සඳකඩ පහනේ සුනිල යාමය

සුනිල් එදිරිසිංහ සිය පුතු හා දියණිය සමඟ
අගෝස්තු 1, 2019

සුනිල් එදිරිසිංහයන් මුලින්ම ගීත ගයන්නට පටන් ගන්නා විට ඔහුට වයස අවුරුදු 18 කි. ඒ එවකට පැවති ආධුනික ගී ප්‍රසංගයක් වූ ‘මැලිබන් ගුවන් තොටිල්ල’ වැඩ සටහනෙනි. නමුත් ඔහු ක්ෂේත්‍රයේ හරියට ගමන් මඟට අවතීර්ණ වූයේ මාතර ආච්චි චිත්‍රපටයේ 

පසුබිම් ගායකයෙකු වශයෙනි. චිත්‍රපට ගීතයකින්ම ගී ලොව දොරටු විවර වීම එක්තරා ආකාරයකට ඔහුට ද පුදුමයකි. එහෙත් ඒ පුදුමය තුළ ඔහු රමණීය ගමනක නියුතු වූයේය.

අඩසිය වසක ගී සඳ එළියට සියල්ල සූදානම්ය. දිනය හරියටම එළඹෙන 03 වැනිදාය. සවස 6.30 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව මඟ බලා සිටින්නේ සුනිලුන්ගේ හඬින් සිය සභා ගර්භය ආනන්දයෙන් පුබුදුවා ගන්නටය. සත්‍ය වශයෙන්ම එය ආනන්දජනක රාත්‍රියක් වේවිය. සුනිල් එදිරිසිංහයන්ට ආදරය කරන බොහෝ දෙනෙකු මේ දිනය වෙනුවෙන් දැනටමත් සිය කාලය වෙන් කරගෙන ඇති බව අපි දනිමු.

අඩ සිය වසක ගායන දිවිය තුළ ඔහු හරි හම්බ කරගත් දෑ බොහෝය. මේ කියන්නේ ගායකයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය තුළ හරි හම්බ කරගත් ආර්ථිකමය වාසියක් ගැන නොවේය. මුදල් නම් අද තිබී හෙට නැති වෙන්නට ද පුළුවන. එහෙත් ගෙවුණු වසර 50 පුරා ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළ නිර්මාණ රුපියල් ශතවලින් මිළ කළ නොහැක්කේ ඒවා ඒ තරමටම මිහිරි වූ නිසාය. සුගායනීය වූ නිසාය. ප්‍රේක්ෂක, ශ්‍රාවක හෘද සන්තානය ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කළ නිසාය. සමස්ත සමාජයකට හරි මඟ පෙන් වූ නිසාය.

ඉතින් මේ ඔහුගේ කතාවය. අඩ සියවසක ගී සඳ එළිය - සුනිල යාමය වෙනුවෙන්.

‘ඇත්තටම ‘සුනිල යාමය’ ප්‍රසංගය පවත්වන්නට අරමුණු කර ගත්තේ මගේ ගායන දිවියට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙනයි. ප්‍රසංගයේ සංගීතය මෙහෙය වන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්. පහළොස් දෙනෙකුට ආසන්න වාදක මණ්ඩලයක් මේ සඳහා සම්බන්ධ වෙන්න නියමිතයි. කථනයෙන් එක් වෙන්නේ සමන් අතාවුදහෙට්ටි. මේ ප්‍රසංගයේ තවත් සුවිශේෂිත්වයක් වෙන්නේ මගේ දුවයි පුතයි දෙන්නම මේකට සම්බන්ධ වීමයි. මොකද මා වියපත් වන විට තරුණ පරම්පරාව ඉදිරියට එන්න ඕනනේ. මගේ දුව සංඛනී එදිරිසිංහ මම කලින් පවත්වපු ප්‍රසංගවලටත් සම්බන්ධ වෙලා ගීත ගායනා කරලා තිබෙනවා. ඊට අමතරව එයා එයාගේම ගීත කිහිපයකුත් ගායනා කරලා තියෙනවා. මගේ පුතා සංඛ එදිරිසිංහත් මේ වන විට ක්ෂේත්‍රයේ ටිකක් ජනප්‍රියයි. පසුගිය දිනවල සිහිනයකි රෑ, ලෙය සහ ලය වැනි වැඩසටහන්වලටත් සහභාගි වුණා. ඉතින් මේ දෙන්නම දැන් ක්ෂේත්‍රයේ තරමක් ජනප්‍රියයි.

