මේ වාරකන් සමයේ මම බිලිබෝයි කෙනෙක් වෙලා

සංසාරේ දඩයක්කාරයා කැටුව එන ප්‍රසන්න ජයකොඩි
ජූලි 18, 2019

පවතින සමාජයේ ඔබ දඩයමද දඩයක්කරුවාද? 2018 සරසවිය සම්මාන උලෙළේදී සිය තෙවැනි සිනමා කෘතිය වූ ' 28 ' වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂක ලෙස පිදුම් ලැබූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි විමසන්නේ සිය නවතම සිනමා වියමන සංසාරේ දඩයක්කාරයා මඟිනි. ප්‍රවීණ ගත්කතුවර සයිමන් නවගත්තේගම විසින් රචිත දඩයක්කාරයාගේ කතාව ඇසුරින් නිමැවූ සිය සිව්වැනි සිනමා සිත්තම පිළිබඳ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂකවරයාගේ අදහස අපි විමසමු.

 

* සංසාරේ දඩයක්කාරයා චිත්‍රපට බෙදාහැරීමේ නව ක්‍රමවේදයට ගොදුරු වුණා?

මේ චිත්‍රපටය කරලා නම් අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වුණා. ඒක මුදාහැරීමට වගේම මගේ පසු නිෂ්පාදන කටයුතු නිසාත් වුණ ප්‍රමාදයක්. හැබැයි චිත්‍රපටය නිදහස් වෙන්න තිබුණේ ඊඒපී මණ්ඩලයේ. මම හිටියේ තුන්දෙනකුට පස්සේ. ඒත් මේ චිත්‍රපට නැති සංක්‍රාන්ති සමයක් නිසා ඉදිරියට එන්න ලැබුණා. ඒ එක්කම මට පොඩි වරප්‍රසාද ටිකකුත් ඒ මණ්ඩලයෙන් ප්‍රචාරය සඳහා ලැබුණා. ඒක මට ලොකු සහනයක් වුණා මගේ මුදල් අගහිඟතා එක්ක. ඒ අතර තමයි සංස්ථාවට සියලුම පවරාගැනීම් කළේ. ඒ නිසා මම 'කල්ලතෝනියෙක්' බවට පත් වුණා. මට අන්තිමට ඊඒපී එකත් සංස්ථාවත් දෙකම නැති වෙන තැනට ආවා. මොකද ඊඒපී එකටත් දැනුම් දීමක් කර තිබුණේ නැහැ පවරා ගැනීම් ගැන. චිත්‍රපටය රිලීස් වෙන්න දවස් එකහමාරකට විතර කලින් තමයි ලියුමක් ආවේ මට සංස්ථාවට අනුගත වෙන්න කියලා. 4 වැනිදා චිත්‍රපටය මුදා හරින මොහොත වන විට මට තිබුණේ එක ශාලාවයි. දෙවැනි දවසේ ශාලා 9යි. දැන් වෙද්දි නම් ශාලා ඇති පදම් තියෙනවා. මම හිතන්නේ ඒ මේ වාරකන් සමයේ මම බිලිබෝයි කෙනෙක් වෙච්ච හින්දා වෙන්න ඇති.

 

* කොහොම හරි ඔබට දැන් ශාලා 45ක් පමණ ලැබුණනේ?

ඒක නම් ඇත්ත. හැබැයි ඊඒපී මණ්ඩලය මට ලබා දුන් මාස එකහමාරක විතර කාලය දින විසි ගණනකට අඩුවෙලා තියෙනවා චිත්‍රපටය ශාලාවලින් ගලවන්න. උපදිනකොටම මරණය උරුම කරගෙන ආපු ස්වභාවයක් මගේ චිත්‍රපටයට තියෙන්නෙ. මම ඉල්ලීමක් කළා සති දෙකක්වත් යනවා හරි තැනට ගේන්න. මොකද කිසිම දැනුම්වත් කිරීමකින් තොරවයි චිත්‍රපටය ශාලාවලට එන්නේ. ඒ වෙනුවෙන් කවුරුත් වගකීමක් ගත්තෙත් නැහැ. මගේ චිත්‍රපටය දකින්නත් පෙර කට්ටියක් තීරණය කරලා ඉවරයි මේ චිත්‍රපටය දුවන්නේ මෙච්චර දවසයි කියලා. මම අහන්නෙ ඊට වඩා දිවුවොත් මොකද කරන්නේ කියලයි. ඒකට පිළිතුරක් නැහැ. විෂයය භාර අමාත්‍යවරයා දක්වා මම ලිපි යැව්වා මේ ගැන කියලා.

