද කියලා. එතැනින් එහාට යෑම නුවණට හුරු නැහැ.

අවසන් කොට ශිහාන්ට මොනව කියන්න තියෙන්නේ?

මං බොහොම ආසයි සිනමාවට. නමුත් තවමත් ඇරැයුමක් ලැබුණේ නැහැ. මං කැමැතියි මේ වෙලාවේ පවුලේ විස්තරත් කියන්න. මගේ පුංචි පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි. මං ඉගෙන ගත්තේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙන්. එදා මං පුංචි තිරයෙන් දැකපු බොහෝ දෙනෙක් අද මගේ සමීපතමයෝ. ආ මචං ශිහානයා ගාලා කතා කරද්දි මං ඉන්න තැන ගැන සතුටු හිතෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.