කැත මිනිස්සු බහුතරය ඉන්නේ සිනමා ක්ෂේත්‍රයේ

ජාතික චිත්‍රපට සංස්ථාව සභාපතිනී අනූෂා ගෝකුල
ජූලි 25, 2019

2K-4K සෞඛ්‍ය බලපෑම අධ්‍යයනය කළ යුතුයි

සිනමා සම්මාන උලෙළ අතරින් සරසවිය, සිග්නීස් හැරුණු කොට පැරැණිතම උලෙළ වන්නේ ජනාධිපති සම්මානයි. වසර තුනකට පසු යළිත් වරක් ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වෙන්නේ හෙට (සිකුරාදා) සවස 6.00 සිට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීය. මේ පිළිබඳවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් අර්බුද පිළිබඳවත් එහි සභාපතිනී අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගෙන් අපි මෙසේ විමසුවෙමු.

 

* මුලින්ම අපි කතා කරමු ජනාධිපති සිනමා සම්මාන උලෙළ පිළිබඳව?

අපි 2016-17-18 අවුරුදු තුනේ චිත්‍රපට 79ක් ඇගයීමට ලක් කරන්න ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අපේ විෂය භාර ඇමැති සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සහභාගීත්වයෙන් මෙවර උත්සවය පැවැත්වෙනවා.

 

* අවුරුදු තුනක චිත්‍රපට ඇගයීම තරමක අපහසු කාර්යයක්?

ඔව්. ඒත් මීට කලිනුත් එහෙම කරපු අවස්ථාවක් තිබුණා. ඇත්තෙන්ම අවුරුදු තුනක් එකට ගත්තේ ඉදිරියේදී වාර්ෂිකව මේ උත්සවය පවත්වන්න පසුබිම සකස් කිරීමට. වාර්ෂිකව ඒ දේ සිදුවුණොත් පමණයි අවධානය වැඩිවෙලා, ප්‍රමිතියක් ඇතිවෙලා, ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව වර්ධනය වන්නේ. මොකද 2016 ප්‍රදර්ශනය වූ චිත්‍රපට මේ වනවිට ප්‍රේක්ෂකයන්ට මතක නැහැ. ඒ ප්‍රමාදය නිසා උලෙළකින් සාක්ෂාත් කරගන්න හිතන අභිමතාර්ථ ඉෂ්ඨසිද්ධ වන්නේ නැහැ. සමාජ කථිකාව දුරස් වෙනවා. සංස්කෘතික අධ්‍යක්ෂ හැටියට රාජ්‍ය උලෙළ පැවැත්වීමේ වටිනාකම මම දැකලා තිබෙනවා. සිනමාව සූසැට කලාවන්ගේ ප්‍රබල සංයෝජනයක් නිසා ජනහදවතට සමීපයි.

 

* රාජ්‍ය සිනමා උලෙළක් පැවැත්වීමෙන් රටකට ඇතිවන යහපත?

ප්‍රේක්ෂකයා සිනමාවේ ප්‍රමිතිය කුමක්ද කියා දැනගන්නවා. විශේෂයෙන් ප්‍රේක්ෂකයා ආකර්ෂණය වන චිත්‍රපටවලටම නෙවෙයි සම්මාන ලැබෙන්නේ කියන දේ ඔවුන් වටහා ගන්නේ උලෙළ නිසා. සිනමා පටයක් ලෙස ඇගයීමට ලක්විය යුත්තේ කුමක්ද කියන දේ ජූරියකින් විනිශ්චය වනවා.

විවිධ ආස්තරවල සිටින විවිධ ප්‍රේක්ෂකයන්ගේ රසවින්දන මට්ටම් විවිධ වුවත්, අපේ රටේ සාපේක්ෂව ප්‍රේක්ෂක සංඛ්‍යාව කුඩා නිසා විවිධාංගීකරණයට ගොස් පැතිරුණු නිර්මාණ සංඛ්‍යාවක් කිරීමට අපහසු වුවත්, වෙළෙඳපොළ කෙතරම් කුඩා වුවත් ප්‍රමිතියක් ඇතිකිරීම සහ ඒ පිළිබඳ කතිකාවක් ඇතිකිරීම වගේම ප්‍රමිතියට අනුව නිර්මාණ කිරීමට නිර්මාණකරුවා යොමු කිරීමට මෙය වැදගත්. විශේෂයෙන්ම මානව සංවර්ධනයේ දැවැන්ත සාධකයක් වන සිනමාව, සමාජයේ පොදු ගැටලු සාකච්ඡා කළ යුතු වනවා.

ඒත් මම සභාපතිනිය ලෙස නොවෙයි, පොදු රසිකාවක් ලෙස වගේම, කුඩා කල සිට දේශීය, විදේශීය චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නැරඹූ ප්‍රේක්ෂිකාවක් ලෙස දකින්නේ අද බොහෝ චිත්‍රපටවල එවැනි ප්‍රස්තුත කතාවන්නේ නැහැ. ඔය කීප දෙනකුට අදාළ කතාවක් තමයි පොදු කරන්න හදන්නේ. 70-80 දශකවල ප්‍රේක්ෂකයන් මේ තරම් ආකර්ෂණය වුණේ මිනිස්සුන්ගේ කතාව දකින්න ලැබුණු නිසා.

