මේ පහර ගැසීමක් නොවේ විග්‍රහයකි

බර්ට්‍රම් නිහාල්
අගෝස්තු 1, 2019

දඩබිම, කඩවර, ඉසුරුගිර, අමරපුරය, භාවනා, රුපියල් සත, රාජභවන, ගම්පෙරළිය, සුබ ප්‍රාර්ථනා ආදි ප්‍රාසංගික ටෙලි නාට්‍ය ඔබේ ආලින්දයට ගෙන ආ අධ්‍යක්ෂවරයා ඔහුය. ඔහු සිනමාලංකාරය, රූපාංජලී, සිනාරියෝ, ශාස්ත්‍ර, ප්‍රතිචාර සහ විචාර, සියැස ඇතුළු ග්‍රන්ථ රැසකින් ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව පිළිබඳ ඔබේ දැනුම පුළුල් කිරීම‌ට වැර දැරූ ගත්කතුවරයකු ද වෙයි. තහනම් ගහේ ඇපල් වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශිත කෙටිකතා ආදියෙන් ඔබ රසවත් කිරීමට උත්සුක වූ සාහිත්‍යකරුවාද ඔහුය. ඔහුගේ නවතම කෘති ද්විත්වය මේ මස 8 වැනිදා එනම් ලබන බ්‍රහස්පතින්දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනගත කිරීමට නියමිතය. ඒවා ශ්‍රී ලංකාවේ රූපවාහිනිය - දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය නමැති පර්යේෂණ කෘතිය සහ රූ කල්පනා- රූපවාහිනී රචනා කලාව නම් වේ. ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල්ය. මේ ඔහු සරසවිය සමඟ කළ කතාබහකි.

ඔබේ නවතම කෘතිවලට මුල් වූ නිමිති පිළිබඳ මුලින්ම කතා කරමු?

ශ්‍රී ලංකාවේ රූපවාහිනිය - දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය ග්‍රන්ථය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මගේ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද නිබන්ධනය. රූ කල්පන එහි කියන ආකාරයෙන්ම රූපවාහිනී රචනා කලාව පිළිබඳ, ඒ කියන්නේ ටෙලි නාට්‍ය පිටපත් පමණක් නොවේ, විවිධ රූපවාහිනී වැඩසටහන්, ඒ්වායේදී වෙළෙඳ දැන්වීම් සඳහා ඉඩ තැබිය යුතු ආකාරය, එවැනි විවේකයක් දක්වා වැඩසටහන ගොඩනැඟිය යුතු ආකාරය වැනි උපාය උපක්‍රම පිළිබඳ ලියැවුණු පොතක්.

අපි එහෙනම් ශ්‍රී ලංකාවේ රූපවාහිනිය, ඔබේ පර්යේෂණ ග්‍රන්ථය පිළිබඳ කියමු?

