රිදීම දැනීමක් වූ කල එය කවියක්

කපිල එම්. ගමගේ
ජූලි 25, 2019

කවියකු, කෙටිකතාකරුවකු මෙන්ම ගුවන්විදුලි ශිල්පියකු ලෙස ඔබ හඳුනන කපිල එම්. ගමගේ කලාකරුවාගේ නවතම නිර්මාණ යුගල මේ මස 27 වෙනිදා සෙනසුරාදා එනම් අනිද්දා සවස 3.00 කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැක්වීමට නියමිතයි. මේ ඒ ග්‍රන්ථද්වය පිළිබඳ විස්තර සහ ඔහුගේ සාහිත්‍ය මතවාදයයි...

අපි මුලින්ම ඔබේ උත්සවය පිළිබඳ කියමු?

අපරාදේ, ඒ නොවැම්බර් කෙටිකතා පොත සහ මුහුදට මුහුණ ලෑ සොහොනකි කියන කවිපොත තමයි මගේ අලුත්ම කෘති දෙක. පෞද්ගලිකව මම සාහිත්‍ය කටයුතුවලදී උත්සවයට සහභාගී වන්නන් දීර්ඝ කතාවලින් හෙම්බත් කරවන්න අකමැති නිසා පොත් දෙක පදනම් කරගෙන කතා දෙකක් පමණක් යොදා ගත්තා. කවිපොත සම්බන්ධව සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනුඳුම සුනිල් සෙනෙවිත්, කෙටිකතා පොත ගැන ලේඛකයකු සහ පරිවර්තකයකු වන චූලානන්ද සමරනායකත් අදහස් දක්වනවා. කෙටිකතා පොතේ සමහර තැන් නාට්‍යානුසාරයෙන් වීඩියෝගත කළ දර්ශන මඟින් ඉදිරිපත් කරන්නත් යම් වෙනස් ආකාරයක එළි දැක්වීමක් ලෙස මෙය පවත්වන්නත් අදහස් කරගෙන ඉන්නවා.

'අපරාදේ, ඒ නොවැම්බර්' ඔබේ දෙවැනි කෙටිකතා පොත?

ඔව්. හැබැයි පළමු කෙටිකතා පොත සහ මේ පොත අතර අවුරුදු 20ක තරම් විශාල වයස් පරතරයක් තිබෙනවා. ඒකට පුංචි හේතුවක් තියෙනවා. මගේ පළමු කෙටිකතා පොතේ පෙරවදන ලියන්නේ ප්‍රවීණ පුවත්පත් කර්තෘවරයකු සහ සාහිත්‍යකරුවකු වන දයාසේන ගුණසිංහ මහත්මයා. ඔහු මට පොඩි ඉඟියක් කරනවා එහිදී මගේ කෙටිකතාවේ මම යොදා ගන්නා ආර වර්ධනය කරගත්තොත් මට කිසියම් ආකාරයක අනන්‍යතාවක් ගොඩනඟාගන්න පුළුවන් කියලා. ඔහු එය හඳුන්වන්නේ යථාර්ථවාදී ශෛලිය සහ අමූර්ත ශෛලිය එකට එකතු කිරිමේ යම් දක්ෂකමක් මම පෙන්වන බව කියමින්. ඒ පුංචි කුළුගැන්වීම නිසා මට හිතුණා මෙය හදාරන්න ඕනා කියලා. පස්සේ මම තරමක් ගැඹුරින් මායා යථාර්ථවාදය පිළිබඳ පෙර අපර දෙදිග කෙටිකතාකරුවන්ගේ කෘති ඇසුරින් හැදැරුවා. ඒ අතර ලියූ කෙටිකතා පත්තරයකවත් පළ කරන්න මට හිතුණෙ නැහැ ලැජ්ජාව නිසා. මට සමාන්තරව කෙටි කතා ලියන ලියනගේ අමරකීර්ති, ප්‍රභාත් ජයසිංහ, නිශ්ශංක විජේමාන්න, මංජුල වෙඩිවර්ධන වගේ අයගේ නිර්මාණ මට බලපෑම් කළා. මට හිතුණා මම ළදරු මට්ටමේ ඉන්නේ කියලා. ඒත් අවුරුදු 10ක් විතර කාලයක් තුළ මම ලියූ කෙටිකතා අතරින් හොඳයි කියලා මට තේරුණු කතා 7ක් විතර තෝරාගෙන මේ පොතට ඇතුළත් කළා.

