වනේ වන සතෙක් වුණත් දේශපාලකයකු වෙන්න එපා

- මන්ත්‍රී ධීරසේකර
ජූලි 4, 2019

 දිමුතු චින්තක

සිනමා නිර්මාණයක තිරයේ දිග හැරෙන නාමාවලියේ සඳහන් නාමය ටෙලි නිර්මාණයක පුංචි තිරයේ දිග හැරෙන නාමාවලියේ සඳහන් නාමය කිසි විටෙකත් මොහු ගැන හඳුනා ගන්නට ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නැත. කුමන ආකාරයක චරිතයක් ඔහු තිරයේ නිර්මාණය කළ ද ප්‍රේක්ෂකයන් ඔහුව අදත් හඳුනා ගන්නේ මීට වසර දොළහකට පෙරාතුව ඔහු තිරයේ වික්‍රමයන් පෑ හද බැඳ ගත් චරිත ඔස්සේය. ඒ ඉසුරුබවන ටෙලි නාට්‍යයේ රාජ මහත්තයා ලෙසය. නැතහොත් මල් දෙවට ටෙලි නාට්‍යයේ ඩොල්කි බර්ටි ලෙසය. නැතහොත් අමා ටෙලි නාට්‍යයේ සරනේරිස් මාමා ලෙසය. ඒ තරමට ඔහු ඒ චරිතයන් සමඟ ජීවත් වූ ආකාරය අදත් ඔහුව හඳුනා ගැනීමට පේ‍්‍රක්ෂකයන් එක්තරා ආකාරයක සලකුණක් කොට ගෙන ඇත.

දේහයෙන්, රූපයෙන් ඔහුව දකින ඕනැම කෙනෙක් ඔහුගේ සැබෑ නමට වඩා රංගනයෙන් සිත් ගත් නාමයෙන් ඔහුව ආමන්ත්‍රණය කරන්නට පෙළඹී සිටීම නිසාම තම සැබෑ නම ද අද ප්‍රේක්කෂකයන්ට අමතක වී ගොස් ඇති සේය.

දිමුතු චින්තක නම් වූ මේ ප්‍රවීණ කලාකරුවා මේ දවස්වල හිරු නාළිකාව ඔස්සේ විකාශය වන හතේ කල්ලිය ටෙලි නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ධීරසේකර මන්ත්‍රීතුමා ලෙසිනි. කොලොම්තොටින් බැහැරව වැව් බැඳි රාජ්‍යයේ නිස්කලංක පරිසරය වාසභුමිය කරගත් දිමුතු චින්තක මේ දවස්වල කොලොම් පුරයේ සැරිසරන අතරේ අපට හමු වුණේ අහම්බෙන්.

 

ආ මන්ත්‍රීතුමා කාලෙකට පස්සේ?

මේ දවස්වල කවුරු මාව හම්බ වුණත් ආ . . . මන්ත්‍රීතුමා කියලා තමයි කතා කරන්නේ.

මේ දවස්වල මන්ත්‍රීතුමා චරිතයත් තකට තක වගේ දිමුතුට හොඳට ගැළපිලා?

මන්ත්‍රීවරු ඇමැතිවරු ගැනනේ මේ දවස්වල රටේම මාතෘකාව වෙලා තියෙන්නේ. ඉතිං ඔය අතරේ මටත් ඒ කෙනෙක්ගේ චරිතයක් කරනකොට කතාබහක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. මගේ චරිතයේ කට්ට කයිරාටික ගේම් මේ දවස්වල සැබෑවටම මිනිසුන්ට අප්‍රිය වෙලා ඉන්න දේශපාලඥයන් එක්ක සසඳන කොට මාව සමහරුන්ට වහ කදුරු වගේත් ඇති.

දිමුතුගේ ඇඟපත වුණත් හොඳට චරිතයට පෑහෙනවා?

ඒක මම නෑ කියන්නේ නැහැ. සමහරු නම් දැනටමත් මගෙන් අහනවා ඉස්සරහට ඇත්තටම දේශපාලනයට එන්න මේ පෙර පුහුණුවක් ද කියලා.

ඉතිං දිමුතු මේ දවස්වල මොනවද හතේ කල්ලිය හැරුණු කොට අලුත් තොරතුරු?