 

* ප්‍රේක්ෂකයන් චිත්‍රපටය පිළිගත්තොත් ඇතිවන තත්ත්වය මොකක්ද?

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් දුවනවා නම් එහෙම ගලවන්න බැහැ. ඒ මොනවා වුණත් අපි චිත්‍රපට කරන්නේ හරි අමාරුවෙන්. අනෙක කලාත්මක චිත්‍රපටවල මුදල් අවදානම කොහොමත් තිබෙනවා. ඒ වෙනුවෙන් එන නිෂ්පාදකයන් කොහොම හරි ගොඩදාන්න ඕනා. අවුරුදු තුනහතරක් මේ වෙනුවෙන් බලා ඉඳලා අඩුම ගානේ මූලික මුදලවත් හොයලා දෙන්න මට වගකීමක් තිබෙනවා නිර්මාණකරුවකු හැටියට. අනෙක මම හොඳටම දන්නවා මේ චිත්‍රපටය ලාංකික ප්‍රේක්ෂකයන්ට යම් බැඳීමක් තිබෙනවා කියලා. විශේෂයෙන් සයිමන් නවගත්තේගම වැනි ලේඛකයකුගේ කෘතියක් තෝරා ගැනීමේදී මට ලොකු වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් මම සාධාරණයක් කරලා තිබෙනවා. එයට ප්‍රේක්ෂකයනුත් සාධාරණයක් ඉෂ්ට කරයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. හැබැයි ඒකට ස්ථිර වැඩපිළිවෙළක් තිබෙන්නත් ඕනා. මගේ 28 චිත්‍රපටයත් විශාල අර්බුදයකට මුහුණ දුන්නා ශාලා ලබා ගැනීම සහ ශාලාවල ප්‍රදර්ශන වාර ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ මොහොතේ කඩා වැටුණු සිනමාවට යළි ප්‍රේක්ෂකයන් අද්දා ගැනීම වෙනුවෙනුත් මම කැපවෙනවා. ඒ ගැනවත් හිතලා අදාළ බලධාරීන්ට යුතුකමක් තිබෙනවා මට චිත්‍රපටය පෙන්වා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න.

 

* සයිමන් නවගත්තේගම අප කියවා ගන්නේ අධියථාර්ථවාදී නවකතාකරුවෙක් ලෙසයි. ඒ ලක්ෂණ සහිත කෘතියක් තෝරාගන්න ඔබ හිතුවේ?

