සුප්පා දේවී අම්මාගෙන් දුවට

මාලිනී රණසිංහ කාංචනමාලා රණසිංහ
ජූලි 11, 2019

ජීවන වෘත්තාන්තය අද එළිදකී

ගිනස් වාර්තාවට තවත් වාර්තාවක්

මව්පියන්ගේ දක්ෂතා හා ලක්ෂණ ජානගතව දූදරුවන්ට උරුම වන බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් මවක විසින් වේදිකාවක් මත මුල් වරට පණ පෙවූ චරිතයක් ඉන් වසර 58කට පසුව දුවකට උරුම වීම ජාන විද්‍යාවටත් හසු නොවන තරමේ කොතරම් අපූර්ව උරුමක්කාරකමක්ද? මේ අප කතාබහ කරන්නට යන්නේ එසේ මවකගෙන් දුවකට ප්‍රවේණිගත වූ සුප්පාදේවී චරිතය පිළිබඳ ඔවුන්ගේ වත සහ පොත ගැනයි...

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු සිංහල නාඩගම් කලාවේ නොමැකෙන නාමයක් ලෙස ඉතිහාසයට එක් වී හමාරය. 1961 මුල්ම වරට පේරාදෙණිය වළේ සිංහබාහු රඟදක්වද්දී සිංහයාගේ බිරිඳ සුප්පාදේවි ලෙස මද්දල තාලයට පා තබා වටයක් කැරකී ආවේ එවකට විද්‍යා පීඨයේ පළමු වසරේ ශිෂ්‍යාවක වූ මාලිනී නම් තරුණියයි. සරසවි නේවාසිකාගාරයේ සිටි ඇය මුල්ම වරට මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවට ගියේ ද අපූර්ව දෛවෝපගත සිදුවීමකට මුල පුරමිනි. එය ඇයට අද මෙන් මතකය.

 

'මනමේ කරලා සාර්ථක වෙච්ච සතුටට සරච්චන්ද්‍ර සර් තවත් දැවැන්ත කටයුත්තකට අතගහල නළු නිළියන් එහෙමත් තෝරගෙන තිබුණෙ. නුවර උසස් බාලිකා පාසලෙන් ආපු ගැහැනු ළමයින් පිරිසක්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාවට ගියා. නවකයන් පිළිගන්න වගේම නවක වදය සඳහාත් සීනියර්ස්ලා මේ අවස්ථාව ගත්තා. හැබැයි ඒක හරිම සුන්දර නවක වදයක්. අද වගේ නෙවෙයි. අපේ කට්ටියගෙන්ම අහලා මම මොනවද කරන්නේ කියලා. යාළුවෝ කියලා මම ඉස්කෝලෙදිත් රුක්මණි දේවිගේ සින්දු කියනවා එහෙම කියලා. ඉතින් මට සින්දුවක් කියන්න කීවා. මම දෙවා ගිනි මවා දුන් ගීතය කිව්වා. ළමයි මට ඇද කර කර ඒක අහගෙන හිටියා. ඒ වෙද්දි ඩොක්ට (මහාචාර්ය සරච්චන්ද්‍ර) කියලා තිබුණා අලුතින් එන ළමයින්ගෙන් හොඳට සින්දු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක්කන් එන්න කියලා. මට ඇද කරපු අයම පණිවිඩේ දීලා. ශිෂ්‍ය සභාවේ සභාපතියි ලේකමුයි තමයි මාව එක්කන් යන්න ආවා පහුවෙනිදා උදේම. මම වෙව්ලන්න ගත්තා සීනියර් අය්යලා දෙන්නෙක් ආවාම. පස්සේ යාළුවෝ කට්ටියම මගේ ආරක්ෂාවට ආවා 'හා යමු යමු අපිත් එන්නම්' කියලා. ඒ එක්කන් යන්න ආව ලේකම් ටෙරන්ස් රණසිංහ. සභාපති කේ. එච් ධර්මදාස කියල කෙනෙක්. ටෙරන්ස් රණසිංහ පූරක චරිතය කළා. අපිට විශේෂ පාස් තිබුණා රැ 12 විතර වෙනකල් කලා පීඨයේ පුහුණුවීම් කරලා යන්න. ඉතින් ටෙරන්ස් අපිව ගිහින් ඇරලනවා. එයාටත් හොඳට ගායනය කරන්න පුළුවන්. මුල් කාලේම මට තේරුණා එයා මට ආකර්ෂණයක් තියෙනවා කියලා. ඒත් මම දන්නවා අපේ අම්මලා කැමති නැහැ මම වෙන දේවල් ඔළුවෙ දාගන්නවාට. මොකද මේ නාට්‍යයකටත් පැටලිලා හින්දා ඉගෙන ගන්න ආපු එක කඩාකප්පල් වෙයි කියලා ඒ් අය බයයි. ඒත් ඉතින් ඉතින් ටෙරන්ස් ෆයිනල්ස් කරද්දි යාළුවෙක් ඇවිත් කිව්වා 'ටෙරී පිස්සු නටනවා විභාගේ කරන්නේ නැතුව' කියලා. පස්සේ මම ඉතින් අනුකම්පා කරලා පාඩම් කරන්න කියලා කිව්වා. නැතුව හා කිව්වේ නැහැ. ඒත් ඒක ධනාත්මක උත්තරයක් හැටියට අරගෙන එයා විභාගෙත් කළා."

