සුළඟ මහ මෙරක සමඟ එන ගුරුවරිය

අගෝස්තු 1, 2019
චන්දිමා කරුණාදාස
 
ඇතැම් දක්ෂයෝ මාධ්‍ය ඉදිරියට නිරන්තරයෙන් පැමිණෙන්නේ නැත. ඔවුන් කලඑළියට එන්නේ නිර්මාණ තුළින්ම පමණි. චන්දිමා කරුණාදාස ද එවන් වූ රංගන ශිල්පිණියකි. ඇය පිළිබඳ පුවත්පත් ලිපි පළ වී නැති ගාණය. ඉඳහිට හෝ නිර්මාණ ඔස්සේ් සිය රංගන කුසලතාවය එළි දැක්වීමට චන්දිමා පසුබට වන්නේ ද නැත. මේ දිනවලදී ඇගේ රූ සපුව අපට දැක බලා ගත හැකි වනුයේ සුදත් දේවප්‍රියගේ සුළඟ මහමෙරක ටෙලි සිතුවම තුළිනි. ජාතික නාළිකාවේ විකාශය වන එහි කුමාරි නමැති ගුරුවරියගේ චරිතය චන්දිමා විසින් පණ පොවනු ලබයි.
 
 චන්දිමා, ඔබ ඉඳහිට දක්නට ලැබෙන නිළියක් වුණේ ඇයි?
ඉඳහිට තමයි රංගන අවස්ථාව ලැබෙන්නේ. මේක වුණත් එහෙමනෙ. වේදිකාවේ දිගටම රැඳුණා. බර්නඩාගේ සිපිරි ගෙය, විසේකාරියෝ, මකරාක්ෂ වගේ නාට්‍ය බොහොමයකට සම්බන්ධ වෙලා හිටියා. වේදිකාවට තමයි ගොඩක් ආස කරන්නේ. ඒ අතරතුරදී හොඳ නාට්‍යයකට ඇරැයුම් ලැබුණාම බාර ගන්නවා.
 
 කොහොමද සුළඟ මහ මෙරක නාට්‍යය සඳහා ඔබට ආරාධනා ලැබෙන්නේ?
මේක නිෂ්පාදනය කරන්නේ ලක්ෂ්මී දමයන්ති අක්කා. ඇය ඉතාම දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක්. ඇය මා හඳුනනවා ටික කාලෙක ඉඳලා. ඒ හැඳුනුම්කම ඔස්සේ තමයි ඇගෙන් මට මේ නාට්‍යයට ඇරැයුම් ලැබෙන්නේ.
 
 ඔබ පෙර රඟපෑ ටෙලි නාට්‍ය ගැන මතක් කිරීමක් කළොත්?
භව අරණ, අවසන් හුස්ම ටික කියලා නාට්‍යයක රඟපෑවා. ඒක විකාශය වෙන්න තියෙන එකක්. රසික සුරවීර ආරච්චි අයියා තමයි ඒ නාට්‍ය ඩිරෙක්ට් කළේ. ඔය වගේ තමයි, වැඩිය ටෙලි නාට්‍ය කරලා නැහැනෙ.
 
 කුමාරි ටීචර් ගැන තව කතා කළොත්? ඒ චරිතය මොන වගේද, කොහෙද ලොකේෂන් තිබුණේ?
කුමාරි ටීචර් කියන්නේ ගමෙන් ඉගෙන ගෙන ගුරුවරියක් වෙලා නගරයට ගිහින් එහි ඇති වාතාවරණය මත නැවතත් ගමටම ආ කෙනෙක්. මගේ සැබෑ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. සුදත් දේවප්‍රිය මහත්මයාගේ පිටපතට සාධාරණයක් කළා කියලා මට හිතෙනවා. සුදත් දේවප්‍රිය කියන්නේ අඹ යහළුවෝ වගේ නාට්‍ය කරපු ප්‍රවීණයෙක්. ඔහුටත් මේ මොහොතේ තුති පුදනවා මට රංගනයට අවස්ථාව දුන්නට. අපේ දර්ශන තල තිබුණේ ගල්ගමුව පැත්තේ. ඉතාම දුෂ්කර වූ ගමක්. මූලික පහසුකම් එහෙමත් අවම මට්ටමක තිබුණේ. ඒවා ගැන වැඩි තැකීමක් නොකර අපි වැඩ කළා. අදට මතක් වෙනකොට ඉතාම සුන්දර අත්දැකීමක්.
 
 ඔබ උපාධිධාරිනියක් නේද?
ඔව්. කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධියක් තියෙනවා. කැම්පස් එකේ නාට්‍ය කරලා යුත් උළෙලෙදි එහෙම සම්මානත් අරගත්තා. අවුරුදු දහයක් විතර රඟපානවනෙ.
 
 ඒත් ඔබ අනෙක් නිළියන් තරම් ජනප්‍රිය නැහැ?
එහෙම වෙන්නේ වැඩිය නිර්මාණවල නැති නිසානේ. ක්ෂේත්‍රයේ අය නම් මාව දන්නවා. නිර්මාණකරුවොත් හඳුනනවා. කතා කළොත් මේ ආවා වගේ මාධ්‍ය ඉදිරියටත් එනවා.
 
 චන්දිමා වෙනත් වෘත්තියක් කරන ගමන් ද රඟපාන්නේ?
නැහැ. ආසම සහ කරන්න පුළුවන් එකම දේ තමයි රඟපෑම.
 
 නිළියකට සමාජයේ තිබෙන පිළිගැනීම ගැන මොකද කියන්න තියෙන්නේ?
එක් එක් සමාජයන්හි හිතන විදිහ අනුව තමයි ඒක තීරණය වන්නේ. අපේ නම් නිළියක් කිව්වාම වෙනමම තැනක්නෙ තියෙන්නේ. මං හිතනවා ඒ මතවාදය කඩන්න පුළුවන් වේවි කියලා. 
 
 චන්දිමාගේ ගම කොහෙද?
අනුරාධපුරයේ පූනෑව කියන ගමේ තමයි මං හැදුණේ වැඩුණේ. මැදවච්චිය ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවා. දැනට පදිංචිය කැලණියේ.
 
 ඔබ විවාහකද?
ඔව්. මගේ සැමියා තරිඳු ගංගානාත්.
 
 චන්දිමාගේ උපන් දිනය?
අසූ නවයේ පෙබරවාරි දහසය.
 
 ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?
ඉතාම සරල කෙනෙක්.
 
 
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.