ඒ කියන්නේ මේ කතා සියල්ලම පාහේ මායායථාර්ථවාදී කතාද?

කතා පහක් විතර සම්පූර්ණයෙන්ම වගේ මායා යථාර්ථවාදී ශෛලිය උපයෝගී කරගත් ඒවා. ඉතිරි දෙක සාමාන්‍ය ශෛලියෙන් ලියපුවා.

'මුහුදට මුහුණ ලෑ සොහොනකි' කවිපොත?

මගේ 6 වෙනි කවි පොත. ඇත්තෙන්ම මගේ ආත්ම ප්‍රකාශනය තිබෙන්නේ කවියත් එක්ක. මට කිසියම් රිදීමක්, දැනීමක් ඇති වුණාම එය කවියට පෙරළීම තමයි බොහෝ විට සිදුවන්නේ. 2016 කළ මගේ පස්වැනි කවිපොත වන තෙරියුම් කෝකිලාට හොඳ ප්‍රතිචාරයක් ආවා. විචාරක පාඨක ඇගයීමකුත් ලැබුණා. එහි පදනම යුද්ධය සහ එහි වින්දිතයන් ගැන. ඒත් මුහුදට මුහුණ ලැ කවිපොත අන්තරාවර්තී ආකාරයට අපි අපි දිහාම බලන කවිපොතක්. ජීවිතය වියපත් වද්දී අපට අප දිහාම බලන්න සිදුවන මොහොතක් එනවා. මේ කවිපොතේ වෙනසක් තිබෙනවා නම් හේතුව එයයි.

අපේ රටේ බොහෝ වෙලාවට නවකතාවට සහ පරිවර්තනවලට ඉඩ වැඩියි කියා පෙනෙනවා?

එය බොහෝ කල් සිටම තිබෙන දෙයක්. මම 1980 දශකයේ ඉඳන් සාහිත්‍යකරණයේ යෙදෙන කෙනෙක් හැටියට එදා සිටම කවිය සහ කෙටිකතාව අපේ සාහිත්‍යයේ චූල ගණයේ අංග දෙකක් ලෙස සලකන හැටි දුටුවා. ප්‍රකාශකයන් පවා කවි පොත් මුද්‍රණයේ නොයෙදෙන කාලයකුත් තිබුණා. නවකතා සහ පරිවර්තනවලට තිබෙන ඉඩ පිළිබඳ වෙලාවකට පුදුමත් හිතෙනවා. සාමාන්‍යයෙන් සම්මානයට නිර්දේශ වන නවකතාවක් පිටපත් 25000ක් පමණ විකිණෙන අවස්ථා තිබෙනවා. පාඨකයන්ගේ පුරුද්දක් තිබෙනවා සම්මානයකට නිර්දේශ වීම පොතේ මට්ටම පිළිබඳ මිනුම්දණ්ඩක් ලෙස භාවිත කරන්න. ඒ තත්ත්වය කවි, කෙටිකතාවලට නැහැ. හැබැයි මොකක්දෝ වාසනාවකට මෑතකාලයේ මේ තත්ත්වය වෙනස්වෙලා කවිපොත්වලට වැඩි ඉල්ලුමක් ඇතිවෙලා තිබෙනවා.

මම ඇහුවොත් එයට හේතුව මුහුණු පොතද කියලා?