එයින් සහකම්පනයක් සමාජයේ ඇතිවුණු නිසා. ඒ යුගයේ කෝටි හතක් වසරකට චිත්‍රපට නරඹලා තිබෙනවා. මේ ලිපිය කියවන කෙනකුට හිතෙන්න පුළුවන් අදත් ඉන්නේ කෝටි දෙකක් නිසා සංඛ්‍යාලේඛන බොරුය කියලා. ඒත් ඒකේ තේරුම තමයි එක පුද්ගලයෙක් වාර කීපයක් එක චිත්‍රපටයක් නරඹා තිබෙනවාය කියන එක.

අද සිනමාවට සම්බන්ධ පාර්ශ්වකරුවන් සියලුදෙනා එකතුවෙලා ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 70ට ඒ කියන්නේ දහයෙන් එකකට අඩු කරගෙන තිබෙනවා. ඒකම ඇති සිනමා කර්මාන්තයේ අසාර්ථකත්වය තේරුම්ගන්න. එය ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි ප්‍රේක්ෂකයන් පිළිබඳ නිවැරැදිව කියවා නොගැනීමේ ප්‍රශ්නයක්.

 

* මෙයට සංස්ථාවත් වගකිව යුතුයි?

ඇත්ත. අපි ඒ ගැන හිතලා මේ පිළිබඳ පර්යේෂණ කරන්න පටන් ගත්තා. මම සංස්ථාවට ආවාට පස්සේ දුටු ප්‍රධාන දේ, අපි හැමදේම කතා කරන්නේ හැඟීමෙන් මිස විද්‍යානුකූල පසුබිමක් සහිතව නොවේ. අනෙක මට මොකද වෙන්නේ කියලා පුද්ගලබද්ධව මිස පොදුවේ කර්මාන්තය පිළිබඳ සිතන්නේ නැහැ. මේ නිසා විසම චක්‍රයකට සිනමාව වැටිලා. හරියට ගෙදරක නැන්දම්මා ලේලි ප්‍රශ්නේ වගේ අගක් මුලක් හොයාගන්න නැහැ. 70 දශකයට කලින් සිනමාව පවත්වාගෙන ගිහින් තියෙන්නේ පුද්ගලයන් කීපදෙනකු විසින්. එයින් සිදුවන අනර්ථය ගැන කියලා, මහා දැවැන්ත අරගලයක් කරලා සිරිමාවෝ මැතිනියගේ යුගයේ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන්නේ 1972 දි.

මුල්කාලේ ඉතා හොඳට ගිහින් 79-80 කාලේ රාජ්‍ය ව්‍යූහය තුළත් ගැටලු ඇතිවෙනවා. ඒ අර්බුදයේ දිගුවක් ලෙස 2001 වන විට නිලවීර වාර්තාව කියන මාර්ගෝපදේශයකින් අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් බෙදාහැරීම පෞද්ගලික අංශයට යනවා. එය නෛතිකව සිදුවුණු වරදක්. පනතක් සංශෝධනය විය යුත්තේ පාර්ලිමේන්තුවෙන් පමණයි. එත් මේ නිසා 70ට කලින් පෞද්ගලික අංශයට තිබුණු ක්‍රමය වැරැදියි කියලා කියූ දේ නොහිතා, සැලසුම් නොකර ආපසු එතැනටම එනවා. 2001 සිට මේ දක්වා අවුරුදු 18 ඇතුළත සිනමාවට වුණු ඛේදය අතිමහත්. මෙය සෘජුව සහ වක්‍රව සිදුවෙනවා. සෘජුව ගත්තොත් බෙදා හැරීම් ක්‍රියාවලිය අවිධිමත්වනවා.

පෞද්ගලික අංශය තමන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් තුළ මුදල පමණක් පදනම් කරගෙන, මේ අතිසුන්දර, මානව දයාවෙන් යුතු සිනමාව අසුන්දර ලෙස ක්‍රියාත්මක කරන්න ගන්නවා. සිනමාහල් හිමියන් අපහසුතාවට පත් කරලා, ශාලා හිමියන් ඉල්ලුවට චිත්‍රපට බෙදාහැරීම් මණ්ඩලවලින් නොදී, තමන් කැමැති අයට පමණක් චිත්‍රපට දීම නිසා ශාලාවලට ආදායම නැති වෙලා නඩත්තුව වැටිලා ප්‍රමිතිය පහළ වැටීමෙන් ප්‍රේක්ෂකයන් අඩුවෙලා, ආදායම අඩුවෙලා, ඒ නිසා ඔවුන්ට චිත්‍රපට දීලා වැඩක් නැතය කියන මතය ඇති වෙලා, අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකයන්ට පිරිවැය දරාගන්න බැරි වෙලා සම්පූර්ණ අර්බුදකාරී තත්ත්වයට පත්වෙලා. ඒ අස්සෙ කීපදෙනෙක් මෙයින් මුදල් හම්බකරගන්නවා. ආනයනික සිනමාව රටක තිබිය යුත්තේ දේශීය සිනමාව පෝෂණය කරන්නට මිස එයට හානි කරන්නට නෙවෙයි. ඒත් ඔවුන් ඒ මුදල් ආනයනික සිනමාවට ආයෝජනය කරන්නේ අපේ සිනමාව වට්ටමින්. ඔවුන් ප්‍රචාරයක් ගෙනියනවා අපි ආනයනික චිත්‍රපටවලට බලපැම් කරනවා කියලා.