මේ දවස්වල උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටයේ මන්ත්‍රී ආරක්ෂකයකු වගේම මාධ්‍ය ලේකම්වරයකුගේ චරිතයක් රඟපානවා. ගොවි තාත්තා චිත්‍රපටයෙත් මම මන්ත්‍රීවරයකු ලෙසින් රඟපෑවා. ඊට අමතරව නාලක තලගලගේ කෙම්මුර කළුවර ටෙලි නාට්‍යයේ රඟපානවා. මේ නිර්මාණවල ෂූටින් කටයුතුවලට තමයි මේ දවස්වල කොළඹ පැත්තට සේන්දු වුණේ.

රංගනයේ නියැළි ඔබේ නිර්මාණ තව දිග හැරෙන්නත් ඇති නේද?

සුදත්ත තිලකසිරිගේ මායාවේ, නිශාන්ත ප්‍රදිප්ගේ වර්ණා, ප්‍රියන්ත සමරකෝන්ගේ අනුලා දේවි, කුමාර තිරිමාදුර - සරත් කොතලාවලගේ ද නිවුස් පේපර් ආදී නිර්මාණ බොහොමයක් තිරයේ දිගහැරෙන්න තියෙනවා.

කාලෙකින් ඔබට සුවිශේෂී රංගනයක නියලෙන්නත් ලැබුණා කියලා ආරංචියි?

අනුලා දේවි ටෙලි නාට්‍යයේ මට රඟපාන්න තිබුණේ කතාබහක් නොමැතිව හරියට කිව්වොත් අභිනය රංගනයක්. කාලෙකින් මට එහෙම විශේෂ චරිතයක් ලැබුණේ.

මේ දවස්වල සමහරු ඔබට වෛර කරනවා නේද?

ඒක නම් ඇත්ත. ඒකට හේතුව ධීරසේකර මන්ත්‍රීතුමා. සමහරු අහනවා කපටි සූට් එක දිගටම පොරව ගන්නද හදන්නේ කියලත්. සමහරුන්ට මේ රඟපෑමත් ඇත්තක් වෙලා. මම නම් ප්‍රාර්ථනය කරන්නේ වනයේ සතෙක් වෙලා ඉපදුණත් දේශපාලඥයෙක් නම් වෙන්න එපා කියලා. අපේ රටේ මේ මිනිස්සුන්ගේ කෙරුවාවල් ඇහෙන කොට දකින කොටත් ඇති වෙන්නේ මහා පිළිකුළක්, අප්‍රියාවක්.

මේ දවස්වල වේදිකාවෙන් බැහැර වෙලාද?

රට තුළ ඇති වෙච්ච ව්‍යසනය නිසා හැම දෙයක්ම අඩාල වුණා. කලාකරුවන්ගේ බඩට වැදුණා. කැලණි පාලම නාට්‍යය මේ ප්‍රහාරයත් සමඟ අපි වේදිකා ගත කිරීම මඳකට නතර කරලා තිබිලා කඩා වැටිල තිබුණු වේදිකාවට යළි ජීවය එක්කරන්න මාස දෙකකට විතර පස්සේ අපි ආයෙත් පසුගියදා කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ කැලණි පාලම වේදිකා ගත කළා.

උතුරු මැද පළාතට රංග ශාලාවක් ගෙන එන්නට ඔබ විශාල හඬක් නැඟුව පුද්ගලයෙක්. ඒ සිහිනයට මොකද වුණේ?

කරුණාරත්න දිවුල්්ගනේ ආණ්ඩුකාරවරයා ලෙසත් මහින්ද සෙනෙවිරත්න දිසාපතිවරයා ලෙසත් ඉන්නකොට තමයි අක්කර තුනක භූමියක් මේ වෙනුවෙන් වෙන් කරනු ලැබුවේ. අදටත් මේ වෙන් කළ ඉඩම තිබුණත් හිටිය පාලන අධිකාරියත් වත්මන් පාලන අධිකාරියත් මේ රංග ශාලාවේ වැඩ කටයුතු පටන් ගන්න අද වෙනතුරුත් උනන්දුවක් නැහැ. වෙන් කළාය කිව්ව මුදලුත් බහිරවයෝ ගිල්ල. පාසල් විෂයයක් ලෙස නාට්‍ය කලාව කරන දරුවෝ දාහකට වැඩි පිරිසක් ඉන්නවා. ඒ අයට ප්‍රායෝගික අත්දැකීම් ලබන්න තැනක් නැහැ.

