ජනප්‍රිය නිළියකට වඩා හොඳම නිළියක් වෙන්නයි කැමැති

මධුශානි සකුන්තලා
ජූලි 4, 2019

මධුශානි සකුන්තලාගේ පළමු පුවත්පත් ලිපිය පළ වුයේ සරසවිය පුවත්පතහිය. ඒ වන විට එතරම් ජනප්‍රිය චරිතයක් නොවූ ඇය ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වීමට එය ඉවහල් විය. කාලයාගේ ඇවෑමෙන් ක්ෂේත්‍රය තුළ හිමින් ගමනක යෙදුණු සකුන්තලා අද බොහෝ දෙනකු හඳුනන චරිතයකි. නෝ පාර්කින් ටෙලි නාට්‍යයේ ඇය මායාය. කන්තෝරු මෝරු හි වැහිපීලිකාය. දංකුඩ බණ්ඩා (නැවත විකාශය) නාට්‍යයේ අංජලීය. ටෙලි නාට්‍ය නිසාම සකුන්තලාට පස් වතාවක් ගැබිනියක් වන්නට ද සිදු වූවාය. එම කතාව මෙහි අතරමගකදී ඇය විසින් පැවසීමට නියමිතය.

 සකුන්තලා ක්ෂේත්‍රයට පිවිසිලා වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ඔබ පැමිණි ගමන ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි අයියේ. ඔයාලගෙ පත්තරයත් මගේ ගමනට ලොකු ශක්තියක් වුණා. අද මට දැනෙන්න ජනප්‍රියත්වයක් තියෙනවා. වැහිපීලිකා කියලයි කතා කරන්නේ. සුපර් මාර්කට්වලට ගියාම ඒ නමින් කතා කරන කොට ටිකක් අපහසුතාවයටත් ලක් වෙනවා. නමුත් සතුටුයි. මට ලැබුණු චරිත හොඳින් කරන නිසානේ ඒ අන්දමේ කමෙන්ට් ලැබෙන්නේ.

 ඔබ ඔය ජනප්‍රියත්වයට ප්‍රියයිද?

මට අවශ්‍ය ජනප්‍රිය නිළියක් වෙන්න නෙවෙයි. රඟපාද්දි කොහොමත් ජනප්‍රියත්වය ලැබෙනවනෙ. මට ඕන හොඳ නිළියක් වෙන්න.

 ජනප්‍රිය නිළි සම්මානයට ආස නැහැ?

ජනප්‍රිය නිළියට වඩා හොඳම නිළිය ලෙසටයි කිරුළු පැලඳීමට කැමැති.

 

හොඳම නිළිය වෙන්නට මොන වගේ දේවල් ද ඔබ කරන්නේ?

නිතරම හැදෑරීම් කරනවා. විශේෂයෙන්ම ප්‍රවීණයන් රඟපාද්දි ඔවුනගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන විදිහ බලාගෙන ඉගෙන ගන්නවා. චිත්‍රපට නරඹනවා. ඒවා ඔස්සේ්ත් හැදෑරීම් සිදු කරනවා.

 ඔබ රඟපෑ හිතුවක්කාරයා නාට්‍ය ඔබට විශේෂයි නේද?

ඔව්. මං ඒකේ නිමාෂා. නිමාෂා නිසයි මට අප්පච්චි කියන වචනය කියන්න ලැබුණේ. මගේ තාත්තා නැහැ. පුංචි කාලේ ඉඳලා අම්මගෙ සෙනෙහස විතරයි මට තිබුණේ. ඒ නිසා අඩුම තරමෙ මං දැනගෙන හිටියේ නැහැ පියා සහ දියණිය අතර මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ කියලාවත්. හිතුවක්කාරයා ලොකේෂන් එකේදී මම ජීවිතේ අත්නොවිඳපු දේවල් විඳින්න ලැබුණා. අප්පච්චි කියලා කතා කළා. මගේ පියාට හිටියේ ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානආරච්චි මහත්මයා. ඔහු මගේ සිටුවේෂන් එක දැනගෙන හිටියා.

 

 ඔබ පස් වතාවක් ගැබිණි කාන්තාවකගේ චරිත රඟපාන්න ලැබුණා කිව්වා?

ඒක හරි විරල අවස්ථාවක්. මං වගේ පුංචි වයසේ කෙනෙකුට . . . වයස විසි එකයිනෙ මට. ඉතින් එහෙම පස් වතාවක් බබාලා හම්බු වෙන්න ඉන්න අම්මගෙ චරිත මට කරන්න ලැබුණා. වර්ණා කියලා නාට්‍යකත්, දංකුඩ බණ්ඩා ඇතුළු නාට්‍ය පහක එහෙම චරිත කළා. හොඳ අත්දැකීමක් තමයි ඒකත්.

 කවුද ඔබේ අඩුපාඩු නිතරම පෙන්වලා දෙන්නේ?

අම්මා තමයි. අඩුපාඩු වගේම හොඳත් කියනවා. මාව දිරිමත් කරන්නෙත් අම්මා තමයි.

 කලාකරුවන් සහභාගී වන රියැලිටි තරඟවලට ඔබට ආරාධනා ලැබිලා නැතිද?

නැහැ. පහුගිය කාලේ තිබුණු ඒවට ආරාධනා කළේ නම් නැහැ.

එවැනි තරග පිළිබඳ ඔබ මොන වගේ මතයකද ඉන්නේ?

ඒවා තියෙන එක ඇත්තටම හොඳයි. එතකොට අපිට තියෙන ටැලන්ටිස් බොහොමයක් වේදිකාවට ගෙන එන්න පුළුවන්නෙ.

 ඔබට තියෙන වෙනත් කලා හැකියාවන් මොනවද?

නර්තනය. හැබැයි ඉන් වැඩිය ප්‍රයෝජනයක් ගෙන නැහැ.

 ඔබ කලක් මෝස්තර නිරූපණයේ යෙදුණා නේද?

තවමත් මෝස්තර නිරූපිකාවක් විදිහට වැඩ කරනවා. ඒකත් මගේ වෘත්තියෙම කොටසක්. පසුකාලීනව තමයි රඟපාන්න ආවේ.

 ක්ෂේත්‍රය තුළදී අසාධාරණයට ලක් වුවහොත් මොකද කරන්නේ?

බොහෝ වෙලාවට එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඉවසීමෙන්, බොහොමත්ම ඉවසීමෙන් කටයුතු කරනවා. දිගින් දිගටම ඒ අසාධාරණය වෙනවා නම් ප්‍රවීණයින්ගෙන් උපදෙස් ගන්නවා.

 ලැබෙන චරිතවලට සාධාරණ ගෙවීමක් ඔබට ලැබෙනවාද?

මං මුදල් පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි. ලැබෙන චරිතවලට වටිනාකමක් හිමිවනවා. මට ඒ ඇති.

 සකුන්තලාට අභියෝගයක් වෙන ඔබගේ පරපුරේ නිළියො කවුද ඉන්නෙ?

එහෙම එක් කෙනෙක්වත් නැහැ.

 ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

මං කවුද කියලා තවමත් මං හොයන කෙනෙක්.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.