ටෙරන්ස් රණසිංහ නම් වූ තම පියාණන් වෙනුවෙන් සිංහ සීවලී මෙන් පෙනී සිටියේ කාංචනමාලාය.

"ඇයි අම්මේ තාත්තා හරි ලස්සනයිනේ."

"ඔව්... ලස්සනයි." මාලිනී රණසිංහ ප්‍රවීණ රංගන ශිල්පිනිය එකඟ වූයේ කොපුල් තල රත් පැහැ ගැන්වී දෙනෙත් බිමට බර වී යද්දීය. අපි තිදෙනා මොහොතක් නිහඬව සිරකරගත් සිනාව එකිනෙකාගේ නෙත් එකවර හමු වූ විට මහා හඬින් පිපිරී ගියේය. ඇය කතාවේ මඟ වෙනස් කළාය.

"ටෙරි වවුනියාවේ හිටියේ යුද්ධ කාලේ. අසනීපගතිත් තිබුණා. එයා හමුදාවෙන් ඉවත් වුණා. අවුරුදු තිස් එකක් තිස්සේ සිංහබාහු දර්ශන 5000ක් විතර කරලා ගිනස් වාර්තාවකුත් තිබෙනවා. පේරාදෙණියෙ වළේ පළමුවෙනි දර්ශනය කරන දවසේ සිංහයගෙ කොටසින් පස්සේ මම නටාගෙන ඇතුළුවෙද්දි මගේ කකුල් දෙක වෙව්ලුවා. මොකද ඒ තරමට දස දහස් ගාණක් සෙනඟ වළේ වටේ රැස්වෙලා. හරිම චකිතයක් ඇතිවෙනවා. ඒත් සින්දුව කියන්න ගත්තාම මගේ ආත්ම විශ්වාසය ඇති වුණා. සිංහබාහු යද්දි වැස්සෙත් මිනිස්සු තෙමි තෙමි, කුඩ ඉහළගෙන ඉන්නවා. ඉතින් සරච්චන්ද්‍ර සර් කිව්වා කට්ටිය යන්නේ නැති නිසා වැස්සෙම රඟපාමු කියලා. අපි කළා. පුහුණුවීම් කරද්දිත් හැම පීඨයකම ළමයි ඇවිත් වටේ බලාගෙන ඉන්නවා. ඒ අයගේ හදවතට දැනෙන ගීත, වචන එහෙමනේ තියෙන්නෙ."

එදා සිට 1992 දක්වා වසර 31 පුරා සිංහයන් කොතෙකුත් වෙනස් වුවද සුප්පාදේවිය වෙනස් වූයේ නැත. පොතේ ගුරු ටෙරන්ස් රණසිංහද වෙනස් වූයේ නැත.

"පුතා ලැබෙන්න ඇවිත් මාස 6ක් වෙද්දිත් මම සිංහබාහු නාට්‍යයේ රඟපැවා. පුතා හම්බෙලා මාස 5 ක් විතර නාට්‍යය පෙන්නුවෙත් නැහැ අපි නැති නිසා. ඒ දවස්වල උදව්වට බොහෝ දෙනා හිටියා. ටෙරන්ස්ලාගේ අම්මයි තාත්තයි ළඟපාත හිටියේ. අපේ ගෙදරත් උදව් කළා. පත්තරවල විචාර එහෙමත් යන නිසා ඒ අයත් මම රඟපානවාට කැමතියි."