ඒක එක හේතුවක් ලෙස තමයි මම දකින්නේ. ඉස්සර අපි කවි ලියද්දි තිබුණේ ලේක්හවුස් පත්තර විතරයි. සිළුමිණ, යොවුන් ජනතා, තරුණි පත්තරවලට අමතරව රේඩියෝව තමයි අපට තිබුණේ. ඒ සීමිත අවකාශය තුළ තමයි අපේ කවිකම් හදාගන්න උත්සාහ කළේ. ඒ කාලේ පුවත්පත් කතුවරුන් වගේම කවිපිටු සංස්කාරකවරුන් විශේෂයෙන් ධර්මසිරි ගමගේ, දයාසේන ගුණසිංහ, තිලකරත්න කුරුවිටබණ්ඩාර වගේ මහත්වරු වගේ කීපදෙනකු අපේ අඩුපාඩු පෙන්වා දීලා දිරිමත් කළා. එදාත් හදිසි වෙළෙඳ දැන්වීමකට පවා ගලවා දමන්නේ කවි පිටුව. ඒත් දැන් හැදිලා තිබෙන මහා සයිබර් අවකාශය තුළ කවි ලියන විශාල පිරිසකුත් බිහිවෙලා. ඒ වගේම කවි කියවන සාමූහික පිටු, පොත් කියවන සාමූහික පිටු නිසා පොතපත පිළිබඳ සාකච්ඡා කරනවා. බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය පිටුවේ ලියනවා. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. මට මතකයි අපේ මුල් කාලේ ලියන කවි එකක්වත් පත්තරවල පළ වුණේ නැහැ. හැබැයි ඒ කතුවරුන් අපේ හැකියාවන් ගැන අවධානයෙන් ඉඳලා තිබෙනවා. මගේ ගාව තාම තිබෙනවා ධර්මසිරි ගමගේ සහ දයාසේන ගුණසිංහ මහත්වරු දෙදෙනා මට එවූ ලියුම් දෙකක්. ඒවායේ කියා තිබෙන්නේ ඔබේ නිර්මාණ වැඩෙන ආකාරය බලා සිටිමි නොනැවතී ලියන්න කියන අදහස. ඒ දිරිමත් කිරීම තුළ ප්‍රමිතියක් තහවුරු කළා. අපිත් ප්‍රමිතිය ලැබෙනතුරු සතතාභ්‍යාසයේ යෙදුණා. ඒත් ෆේස්බුක් එකේ කවියක් දැම්මාම මිත්‍රකමටත් එක්ක කමෙන්ට්ස් ලැබෙනවා මේක මාර කවියක් කියලා. එයින් රචකයා තමන් පිළිබඳ අධිනිශ්චයකට පත්වෙනවා. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය එන්නේ ඒකයි. ඉතින් මම තරුණ කවියන්ගෙන් ආදරෙන් ඉල්ලන්නේ මුහුණු පොතේ ප්‍රතිචාර තමන්ගේ නිර්මාණයට නිර්ණායකයක් විදිහට ගන්න එපා. එය තමන්ගේ වැඩබිමක් විදිහට පමණක් භාවිත කරන්න කියලා. පසුගිය වසරේ ප්‍රකාශකයන්ගෙන් නිකුත් වූ කවිපොත් සංඛ්‍යාව හැත්තැව ඉක්මවනවා. කර්තෘ ප්‍රකාශනත් එක්ක එය 100ට අධිකයි. එය ප්‍රමාණාත්මකව හොඳ වුණාට ගුණාත්මකව කොහොමද කියන එකයි ගැටලුව. හැබැයි මගේ අනෙක් මතය තමයි මේ තිබෙන අර්බුදකාරී සමාජ දේශපාලනික ආර්ථික වටපිටාව තුළ තරුණ ළමයකු කවියට කෙටිකතාවට පැන මෙහෙයවනවා කියන දේම විශාල දෙයක් නිසා, ඔහොම හරි දෙයක් වන එක හොඳයි කියන එක.

මුහුණු පොතේ පෙන්වන තරමටම පොත් කියවන අය ඉන්නවාද?

