රස්සාවත් නැහැ ගෙදරත් නැහැ

සිසිර කුමාරතුංග මහපාරට?
අගෝස්තු 1, 2019

කුමාරතුංග නාමය අප සිනමාවට ආගන්තුක නැත. විජය, ජීවන් හැරුණු කොට තවත් කුමාරතුංග කෙනෙකු අප සිනමාවේ සිටියේය. ඒ සිසිර කුමාරතුංගය. සටන් නළුවකු හැටියට වඩාත් ප්‍රකට සිසිර චණ්ඩි පුතා චිත්‍රපටයේ රඟපෑ අයුරු අදට ද සිනමා ප්‍රේක්ෂකයාගේ මතකයෙන් බැහැර වී නොමැත. චංචල රේඛා ඇතුළු චිත්‍රපට ගණනක විවිධ චරිත රඟපෑ සිසිර වඩාත් ප්‍රකට වුණේ සටන් නළුවකු හැටියටය. දුෂ්ටයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් වීරයාව ඉස්මතු කරන්නට ගුටි කෑ වාර අනන්තය. අතපය කඩා ගත් අවස්ථා ද ඕනෑ තරම්ය. එහෙක් කිසිදු දිනක සිසිර සිනමාව අතහැරියේ නැත. දිගු කලක් රංගනය වෙනුවෙන් ජීවිතය කැප කළ ඔහු අද අතිශය ඛේදජනක අවස්ථාවකට මුහුණ පා සිටින්නේය. කාටවත් අතනොපා ජීවත්වීමට මුදල් ඉපයූ රක්ෂාව අද ඔහුට අහිමි වී ඇත. ඉන්න හිටින්නට දුක් මහන්සියෙන් සැදූ නිවස ද හොරු අරගෙන ගියා හා සමානය. හිතේ සවියෙන් සිසිර කල් ගත කරනු ලබයි. අනාගතය ද අවිනිශ්චිතව ඇති වග ඔහු කියයි. එහෙත් සිනමා නළුවකු හැටියට වෘත්තීය ගරුත්වය පාවා නොදී සිටීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ ගුරු ගාමිණී ෆොන්සේකාගෙන් එදා ලැබූ උපදෙස් හේතුවෙනි.

ඔය අපේ පැරණි රසිකයො ඉන්නවා නේද . . . එයාලා මාව දැක්ක ගමන් ආ . . . චණ්ඩි පුතා කෝමද . . . කියලා අහනවා. බලන්න මිනිස්සුන්ට තවමත් ඒ පිචර් මතක තියෙන හැටි.

එතකොට සිසිර කුමාරතුංග කියන නම?

නමින් හොයලා බලන්නෙ පස්සෙනෙ. ෆස්ට් චරිතේ. ඒකෙන් තමයි අපි ඕඩියන්ස් එක අල්ල ගත්තේ ඒ දවස්වල.

දැන් කොච්චර කල්ද සිනමාවට ඇවිත්?

කීයක් කියලද හිතේ?

අවුරුදු හතළිහකට වැඩියි.

හතළිස් පහක්. මේ අහන්නකො තව කතාවක්. මේ තට්ටේ පේනවා නේද (සිසිර තමන්ගේ හිසට දබර ඇඟිල්ලෙන් තට්ටු කරයි) මේකටත් අවුරුදු හතළිස් පහයි. සිනමාවට ආවෙම තට්ටෙ ගාගෙන. සෙල්ලම් නෑ තට්ටෙ මේන්ටේන් කරන එක. එක රේසරයක් පාවිච්චි කරන්න පුළුවන් දවස් තුනයි. දවස් හතරකට සැරයක්වත් තට්ටෙ ගාන්න ඕන හරි විදිහට.

දැන් වයස කීයද?

හැත්තෑ තුනයි. කියන්න බැහැ නේද . . . තවම ජවය තියෙනවා ගහගන්නත් පුළුවන්, ගුටි කන්නත් පුළුවන්, දෙකටම ඔට්ටුයි.

ඔබ අතීතය ගැන සතුටු වෙනවා. ඒත් වර්තමානය?

හරිම දුකසේ තමයි ගෙවන්නේ. රස්සාව නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ.

රස්සාව නැහැ කිව්වේ?

රිකී එකේනෙ වැඩ කළේ. ඔක්කොම වැහැව්වා. මටත් යන්න කිව්වා.

ගෙදර?