එහෙත් 2008 වසරේදී ටෙරන්ස් රණසිංහ නම් වූ හමුදා නිලධාරියා, රංගන ශිල්පියා මෙන්ම ආදරණිය පියා සිය මව්බිමටත් අඹුදරුවන්ටත් සමු දී අවසන් ගමන් ගියේය.

"පුතාලගෙ තාත්තා නැති වුණාම අවුරුද්දේ දානේ එහෙම ඉවරවෙලා මම දුව ගාවට ගියා ඕස්ට්‍රේලියාවට. හැමෝම කීවා ජීවිත කතාව ලියන්න කියලා. ඒත් මම උනන්දු වුණේ නැහැ. ගිය අවුරුද්දේ විතර කාන්සියට වගේ ලියන්න ගත්තා. ඉතින් ලියැවුණා. මම පොත ලියලා ගෙනත් දුන්නේ බුද්ධදාස ගලප්පත්ති මල්ලිට. මානව හිතවාදී මිනිස්සු ඉන්නවා ඒත් බුද්ධි මල්ලි මගේ එක කුසින් උපන් සහෝදරයෙක් වගේ මෙහෙම උදව් කරන එක ගැන මට පුදුමයක් තියෙන්නේ. අපිත් එක්ක නාට්‍ය කළා වුණත් මේ වගේ ආදරයක් සහෝදර කලාකරුවන්ගෙන් ලබන්න මමත් විශාල පිනක් කරලා තියෙන්න ඕනා. මම ඇත්තෙන්ම හම්බ කරලා තියෙන්නේ රසිකයන්ගේත් සහොදර කලාකරුවන්ගේත් ආදරය.

මගේ ජීවිත කතාව හා එයින් විශාල කොටසක් වුණු සිංහබාහු නාට්‍යය, ඒ විස්තර සියල්ල පොතේ තියෙනවා. පොත අද (11) සවස 3.30ට පදනම් ආයතනයේදි එළි දැක්වෙනවා."

දශක තුනකට අධික කාලයක් සුප්පාදේවී ලෙස සිංහබාහු කරළියේ චමත්කාරය ඔප් නැංවූ ඇයට තරම් ඒ නමට හිමිකම් කියන්නට අයිතියක් කිසිවකුට නොවේ. එනිසාම මාලිනී රණසිංහ වරචිත අපදාන ග්‍රන්ථය සුප්පාදේවී කතාවස්තුව ලෙස නම් කිරීමට එහි සංස්කාරක කිවිවර බුද්ධදාස ගලප්පත්ති ප්‍රමුඛ සංවිධායක කමිටුව තීරණය කරන්නට ඇත. ඇගේ කතාව පොතෙන් කියවා ගත හැකි නිසා දැන් අප යොමු වන්නේ කාංචනමාලා රණසිංහ නම් වූ මාලිනියගේ එකම දියණියගේ කතාවටයි.

"අම්මා ඕස්ට්‍රේලියාවට එද්දි අම්මාගේ වෘත්තිය සහ රංගනය එක්ක පාළුවක් නොදැනී තියන්නේ කොහොමද කියලා මගේ හිතට ලොකු බරක් තිබුණා. ඒත් ඉතින් බබාලටත් හොඳයි අම්මා ඉන්න එක. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දුවට 16යි. පුතාට 11යි. මගේ මහත්තයාත් ඕස්ට්‍රේලියාවේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක්. මගෙ අය්යා රොෂාන්ක ජාලියබණ්ඩාර රණසිංහ නෙදර්ලන්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාචාර්යවරයෙක්.

