ඊළඟ අවුරුද්දේ ලංකාවට එනවා ටීෂා

ජූලි 25, 2019

අමෙරිකාවේ ජීවිතය මට හොඳයි. මෙහෙ හිටියට මගේ රසිකයින් අමතක නැහැ. ඔවුනටත් මාව හොඳටම මතකයි. සමහරු මට අතිශය ළෙංගතුයි. මෙහෙම සින්දු අවුට් කරන්නෙත් ඒක හින්දනෙ 

ටීෂා මෙරට හැරගොස් වසර දොළහකි. මේ වන විට ඇය අමෙරිකාවේ වෙසෙන්නීය. ලංකාවෙන් පිටත් වෙද්දී ටීෂා ඉමහත් ජනාදරයට පත් වූ ගායිකාවකි. ඇය නොමැති ප්‍රසංග වේදිකාවක් එකල සොයා ගන්නට බැරි තරම්ය. එතරම්ම ටීෂාට ඉල්ලුමක් තිබිණ.

රන්වන් රන් මාල පලඳා මල් ගවසාලා 
මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා

ටීෂාට වාසනාව ගෙන දුන් එම ගීතය අද ද ඉතාම ජනප්‍රියය. සයුරෙන් එතෙර ජීවිතය ගත කළත් ටීෂා තමන්ගේ මව්බිමෙහි රසික රසිකාවන් අමතක කොට නැත. ඔවුන් වෙනුවෙන් තවමත් ඇය ගී ගයන්නීය. ඉකුත් දිනකදී ටීෂා සිය නවතම ගීය එළි දැක් විය.

කොහොමද ටීෂා?

ගොඩක් හොඳින් ඉන්නවා.

මොකක්ද ඔබේ අලුත් ගීතය?

ඒක මං නම් කළේ සදාතනික ආදරේ කියලා.

ලව් සෝංග් එකක්?

ඔව්.

ඔබමද මේ සින්දුවත් ලිව්වේ?

මමම තමයි ලිව්වේ. මගේ අනෙක් සින්දුත් ගොඩක්ම මං ලියපුවා.

සදාතනික ආදරේ කා වෙනුවෙන්ද රචනා කළේ?

එහෙම නෙවේ. මේ අදහස එක පාරටම මගේ ඔළුවට ආවා. කෙනෙක් තව කෙනෙක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ අදහසක්. පෙම්වතෙක් වෙන්න පුළුවන්, හස්බන්ඩ් වෙන්නත් පුළුවන්. මේ සින්දුව ලියද්දි හස්බන්ඩ් ලංකාවට ඇවිත් හිටියේ.

ඔබ කවදාද ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ?

ඊගාව අවුරුද්දේ ලංකාවට එනවා.

දිගටම පදිංචි වෙන්න අදහසක් නැැහැ වගෙයි?

නැහැ. අමෙරිකාවේ ජීවිතය මට හොඳයි. මෙහෙ හිටියට මගේ රසිකයින් අමතක නැහැ. ඔවුනටත් මාව හොඳටම මතකයි. සමහරු මට අතිශය ළෙංගතුයි. මෙහෙම සින්දු අවුට් කරන්නෙත් ඒක හින්දනෙ.

ඔබ ලංකවෙන් ගියේ කිසියම් වූ කලකිරීමකින්ද?

කලකිරිමක් නෙවෙයි. හිටපු කාලේ මං දැනෙන්න නිර්මාණ කළා. රසිකයින් මාව ජනප්‍රිය කළා. ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි වුණා. මෙහෙ හිටපු කාලේ කරපු දේවල් නිසානේ අදටත් මං මිනිස්සු අතරේ ඉන්නේ.

ඔබ කෙටි කලකින් ඉතාම ජනප්‍රිය වුණ කෙනෙක්. මේ තත්ත්වය මත අනන්තවත් කැපිලි කෙටිලි එන්නත් ඇති?