පදවිය, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව වගේ ප්‍රදේශවල ඉන්න දරුවෝ කවද හරි විශ්ව විද්‍යාලයකට ගියොත් විතරයි රංග කලාවේ සැබෑ අත්දැකීම් ලබන්න පුළුවන්. පාලකයෝ හිතන්න ඕනෑ රංග ශාලාවක් හැදුවොත් උසාවි ගණනක් වැහෙන, හිර ගෙවල් වැහෙන හොඳ වැඩක් කියන දේ. ඒකට පක්ෂ පාට අවශ්‍ය නැහැ. ප්‍රදේශයේ හිටපු දේශපාලකයෝත් ඉන්න දේශපාලකයෝත් මේ වෙනුවෙන් ගොළුවත රකිනවා නම් අපි මොනවට ද කෑ ගහන්නේ රංග ශාලාවක් අපිට දියෝ කියලා. අපියි දන්නේ එහෙම දෙයක් ඇති කළොත් ඇතිවන සෙතේ මොකක්ද කියලා.

උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව කරන හොඳ වැඩක් ගැන ඔබ ප්‍රශංසාත්මකව කතා කරනවා?

අනුරාධපුරයේ එළිමහන් රංග පීඨයේ මාසයකට සැරයක් ජාතික මට්ටමේ නාට්‍යයක් ගෙනවිත් ප්‍රදේශය පුරා දැනුවත් කිරීමක් සිදු කොට නොමිලයේ ජනතාවට නාට්‍යයක් රස විඳින්න අවස්ථාව ලබා දෙනවා. මේක නම් කරලා තියෙන්නේ සුරපුර රංගපීඨය නමින්. මේ සඳහා සියලු බරපැන දරන්නේ උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව. රාජකපුරු, අන්දරේ වගේ නාට්‍ය මීට පෙර පෙන්වනු ලැබුවා. ඇත්තෙන්ම මේ වැඩේ බොහොම හොඳ කටයුත්තක්. මම දකින්නේ වේදිකාවෙන් ඈත්වුණු ප්‍රේක්ෂකයෝ නාට්‍ය රසය සොයා නැවත වේදිකාවට අද්දවා ගන්නට මේ වෑයම ඉස්තරම් කියලයි.

ඔබ වෘත්තියෙන් පාසල් ගුරුවරයෙක්. ඒ ගුරු ගෝල සබඳතාව ඔබ කොයි ආකාරයෙන්ද පවත්වාගෙන යන්නේ?

මේ වෙනකෙට මම පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නියැලී සිටිනවා. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන ඇතුළත් නාට්‍යය පාසල් වැඩ සටහනක් මම කරගෙන යනවා. ජූලි මස 8 – 9 දෙදින තුළ රඹෑව අධ්‍යාපන කොට්ඨාසයේත්, දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයේත් තෝරා ගත් පාසල්වල මේ දෙදින තුළ මේ වැඩසටහන ඉදිරිපත් කරනවා.

ඊට අමතරව මම ස්වේච්ඡාවෙන්ම වැඩසටහනක් කරගෙන යනවා පාසල්වල ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ ආශිර්වාදය මධ්‍යයේ. ජීවිත අභියෝග ජය ගැනීමේ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක්. මේ සඳහා මට විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබිල තියෙනවා. මම මේ සත්කාර්යය කරන්නේ හදවතින්ම කලාකාරයෙක් ලෙස මගෙන් ඉටු විය යුතු යුතුකමක් ලෙස සලකලයි. අපි කළ යුත්තේ අපේ අනාගතය බාරගන්න මේ යෞවනයේ ඔළු හදන එක. අද වෙන කොට මගේ කලා ජීවිතයට අවුරුදු තිහක්. ජීවන ගමනෙත් මම පණහ දශකය පහු කරලා. මම හදවතින් සතුටු වෙනවා මගේ කලා ජීවිතයේත් ගුරු ජීවිතයේත් මම කිසි ලෙසකින් ණය නැහැ කියලා.