වැටිල ඉන්න කියලා මං හදාගත්තු ගේ ළමයි ගත්තා. ඒක එයාලා විකුණලා මටයි නෝනටයි පොඩි ගාණක් දුන්නා. දැන් යාළුවෙක්ගෙ ගෙදරක කාමරයකට වෙලා ඉන්නවා. එයාලගෙ ගෙදරත් හැමදාම ඉන්න බැහැනෙ.

දරුවො?

එයාලා එයාලගෙ ජීවිත ගෙවනවා. අපි උන්නද මලා ද කියලා බලන්නේ නැහැ. අපිටත් සලකයි කියලා හිතාගෙන ගෙදර දුන්නේ. අන්තිමේ අපිටත් පාරට බහින්න වුණා. මේ වෙලාවේ වගකිව යුතු කෙනෙකුගෙන් මං ඉල්ලා සිටිනවා හැකි නම් මට ගෙයක් දෙන්න කියලා.

රඟපෑමෙන් ඈත් වෙලා නැහැනෙ?

දෙයියම්පා නෑ. දෙයියනේ කියලා වැඩ නම් එනවා. අන්තිමේට රඟපෑවේ උදයකාන්ත මහත්තයාගේ ගින්දරී II පික්චර් එකේ. මේ ඉන්න විදිහට නෙවෙයි මාව ගත්තේ. රැවුල් එහෙම දාලා පොඩි වෙනසක් කළා. හොඳට ගෙව්වත් එක්ක උදයකාන්ත මහත්තයා.

සිසිර අයියට ටෙලිවලට කතා කළේ නැද්ද ළඟදී?

චංචල රේඛා නාට්‍යය කළානෙ. ඊට පස්සේ කතා කළේ නැහැ. අපි ඉතින් ලේබල් ගහගෙන ඉන්නේ සටන් නළුවො විදිහට. ආ . . . මෙයාලා ෆයිටර්ස්ලනෙ කියලත් කියනවා. සටන් කරන්න විතරක් පුළුවන් කියලා හිතන්නේ. එතනින් එහාට රඟපාන්න පුළුවන්. දෙන්නකො වැඩක් කරලා පෙන්නන්න.

ගාමිණී මහත්තයා, ගාමිණී ෆොන්සේකා අමතක කරන්න බැහැ ඔබට?

බුදු අම්මෝ කොහොමද අමතක කරන්නේ එතුමාව. සිනමාවේ මට ලැබුණු දේවල්වලින් බහුතරයක් එතුමා නිසා ලැබිච්චනෙ. පැය විසි හතරකට වඩා ෂුූට් කළා චණ්ඩු පුතා එකේ අපි දෙන්නගේ ෆයිට් එක.

මොනවද ඔහු ඔබට නිතරම කිව්වේ?

නළුවා නළුවා විදිහටම ඉඳපන්. නිතර පේන්න ඉන්න එපා කිව්වා. නළු වෘත්තීය හෑල්ලුවට ලක් කරනවා නේද, අන්න එතකොට ගාමිණී මහත්තයාට තරහා යනවා. ඇඟේ ඇඳගෙන හිටපු ෂර්ට් එක මට ගලවල දිලා තියෙනවා. තවමත් ඒවා මං ගාව සුරක්ෂිතව තියෙනවා. රත්තරං මනුස්සයෙක්.

නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ගේ සිනමාපටවල ඔබ නැත්තේ ඇයි?

මේකයි, උදයකාන්ත මහත්තයා වගේ ඩිරෙක්ටර්ලා කිහිප දෙනෙක් ඉන්නවා එයාලට මාව ඕන නම් ඒ චරිතයට මාවමයි ගන්නේ. එයා වෙනුවට මෙයා නෙවෙයි. ඒකනේ එයාලගේ චිත්‍රපට දුවන්නේ. ගොඩක් අය කරන්නේ මං නැතිනම් අරයා එයා නැත්නම් තව කෙනෙක්. එහෙම වුණාම අපි හැලෙනවා.

ඉස්සර වගේ චිත්‍රපට හැදෙන්නෙත් නැහැනෙ?

ඒකනේ, දැන් බලන්න අපි ඉස්සර චිත්‍රපට හෝල් එකට යනවා. පැය තුනක් විතර තිබුණු චිත්‍රපටත් තිබුණනෙ. අපි ඒක ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා. අද . . . ඒකේ අනික් පැත්ත. කොයි වෙලාවෙද චිත්‍රපටය ඉවර වෙන්නෙ කියාගෙන බලාගෙන ඉන්නේ හෝල් එකෙන් එළියට එන්න. සිනමාව කඩා වැටුණෙ නැහැ, කඩා වැට්ටුවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.