එය විශාල බොරුවක්. අපි චිත්‍රපට ආනයනය සම්පූර්ණයෙන් ලිබරලයිස් කරලයි තියෙන්නෙ. හැබැයි රට අභ්‍යන්තරයේ චිත්‍රපට බෙදාහැරීම සංස්ථාවෙන් නියාමනය විය යුතුයි කියා මම විශ්වාස කරනවා. අනෙක මේ සියල්ලට වඩා සූක්ෂ්මව බැලිය යුතු කාරණාවක් තිබෙනවා. ඔය මිනිතියටර්ස්වල 2කේ, 4කේ, 8කේ කියන යන්ත්‍රවලින්, ඒ කිරණවලින් අපට සිදුවන සෞඛ්‍යමය බලපැම කොච්චරද කියලා අපි නිශ්චය කරලා නැහැ. අපි සිනමාව රසවිඳීනවා වගේම මේ කරුණු ගැනත් සබුද්ධික විය යුතුයි. මම දැක්කා මිනිස්සු නොමැරෙන ජාතියක්ය කියලා හිතාගෙන වැඩකරන පිරිසක්. ඔවුන් මේ කඩලා තියෙන්නේ ජාතියේ කොඳු නාරටිය, ජනතාවගේ රසය තිබෙන තැනින් මිනිසුන් ඉවත් කරනවා මේ අය එකතු වෙලා.

ඔවුන්ට මේ සොබාදහමෙන් මොනවා අත්පත් කරදෙයිද කියලා ස්වභාවධර්මයට ආදරය කරන, එය විශ්වාස කරන මනුෂ්‍යයෝ හැටියට අපට කියන්න බැහැ. හැබැයි සංස්ථාවත් බෙදාහැරීම ඉවත් වුණාට ඉතුරු කටයුතු ටික කාලයක් තිස්සේ නියාමනය කරලා නැහැ. ඒ වගකීම සංස්ථාව දැරිය යුතුයි. මම පෞද්ගලිකව දකින දේ තමයි රාජ්‍ය හෝ පෞද්ගලික කුමන අංශයෙන් කළත් මේ මහපොළොවට ආදරය කරන, සැබෑව තේරුම් අරන් අවංකව වැඩ කරන මිනිස්සු මේවායේ ඉන්න ඕනා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම හොඳ චිත්‍රපට නිෂ්පාදනය වෙලා යළි ප්‍රේක්ෂකයන් සිනමාවට ඇදිලා කර්මාන්තය නඟාසිටුවන්න පුළුවන්.

 

* ඔය අරමුණින් නේ අර විද්වත් කමිටුවක් පිහිටෙව්වේ. ඒකේ නිර්දේශ නොසලකා අභ්‍යන්තර කමිටුවක් කටයුතු කරන බවට චෝදනාවක් තියෙනවා?

ඒ බොරුවක්. සම්පූර්ණ අසත්‍යයක්. ඔය කතාව නිරන්තරයෙන්ම කියන්නේ සෝමරත්න දිසානායක මහත්තයා. මට තේරෙන්නේ නැහැ ඒ ඇයි කියලා. පෙබරවාරි 6 තමයි විද්වත් කමිටුව පිහිටෙවුවේ. දින 14ක් පැය 54ක් අපි කතා කරලා තියෙනවා. එයට අඛණ්ඩව සහභාගී වුණු එකම කෙනා සෝමරත්න මහත්තයා. ඒ කමිටුව ඇරුණාම අගමැතිතුමාගේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබූ කමිටු වගේම විවිධ රැස්වීම්වලින් ගත් තොරතුරු සියල්ල එකතු කරලා තමයි ඔය කියන බෙදාහැරීම් පිළිවෙත සකස් කළේ.

 

* ඊට පරිබාහිරව ඔබ විසින් අභ්‍යන්තර නිලධාරීන්ගේ කමිටුවකින් විනිවිදභාවයකින් තොරව තීරණ ගත්තේ නැද්ද?

නෑ... නෑ. නෑ. නෑ. එහෙම නිකං කියන්න කලින් ඒකේ තියෙන වගන්ති 26න් මෙන්න මේක වැරැදියි කියලා ඒ කවුරුවත් අද වෙනකල් ලිඛිතව දුන්නද අපට?

 

* ඔවුන් කරුණු 10ක් යෝජනා කරලා තිබෙනවා?