මමත් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. 1993 ටවර් හෝල් නාට්‍ය තරගයක් තිබුණා පාසල් මට්ටමින්. මම සමුද්‍රදේවී චරිතයට රඟපැවේ. හොඳම නිළිය සම්මානය ලැබුණා ලංකාවෙන්ම. අවුරුදු 16යි එතකොට මට. ඒ කාලෙමයි මට සුප්පාදේවි රඟපාන්න ඕනා කියලා හිතුණේ. ඒත් වෛද්‍ය විද්‍යා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා මට අතපසු වුණා සියල්ලම. අම්මා තමයි මට සත්ත්ව විද්‍යාව හා උද්භිද විද්‍යාව ඉගැන්නුවේ. දැන් මම බ්‍රිස්බ්‍රෙන්වල වෛද්‍යවරියක්, ජ්‍යෙේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේත් කටයුතු කරනවා. පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන එහිම කථිකාචාර්යවරියක් ලෙස ඉඳලා ආචාර්ය උපාධිය සඳහායි ඔස්ට්‍රේලියාවට ගියේ. හරියටම කීවොත් මම ග්‍රාම්‍ය හා දුෂ්කර රෝහලක ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරිය ලෙස තමයි කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ. හදිසි අනතුරු අංශයත් බාරව කටයුතු කරනවා."

ඇගේ ඒ දිග හැරුම අතර මවගෙන් ඌන පූරණයක් එයි.

"මෙයාගේ සම්පූර්ණ නම රණසිංහ වාසලමුදියන්සෙලාගේ රමණි කුමාරි කාංචනමාලා රණසිංහ. ඒත් හුඟක් අය දුවව දන්නේ සමුද්‍රදේවි කියලා. ඒ කාලේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව වෙලාත් හිටියා. මෙයා බටහිර තූර්යවාදක කණ්ඩායමේ නායිකාව විදිහට යද්දි සමුද්‍රදේවි බලන්න එනවා කියලා තමයි පිරිමි ළමයි එහෙම එන්නේ." ඒ කතාවෙන් කොපුල් රතු වූයේ කාංචනමාලාගේය. එනිසා කතාව වෙන මඟකට යොමු කරන්නට ඕ සමත් වූවාය.

"ඔස්ට්‍රේලියාවේදි නම දිග හින්දා මට ඔප්පු කරන්න වෙන අවස්ථාත් තිබෙනවා ඒ මමමයි කියලා. ඒත් මම ඒ නමට කැමතියි. අම්මලාගේ කාලේ වගේම තමයි අපේ කාලෙත් නාට්‍ය රසික ස්වභාවය කියලා මට හරියටම තේරුණේ මුහුණු පොතෙන්. ෆේස්බුක් ගැන මම දැනගත්තේ 2011 විතර. අපි සමුද්‍රදේවි කරද්දි බලාගෙන ඉඳලා ස්කූල් බසුත් මිස්වුණු අය ඉන්නවා කියලා එකේ සමහරු කියලා තිබුණා. ඉතින් ඒ සියල්ල අතර මගේ සිහිනය හිත යට සැඟවිලා තිබුණා. පිටරටක තනිවෙලා ඉද්දි මම හැමවෙලාවෙම ඇහුවේ සිංහබාහු ගීත. රෑ වැඩමුර ඉවරවෙලා එද්දි නිදිමතේ වාහනය එළවද්දිත් කිව්වේ ඒ ගීත. ඇත්තෙන්ම මම ජීවත් වුණේ ඒ ගීත එක්ක. ගිය අවුරුද්දේ තමයි මම අම්මාට මගෙ සිහිනය හෙළි කළේ. අම්මා පුදුම වුණා මොකක්ද මේ කියන්නේ කියලා."

මාලිනිය දිලිසෙන දෙනෙතින් එය අනුමත කරන්නීය. "ගිය අවුරුද්දේ තමයි මට කීවේ මෙයා සුප්පාදේවිට රඟපාන්න ආසයි කියලා. මට තේරුණානේ මෙයාගේ හිත ඇතුළේ සතුට තියෙන්නේ කලාවේ කියලා. එත් මම සරච්චන්ද්‍ර මහත්මියගෙන් මේක අහන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට දුවම කීවා මම ලලිතා නැන්දා‍ගෙන් අහන්නම් කියලා. එතුමිය හරි කැමැත්තෙන් 'හා' කීවා. මට පුදුමයක් එක්කම සතුටකුත් දැනුණා. හරිනම් මේ නාඩගම් වගේ ඒවා පරම්පරාගත වෙලා යන්න ඕනා. ඒත් අපේ කාලේ ඉඳන් ඉන්න අයගෙන් අද සම්බන්ධ වෙන්නේ කීපදෙනයි. මද්දල ගහන නන්දන අඩුතාල් ගහන පොඩි කොලු පැටියා අපි පටන් ගන්න කාලේ. චාර්ල්ස් සිල්වා ගුරුන්නාන්සෙගේ පුතා නෝමන් සිල්වා ගේ පුංචි පුතා. නළු නිළියන් අතර කවුරුත් නැහැ පරම්පරාගතවෙලා. සෝමපාල පතිරගේ අපිත් එක්කත් රඟපාපු අය. නන්දනී හෙට්ටිආරච්චිත් හිටියා බටනළාවලට. කුමාරි මැණිකේ ගායන වෘන්දයේ අපේ යුගයෙත් හිටියා."