ඇත්ත. ඔහුගේ නිර්මාණ මායා යථාර්ථවාදී ස්වභාවයෙන් යුක්තයි. එය දාර්ශනික අංශයට බර වුණු දේවල්වලට අදාළ ශානරයක්. මගේ වේදිකා නාට්‍ය හා චිත්‍රපට කියන දෙවර්ගයත් ඔය කියන මායා යථාර්ථවාදී ස්වභාවයට කිට්ටු වෙච්ච ඒවා. මට නවකථාවක් චිත්‍රපටයකට ගැනීමේ ලොකු පෙලඹවීමක් තිබුණේ නැහැ. හැබැයි සයිමන් නවගත්තේගම කියන්නෙ මම කැමති ලංකාවේ ඉන්න විශිෂ්ටතම කලාකරුවෙක්. ඔහුගේ ශෛලිය සහ භාෂා පරිචය කියවන්නා නවකතාවෙන් කියන්නට බැරි ඉමකට අරගෙන යනවා. අපට හුරු, අප නොදන්නා වූ, අපේ යථාර්ථයේ මවාගත නොහැකි රූපරාමු ඔහු මවනවා. මහායානික සහ සන්දෘෂ්ටිකවාදී ආකෘතින් ඇතුළත ඇති එවැනි සංකල්ප රූප ඔහු අපට අපේ පරිකල්පනය තුළ යථාර්ථවාදී ලෙස මවා දෙනවා. එය තුළ යමක් කළ හැකි නම් 'මාරයි' කියා හිතෙනවා. දඩයක්කාරයාගේ කතාව කියන්නේ චිත්‍රපට දහයක් පහළොවක් විතර කරන්න පුළුවන් කතාවක්. එය සංකීර්ණයි. එනිසා නිකම්ම පොත චිත්‍රපටයකට කරන්න ගියොත් අසාර්ථක වීමට තිබෙන සම්භාවිතාව ඉතා වැඩියි. මම ඔහුගේ ප්‍රේත වස්තුවයි මුලින්ම කරන්න හිතුවේ. ඒත් ඒකට ලංකාවේ ඇනිමේෂන් කරන්න තිබෙන පහසුව සහ වියදම සමඟ විශාල අර්බුදයකට යන බව තේරුණා. ඉතින් මේ පොතේ මම ගත්තේ පළමුවෙනි පරිච්ඡේදය විතරයි. එහි කිසිම දෙබසක් නැහැ. නවගත්තේගමයන්ගේ දෘෂ්ටිපථය තුළ ඉන්න හාමුදුරුවන්, දඩයක්කාරයා, කොටියා වැනි චරිත සියල්ලම, ඔහුගේ නවකතා සියල්ලේම පාහේ දම්වැලක් මෙන් දුවන බව ඒ කතා කියවන්නන්ට තේරෙනවා. ඒ නිසා ඔහුගේ දැක්ම ඔස්සේ මේ සංසාරය වගේ තිබෙන කැලය කුමක්ද? විශාල වෘක්ෂය කුමක්ද? දඩයක්කාරයාගේ දෘෂ්ටිය කුමක්ද? ආරණ්‍යගත හාමුදුරුවන්ගේ දර්ශනය කුමක්ද? යන කරුණු ඇතුළේ ජීවත් වෙමින් මම මගේ හිතට කාවැදුණු එක පොඩි සිද්ධියක් ගොඩනඟන්න, ඔහු පොත තුළ තැනූ මනෝ ලෝකය මම සිනමාවෙන් දකින්න, උත්සාහ කළා. සිනමාකරුවකුට අමාරුම කාර්යය තමයි, යම් සිදුවීමක පුළුල් වූ පරාසයක ඇති දේ අතරින් එහි ගැඹුර කරා ගමන් කරන්න හොඳම කොටස තෝරා ගැනීම. ඒ කුඩා කොටසින් මට ඇති වුණු නිර්මාණාත්මක පිබිදීමෙන් ලැබුණු අනුප්‍රාණය නිසා තමයි මේ චිත්‍රපටය කරන්නේ.

 

* නවගත්තේගමයන්ගේ කෘතිවල බොහෝ විට දක්නට ලැබෙන්නේ චරිතවලට වඩා සංකේතාර්ථ. එය ප්‍රේක්ෂකයාට ග්‍රහණය කරවන්න ඔබ යෙදූ උපක්‍රම?