සුනිලුන්ගේ දරුවන්ට සප්ත ස්වරයේ හැඩරුව අරුමයක් නොවන්නේය. ඔවුහු කුසයේ සිටම එහි අපූර්වත්වය විඳිමින් සිය පියාගේ ගීතවත් කටහඬේ ආශිර්වාදය ලබමින් මෙලොවට පැමිණෙන්නෝය. එතැන් සිට ඔවුන් බහ තෝරන්නේ, අධ්‍යාපනය ලබන්නේ, යෞවනයට එළඹෙන්නේ එකී සප්ත ස්වරයේ ගීතවත් ඇසුර නිරන්තර ලැබෙන සංගීත අසපුවක සිටය. සිය ආදරණීය පියාගෙන් ලද ජානමය හැකියාවත්, උත්සාහයත්, කැමැත්තත් සමඟ ඔවුන්ගේ මේ සම්ප්‍රාප්තිය සුනිල් එදිරිසිංහයන්ගේ සිතට ද මහත් ප්‍රීති ප්‍රමෝදයක් එක් කරන්නේය.

‘ඇත්තටම දුවයි පුතයි වෘත්තීයමය වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ රැඳුණේ නෑ. ඔවුන් ඔවුන්ට කැමති ආකාරයට වෙනත් වෘත්තීන් තෝරා ගත්තා. පුතා දැනට එක්සත් රාජධානියේ තමයි පදිංචි වෙලා ඉන්නේ. දුව නම් ලංකාවේ පදිංචිය. එයා වෘත්තීයෙන් ගුරුවරියක්. පුතා විදේශයක පදිංචි නිසා එයාට නිතර මෙහේ තිබෙන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන්න අසීරුයි. නිවාඩුවට ආවම තමයි සම්බන්ධ වෙන්නේ. කොහොම වුණත් මට හිතුණා ඒ දෙන්නත් එක්ක ප්‍රසංගයක් කරන්න මේක තමයි සුදුසුම අවස්ථාව කියලා. දුවටයි පුතාටයි පුංචි කාලේ ඉඳලම ඇහුණේ සංගීතය. ගෙදර ඇහෙන්නේ ඒකනේ. දෙන්නටම ගායනය කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් දෙන්නටම කිසිම උවමනාවක් තිබුණේ නෑ තාත්තා ගායනවේදියෙක් නිසා අපිත් එහෙම වෙන්න ඕන කියලා. නමුත් දැන් ඒගොල්ලන්ට වැටහෙනවා ඇති මම කෙමෙන් කෙමෙන් වියපත් වෙන විට තාත්තගේ සින්දු ඉඳලා හිටලා හරි ගායනා කළොත් හොඳයි කියලා. ඒ අදහස ඒගොල්ලන්ටම ඇවිල්ලා ඇති. ඒක නිසා වෙන්න ඇති ඒ දෙන්නා දැන් ටිකක් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒකත් මට ලොකු සතුටට කාරණයක්.

සුනිලුන් පවසනුයේ මහත් වූ සතුටකිනි. තම ලෙයින් මසින් උපන් දරුවන් පියාගේ උරුමය අනාගත පරපුරට රැගෙන යනු දැකීම පියෙකුට සතුටට කාරණයකි. ඒ සතුට අද සුනිල් එදිරිසිංහයන් භුක්ති විඳින්නේය. සුනිල් එදිරිසිංහයන් කාලයක් පුරා ඒක පුද්ගල ප්‍රසංග කලාවේ ‘සඳකඩ පහණ’ ප්‍රසංගය සහෘද පේ‍්‍රක්ෂකයන් වෙත ගෙන ආවේ බොහෝ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය. ඉදිරියේදීත් ‘සඳකඩ පහණ’ ප්‍රසංගය ඒ ආකාරයෙන්ම පැවැත්වෙනු ඇත. ‘සුනිල යාමය’ ඉන් වෙනස් වූ වෙනම නිර්මාණාත්මක අත්දැකීමකි.