යළිත් කාංචනමාලා සිය සිහිනය පිළිබඳ හෙළි කරන්නීය.

"මම ඒ ගැන කාටවත් නොකියා හිටියේ මගේ වෘත්තියයි දරුවොයි එක්ක රඟපැම කියන එක කළ නොහැකි දෙයක් වෙයි කියන බයට ඒත් මගේ අධිෂ්ඨානය තිබුණා මම කොහොම හරි මේ චරිතය කරනවා කියලා. එයට සරච්චන්ද්‍ර මැතිනියගෙන් මේ වගේ හොඳ ප්‍රතිචාරයක් ලැබුණ එක හිතාගන්න අමාරුයි. අපි සරච්චන්ද්‍ර මහත්තයාගේ රූපයට වැඳලා, ගෙදර කැම ලැස්ති කරලා අර පරණ සම්ප්‍රදායටම ඒවා කරගෙන යන එක හරිම අපූරුයි. මම ලංකාවට ආපු වාරවලදි වගේම ලලිතා නැන්දා ඕස්ට්‍රේලියා ගිය වෙලාවල චරිතය කරන්න ඕන කොහොමද කියලා පුහුණුවීම් කළා. අම්මත් මගෙ අඩුපාඩු හැදුවා. අපි උපන්දා ඉඳන් මේ චරිතය අම්මා රඟපානවා දැකලත් තිබුණ නිසා තරමක හුරුවකුත් තිබුණා. ඒත් හරියටම මම සුප්පාදේවියට රඟපානවා කියලා තීරණය වුණාම හිතට බරක් දැනුණා. මම එද්දි ජූඩ් (ශ්‍රීමාල්) අය්යා පෝස්ටර් ගහලා තියෙනවා දැක්කා. සිහිනය සැබැවෙන්න ළඟයි කියලා දැනෙන්න ගත්තා. කොයි තරම් භාරදුර කාර්යයක්ද? හැම අඩියක්ම, හැම ස්වරයක්ම නිවැරැදි විය යුතුයි. මුළු නාට්‍යයම දන්නවා වුවත් අදාළ දෙබසට ප්‍රතික්‍රියාව නිවැරැදි වෙලාවට දිය යුතුයි. සමුද්‍රදේවි එතරම් සංකීර්ණ නැහැ. සුප්පාදේවී යසඉසුරු විඳලා කැලේ සිංහයාත් එක්ක ගියත්, ඒත් සතුටින් ඉඳලා, දරුවන්ගේ ප්‍රශ්නවලට මුහුණ දීලා, ගල්ලෙන බිඳුණාම පාර සොයාගෙන යන ගමන සංකීර්ණයි. අම්මගෙන් පස්සේ සුප්පාදේවිට රඟපැවේ නිහාරි වික්‍රමආරච්චි අක්කා. පොඩි කාලේ අපිත් එක්ක සෙල්ලම් කළා. එයා වෙස්සන්තර නාට්‍යයේ අම්මගෙ පුතාට ජාලිය කුමරුට රඟපැවා. එයාත් ආසාවෙන් උදව් කරනවා මට. සියලු දෙනාම පුදුම සහයෝගයක් දක්වන්නේ. මට දැනෙන්නේ හරියට සිංහබාහු පවුලට එකතු වුණා වගේ."

කාංචනමාලාගේ සිහිනයේ මංගල රංගනය එල්ෆින්ස්ටන් වේදිකාවේදී කලඑළි වූයේ 6 වැනිදාය. යළිත් ඇය ලබන සෙනසුරාදා (13) සවස ලයනල් වෙන්ඩ්ට් හිදී සුප්පාදේවී ලෙස දෙවරක් පෙනී සිට පසුදා යළිත් සුපුරුදු රාජකාරි සඳහා ඕස්ට්‍රේලියාවට පියඹනු ඇත.