සංසාරේ දඩයක්කාරයා කියන චිත්‍රපටය ගත්තාම මම පොතෙන් කියවා ගත් සරල කතන්දරය පමණක් දැක බලා ගන්නත් ප්‍රේක්ෂකයාට අවස්ථාව තිබෙනවා. ඒ වගේම නවගත්තේගමගේ පොත් සියල්ලේ තිබෙන ගැඹුරු කතන්දරය කියවූ පාඨකයන්ට වෘක්ෂදේවතාවා, බීජ නියාමය වගේ දේවලුත් මේ කතාවේ තිබෙනවා. සරලව ගත්තොත් මා කියවූ පරිච්ඡේදයේ තිබෙන්නේ පන්සලට ආපු ගැහැනු කෙනෙකේ කැලේදි මනුස්සයෙක් එක්ක ලිංගිකව එක්වෙන්න ගිහින් කොටියකුට අහුවෙනවා. ඒ සිද්ධිය පිළිබඳ පන්සලේ හාමුදුරුවන්, නිර්මාංශික ආචාර ධර්ම සහිත දඩයක්කාරයා, ගමේ මිනිසුන් දකින විදිහ අනුව පවුකාරයා කවුද කියන එක තීරණය කරන්න ප්‍රේක්ෂකයාට අවස්ථාව තිබෙනවා. ඒ කතාව සරලව රසවිඳීන්න ඕන රසිකයකුට පුළුවන්. ඒ අතරම අතුපතර විහිදී ගිය අර්ථකථන, මේ අප අදත් ජීවත්වන කැලේද, මිනිසුන්ගේ අවශ්‍යතාවට සතුන් දඩයම් කරන්නා සහ ආගම වෙනුවෙන් මිනිසුන් දඩයම් කරන්නා කවුද, ආදී වශයෙන් කාලීන විෂයය පථයක් තුළ මේ කතාව අවබෝධ කරගන්නත් පුළුවන්.

 

* ඒ කියන්නේ ඔබේ අතිනුත් යම් ආකාරයකට ආගම් විවේචනයක් වනවා?

සයිමන් නවගත්තෙගම කියන්නේ මා දකින ආකාරයට එක්තරා අන්දමක දාර්ශනිකයෙක්. ඔහු බෞද්ධ දර්ශනය හොඳීන් දන්නා කෙනෙකු ලෙස පන්සල ඇතුළු දැනට තිබෙන ආගමික සංස්ථා හොඳීන් විවේචනය කරනවා. අද වන විට ලෝකයේත් ලංකාවේත් සියලු ආගම් දේශපාලනික සංස්ථා බවට පත්වීම නිසා ඇති වී තිබෙන අගතිය ඔහු මැනවින් හුවා දක්වනවා. මගේ චිත්‍රපටය කාලීන වන්නේ මෙන්න මේ ප්‍රශ්නය එක්කයි. අද අපේ රටේ සියලු ආගමික නායකයන් තමන්ගේ ආගමික ස්ථානවල නොඉඳ මාධ්‍යවල පෙනී සිටිනවා. එක කතාවක් හොඳීන් ප්‍රචාරය වුණාම ඒකෙන් චූන් වෙලා තවතව කතා කියනවා. එතකොට ආගමික ස්ථානවල දේශනා කරන්න යන්නේ අපිද? තමන්ගේ ආගම විසින් පැවරූ න්‍යාය පත්‍රයට අමතර දේවල් කතා කරන්න ගියාම සිදු වන්නේ හානියක්. මොකද මිනිසුන්ගේ අධ්‍යාත්මික බැඳීමක් ආගමත් එක්ක තියෙන්නේ. ඒ එක්කයි ඒ කතා පිළිගන්නේ. අද වනවිට සියලු ආගම්වල නාමයෙන් මරණයේ භයානකකම පෙන්වලා ඊළඟ ආත්මයක සංකල්පයක් ගෙනල්ලා, එයට ජීවිත ලඝු කරලා, ඊළඟ ආත්මය වෙනුවෙන් මිනිසුන්ගේ පපු කැනතිවලින් අල්ලාගෙන මෙහෙයවනවා. නීතියෙන්, සංස්කෘතියෙන් හෝ මරණ දණ්ඩනයෙන්වත් පාලනය නොවන අය වගේම මහා උගතුන් කියන අය පවා අන්ධයෝ වගේ මෙයින් පාලනය වනවා. අපට නොපෙනෙන ලෝකයට මිනිස්සු ඇත්තෙන්ම බයයි. දිව්‍යලෝකය හෝ අපාය, පාපය, දෙවියන්, ප්‍රේතයන් ගැන කීවාම, මිනිසෙකු මානසිකව වැටුණු වෙලාවක ඒ දේවල් තමයි ඔළුවට එන්නේ. මේ තරම් භයානක දෙයක් තවත් ලෝකෙ නැහැ. මගේ විශ්වාසය නම් ආත්මය කියලා දෙයක් මේ ලෝකෙ නැහැ. බුදුන් කීවෙත් ඒකයි. ක්වොන්ටම්වලින් තමයි මේ සියල්ල හැදී තිබෙන්නේ. අපි මැරුණාම මේ කුණුවන ශරීරයේ සියුම් කොටස් තවත් ගහක කොළක හෝ සත්ත්වයකුට සම්බන්ධ වනවා හැර වෙන කොහෙවත් යන්නේ නැහැ.

