තාත්තා මං රඟපානවට කැමැතියි

අම්මා කැමැති නැහැ
කුලිත පෙරේරා
ජූලි 18, 2019

ටෙලි සිනමා අධ්‍යක්ෂ සංජය නිර්මාල් සරසවියට ඇවිත්. ඔහු නිර්මාණය කළ ඒමි නාට්‍යය මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවනෙ. සාමාන්‍යයෙන් තමන්ගේ නාට්‍යයක් විකාශය වෙද්දී ඒ පිළිබඳ පුවත්පත් ලිපි මඟින් ජනතාව දැනුම්වත් කරන්න අධ්‍යක්ෂවරු නිරන්තරයෙන් සරසවියට යාම් ඊම් කරනවා. නමුත් සංජය ඇවිල්ලා කිව්වේ වෙනම කතාවක්.

මගේ ආර්ටිකල් මුකුත් ඕන නැහැ. මෙන්න මෙයා ගැන මොනවා හරි ලියලා දෙන්න.

සංජය ළඟ ඉන්න පොඩ්ඩව පෙන්නුවා. ඒ පුංචි පැංචව අපිට දැකලා පුරුදුයි.

මෙයා නාට්‍යවල ඉන්නවා නේද. අයියගේ ඒමි නාට්‍යයෙත් . . .?

ඔව් ඔව්. ඒමි එකේ ඉන්නවා.

සංජය කිව්වේ පොඩ්ඩව ළඟට ගන්න ගමන්.

මොකක්ද පුතාගේ නම?

කුලිත පෙරේරා.

කුලිත . . .?

නම තහවුරු කරන්න ඔහු හිස ඉහළට පහළට යැව්වා.

තාත්තද රඟපාන්න ගත්තේ?

ඒ පැනයට කුලිත හිස දෙපසට වැනුවේ නැහැ කියන්නට වගේ.

පුතාව මං රඟපාන්න ගත්තේ නැහැ. මෙයාගේ අම්මත් වැඩිය කැමැති නැහැ රඟපානවට. තාත්තා ඩිරෙක්ටර් වුණත් පුතා නිර්මාණවල හිටියේ නැහැ. නිෂ්පාදක තමයි මෙයාව යෝජනා කළේ.

සංජය කියාගෙන යයි. කුලිත අසාගෙන සිටියි.

කුලිත රඟපාපු පළවෙනි නිර්මාණය මොකක්ද?

තාත්තගේ ස්වර චිත්‍රපටයේ.

ඊට පස්සේ?

බෝධි, හේඩි වගේ නාට්‍යවල රඟපෑවා. අන්තිමට කළේ ඒමි නාට්‍යය.

ඒමි නාට්‍යයේ?

මං මතීජ. හරිම දඟ ළමයෙක්. බොරුත් කියනවා නිතරම.

තාත්තා නම් කියන්නේ පුතාගේ ඇත්ත ගතිගුණ තියෙනවා කියලා චරිතයේ?

ටිකක් දඟයි තමයි. එත් ඔය කියන තරම් නැහැ.

පුතාගේ ඉස්කෝලේ?

මරදාන සෙන්ට් ජෝශප් කොලේජ් එක. මං පහ වසරේ ඉගෙන ගන්නේ.

කුලිත රඟපාන්නේ කැමැත්තෙන්ද? නැත්නම් තාත්තා අධ්‍යක්ෂවරයකු නිසාද?

අම්මෝ . . . වෙලාවකට හරි කරදරයි රඟපාන එක. ඇයි ඉතින් පාන්දරම යන්න වෙනවනෙ. සමහර දවස්වල රෑවෙනකම් ෂූටිං. පාඩම් වැඩ මිස් කරන්නත් බැහැනෙ. දිග දෙබස් එහෙමත් තියෙනවා. තාත්තත් උදව් කරනවා. හැබැයි බනිනවත් එක්ක. දෙබස් වැරදුණාම තමයි බැනුම් අහන්න වෙන්නේ. අම්මා නම් තවම මාව යවන්නේ තාත්තගේ වැඩවලට විතරයි. වෙන ඒවායින් කතා කළා. යැව්වේ නැහැ.

ලොකු වුණාම දිගටම නළුවෙක් විදිහට ද ඉන්න ආස?

අපෝ නැහැ. මං පයිලට් කෙනෙක් වෙනවා.

තාත්තගේ නිර්මාණ පුතා නරඹලා තියෙනවාද?

ඔව්, ඔව්. මං හරිම ආසයි තාත්තා කරපු සමාරා චිත්‍රපටයට.

කුලිතගේ අම්මගේ නමත් මතක් කරමු?

අම්මා ශාලිකා ජීවනි.

ආ . . . මට ඒමි නාට්‍යය නිෂ්පාදනය කරපු මාලති විජේසිංහ ආන්ටිවත් මතක් කරන්න ඕනෑ.

මට අම්මා එක්කත් ෆොටෝ එකකට ඉන්න ඕන. කමක් නැද්ද?

කමක් නැහැ.

අම්මටයි තාත්තටයි මැදි වූ කුලිත මෙසේ ඡායාරූපවලට පෙනී සිටියා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.