මාව ෂුවර් නම් ගැටලුවක් නෑ

- අමන්දා ජයරත්න
ජූලි 18, 2019

මේ සොඳුරු සිතැත්තිය අමන්දා ජයරත්න. ඇය ඔබ හඳුනන්නේ ‘තෝඩු’ නාට්‍යයේ පහන්දි විදිහට.

 අමන්දා . . . තෝඩු ඔබේ පළමු නිර්මාණය නෙවෙයි නේද?

‘තෝඩු’ මගේ දෙවැන්න. පළමු වතාවට රඟපෑවේ ‘නීලපබළු’ නාට්‍යයේ. ඒ චරිතෙ නම මොනිකා. මේන් මොඩ්ල්.

 ඔබත් රඟපාන්නට ප්‍රථම මෝස්තර නිරූපිකාවක් නේද?

ඔව්. දැනටත් මං මෝස්තර නිරූපණයේ යෙදෙනවා. කොහොමත් මං රඟපාන්න කැමැත්තෙන් හිටියේ. මෝස්තර නිරූපණයේ යෙදෙන අතරතුරදි මට ලලිත් වසන්ත සර්ව මුණ ගැහුණා. ඔහු තමයි මට ‘නීලපබළු’ රඟපාන්න අවස්ථාව දුන්නේ.

කොහොමද පහන්දිට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. ෆේස්බුක් එකෙන් එහෙම සෑහෙන්න මැසේජ් එවනවා. මාව දැකලවත් නැති අය එයාලගෙ ගෙවල්වලට එන්න කියලා ආරාධනා කරනවා. අනේ මං හිතුවෙ නැහැ පහන්දි මෙච්චරටම ජනප්‍රිය වෙයි කියලා. ඒකේ පූර්ණ ගෞරවය ලලිත් සර්ට හිමි වෙන්න ඕනෑ. අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාවත් මතක් කරන්න ඕනෑ.

සඳුන්ගේ පෙර නිර්මාණ ඔබ රස විඳලා තියෙනවාද?

ඔව්. චායා, උතුම් පැතුම්, ආදරේ ගින්දර වගේ නාට්‍ය බැලුවා. මං ඒවායේ රසිකයෙක්.

 ඔබට චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලා තියෙනවාද?

කිහිපයකට කතා කළා. ඒවායේ චරිතවලට මං එච්චර ආස නැහැ. මට හිතුණා මට ඒ චරිත ගැළපෙන්නේ නැහැ කියලා. හොඳ චරිත විතරයි මං රඟපාන්න බලාපොරොත්තු වන්නේ.

 නිළියක් විදිහට විවිධ අවස්ථා මඟහැරීම ඔබට කරගන්නා පාඩුවක් නොවේද?

චිත්‍රපටවල අවස්ථා මඟහැරීම ගැන දුකයි. ඒත් ආත්ම ගෞරවය මට වටිනවා. චරිත රඟපානවා නම් හොඳම ඒවාම තෝර ගන්නේ ඒකයි.

තරුණ නිළියන්ට කටකතා හැදෙනවා?

මට තවම කටකතා හැදිලා නැහැ. කටකතා හැදුණත් මට මාව ෂුවර් නම් ගැටලුවක් නැහැනෙ. මං හැම තැනම යන්නේ අම්මත් එක්ක. අම්මා මා ගැන අවධානයෙන් ඉන්නේ. ඒක නිසා හොඳ ආරක්ෂාවකුත් මට ලැබෙනවා.

අධ්‍යාපනය පැත්තෙන් ඔබ මොන වගේ තැනකද ඉන්නේ?

මට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් තියෙනවා. ඉදිරියේදී මම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.

 කලාවෙන් පමණක් මුදල් උපයගන්න බැරි නිසාද ව්‍යාපාරවලට යොමු වෙන්න හිතුවේ?

නැහැ. මං ඉගෙන ගත්තු දේනෙ, එකෙන් ප්‍රයෝජනයක් නොගත්තොත් මටම කරගන්න පාඩුවක්. ඒක තමයි හේතුව ව්‍යාපාරයකට යොමු වෙන්න.

තෝඩු රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීමක් දෙකක් තියෙනවාද?

එකක් දෙකක් නෙවෙයි ගොඩක් තියෙනවා. මගේ උපන් දිනය ජූනි දෙක. එදා ලොකේෂන් එකේදී මගේ උපන් දිනය සැමරුවා. ඒක ජීවිතේ මං විඳපු ලොකුම සතුටක්. නාට්‍යයේ මගෙත් එක්ක රඟපානවා කාවිංග පෙරේරා අයියා. ඔහු මට ෆයිල් එකකින් ගහන දර්ශනයක් තිබුණා. ඒ ගහපු පාර හරිම සැරයි. ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

අමන්දාගේ ගම කොහේද?

සීදූව, රද්දොළුගම.

ඉගෙන ගත්තු පාසල?

ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

විමෝදෙට බර කෙනෙක්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.