ඒ 10ත් එක්ක තමයි 26 හැදෙන්නනේ. ඒ අතරින් කරුණු තුනකින් එකක් ඇතුළත් කර නැහැ. දෙකක් වෙනස්කමකට ලක් වුණා. එකක් ආදායමේ ප්‍රතිශතය තිබුණේ නිෂ්පාදකයාට සියයට 45යි, ප්‍රදර්ශකයාට 45යි, බෙදාහරින්නාට 10යි. බෙදාහැරීම සංස්ථාවට ආවාම අපට ලැබෙන කොටස 7.5ක් දක්වා අඩු කරගෙන ඉතිරිය නිෂ්පාදකයාටයි ප්‍රදර්ශකයාටයි බෙදාදීලා තියෙනවා. යෝජනාවේ තිබුණට වඩා හොඳ විදිහට නෙවෙයිද ඒක කරලා තියෙන්නේ. එහෙම කළේ විද්වත් කමිටුවේ කෙටුම්පත ප්‍රසිද්ධ කළාම ඒ ඒ පාර්ශ්ව කළ ඉල්ලීම් නිසා. දෙවැන්න ඒ අය කියනවා, සංස්ථාවේ සභාපතිටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඉහළින් නියාමට මණ්ඩලයක් පිහිටුවන්න කියලා. මේ සාකච්ඡාව යන්නේ බෙදාහැරීම සංස්ථාවට නැති මොහොතක. ඒ වෙලාවෙදි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තීරණයක් ගන්නයි හැදුවේ. ඒත් 6/28 වෙනිදා වාරණය ඉවත් කළ ගමන් පනත බලාත්මක වුණාම පනතට අනුව පූර්ණ බලතල තිබෙන්නේ සංස්ථාවේ සභාපති කියන තනතුරට.

ඒ තනතුර අබිබවා නියාමන කමිටුවක් පත් කරනවානම් අනිවාර්යයෙන්ම පනත සංශෝධනය වෙන්න ඕනා. නිලවීර වාර්තාව තිබෙනකොටයි, වාරණය ඉවත් වුණාමයි කියන්නේ අවස්ථා දෙකක්. එතකොට අපට හැකියාවක් නැහැ අපේ රෙගුලාසි අනුව සභාපතිට ඉහළින් නියාමන මණ්ඩලයක් පත් කරන්න. හැබැයි අපට කමිටු පත්කරන්න පුළුවන් නිර්දේශ, උපදෙස් ගන්න. දැනටත් එහෙම කමිටු කීපයක්ම තිබෙනවා ඉක්මනට වැඩ කරන්න පහසුවෙන්න. නිදසුන් විදිහට චිත්‍රපට වර්ගීකරණ, අනුපෙළ කමිටු වගේ. හැබැයි සෝමරත්න මහත්තයා කියන විදිහට සභාපතිට ඉහළින් කමිටුවක් පත් කරන්න ඕන කියලා රට හිතනවා නම් පනත සංශෝධනය කළ යුතුයි.

ඊළඟට ඒ අය කියනවා බෙදාහැරීම නිදහස් කරන්න කියලා. එහෙම විවෘත ක්‍රමයකට ගියොත් ඕනැම කෙනකුට ඒජන්සි විදිහට ලියාපදිංචි වෙලා බෙදාහරින්න පුළුවන්. 70ට කලින් තිබුණු ක්‍රමයත් අසාර්ථක නම්, 2001-19 කාලය පුරාත් පෞද්ගලික අංශයට දීලා අසාර්ථක නම් නැවතත් ඒ ආකාරයටම ගියාම සාර්ථක වෙයි කියන්න තියෙන සාධක මොනවාද? නඩු තීන්දුව කුමක් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඒත් අපි විවිධ රටවල වගේම අපේ රටේ ක්‍රමවේද අධ්‍යයනයට පසු මම කියන්නේ වෙනවා නම් ඇත්තටම විය යුත්තේ බෙදාහැරීම කියන දේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශ දෙකටම වඩා වෙනස් ක්‍රමයකට යා යුතුයි කියලයි.

 

* මොකක්ද ඒ අමුතු ක්‍රමේ?

ඒක මට මේ වෙලාවේ කියන්න බැහැ. ඒ සඳහා තමයි අපි අධ්‍යයනය කරගෙන යන්නේ. ඒත් එක දෙයක් කියන්න පුළුවන්. ක්‍රමවේදය ඉතාම විධිමත් වෙන්න ඕනා. අනෙක පෞද්ගලිකව සම්බන්ධ වන අය මේ මහපොළොව මත භාවිතය කෙබඳුද කියලා හොයන්න ඕනා. එහෙම නැතුව එන ඕනැම කෙනකුට ඕනැ ඕනැ විදිහට මෙය කරන්න බැහැ. මොකද මෙය සිදුවෙන්නේ ඉතාම භයංකර කළුකඩ ක්‍රමයකටත් අන්ත විදිහකට. උදාහරණයකට ඔයාට ශාලාවක් තියෙනවා නම් මම චිත්‍රපට ආනයනය කරනවා නම්, මම කියනවා චිත්‍රපට ගෙන්වන්න මට විශාල මුදලක් යනවා ඒ නිසා ඔයා මට සියයට 70ක් දෙන්න ඕනා මගෙන් චිත්‍රපටය ගන්න නම් කියල.