මෙච්චර කාලයක් රූපවාහිනිය කියන මාධ්‍යය මම මේ පොතේ කියන න්‍යාය සහ සංකල්ප ඔස්සේ විචාරයට, පර්යේෂණයකට හෝ විශ්ලේෂණයකට භාජනය වෙලා නැහැ. එය තමයි මේ පොතේ තිබෙන මූලික විශේෂත්වය. ඉන් පළමුවැන්න තමයි සංඥාර්ථවේදය. ඒ වගේම විසංයෝජනය වැනි න්‍යායන් 50-60 දශකවල සි‌ට වෙනත් රටවල සාහිත්‍ය නිර්මාණ, භාෂාව, කලා නිර්මාණ වගේම විශේෂයෙන්ම සිනමාව සහ රූපවාහිනිය වැනි මාධ්‍ය විචාරය සඳහා භාවිත කර තිබෙනවා. උදාහරණයක් විදිහට සයින් ඇන්ඩ් මීනිං ඉන් ද සිනමා (ඉඪඨද චදඤ ර්ඥචදඪදඨ ඪද බඩඥ ඛ්ඪදඥථච) කියන පොත තනිකරම සංඥාර්ථවේදය ඔස්සේ සිනමාව විචාරය කරන්න ලියූවක්. ඒ වගේම ව්‍යූහවාදය, පශ්චාත් ව්‍යූහවාදය වැනි න්‍යාය රූපවාහිනිය වැනි මාධ්‍යයක් විචාරයට හොඳීන් ගැළපෙනවා, ලෝකේ රූපවාහිනිය පිළිබඳ නිර්ණයන් ඉදිරිපත් කරන්න යොදාගෙන තිබෙනවා. ඒත් මම හිතන විදිහට ලංකාවේ තවමත් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය පවා විචාරය කරන්නේ සාහිත්‍ය විචාර ක්‍රමවේද මුල් කරගෙන නිසාත් මේ මාධ්‍යවලට මූලික දෘශ්‍ය කියන පදනමේ පිහිටන විචාර ක්‍රමවේදයකට ගිහින් නැති නිසාත් මෙය අපට අලුත් දෙයක් බවට පත් වෙලා. ඉතින් මේ පොතෙන් මම උත්සාහ කරන්නේ නිර්මාණශීලි ගුණයෙන් යුතු රූපවාහිනී හෝ සිනමා කෘති විචාරය සඳහා භාවිත කළ හැකි න්‍යාය සහ සංකල්ප පිළිබඳ හඳුන්වා දීම සහ මේ විෂයයන් හදාරන අයටත්, ක්ෂේත්‍රයේ නියැළෙන අයටත් මෙහි තිබෙන විද්‍යාත්මක පදනම නිවැරැදිව ආදේශ කර ගැනීමට මඟ පෙන්වීම. ඒපමණක් නොවෙයි, අද ගෝලීය සන්දර්භය තුළ ලෝකේ සියලුම සංස්කෘතිවල විවිධ හැල හැප්පීම්, උඩුයටිකුරුවීම් සිදුවෙලා තිබෙනවා. ඒ සඳහා රූපවාහිනියේත් යම් බලපෑමක් තිබෙනවා. එයට හේතුව මේ මාධ්‍යය වෙළෙඳපොළ පදනම් කරගත් කර්මාන්තයක් වීම. ඒ්ත් අපට පුළුවන්කම තිබෙනවා අපේ සාරධර්ම, සංස්කෘතික වටිනාකම් නොනැසෙන ආකාරයෙන් රූපවාහිනිය රාමුගත කරන්න. මම විශ්වාස කරනවා ඉහත න්‍යාය හා සංකල්ප පදනම් කරගෙන මෙය විචාරාත්මක ඇගයීමකට ලක් කිරීමෙන් වගේම, මෙහි ප්‍රායෝගික තලයේ සිට රූපය සහ එහි භාවිතය පිළිබඳ යම් හැඩරුවක් ඉදරිපත් කිරීමෙන් සහ මේ සියල්ල සමඟ එක් අතකින් ඇති සමාජ සංස්කෘතික බැඳීයාව සහ අනෙක් අතින් ඇතිවන විඝටනය, විසංයෝජනය භාවිතයෙන් අවබෝධ කරගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් සාකච්ඡා කෙරෙනවා කියලා. එයින් මම ලංකාවේ ටෙලිවිෂනය සඳහා හැඩරුවක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා.

මේ වන විට පවතින හැඩරුවට ප්‍රේක්ෂකයන් ඇබ්බැහිවෙලා ඉන්නේ?

ඔව්. අපේ ප්‍රේක්ෂකයා දන්නවා තමන්ට පෙන්වන්නේ වැරැදි දේවල් කියලා. ඒ්ත් පෙලඹිලා තිබෙනවා ඒ්වා නරඹන්න. ප්‍රේක්ෂකයාගේ, රසිකයාගේ රසඥතාව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කිරීමකුත්, ප්‍රේක්ෂකයා හා රූපවාහිනිය අතර තිබෙන බැඳීම විවිධ මානයන්ගෙන් බලන්නත්, ඒවා සංඛ්‍යාලේඛන හා දත්ත එකතුවක් මඟින් විමර්ශණය කෙරෙන පරාසයකුත් ඒවැනි පෙලඹීමකට හේතු සාධක මොනවාද කියා පූර්ණ සමාජ හා මානව විද්‍යාත්මක විග්‍රහයකුත් මෙහි තිබෙනවා. මේ රටේ රූපවාහිනිය හා ප්‍රේක්ෂකයා පිළිබඳ දැනුම, තොරතුරු ලබාගන්න මෙය හස්තසාර ග්‍රන්ථයක් වේවි කියලා මම අපේක්ෂා කරනවා.

ඉහත න්‍යායන් මෙතෙක් රූපවාහිනියට යොදා නොගැනුණු හේතුව ‌කුමක් කියාද ඔබ හිතන්නේ?

ඇත්තටම මේවා පිළිබඳ හැදෑරීමේ ගැටලුත් තිබෙනවා. අපේ විචාර කලාව තුළ න්‍යයාත්මක හා සංකල්පවාදී විචාර නැති තරම්. බොහෝ වෙලාවට අපි කළේ කාගේ හෝ නිර්මාණයක ගුණ දොස් කියලා පුළුවන් නම් බැනලා ඉවර කරන ඒක. ඒ් හැර ශාස්ත්‍රීය මට්ටමකින් විචාරයක් කිරීමට ජ්‍යෙෂ්ඨයන් පවා උත්සාහ කරලා නැහැ. වෙනරටවල එය සිදුවෙනවා. ඒ් හැදුණු රික්තයත් මේ මඟින් පිරවෙයි කියා මම හිතනවා. ඒ් වගේම ඕනෑම සිනමාකරුවෙක් හෝ නිර්මාණකරුවෙක් තමන්ගේ කෘතිය දෙස විචාරශීලීව බලන්න පුරුදුවෙන්න ඕනෑ. ඒයට අනුප්‍රාණය මෙයින් ලබා දෙනවා. රූපවාහිනිය හසුරවන පිරිසට අප නොදන්නා පරාසයක් පිළිබඳ අවධානය යොමු කරනවා.