 

* ආත්මවාදය හා විඥානවාදය වෙනස්?

මෙහෙමයි, මගේ විශ්වාසය අනුව නම් බෞද්ධ දර්ශනය වුණත් මම අන්ධභක්තියකින් පිළිගන්නේ නැහැ. ඕනම දේකට මට තර්කයක් ඕනා. අභිධර්ම පිටකයේ කීවා වුණත් එය ඔප්පු වන ආකාරයට අපට නොකීවොත් අපි එය පිළිගෙන ඒ අනුව ජීවත් වන්නේ මොකටද? තරංගවල හැසිරීම මම පටිගත කිරීම්වලදි පවා අත්දැක තිබෙනවා. එයිනුත් මම තේරුම් ගත්තේ මුලින් කීදේම තමයි. ඒ නිසා තර්කයෙන් තොරව එක එක බහුබූත මවාගන්නේ නැතුව තිබෙන දේ තුළ ජීවත් වීමයි එකම දේ.

 

* ඔබට විරෝධයක් ගොඩ නැඟෙන්න පුළුවන් ප්‍රකාශයක් කළේ?

කවුරු මොනවා කීවත්, අභිධර්ම පිටකය, බයිබලය, කුරාණය කුමක් ගෙනාවත් ඒවා කවුරුන් හෝ ලියපු දේවල් මිස එය පමණක්ම පාදම කරගෙන අපට හිටගන්න බැහැ. ප්‍රායෝගිකව මගේ ජීවිතය පිළිබඳ මම විශ්වාස කරන සත්‍ය මත මිස අන්ධ භක්තිකයන් විය යුතු නැහැ. අද ලෝකේ බොහෝ දේවල් සොයාගෙන ජය ගන්නවා නම් ඇයි අන්ධයන් වගේ ආගම් මත යන්නේ. මම විශ්වාස කරන හැටියට පවු කරන අය හෝ වයසට ගිහින් දුර්වල වෙලා ලෙඩ වුණු අය තමයි නොපෙනෙන දේවල් අස්සේ දුවන්නේ. ඒ අය තුත්තිරිගහේ හරි එල්ලෙන එක සාධාරණයි. අපි වුණත් සවි ශක්තිය තිබෙන මේ වෙලාවේ මෙහෙම කතා කළාට වයසට ගිහින් දුර්වල වුණු මොහොතක මොනවා කියයිද දන්නේ කවුද?

 

* ජයසේන ජයකොඩි මහත්මයා ඔබේ පියා, බෞද්ධ දර්ශනය පදනම් කරගත් නවකතා ලියූ ලේඛකයෙක්. ඔහුගේ කෘතිවලත් සිනමාත්මක ස්වභාවයක් තිබෙනවා?

අපේ තාත්තගේ තියෙන්නේ ථෙරවාදී ආකෘතියක්. නවගත්තේගමගේගේ තියෙන්නේ මහායානික ස්වරූපයක්. තාත්තාගේ නිර්මාණ බොහොම යථාර්ථවාදී. බුදුන් වුණත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයෙන් තමයි අමාවැස්සේ යොදාගන්නේ. අගතිගාමී බවකුත් නැහැ. පන්සලත් විවේචනය කරනවා. මම එය අගය කරනවා. ඒ මොනවා වුණත් මගේ සීමාව ඔහුගේ ථෙරවාදී සීමාව නෙවෙයි.