ඔයා චිත්‍රපටය දැකලත් නැහැ. ඒත් ඔයාට විකල්පයකුත් නැහැ. තව ක්‍රමයක් තියෙනවා. ඔයාගේ ශාලාවේ චිත්‍රපටය පෙන්නලා නෙවෙයි මට සල්ලි දෙන්නෙ. මම අත්තිකාරමක් ඉල්ලනවා ලක්ෂ 50ක. ඔයා කනකර උගස් කරලා සල්ලි දීලා චිත්‍රපටය ගන්නවා. චිත්‍රපටය ලක්ෂ දහයක්වත් ලැබෙන විදිහට දුවන්නේ නැහැ. ඔයා මට ඒක කීවාම මම කියනවා ඉතිරි ලක්ෂ 40 දෙන්න විදිහක් නැහැ ඊළඟ චිත්‍රපටයකින් අඩුකරගන්න කියලා. එතකොට මොකද වෙන්නේ.

නිෂ්පාදකයොත් වර්ග දෙකක් ඉන්නවානේ. සිනමාව දන්න අය සහ වෙනත් ව්‍යාපාර කළත් සිනමාවට එන්න ආසා අය. ඒ අයට අඩු ගාණක් කියලා අන්තිමට හූරාගෙන කනවා. අපට හමුවෙනවානේ එහෙම වෙලා මහපාරට වැටුණු අය. ඕවා නවත්වන්න සංස්ථාවට ක්‍රමවේදයක් තියෙන්න ඕනා. සංස්ථාවේ වාර්තාවක් තියෙන්න ඕනා මේ රටේ සිනමා ශාලා සියල්ලේම ආසන තිබෙන්නේ මෙච්චරයි, ඒ සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් හුරුවුණු චිත්‍රපට වර්ග තිබෙනවා.

අපි දාන ඕනැම චිත්‍රපටයක් බලන්න ඒඅය එන්නේ නැහැ. ඒ නිසා සියයට 35ක් ප්‍රේක්ෂකයන් බැලුවොත් ආදායම මෙච්චරයි එන්නේ කියලා කියන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ මුදල දැනගත්තාම නිෂ්පාදකයන් අනාථ වන්නේ නැහැ. සමහරු බොරු කියන තරම කොච්චරද කීවොත් සියලුම ශාලාවල දවස් තුන්සිය හැටපහේම ඒ චිත්‍රපටය පෙන්නුවත් ඒ ආදායම එන්නේ නැහැ. චිත්‍රපට හදන්න ඕනෙ කෙනකුට ආසාවක් එන්න පුළුවන් ඒත් ඒවා චිත්‍රපටම වෙන්න එපැයි මිනිස්සුන්ට බලන්න.

 

* හොඳ තැනකට ඔබ ආවේ. සංස්ථාවේ චිත්‍රපට පෝලිමක් තිබෙනවා කියනවානේ. ඒවායින් කීයක් ඔබ කියන ආකාරයේ 'චිත්‍රපට' ද? එසේ නොවන ඒවාට කරන්නේ මොකක්ද?

අපට චිත්‍රපට 107ක පෝලිමක් තිබෙනවා. මම ආපු ගමන් කළේ කමිටුවක් දාලා ඒවා බලන එක. සමහර ඒවා පවුලේ අය රඟපාන ඒවා. ඒවා ප්‍රේක්ෂකයන් බලන්න ඕනාද? සමහරු චිත්‍රපට කියන ලේබලය කොහොමහරි ගහගෙන දවසක් දුවගන්නයි හදන්නේ පස්සේ ඩීවීඩී එක විකුණගන්න. ශාලා හිමියන් කැගහන්නේ ඕවා නිසා. දුවන්නේ නැති චිත්‍රපට දුන්නාම ඒ අය අවසානයේ ඩේලි රිපෝර්ට් එක හොර කරනවා. ඉතින් මේක වරදට පොලඹවන කර්මාන්තයක් බවට පත්වෙනවා. අනෙක් ලොකුම අර්බුදය මේ ප්‍රතික්ෂේප වුණු චිත්‍රපටවලට සංස්ථාවෙන් ණය දීලා තිබෙනවා. සමහර ණය ගෙඩිය පිටින් ගත්ත අය චිත්‍රපට හදලත් නැහැ.