“සඳකඩ පහණක කැටයම් ඔපලා

පාවෙන දේදුණු ලැගුම් ගනී . . .”

මේ සුනිල් එදිරිසිංහයන් ගී ලොව අභිසෙස් ලැබූ ගීතයයි. එතැන් සිට මේ දක්වා ඔහු මෙරට ගී කෙත සුපෝෂිත කරන්නට එක් කළ නිර්මාණ මේ වන විට හත්සියයකටත් ආසන්නය. ඔහු වෙනුවෙන් නිකුත් කළ පුෂ්කර වන්නිආරච්චි සංස්කරණය කළ සුනිල විල ගී පොතේ පමණක් ඔහුගේ ගීත 500 ක් ඇතුළත්ය. ගණනින් කොපමණ වුව ද වඩා වැදගත් කාරණාව වන්නේ ඉන් එකදු ගීතයක් හෝ අපට ඉවත දැමිය නොහැකි වීමය. සියල්ලම රමණීයය. ආදර්ශමත්ය. මෙරට සුභාවිත ගීතයේ නිම්වළලු පුළුල් කරන්නෝමය. අඩසිය වසක ගී සෞන්දර්යය තුළ සුනිල් එදිරිසිංහයන් මට දැනුණේ ‘සිංහයකු’ ලෙසය.

“මගේ සංගීත ජීවිතේ අවුුරදු 50 ක් ආපස්සට හැරිල බලත්දි මම පසු වෙන්නේ තෘප්තිදායක මනසකින්. මොකද හේතුව කලාකරුවෙකු වශයෙන් කලා ලැදි පවුලකට සම්බන්ධව ජන්මලාභය ලැබීම වාසනාවක්. ඒ එක්කම මගේ පවුලේ මගේම සහෝදරයෙක් මගේ හැකියාව වටහාගෙන එතුමාගේ චිත්‍රපටයකින් ඉදිරියට එන්න මට හැකි වුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මාතර ආච්චි චිත්‍රපටයේ ‘සඳකඩ පහණ’ ගීතයට මාව ඉස්සරලම තෝර ගත්තේ. ඉතින් ඒක කොච්චර වාසනාවක්ද. අද කාලේ ආධුනික ශිල්පියෙකුට කොච්චර උත්සාහයක් ගන්න ඕනද නමක් හදාගන්න. නමුත් මට එක රැයින් නම හැදුණා. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ සැණින්ම මගේ නමත් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම තමයි එදා ඉඳලා අද දක්වාම මට ලැබුණ මිත්‍ර සම්පත්තිය, ගුරු හරුකම්, මගේ දෙමව්පියන්, ගුරුවරු, මගේ සහෝදර සහෝදරියන්, යාළු මිත්‍රයින් මෙකී නොකී හැම තැනකින්ම මට ආදරය ලැබුණා. ආදරය නොලැබුණා කියන්න තැනක් මට නෑ. මම කරපු පළවෙනි ගීතය ‘සඳකඩ පහණ’ පටිගත කරපු තැන ඉඳලම රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර,ආනන්ද වීරසිරි ඊට පසුව කුමාරදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ වැනි බොහෝම සමීපතම මිතුරන් රාශියක් මට ලැබුණා. ඒ අයගේ උදව් උපකාර මට නිරන්තරයෙන් ලැබුණා. ඒ සියලු දෙනාම මට මේ ගමන එන්න ලොකු ශක්තියක් වුණා. මගේ ගීත ගොන්න අතුරෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට ගී තනු නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහයන්. ඔහු සංගීත අධ්‍යක්ෂවරයා, මම ගායකයා කියලා අපේ අතර පරතරයක් තිබුණේ නෑ. අපි ඉතාම ළඟ කුළුපඟ මිත්‍රයෝ. ඒ සමීපවීම, බද්ධවීමත් නිර්මාණ ජීවිතයට හුඟාක් බලපෑවා’.