අනෙක මගේ චිත්‍රපට හතරම ගත්තාම දේශපාලනික ස්වභාවයට වඩා දාර්ශනික පැත්තට බර නිර්මාණ. ඒ චිත්‍රපටවල චරිත කියන්නේ හුදෙක් චරිතම නෙවෙයි. ඒ වටපිටාව සියල්ල සමඟයි චරිත හැදෙන්නේ. සිනමාව කියන විෂයය තුළ අපට පොතකට එහා ගිය බොහෝ දේවල් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මොකද තාක්ෂණය, භාෂාව, කලාව, සංගීතය ආදි සියල්ල එකතු වුණු මාධ්‍යයනේ සිනමාව. සමහර විට නිර්මාණකරුවකුගේ චිත්‍රපටයක හරි අර්ථය කියවා ගන්නේ වෙන කෙනකු වෙන්න පුළුවන්. මොකද මම දන්නේ නැහැ ඒ වෙලාවේ මගේ මනෝභාවය ක්‍රියාත්මක වන ආකාරය.

 

* රටක සිනමාවේ උන්නතියට කලාත්මක, ජනප්‍රිය ආදී ආකාරවලින් හඳුන්වන සියලු නිර්මාණ අවශ්‍යයි. ඒත් අපේ රටේ කලාත්මක සිනමාවට තිබෙන ඉඩ කොහොමද?

පළමුවෙන්ම අපි අහන්න ඕනා ඇයි කලාව, සිනමාව රටක පවතින්නේ. ජනප්‍රිය ගණයේ සිනමාව වගේම කලාත්මක හෝ ප්‍රකාශනවාදී සිනමාව ලෝකයට අවශ්‍යයි. ජනප්‍රිය ගණයේ සිනමා කෘතිවල ගීතයක් වගේ දෙයක් අපට මතකයේ තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් උදාහරණයකට, සාහිත්‍යයට හෝ අධ්‍යාපනයට හෝ ඒවා වලංගු නැහැ. ඒවා ඉතිහාසයට එකතු වන්නෙත් නැහැ. අද සිනමාව මම දන්නවා වෙනත් විධියකට භාවිත කරනවා නව ප්‍රවණතා, නව සොයාගැනීම් කරන්න පළමු දැක්ම ලෙස. මොකද තාක්ෂණය ආදිය මොනවා තිබුණත් මුලින්ම පරිකල්පනය බිහිවන්නේ කලාවෙන්. සිනමාවෙන් ඒ නව සොයාගැනීම් බොහොමයක් සොයාගෙන තිබෙනවා. මිනිසෙක් නව දෙයක් සොයා ගන්න පොලඹවන්න සිහිනයක් තමයි අවශ්‍ය. එය සිනමාවෙන් ලබා දෙනවා. සමාජයක ප්‍රගමනයට බුද්ධිමත් ජනතාවක් හදන්න චිත්‍රපට අවශ්‍ය නම් ඒ කලාත්මක චිත්‍රපටයි.

 

* ඔබ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ද ලෙසයි එසේ කියන්නෙ?