අපේ රූපවාහිනියට තවම වසර හතළිහයි. සමහරු කියන්නේ එහි බලපෑම නිවැරැදිව තේරුම්ගන්න තවම කල් මදි කියලායි?

ඒ්ක නම් මම පිළිගන්නේ නැහැ. බොහෝ දේවල්වල පර්යේෂණාත්මක මට්ටම අතහැරලයි තිබෙන්නේ අපේ රටේ. අපේ ටෙලිවිෂනයේ පර්යේෂණාත්මක මට්ටම පිළිබඳ කිසිම අවධානයක් යොමු වන්නේ නැහැ. විශේෂඥයන්, ප්‍රවීණයන් වගේම විද්‍යාර්ථීන් විවිධ මට්ටම්වලින් මෙය ඈත් කර තිබෙනවා. උදාහරණයකට පුරාවිද්‍යා වැඩසටහනක් කරන්න නිෂ්පාදකයකුට පමණක් හැකියාවක් නැහැ. එයට පුරාවිද්‍යාඥයකු සම්බන්ධ කරගත යුතුයි. ඒ් වගේ දේවලදිත් ලංකාවේ විදග්ධභාවය යොදාගැනීමේ යම් හිඟපාඩුවක් තිබෙනවා. ඒ් සඳහා සිදුවිය යුතු ජන පර්යේෂණ සිදුවන්නේ නැහැ. ලංකාවේ රූපවාහිනී නාළිකාවක් පවතින්නේ මොන මට්ටමේද කියන දෙය නිවැරැදිවම විශ්ලේෂණය කළ හැකි නිවැරැදි ක්‍රමවේද තිබියදී මුදලට යට වූ පෞද්ගලික ආයතන මඟින් කෙරෙන දත්ත විග්‍රහයන්ට යොමු වෙලා තිබෙනවා. ඒ් නිසා නිතරම අවතීර්ණ වන්නේ වැරැදි මාර්ගයට නිසා වර්ධනය බාල වනවා. ඉස්සර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෙනම පර්යේෂණ අංශයක් තිබුණා. එය දැන් නැහැ. කො‌හොමත් අපේ ටෙලිවිෂනය ඉන්නේ පසුගාමී තත්ත්වයක. ජපානයේ 2025 වෙද්දි 8ම් තාක්ෂණයෙන් චන්ද්‍රිකා ඔස්සේ සම්ප්‍රේෂණයට සූදානම් වෙනවා. අපට තාම ඩිජිටල් සම්ප්‍රේෂණයකට යන්න බැරිවෙලා තිබෙනවා. අදටත් අපි ඉන්නේ ඇනලොග් තාක්ෂණයේ. ඒ් නිසා අපේ රූපයක්, දර්ශනයක් ගත්තත් තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සමස්ත සන්නිවේදන කාර්යයටම බලපානවා. වැඩසටහන්වල නිර්මාණශීලි ගුණය, ප්‍රමිතිය, වෘත්තීය මට්ටම, පුහුණුව ලැබීමේ අවස්ථා, ආයතනික සංස්කෘතිය, කළමනාකරණය, තාක්ෂණය ආදි සියල්ල එයින් පසුබානවා. ඒ මඟින් නාළිකාවලට සිදුවන අවහිරතා, ඒමඟින් ප්‍රේක්ෂකයන්ට ඇති අපහසුතා සාකච්ඡා කෙරෙනවා. රූපවාහිනිය කියන්නේ මහා විශාල වශයෙන් සන්නිවේදන ලෝකය වෙනස් කළ මාධ්‍යයක්. ඒ්වා තේරුම්ගෙන, ගැටලු කොහොමද නිරාකරණය කරන්නේ කියලා නොහිතා එදාවේල ටුවර්ස් වගේ කොහොම හරි මොනවාහරි මිනිස්සුන්ට පෙන්වලා කීයක්හරි සාක්කුවේ දාගන්න ගිහින් අපි ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි ටෙලිවිෂන් මාධ්‍යයත් ගොනාට අන්දගෙන තියෙන්නේ. මේවා පිළිබඳ ගැඹුරින් මම කරන විග්‍රහය පෞද්ගලිකව කාටවත් පහර ගැසීමට නොවේ ශාස්ත්‍රීය විග්‍රහයක් සදහා පමණයි.