හත් දෙනකුගෙන් යුතු කමිටුවට අනුව අර පෝලිමෙන් මිනිස්සු බලයි කියලා හිතෙන චිත්‍රපට තිබෙන්නේ 18යි. අනෙක් අයට අභියාචනා කරන්න පුළුවන්. ඒත් තීරණ ගන්නේ ප්‍රේක්ෂකයා හා ශාලා හිමියා බේරාගෙන. මොකද මේ චිත්‍රපට දිගින් දිගටම දාන්න ගියොත් ප්‍රේක්ෂකයන් සිනමාවෙන් තවත් ඉවත් වෙනවා. රූපවාහිනිය නිසාම නෙවෙයි සිනමාවෙන් ප්‍රේක්ෂකයා ඇත් වූණේ. සිනමා ශාලා 191ක් අපට තිබුණට 119ක විතරයි දේශීය චිත්‍රපට පෙන්වන්නේ. ඒ අතරින් 4කේ, 2කේ සිනමා තිබෙන්නේ අතළොස්සයි. ඒ සිනමා කියන්නේ ප්‍රේක්ෂකයාට අතිශයින්ම හානි කරන, ලෝකෙ පිළි නොගන්නා අවරගණයේ කර්මාන්තයක්. දන්නතරමින් ඉන්දියාවේ විතරයි තිබෙන්නේ. අපේ අතිබහුතරයක් සිනමා ශාලාවල ගුණාත්මක භාවය කොතරම්ද කීවොත් අධ්‍යක්ෂවරයකුට සියදිවි නහගන්න හිතෙයි ඒ ශාලාවක තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කීවාම.

සමහර ශාලාවල මදුරුවෝ උස්සාගෙන යන්නේ නැත්තේ මකුණෝ අල්ලාගෙන ඉන්න නිසා. සල්ලි දීලා මිනිස්සු යන්නේ වෙනම රසවින්දනයක් ලබන්න. ඒ පරිසරය සමහර ශාලාවල නැහැ. මම මේවා කියන්නේ කණ්ඩායම් පහක් දාලා කළ සමීක්ෂණයකට පස්සේ. අනෙක් ප්‍රශ්නෙ ෂෝටයිම් වෙනස් කරන එක. පාන්වල ගුල්ලො ඉන්න හරිය ඉවත් කරලා කන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගේ විනය ඕනැවටත් වඩා තියෙන හින්දා හොඳයි. වෙන රටකනම් කර්මාන්තය ඉවරම කරනවා. ශික්ෂාකාමී නොවන තැනක තාක්ෂණය භයානකයි කියලා පේන්නේ මිලිමීටර් තිස් පහ වෙනුවට ඩීසීපී ආවට පස්සෙ. හිතෙන හිතෙන විදිහට චිත්‍රපට ගලවලා දානවා.

ඉන්ජන්ක්ෂන් එක ඉවත් කරලා චිත්‍රපට සංස්ථාවට බලතල ආවාම රටේ නීතියට ගරු නොකර සමහරු ‍බෙදාහැරීම් කළා. නීතිය පිළිගන්න පිරිසකුත් හිටියා. ආයේ වාරණ නියෝගය ආවාම අර නීත්‍යානුකූලව හිටි හෝල් හිමියන්ට මණ්ඩල කියනවා, සංස්ථාව එක්ක එකතු වුණ නිසා චිත්‍රපට දෙන්නෙ නැහැ කියලා. මෙහෙම වෙන්න පුළුවන්ද රටක. සමහර කලාකරුවන්ගේ කටින් කතාකරන්නේ ඔවුන්ගේ සල්ලි. රටට සිනමාවට ආදරේ අයගේ සැඟවුණු න්‍යායපත්‍ර තියෙන්න බැහැනේ. මම අවුරුදු හතරක් ඉන්නේ සූසැට කලාව කරන අය එක්ක. ඒ අතරින් කැතම මිනිස්සු බහුතරයක් ඉන්නේ සිනමා ක්ෂේත්‍රයේ. ඒ අතර සුන්දර කලාකරුවන් පිරිසකුත් අපව තනි නොකර හිටියා ඒබවත් අනිවාර්යයෙන් කියන්න ඕනා.

මේ ආයතනයත් කාලයක් නිද්‍රාශීලීව සිටි එකක් වීම වගේම බොරු කියන අය තමයි මට තිබෙන ලොකුම අභියෝගය, පීඩනය.

 

* මේ තත්ත්වය යටතේ සිනමා කර්මාන්තය කෙබඳු වෙයිද?

කිසි වෙලාවක හිතන්න හොඳ නැහැ මේක ගොඩගන්න බැරි එකක් කියලා. අනිවාර්යයෙන්ම සිනමා කර්මාන්තය ගොඩ නැඟිය හැකියි. ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්න පිරිසක් ඉන්නවා. නඩු තීන්දුවෙන් කුමන තීරණයක් එයිද අපි දන්නේ නැහැ. ඒත් සංක්‍රාන්ති සමයේදී අපි හැසිරුණේ ඉතාම සූක්ෂ්මව ඒ මණ්ඩලවල පෙළ ගස්වා ඇති චිත්‍රපටවලට අවස්ථාව දෙමින්. චිත්‍රපට 24ක් මණ්ඩල පහේ පෙළගස්වා තිබුණා. ඊඒපී මණ්ඩලයේ චිත්‍රපට තමයි මුලින්ම තිබුණේ. ඒවාට අපි අවස්ථාව දුන්නා. බෙදාහැරීම් පිළිවෙත අපි හැදුවේ ධාරා තුනක ශාලා 119 පෙළ ගස්වමින්.