පොත් ගන්න තරමටම කියවන්න අවස්ථාව තිබෙනවාද කියන එක නම් ප්‍රශ්නයක් තමයි. සමහර විට කාලයක් ගත වෙනවා ඇති. ඒත් මැත භාගයේ මම දැක්ක දේ තමයි කලාව කියන්නේ සමාජයේ පිළිගැනීමට ලක්වන කරුණක් බවට පත්වෙලා. පොත් කියවන බව පෙන්වීම විද්වත් බවේ ආයිත්තමක් වෙලා. සමහර ගෙවල්වල සාලේ විසිතුරු භාණ්ඩ වෙනුවට පොත් රාක්ක තිබෙනවා. අපි පොතපත කියවන අය වෙලා වුණත් අපේ දරුවන් පොතට පතට දක්වන ඇල්ම වෙනස්. දුව උසස් පෙළට කලින් බොහෝ පොත් කියෙවුවා වුණත් විද්‍යා විෂයයන් කරන්න ගත් නිසා ඇයට විවේකයක් නැහැ බාහිර කියවීම්වලට. පුතා කලාව කරන නිසා දුවට වඩා පොත් කියවනවා. සයිබර් අවකාශයත් යම් විදිහක බලපැමක් එයට කරනවා. ඒ කොහොම වුණත් වැඩිහිටියන් නිවෙසේ පරිසරය හදනවා නම් දරුවන් පොත් කියවන්න යොමු වෙනවා.

ඔබ කළ හැදැරීමත් සමඟ වත්මන් ලෝක සාහිත්‍යය සහ අපේ සාහිත්‍යය සසඳන්නේ කෙසේද?

ලෝක සාහිත්‍ය මට්ටමේ ලියන අපේ සාහිත්‍යකරුවන් ඉන්නවා. ඉහත මම කියූ හතර දෙනා උදාහරණ. මම බොහෝ විට කියවන්නේ සිංහල පරිවර්තන නිසා මට එහෙම හිතෙනවා. මම බය වුණෙත් ඒ නිසයි.

ඔබ ගුවන්විදුලි සන්නිවේදනය පිළිබඳවත් ලීවා?

තරුණ සන්නිවේදකයා සහ ගුවන්විදුලිය. මගේ පශ්චාත් උපාධිය සඳහා කළ නිබන්ධනය පසුව විද්‍යාර්ථීන් සඳහා කියවීම් පොතක් ලෙස නිකුත් කළා. මේ සියල්ලෙදිම මට ඉඩ හදා දුන් මගෙ බිරිය වෙනුවෙන් හැමදාමත් මගේ හිතේ පහනක් දැල්වෙනවා.

ඔබ භාෂා භාවිතය පිළිබඳ හිතන්නේ කොහොමද?

සිංහල කියන්නේ ඉතාම මනරම් භාෂාවක්. ඕනැම මට්ටමක ඕනැම අදහසක් සංවාදයක් පළ කිරීමේ හැකියාව තිබෙන නිරන්තර ගොඩ නැඟෙන බසක්. ඒත් වත්මන් තරුණයන් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. එයින් මම කියන්නේ නැහැ අමිශ්‍ර සිංහල ලිවිය යුතුයි කියලා. මට කියන්න තියෙන්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක කීවා වගේ භාෂාව කඩනවා නම් දැනගෙන කරන්න කියන එකයි. එයට හැකිතරම් කියවිය යුතුයි. අපි කතාකරන මායා යථාර්ථය කියන දේ අපේ ජාතක කතාවල තිබෙනවා. එයම තමයි මාකේස්ලාත් ලියන්නේ. ඉතින් අපේ සාහිත්‍යය වගේම ලෝක සාහිත්‍යයත් කියවනවා නම් අපේ ලියැවීමත් පූර්ණ වෙනවා. සමහරු කියනවා කවි ලියන්න හදාරන්න ඕනෙ නැහැ කියලා. ඒත් මම කියන්නෙ එහෙමත් ලියන්න පුළුවන්. ඒත් ගිරා සන්දේශය ඉතාම ලස්සනයි. හංස සන්දේශය ඉතාම ශාන්තයි. ඒවායේ භාෂාමය උපක්‍රම අල්ලා ගන්න නම් පැරැණි සාහිත්‍යය වගේම නූතන සාහිත්‍යය හැදැරිය යුතුයි.

මොනවාද අනාගත සැලසුම්?

රැස පුවත්පත සඳහා ලියූ මීඩියා මතක තීරු ලිපි පොතක් ලෙස එළි දක්වන්න තමයි ඊළඟට හිතාගෙන ඉන්නේ. නවකතාවකටත් අදහසක් තිබුණට මට ටිකක් බයයි. ‍මොකද එය වගකීම් සහිතයි සංකීර්ණයි. ඒත් ආසාවක් වගේම වස්තු බීජයකුත් තිබෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.