ජනප්‍රිය තලය දුකසේ උරුම කරගත් කලාකරුවකු ලෙසත් ඔබ අද වසර තිහක් පුරා පැමිණි ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

මුදල කියන දේ හඹා යාම මම කවදත් නොකළ දෙයක්. කොළඹ ඉපදිලා රජරටට ගිහින් එහි වාසභූමිය කරගෙන ගෙවන මේ ජීවිතය මට බොහොම රසවත්. අනුරාධපුරයේ තියෙන සුළඟත් මට සැපයි. 1987 ඉඳල මට රඟපෑම වෙනුවෙන් බස්වල කෝච්චිවල ගිය මුදල අද වෙන කොට එකතු කලා නම් රුපියල් ලක්ෂ විස්සක් විතර ඇති. කලාව වෙනුවෙන් ඇවිදපු කිලෝ මීටර් ගණන ලක්ෂ විසි පහකට වැඩිය ඇති. ඔය හැම දුකක්ම වින්දේ අනුරාධපුරයේ පදිංචි වුණ නිසානේ. කොළඹ හිටිය නම් ඔය මුදල මට ඉතිරියිනේ. ඒත් හිත දෙන්නේම අනුරාධපුරයට.

කලාකරුවකු ලෙස කොළඹින් දුරස්වීම ඔබලාට අඩු ලන්සු තියන්න එක සාධකයක් කරගෙන නේද?

අපි වේදිකා නිර්මාණයක් කළොත් ඒක ප්‍රාදේශීය. අපි කොළඹින් පිට පදිංචි නිසා ප්‍රාදේශීය කලාකරුවෝ. අපිට රඟපෑමට මුදලක් වෙන් වෙන කොට ඒක අඩු මට්ටමක්. මොකද මේ ප්‍රාදේශීය කියන වචනය දාගෙන අපිට අඩු සැලකිලි. අන්න මම කොළඹ හිටිය නම් ජාතික තලයේ නළුවෙක්. මම නාට්‍යයක් කළා නම් ඒක ජාතික තලයේ නාට්‍යයක්. මොකක්ද මේ හදාගත්ත එලොවටත් නැති මෙලොවටත් නැති තර්ක විතර්ක. මම මේ හැඳින්වීමට තරයේ විරුද්ධයි. අපි හැමෝම කලාකාරයෝ. අපි කරන නිර්මාණ ඉන්න තැන අනුව නෙමේ. ඒ සියල්ල කලා නිර්මාණ. කොළඹ ද අනුරාධපුරය ද කියන දේ අදාල නැහැ. කවුරුත් කලාකරුවෝ. කාගේ නිර්මාණයක් වුණත් කලා නිර්මාණයක්.

2007 වසරේ ඔබ රඟපෑ ඉසුරුබවන ටෙලි නිර්මාණයේ රාජ මහත්තයා මෙන් අපිට වර්තමානයේ බලාපොරොත්තු තැබිය හැකි චරිත මේ වෙන තුරු ලැබුණේ නැද්ද?

කෙම්මුර කළුවර ටෙලි නාට්‍යයේ මට රඟපාන්න ලැබුණේ මසුරු හාමු කෙනෙක්ගේ චරිතයක්. අවසානයේ මැරිල වස්තු තන්හාවට වලව්වේම භූතයෙක් වෙලා ගෙවන ජීවිතයක්. ඒ වගේම වර්ණා කියන නාට්‍ය මට තනිකරම රඟපාන්න ලැබුණේ ප්‍රකාශන රංගනයෙන්. හැම දෙයක්ම හිතේ තද කරගෙන විශාල පීඩනයක් හිතේ තියන් භාව ප්‍රකාශනයෙන් ඉදිරිපත් කරන රංගනයක්. මම මේ ටෙලි නාට්‍ය රඟපාන කොට ඒ වේදනාව ප්‍රකාශනයට ගොඩක් හේතු වුණා මගේ තාත්තා ඒ දවස්වල මිය යාම. පියාගේ මරණය මට දැඩි කම්පනයක් ගෙන දුන්නා. මේ වේදනා බර සිද්ධිය මට මගේ ඒ හැඟීම් ප්‍රකාශනයේදී ලොකු ආශිර්වාදයක් වුණා. නමුත් තවම මේ බලාපොරොත්තු සහගත රංගනයන් එක් වූ ටෙලි නාට්‍ය තවම විකාශය වුණේ නැහැ කුමක් හෝ හේතුවකට.

මේ දවස්වල ධීරසේකර මන්ත්‍රීතුමාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඔබට කතා කරන්න වගේම ලියන්නත් දුරකථන අංකය වගේම ලිපිනයත් පවසා සිටිමු?

0718391577, දිමුතු චින්තක, පෙරිමියන්කුලම, අනුරාධපුරය. 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.