ධාරා තුනෙන් එකක්වත් හොඳ හෝ නරක නෙවෙයි ඒබීසී පන්ති වගේ විතරයි. ධාරා තුනට එන්නේ කලාත්මක ආකර්ෂණීය, වාණිජ ආකර්ෂණීය සහ කලාත්මක හා වාණිජමය ආකර්ෂණීය වශයෙන්. අනුපෙළ ගැන්වීමේ කමිටුවට ගත්තේ සිනමා ශාලා 5කට වඩා හිමි කෙනකුයි, එසේ නැත්නම් පළාත් 9න් නියෝජන 9යි සංස්ථාවෙන් පත් කරන ස්වාධීන තිදෙනකුයි. ඒ බලන අයගේ ස්වාධීන නිර්දේශවල ලකුණු මධ්‍යන්‍යය අනුවයි අපි චිත්‍රපට පෙළගස්වන්නේ. රිද්මා මණ්ඩලය සමඟ එකතුවන්න බොහෝ ශාලා හිමියන් කැමැත්ත පළ කර තිබෙන නිසා ඉදිරියේදී අපේ ශාලා සංඛ්‍යාව වැඩි වෙයි.

ඊසිනමා ශාලා ටූකේ වත් කරන්න අපි වෙහෙස දරනවා. මේ සම්බන්ධ ප්‍රචාරණය සම්පූර්ණයෙන් අගෝස්තු පළමුවෙනිදා සිට ආරම්භ කරනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහායෙන් ගමෙන් ගමට විරිදු බයිලා ආදිය පවා යොදාගෙන ප්‍රචාරය කරමින් සිනමා රසිකපර්ෂද තනන්නත් මාධ්‍ය මඟින් ප්‍රචාරය ලබා ගන්නත් වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. මට කිසිම දේශපාලනික බලපැමක් නැති නිසා පූර්ණ නිදහස තිබෙනවා මට අවශ්‍ය විදිහට කටයුතු කරන්න.

ශාලා හිමියන්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ උදව්කරනවා ශාලා අලුතෙන් හදන්න. කඩිනම් ඉදිකිරීම්වලට ආයෝජකයන් බොහෝ දෙනකු ඉදිරිපත් වෙලා තිබෙනවා. ආයෝජකයන් ලෙස එන නිෂ්පාදකයන් සිනමාව සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. කලාකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

 

* සංරක්ෂණ වැඩපිළිවෙළ?

දමිත් ෆොන්සේකා මහත්මයාට ස්තුතිවන්ත විය යුතුයි ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම පිළිබඳව. අවස්ථා තුනකදි මිලියන පනහ බැගින් ආපසු හරවා යවා තිබෙනවා මේ කටයුතු ඉබිගමනින් ගිය නිසා. මෙය අතිදුෂ්කර කාර්යයක්. මේ සියලු දේට බොහෝ දෙනා එකතු විය යුතුයි, සංස්ථාව නායකත්වය ගතයුතුයි. සමහරු හිතනවා සංස්ථාවක් ඕනෙ නැහැ අපි චිත්‍රපට හදලා අපි විකුණනවා කියලා. සිනමාව කියන්නේ එහෙම වට්ටක්කා විකුණනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, සිනමා පටයක් කියන්නේ රටක සංස්කෘතිය රැකෙන මිනිසුන්ගේ ජන ජීවිතය ඔසවා තබන දෙයක්. ඒ නිසා ඒවා නියාමනය විය යුතුමයි. සමහරු විදේශීය චිත්‍රපට හඬකවලා පෙන්වන්න හදනවා.

ටෙලිනාට්‍යවලට වුණා වගේ. සමහරු හිතනවා නිදහස ඒක කියලා. ඒත් රටක පැවැත්මක් නීතියක් තියෙනවා. අපි කොතරම් වියදම් කරලා ප්‍රශස්තම මට්ටමේ චිත්‍රපටයක් කළත් අපට පුළුවන්ද ඉන්දියාවේ, ඇමරිකාවේ හෝ වෙන රටක ගිහින් අපේ චිත්‍රපටය එහෙම පෙන්වන්න? මේවා හිතන්න ඕනා මීටවඩා පුළුල් විදිහට. ලොකු ප්‍රචාරයක් යැව්වා මම ඇමරිකන් විරෝධීය, පොලිස්කාරයෙක් වගේය කියලා. මම කිසි කෙනෙකුට විරුද්ධ නැහැ. ඒත් මගේ රටට කොන්දේසී විරහිතව ආදරෙයි. දේශීය සිනමාව රැකගන්න කටයුතු කරනවා. ඒ සඳහා සියලු දෙනා එකතු වෙලා ගන්නා තීරණ වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒ වගකීම කවුරුහරි දැරිය යුතුයිනේ. ඒකයි ඔහොම කියන්නේ. අපි පුංචි කාලේ දැවැන්ත දෙවිවරු වගේ දැකපු අයගේ ප්‍රතිරූප මේ ප්‍රශ්න නිසා දියවෙලා යනවා.

