ජනප්‍රිය වෙන්න හීනයක් තිබුණා

මංජුලා සෙව්වන්දි
ජූලි 4, 2019

 කුඩා වියේ පටන් ගායනයට දස්කම් දැක්වූ ඇයට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ තරඟකරුවන් අතර සුවිශේෂ චරිතයක් බවට පත් වන්නට හැකි වූයේ සහජයෙන් රැගෙන ආ දක්ෂතාව නිසාමයි. කැබිතිගොල්ලෑව සිට දෙරණ ඩ්‍රීම් ස්ටාර් 05 වැනි අදියරේ නවවැනි ස්ථානය දක්වා පැමිණි ඇය මංජුලා සෙව්වන්දි කන්නන්ගර. මේ වන විට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියත්වය ද දිනා ගෙන සිටින ඇය සිය දෙවැනි ගීතය රාගිනි නමින් එළිදක්වන්න සූදානම්.

 

* ඔබේ ගීත සමඟින් මේ කතාබහ ආරම්භ කරමු?

මේ ශෘංගාර ආදරයේ ප්‍රේමයෙන් බැඳීලා . . .

ඉන්නේ මා ප්‍රීතියෙන් ප්‍රේම පාලා හෝ

ප්‍රේම පාලා ඒ සේයාව සේ ඉමු ලොවේ

සදා සෝක නිවාලා . . .

මේ මගේ අලුත්ම ගීතය රාගිනි. එය ආදර ගීතයක්. ලබන සතියේ සිට දෙරණ රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. ඊට අමතරව යූ ටියුබ් ඔස්සේ අන්තර්ජාලයෙන් එය රස විඳීන්නත් පුළුවන්. රාගිනි ගීතය රචනා කළේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු අන්කල්. සංගීත ශිල්පී ලක්ෂ්මන් හිල්මි තමයි සංගීතවත් කළේ. මගේ මුල්ම ගීතය සුදෝ ඇයි තරහින් දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කළේ. එහි තනු නිර්මාණ කළේ සරත් වික්‍රම. පද රචනය කළේ නිලාර් එම්. කාසිම්. අඹේපුස්ස සමිත හිමි සහ ඉතාලියේ තිලක් මාමා මේ ගීතය කරන්න උපකාර කළා. ඒ වෙනුවෙන් රූප රචනයකුත් නිර්මාණය කළා. සුදෝ ඇයි තරහින් ගීතයටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා.

 

* දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට සහභාගි වීමට අඩිතාලම වැටුණු අයුරු?

පුංචි කාලයේ පටන්ම මගේ හිතේ ගීත ගායනයට ලොකු උනන්දුවකුත් තිබුණා. පසුව අපේ ගමේ තිබුණු සංගීත සන්දර්ශනයක ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. එතැනදි මගේ දක්ෂතාවය දුටු වැලිඔය බ්‍රිගේඩියර් පූරක සෙනෙවිරත්න සර් තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට මාව යොමු කළේ. ඒ අනුව 2013 වසරේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 5 නවවැනි ස්ථානය තෙක් පැමිණෙන්න හැකි වුණා. කැබැතිගොල්ලෑවේ සිට පැමිණි ගමන ඉතාම දුෂ්කර එකක් වුණා. අපේ පවුලේ අම්මයි මමයි විතරයි. තාත්තා නැහැ. මේ ගමනට බොහෝ දෙනෙකුගේ උපකාර ලැබුණා. බ්‍රිගේඩියර් පූරක සෙනෙවිරත්න සර්ගේ උපකාර විශාල ශක්තියක් වුණා. තරඟය අවසන් වෙන තෙක්ම එතුමා කළ දිරිමත් කිරීමත් සඳහන් කරන්නම ඕනි. ඊට අමතරව ඥාතීන් ඇතුළුව ගමේ සියලුම දෙනා අපිත් එක්ක හිටියා. ඩ්‍රීම් ස්ටාර් තරගයේම ඉවත් වුණු මල්ලි කෙනෙකුගේ මව්පියන් වන පන්නිපිටියේ කුමාර මාමායි නැන්දායි නවාතැන් පහසුකම් පවා දෙමින් තමන්ගේම දුවකට වගේ සලකමින් මේ ගමනට උදව් කළා.

 

* ඩ්‍රීම් ස්ටාර් තරඟයේ මතක යළි සිහිපත් කරමු ?

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයට අයදුම් පත් යොමු කරලා මුලින්ම පැමිණි දවසේ නම් බයක් ඇති වුණා. තරඟකරුවන් විශාල පිරිසක් එදා ඇවිත් හිටියා. නමුත් කරන දේ හරියට කළොත් වරදින්නේ නැති බව මම අවබෝධ කර ගත්තා. ඒ අධිෂ්ඨානයෙන් පියවරෙන් පියවර ඉදිරියට එන්න මට හැකියාව ලැබුණා. තරඟ වට හතරක් පහක් වෙද්දී තැති ගැන්ම නම් අඩු වුණා. මම වැඩියෙන්ම ගායනා කළේ රුක්මණී දේවියගේ ගීත. මගේ ප්‍රියතම ගායිකාවත් එතුමිය යි. මගේ ගී ගායනා ඇසූ බොහෝ දෙනාගේ පැවසුවේ රුක්මණී දේවිය නැවත උපදී ඇති බවයි.