ගැටලු ආවා. මං නැහැ කියන්නේ නැහැ. තරහාකාරයෝ කොච්චර නම් ඇති වුණාද. මගේ ජනප්‍රියත්වය දරාගන්න බැරි වුණ සමහරුන් මං ළඟ ඉන්නකොට මට බනිනවා ඇහෙනවා. ඔය ප්‍රවීණ ගායිකාවෝ මඩ ගැහැව්වනේ. රූපවාහිනී ලයිව් එකකදී කෙනෙක් මට කෙළින්ම දොස් කිව්වනෙ. ජනප්‍රියත්වයට තිබුණු ඊරිසියාවයි එහෙම වචනවලින් පිට වුණේ.

ඔබට තිබුණා අධිෂ්ඨානශිලීව ඒවට මුහුණ දෙන්න?

ඉන්න තිබුණා. ඒත් ඔහොම එක එක දේවල් අහ අහ මොකටද ලංකාවට වෙලා ඉන්නේ. මට සල්ලි නෙවෙයි අවශ්‍ය වුණේ. සල්ලි මත කවදාවත් මං කලාව කරලා නැහැ. මගේ ලිවීමේ හැකියාව සහ මගේ හඬින් ප්‍රයෝජනයක් ගැනීම පමණයි අවශ්‍ය වුණේ. මේ යුද්ධ මැද ඉන්නවට වඩා සේරම හිතින් අයින් කරගෙන අමෙරිකාවට ආවා. මට හිතුණා අනාගතයක් තියෙන්නේ එහෙම වුණොත් කියලා.

අද ඔබ ගත කරන ජීවිතය?

මං මෙහෙ හරි සතුටින් ඉන්නේ. මියුසික් වැඩ අත හරින්නේ නැහැ. කොහේ හිටියත් හස්බන්ඩ් එහෙමත් උදවු කරනවා.

ඔහු මොනවද කරන්නේ?

මගේ හස්බන්ඩ් බිස්නස් කරන්නේ. මම දැනට ඒවට සම්බන්ධ වෙලා නැතත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා බිස්නස් පැත්තෙන් යමක් කරන්න.

ටීෂා කියන්නේ ඔබේ පෙට්නේම් එකද?

ඔව්. සංගීත ජීවිතයට එක නමකුත් පෞද්ගලික ජීවිතයට මගේ සැබෑ නමත් තියා ගන්නයි මට ඕනෑ වුණේ.

ඔබ ගීත රචනයට යොමු වුණේ කොහොමද?

ඒක මෙතැනින් පටන් ගත්තා කියලා කියන්න අමාරුයි. මට ගීත රචනයට හැකියාවක් පිහිටලා තිබුණා. මගේ අම්මටයි තාත්තටයි ස්තූතිවන්ත වෙනවා. ඔවුන් නිසා වෙන්න ඇති ඒ හැකියාව මට ලැබුණේ. මං ඉංග්ලිෂ් සින්දු විස්සකට වඩා ලියලා මෙහෙ අවුට් කළා පහුගිය දවස්වල.

රන්වන් රන් ගීතය රීමෙක් කරන්න අදහසක් නැතිද?

තවම නැහැ. හැබැයි මගේ ෆෑන්ස්ලා නිතරම ඉල්ලන්නේ රන්වන් රන් වගේ ගීතයක්. ඒක ඒ කාලේ හැටියටනෙ නිර්මාණය කළේත ඒත් ඒක ජනප්‍ර‍්‍රිය වුණා. දම් පාට හැන්දෑවේ වුණත් එහෙමනෙ.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

මේ සින්දුවට ලැබෙන කමෙන්ට් බලන එක තමයි ලොකුම රාජකාරිය. ඉදිරියේදී මගේම කියලා කොන්සර්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තියනවා නම් තියන්නේ ලංකාවෙදි තමයි. තවම ලොකුවට ඒක ප්ලෑන් කරලා නැහැ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.