 

* අපේ සිනමාව ලෝකෙට ගෙනයන ක්‍රමයක් සිතා තිබෙනවාද?

සිනමාව විදේශයන්ට ගෙන යැමේ ආකාර කීපයක් තිබෙනවා. එකක් මැදපෙරදිග ඉන්න අපේ අය ඉලක්ක කිරීම. දෙවැන්න අපේ හොඳ සිනමා පට උපසිරැසි යොදා රටවලට ගෙනයැම. අපි මේ වෙද්දි චීනය සමඟ සාකච්ඡා කර එකඟතාව පළ කළා. අපේ කලාකරුවන් කණ්ඩායමක් ඒ සඳහා සහාය දෙනවා. තිබෙන ශාලා සංඛ්‍යාව අනුව වසරකට අපට චිත්‍රපට 10ක් හොඳටම ප්‍රමාණවත්. වැඩිම වුණොත් 15ක්. 20ක්. ඒත් චිත්‍රපට ඊටවඩා වේගයෙන් හැදෙනවා නම් අප වෙන ක්‍රම සොයන්න වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල 16ම මිනිතියටර්ස් හදන්න වැඩපිළිවෙළක් යොදාගෙන යනවා. අනෙක දේශීය සිනමාව පිළිබඳ අන්තර්ජාතික කතිකාවක් ඇති කිරීම සඳහා ප්‍රමිතියකින් යුතු උලෙළ සඳහා සංස්ථාව හරහා නියෝජනයක් ඇති කිරීම. එය අධ්‍යක්ෂවරුන්ට සාධාරණයක් වගේම පහසුවකුත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් බරතැබීමකුත් ගෙනෙනවා.

මොකද ජාතික චිත්‍රපට සංස්ථාව කීවාම ලෝකේ පිළිගන්නවා. මේකෙන් ණය අරගෙන චිත්‍රපට පවා හදලා, කාපු පතටම පහරන අය තුට්ටු දෙකට දාලා කතා කළාට. 2001 බෙදාහැරීමේ මණ්ඩල තමන්ගේ 10% ආදායමෙන් කරනවාය කියපු පුහුණු කිරීම් ආදියත් අපි යළි සූදානම් කරනවා. මම පෞද්ගලිකව හිතනවා හොඳම පරිසර හිතකාමී චිත්‍රපටය වැනි අංශත් සම්මාන උලෙළට එකතු විය යුතුයි කියලා. අධ්‍යක්ෂවරුන්ගේ සංසදයෙන් අපට අන්තර්ජාතික සිනමා උලෙළක් පිළිබඳ යෝජනාවකුත් ගෙනාවා. මේ වසරේ වැඩ වැඩි නිසා 2020දි අප එය පවත්වමින් සිනමාවට එකතු කළ වටිනාකමක් ලබා දෙන්න කටයුතු කරනවා.

 

* තරුණ සිනමාකරුවන්ට සංස්ථාවෙන් යමක් කෙරෙනවාද?

පෞද්ගලිකව මම විශ්වාස කරනවා තරුණ සිනමාකරුවන් ආ යුත්තේ මුලින්ම කෙටි චිත්‍රපට කරලා අත්දැකීමක් ලබලා කියලා. ඊළඟට අපි සංකථන මණ්ඩපයක් හදනවා සැම මාසෙකම නිශ්චිත දිනක. එය උලෙළින් පසු පවත්වන්න තීරණය කළා. සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂවරයා අපට යෝජනා කළා විදේශීය අය ගෙනත් පිටපත් සංචිතයක් තනාගන්න. මේ වගේ කටයුතු ඔස්සේ සුදුස්සාට සුදුසු තැන දීමයි අපේ බලාපොරොත්තුව. අපට ලැබිලා තිබෙන කෙටි කාලය ඇතුළත මේ ක්‍රමවේදය හදලා දෙන්නයි අපට අවශ්‍ය. බොහෝ දෙනකුට සංස්ථාව විධිමත්ව පැවැතීම අවශ්‍යයි. ඒත් තිබෙන්නේ අපට මෙය කළ හැකිද කියන සැකයයි.

අපට තිබෙන මානව සම්පත් මදියි තමයි. හැබැයි අපි උපරිමයෙන් බලනවා කාර්යමණ්ඩලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒත් වෙනස් නොවන අයට සංස්ථාවේ බත් කන්න ලැබෙයිද මම දන්නේ නැහැ. ඒවා රට වෙනුවෙන් ගන්න තීරණ. ඉතින් මම ඉල්ලා සිටිනවා සංස්ථාවට ආදරය කරන අයට අපිත් එක්ක එකතුවෙන්න කියලා. මම පූර්ණ වගකීමකින් කියන්නේ මගේ මේ තනතුරේ අන්තිම මොහොත දක්වා ඊළඟට එන සභාපති කෙනකුට තනතුරේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදය හදලයි අපි යන්නේ. මට හෙට මෙතැනින් යන්න වුණත් සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස නිල බලයෙන් චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට මම අයිති නිසා ඒ කටයුත්ත මම කරනවාමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.