ඔව්. මම ජනප්‍රිය සහ සම්මාන ලැබූ ටෙලි නාට්‍ය හදපු කෙනෙක්. ඉතින් මට බැරි නැහැ දුවන ගණයේ චිත්‍රපට හදන්න. ඒත් චිත්‍රපට කියන්නේ ඒවා නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. 28ට මට සරසවිය සම්මානත් ලැබුණා. ඒ ඇගයීම සම්මානය වගේම බරයි. ආඩම්බරයි. තෘප්තිමත්. සරසවිය සම්මානයක් දීලා අගයන්නේ චිත්‍රපටයේ කුමක් හෝ වටිනාකමක් තිබෙන නිසානේ. ඒත් ප්‍රදර්ශනය කරන්න ගියාම ඒ අගය අදාළ තැන්වලින් නොලැබෙන්නේ මොකද? සල්ලිවලින් විතරක් තෘප්තිමත් වෙනවා නම් අපි මේ වගේ දේවල් කර කර ඉන්නේ නැහැනේ. තිර කතාවක් ලියලා ඉවර වුණාම අවිඥානිකව කලාත්මක කෘතියකට ගැළපෙන ආකාරයෙන් තමයි ලියැවිලා තියෙන්නේ. ඉතින් ඒක වැරැද්දක්ද කියල තමයි මට අහන්න තියෙන්නෙ.

 

* මෙවැනි චිත්‍රපට බොහෝ විට විදෙස් උලෙළ ඉලක්ක කරනවා කියා චෝදනාවක් තිබෙනවා?

මේ චිත්‍රපටය හැදුවේ 2015. බූසාන් උලෙළේ මේ පිටපතට පසු නිෂ්පාදන සඳහා ආධාරත් ලැබුණා. ඒ නිසා අයත් වෙන්නේ ඒ අවුරුද්දට. ඒත් ඒ සංස්කරණය හොඳ නැති බව අවංකවම තේරුම් අරන් මම වෙනම එකක් හැදුවා. හරිනම් චිත්‍රපටය විදෙස් උලෙළවලට දැමිය යුතු ජාතියේ වුණත් දාන්න විදිහක් නැහැ මගේ තිබෙන අත්තනෝමතික ලක්ෂණ නිසා. මම සංකාරා හදද්දි උලෙළ ගැන දන්නෙත් නැහැ. ඒත් සම්මාන ලැබුණා. ඇයි අපි ලෝකේ රටවල් එක්ක ක්‍රිකට් ගහන්නේ. චිත්‍රපටිත් එහෙම ලෝකෙට යන එකයි වටිනාකම. අද වන විට ලෝකෙ සම්මාන උලෙළ ඉස්සර වගේ යථාර්ථවාදීත් නැහැ. සල්ලි දීලා යන්න පුළුවන් තත්ත්වයට වැටිලා.

 

* ඔබ අලුත් නිළියක් සමඟයි චිත්‍රපටයේ ලිංගික දර්ශන ඉදිරිපත් කරන්නේ?

ඇය බොහොම නිදහස් මතධාරිනියක්. නියම සුචරිතවාදිනියක්. මේ සොබාදහමේ ජීවීන් නිර්මාණය වෙලා තිබෙන්නේ තමන්ගේ වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන්. එය එළිපිට පෙන්නුවාම සමහරුන්ට ප්‍රශ්නයක්. බ්‍රිටෝ මේ චිත්‍රපටයේ කළ කොටස නොතිබුණා නම් වැඩක් තිබෙනවාද? රූපගත කිරීම් කරන කාලයේ ඇයගේ ශරීරයේ කිසිම ජුගුප්සාජනක ස්වභාවක් තිබුණේ නැහැ. අනෙක ඇය කළේ රංගනයක්. මම ඇඳුම් සහිතවත් ඒ කොටස රූපගත කළා. ඒත් මට ඒ ව්‍යාජය ප්‍රේක්ෂකයන්ටත් නිර්මාණයටත් කරන්න බැහැ. මේ ශාලාවෙන් එළියට එන කිසිම කෙනෙක් නිරුවත ගැන කතා කළේ නැහැ. ඔවුන් එහි නිරුවත නෙවෙයි සොබා දහමයි දැක්කෙ. මේ චිත්‍රපටයේ ගහකොළට නැති ඇඳුම් මිනිසුන්ට විතරක් මොකටද? වික්ටෝරියානු සදාචාරය එනකල් අපේ රටේ තිබුණනේ ඒ නිදහස.

 

* ඔබ නෙට්ෆ්ලික්ස් ක්‍රමවේදයට යන්න සූදානම්ද?