ඒ වගේම තරඟයෙන් ඉවත් වෙලා ගමට ගිය දවස අමතක වෙන්නේ නැහැ. අපි ගියේ බස් එකේ. මැදවච්චිය හරියේදි බස් එක එකපාරටම නතර කළා. අපේ ගමේ හැමෝම එතැනට ඇවිත් තිබුණා. ඔවුන් රථ පෙරහරක් සූදානම් කරලා තිබුණා. ඒ වෙලාවේ මම පුදුමයට පත් වුණා. මල් මාලා දාලා පිළි අරගෙන මාව කැබිතිගොල්ලෑවට එක්කර ගෙන ගියේ ඒ රථ පෙරහරින්. ගමේ සංගීත සන්දර්ශනයකුත් සංවිධානය කරලා තිබුණා. ඒ අවස්ථාව මගේ ජීවිතයේ සුවිශේෂයි.

 

* සංගීත ක්ෂේත්‍රයේ මේ දක්වා දුරක් එන්න හැකි වුණේ පුංචි කාලයේ පටන් ඒ වෙනුවෙන් තිබූ ආසාව නිසාම වෙන්න ඇති?

පුංචි කාලයේ පටන් මම ගායිකවක් වෙන්න ගොඩක් ආසා කළා. ඒ වගේම ජනප්‍රිය වෙන්නත් හීනයකුත් තිබුණා. කුඩා වියේ මට මතක ඇති කාලයේ පටන් ගීත ගායනා කළා. පවුලේ ඥාතීන් එකතු වෙන තැන් වලදී මට විශේෂ තැනක් ලැබුණා. සේනානායක වේරලියද්ද මහත්මයාගේ මල් වියනෙන් බැඳී ගීතය තමයි නිතරම ගායනා කළේ. මම ඉගෙන ගත්තේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසලේ උත්සව අවස්ථාවලදී මගේ ගායන හැකියාවට වෙනම ඉඩක් ලැබුණා. පාසල් කාලයේදී ගායනා අංශයෙන් සමස්ත ලංකා පළමු ස්ථානයන් ජයග්‍රහණය කර තිබෙනවා. සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළටත් සංගීතය විෂයක් විදියට හැදෑරුවා. විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න ලකුණු මදි වුණා. නමුත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් නිසා සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න අවස්ථාව ලැබුණා.

 

* කැබිතිගොල්ලෑව වැනි ප්‍රදේශයක සිට සංගීත ක්ෂේත්‍රයට යොමු වීමේදී දුෂ්කරතා රැසක් එරෙහි වෙන්න ඇති?

ඒ කාලයේදී දුෂ්කරතා රැසක් තිබුණා. පාසලෙන් මට සංගීත අධ්‍යාපනය ලබන්න හැකි වුණා. මේ ගමන තුළදීත් මගේ සංගීත දැනුම තව තවත් පෝෂණය කර ගන්න කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයෙන් විශේෂ උපකාරයක් ලැබුණා. සංගීත ආචාර්ය අසේල සර් මගේ ගායන හැකියාව තව තවත් ඔපමට්ටම් කරගෙන පුහුණුවීම් කටයුතු වෙනුවෙන් සහයෝගය දුන්නා. එතැනදී මගේ අම්මාටත් විශේෂ තැනක් හිමි වෙනවා. අම්මාටත් හොඳට ගී ගයන්න පුළුවන්. මහා ලොකු සංගීත ඥානයක් නොතිබුණාට මගේ ගීත ගායනාවන්ට සවන් දීලා ඒවායේ අඩු පාඩු පෙන්වා දුන්නේ ඇය යි. මගේ අම්මා ගොවිතැන් කටයුතු තමයි කරන්නේ. මමත් පොඩි කාලයේ පටන්ම මට පුළුවන් වෙලාවට ඇයට උපකාර කරනවා.

 

* ඉදිරි සංගීත කටයුතු ගැනත් කියමු?

ඩ්‍රීම් ස්ටාර් තරඟයෙන් ඉවත් වුණු දිනයේ පටන් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා. විදෙස් සංගීත සන්දර්ශනවලට පවා ආරාධනා ලැබෙනවා. ඉදිරියටත් පූර්ණ කාලීනව සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කිරීම තමයි මගේ අරමුණ. දැනට එළිදැක්වුණු ගීත දෙකම ආදර ගීත. මව්පිය සෙනෙහස ගැන ගීතයක් කරන්නත් කැමැත්තෙන් ඉන්නේ. ඉදිරියේදී ගීත එකතුවක් කරන්න හිතාගෙන ඉන්නවා.

 

* රංගනයට එන්න බලාපොරොත්තුවක් නැතිද?

රඟපාන්න ආසාවක් තියෙනවා. ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් භාර ගන්න සූදානම්.

 

* මේ ගමන පුරාවට ඔබට උපකාර කළ අයට වගේම රසික රසිකාවන්ටත් පවසන්න යමක් ඇති?

මට සංගීත ක්ෂේත්‍රයට එන්න බොහෝ දෙනෙකුගේ උපකාර ලැබුණා. බ්‍රිගේඩියර් පූරක සෙනෙවිරත්න, කුමාර මාමායි නැන්දා වගේම කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය හා සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, ඥාතී හිතමිතුරන් ගම් වාසීන් ඇතුළුව කැබිතිගොල්ලෑව සියලු දෙනාටත් මගේ ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා. දෙරණ මාධ්‍ය ආයතනයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ ස්තූතිය පිරිනවා. දැනටත් මට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න දෙරණ මාධ්‍ය ආයතනයෙන් ලැබෙන සහයෝගයත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේම මගේ ගමනට ශක්තියක් වී සිටින මගේ රසික රසිකාවන්ටත් ස්තූතිවන්ත වෙනවා.

 

සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සැරසෙන මංජුලා සෙව්වන්දිහට 0719818955 දුරකථන අංකය ඇමතීමෙන් සුබ පැතුම් එක් කළ හැකියි. වෙලේගෙදර, අයියතිගේ වැව, කැබිතිගොල්ලැව ඇයගේ ලිපිනයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.