විසංයෝජන න්‍යාය අනුව ඔබ ලෝක රූපවාහිනී ක්ෂේත්‍රය දකින්නේ කෙසේද?

රූපවාහිනිය සහ සමාජ සංස්කෘතිය එකට ගැටීමේදී මේ දෙපැත්ත තුලනය නොවන්නේ ඇයි? සංවර්ධනය වෙමින් පවතින හා නොදියුණු රටවල මෙය හරියට සන්තුලනය වන්නේ නැහැ. මොකද විශේෂයෙන් ඒවැනි රටවල රූපවාහිනිය භාවිත කරන්නේ දේශපාලනය සහ බලය ව්‍යාප්ති කිරීමේ පරාසය තුළ. ඒ්ත් දියුණු රටවල බොහෝ විට රූපවාහිනිය මම කියූ ජන පර්යේෂණ ඔස්සේ යමින් ඒ් අවශ්‍යතා අනුව වැඩසටහන් නිර්මාණයට පෙලඹෙනවා. මානව සුබසිද්ධියට යොමු කරනවා. ඒ්ත් සියයට සියයක්ම නෙවෙයි. උදාහරණයකට ව්ඩ්ම් ආයතනය සැම වසරකම පර්යේෂණ සිදු කරනවා. ඒ් කොහොම කළත් රූපවාහිනියට බලයක් තිබෙනවා මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න. ජනතාව කොතරම් රූපවාහිනියට ඇබ්බැහි වී තිබෙනවාද ඒ් තරමට තමන්ගේ ජීවන රටාව පරිත්‍යාග කර තිබෙනවා රූපවාහිනිය මෙහෙයවන වෙනත් අතක බලපෑමට යටත් කරන්න. ඒවිට ඒ් අනුව තමයි සමාජය කටයුතු කරන්නේ. ඒය සිදු කරන්නේ නිවැරැදි ආකාරයටද යන්න විශාල ගැටලුවක්. මොකද අද සමාජය ජංගම දුරකථනයෙන් පවා ටෙලි නාට්‍ය බලනවා. එහි තේරුම මෙවලම වෙනස් වුවත් භාවිතයේ සහ අන්තර්ගතයේ වෙනසක් සිදු වී නැත යන්නයි.

රූකල්පන ග්‍රන්ථය ගැනත් කියමු?

ශ්‍රී ලංකාවේ රූපවාහිනී රචනා කලාව පිළිබඳව ලොකු අවබෝධයක් ඇති ශාස්ත්‍රීය මට්ටමින් හැදෑරූ අය අවමයි. ඒ් සඳහා ඇති ඉඩප්‍රස්ථාවත් අඩුයි කියා මම විශ්වවිද්‍යාලවල දේශන කරද්දිත් දුටුවා. ඒ නිසා ඒ අයට විද්‍යාත්මක පසුබිමක් තැනීම සඳහා තමයි මේ පොත රචනා කරන්නේ. මෙය ටෙලි නාට්‍ය පිළිබඳ පමණක් නොවේ. ඕනෑම රූපවාහිනී වැඩසටහනක්, සඟරාමය වැඩසටහනක් ලිවීමේදී මුලික රීති පද්ධතියක් තිබෙනවා. ඒත් තිරරචනය කියන විට අපේ වැඩි අවධානය යොමු වන්නේ සිනමාවට. එහි කිසි මොහොතක වෙළෙඳ දැන්වීම් සඳහා වැඩසටහන ඛණ්ඩනය කරන්න අවශ්‍ය නැහැ. ඒත් රූපවාහිනී වැඩසටහනකදි ඒ් ඛණ්ඩනයන් දක්වා කතා වින්‍යාසය වර්ධනය කරන ආකාරය ඉතා වැදගත්. ලෝකයේ එය උගන්වන්නේ විද්‍යාත්මක පසුබිමක් සහිතවයි.

ඔබ එය හැදෑරුවේ?

මට මුලින්ම කැනේඩියානු රූපවාහිනී ඩිප්ලෝමාවක් කරන්න ලැබුණා වෝනර් ට්‍රෝයි කියන විශේෂඥයා යටතේ. ඔහුගෙන් තමයි මම මෙහි මූලික සිද්ධාන්ත හැදෑරුවේ. ඒ් වගේම මම විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන්ට මේ විෂයය උගන්වන නිසා නිරන්තර තොරතුරු සොයා ගැනීමට උනන්දු වෙමින් ඒවා සොයා යනවා. ඒ මඟින් මගේ දැනුම යාවත්කාලීන කරගැනීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.