"තාත්තගේ නංගිලා අක්කලා දැන් ගොඩාක් වයසයි. ඒත් ඒ අයත් ආවා ජුලි 6 වැනිදා මගේ පළමුවෙනි රංගනය බලන්න." ඇය කීවේ හැඟීම්බරවය. මාලිනියද සෙනෙහසින් දුව දෙස බලා කියන්නීය.

"ඇත්තටම දුව හොඳට කරනවා. චරිතයට ආවේශ වෙලා, අවබෝධයෙන්. දුව ආපහු ලංකාවට එනව නම් මමත් හරිම කැමතියි. ඒ රටවල් කොච්චර හොඳ වුණත් අපේ රටේ නරක දේවල් දේශපාලනේ, බෝම්බ ගැහිලි මොනවා තිබුණා කියලා දන්නවා වුණත් මෙහෙ ඉන්න තමයි අපි කැමතියි. අඩුම ගානේ ටීවී එකක වුණත් යන්නේ අපේ දේවල් නේ. නාට්‍ය ලෝකය වෙනුවෙන් හදවතින් ඉන්න අය තාමත් ඉන්නවා. මනුස්සකම් උපදවන තැනක් කලා ලෝකය කියන්නේ. අපේ පරණ බැඳීම් අමතක වන්නෙත් නැහැ. බිරිඳක් ලෙස සරච්චන්ද්‍ර මැතිනිය විශාල මෙහෙයක් කරනවා තමන්ගේ ස්වාමියාගේ නිර්මාණ නොමැකී තියාගන්න. ඇය හරිම දක්ෂ කාන්තාවක්. අද නාට්‍ය ක්ෂේත්‍රයට තිබුණු ආරක්ෂක ස්වභාවය පවා වෙනස් වෙලා යාම පාඩුවක්. අපේ කාලේ නළු නිළියන් හිටියේ ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක්. අද බොහෝ දෙනා ඉන්න නිසා හොයාගන්න අමාරුයි. ඉතින් හැමදාමත් උසස් ගණයේ නාට්‍යම හැදෙනවා නම් හොඳයි."

කාංචනමාලා පිළිතුරු දුන්නේ අම්මාටද මටද නොදනිමි.

"දැනට මට බබාලාගේ අධ්‍යාපන කටයුතු නිසා දිගටම චරිතය කරන්න බැරි වුණත් පස්සේ එයින් කාටවත් පාඩුවක් නොවෙන විදිහට මට පුළුවන් වෙලාවට ඇවිත් මගේ දායකත්වය සපයන්න කැමතියි. මම ස්වතන්ත්‍ර ගීත කීපයකුත් කළා. නාලක අංජන කුමාර, රෝහණ ධර්මකිර්ති, විශාරද රශ්මි වික්‍රමතුංග, බුද්ධදාස ගලප්පත්ති මාමා, කුමාර ලියනගේ, නයනසේන වන්නිනායක, ප්‍රියන්ත කුලසේකර, සේමසිංහ මට පදරචනයෙන් සහ සංගීතයෙන් සහාය දුන්නා. සංගීතය දිගට හදාරන්න සිහිනයක් තිබෙනවා. ඒ විභාග කරන්නත් ආසයි. ස්වරවලට මම ආසයි. එක් එක් අවස්ථාවල ගත් තීරණත් එක්ක අපි ජීවිතේ බොහෝ දේවල්වල පැටලිලා ඉන්නේ. අපි තරුණ කාලේ විවිධ දේවල් හොයාගෙන යනවා. එහෙම ලෝකෙ වටේම ගිහින් ඇවිත් බලද්දි සමහරවිට අපි සොයපු දේ තිබිලා තියෙන්නේ අපේ ළඟමයි." කාංචනමාලා කීවේ සිනාවත් සුසුමත් එකවර මුසු කරමිනි. මාලනී රණසිංහ මැණියන් එය වඩාත් පැහැදිලි කළේ අපටද සිනාවක් එක් කරමිනි.

"සතුට සැනසීම තිබෙන්නේ කොහෙද නොදැන ලෝකේ වටේම ගිහින් ඇවිත් පහුවෙලා තමයි අම්මලා තාත්තලා කරපු දේවලයි හිතට සැනසීමක් තියෙන්නේ කියලා සොයාගෙන තියෙන්නේ."

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.