අද ශාලාවල පමණක් පෙන්නලා ආදායම් ලබන්න බැරි නිසා තාක්ෂණය සමඟ යන ක්‍රමවලට සියලුදෙනා අනුගත විය යුතුයි. 70 දශකයේ කරපු දේවල්වලින් ඔබ්බට යා යුතුයි ලෝකේ යන විදිහට කටයුතු කරන්න. හැබැයි ඒ දේවල් තමයි සංස්ථාව විසින් සැලසුම් කරන්න ඕනා අනාගතය වෙනුවෙන්.

 

* චිත්‍රපටය නිර්මාණය කළ ආකාරය ගැනත් මතක් කරමු?

මම මේ පිටපත ලියාගත්තට පස්සේ ගිය චූන් එක කොච්චරද කීවොත් හොඳ ෆෝන් එකක් හරි අරගෙන ෂූට් කරනවා කියලා හිතුවා. අන්තිමට මේ කාලේ තිබෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදකවරු කීපදෙනෙක් අමාරුවෙන් ලක්ෂ 10ක් විතර දෙන්න කැමති වුණා. හිතුවක්කාරකමට මුහුරත් එක තිබ්බාම තවත් ගාණක් හම්බුණා. කැම සපයලා අනෙක් ටික දෙඤ්ඤංකාසිවලට හරි කරන්න හිතා ගත්තා. කැමරා අරන් කැලේ ගියා අපි. හැබැයි කිසිම විදුලි ආලෝකයක් පාවිච්චි කරලා නැහැ. ස්වාභාවික එළිය විතරයි. ඒ නිසා හවස හතරට විතර ෂූටින් නවත්වන්න වෙනවා. අපිත් සත්තු වගේ, සමහර වෙලාවට යට ඇඳුම විතරයි. සීතලයි, අඳුරයි, රැහි හඬට දැනෙන පාළුවයි එක්ක කාටවත් ඉන්න තිබුණු අපහසුව නැති කළේ ගිනි මැලයක් වටේ ඉඳගෙන මධුවිතක් තොලගාමින් කරන කතාබහ යි. අපිත් සොබා දහමේ කොටසක් බව දැනුණා. ඇත්ත දඩයක්කාරයෙක් අපිත් එක්ක හිටියා. සයිමන් මහත්තයාගේ දඩයක්කාරයාගෙන් එහා ගිය විස්තර ටිකක් මම එයාගෙන් ඉගෙන ගත්තා. සතෙක්ට වෙඩි තියන්නෙ ගහකින් ගෙඩියක් කඩා ගන්නවා වගේ. එකපාරින් මරන්න ඕන. ඊට කලින් සතා ගැබ්බරද, කන බොන වෙලාවක්ද, වෙන එකෙක්ගේ පිටේ ඉන්න වෙලාවක්ද ඒ ඔක්කොම බලන්න ඕනා. එලාගත් සතාගේ එක මයිල්ගහක්වත් අහක යන්න බැහැ. එහෙම වුණොත් පවු හාමුදුරුවනේ කියලා මගේ තිර රචනයටත් ආවේ ඒ දේවල් තමයි. හැබැයි ඒ කැලේ හිටපු දවස් විසි ගාණක ජීවිතේ මාර සුන්දරයි. සරලයි.

අපි වින්ද ඒ දේවල්වල තියෙන වටිනාකම චිත්‍රපටයෙත් තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය රසිකයාව සැහැල්ලු කරන මොහොතක්. එය විඳීන්න. ඔබ දඩයමද? දඩයක්කාරයාද? සිනමා ශාලාවට ගිහින් සංසාරයේ දඩයක්කාරයා සමඟ කැලැ වැදුණොත් එය ඔබටම සොයා ගන්න පුළුවන් වෙයි. එතතකොට අපට පුළුවන් දඩයම හෝ දඩයක්කාරයා බවට පත් නොවී ඉන්න ක්‍රමය සොයාගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.