සුනිල් එදිරිසිංහයන් මුලින්ම ගීත ගයන්නට පටන් ගන්නා විට ඔහුට වයස අවුරුදු 18 කි. ඒ එවකට පැවති ආධුනික ගී ප්‍රසංගයක් වූ ‘මැලිබන් ගුවන් තොටිල්ල’ වැඩ සටහනෙනි. නමුත් ඔහු ක්ෂේත්‍රයේ හරියට ගමන් මඟට අවතීර්ණ වූයේ මාතර ආච්චි චිත්‍රපටයේ පසුබිම් ගායකයෙකු වශයෙනි. චිත්‍රපට ගීතයකින්ම ගී ලොව දොරටු විවර වීම එක්තරා ආකාරයකට ඔහුට ද පුදුමයකි. එහෙත් ඒ පුදුමය තුළ ඔහු රමණීය ගමනක නියුතු වූයේය. ප්‍රතිභාව සතතාභ්‍යාසය, පුහුණුව, අත්දැකීම්, සමාජ වටපිටා, ව්‍යුත්පත්තිය මේ සියල්ල තුළ ඔහු සුභාවිත ගීතය සොයමින් වෙහෙසකර ගමනක නියුතු වුයේය. ඒ වෙහෙසකර ගමන දෙස අද ආදරයෙන් හැරී බලන්නට තරම් තෘප්තියක් ඔහුට ඉතිරි වී ඇත්තේ අර්ථාන්විත ගමනක මං සලකුණු උදාහරණ ද සමඟින් අනාගත පරපුර වෙත ඔහු ඉතිරි කර ඇති නිසාවෙනි.

‘ගායන ක්ෂේත්‍රය මගේ වෘත්තීය වෙන්න ඕන කියලාවත් මම ගායකයෙක් වෙන්න ඕන කියලාවත් හිතපු කෙනෙක් නෙවෙයි මම. මේක මට ඉබේ කඩාපත් වුණ දෙයක්. ඊට පස්සේ මගේ උත්සාහයෙන් පවුලේ සහ සමාජයෙන්, ගුරුවරුන්ගෙන් ලැබුණ දේත් එක්ක සුපරීක්ෂාකාරී ගමනක යෙදුණා. මගේ දෙමව්පියෝ බුදු දහමට බොහොම ළැදියි. ගෙදර නිතරම පින්කම් කටයුතු කළා. අපි වැඩෙන්නේ ඒ පසුබිමත් එක්ක. ඉතින් ඒ බෞද්ධ පරිසරයට අනුකූලව තමයි මගේ චින්තන රටාව හැදුණේ. මගේ නිර්මාණකරණයේදීත් ඒක මූලික වුණා. නිර්මාණයක් කරත්දී ඉස්සරලම ඒක තෝර ගන්නේ මම. ඊට පස්සෙයි මගේ මිතුරන්ගෙන් විමසන්නේ. මට වැඩියෙන්ම ගීත රචනා කරලා තියෙන්නේ මගේ මිත්‍රයා කුමාරදාස සපුතන්ත්‍රීය. ඔහු තමයි මට ගීතයක ආකෘතිය පිළිබඳ, සෞන්දර්ය වටපිටාව, ගීතවත් බව, උපමා රූපක කොහොමද කියන එක ගැන කියලා දුන්නේ. නමුත් සංකල්පනාව තෝර ගන්නේ මම. ඒක වෙන කෙනෙකුට පෙන්නන්නෙත් නෑ. ඒක වුණේ මම අර බෞද්ධ පරිසරයක හැදී වැඩුණ නිසා. සමාජයට හරවත් දෙයක් දිය යුතුයි කියන සංකල්පනාව තමයි හැම තිස්සෙම ඔලුවට එන්නේ.’

සුනිල් එදිරිසිංහයන්ගේ ගීත පිළිබඳ අධ්‍යයනයකදී ඔහුගේ මේ උත්සාහය මොනවට කැපී පෙනේ. ඔහු ගැයූ ප්‍රේම ගීතයක් ගත්තද, බොදු ගුණ ගීතයක් ගත්ත ද වෙනත් සමාජ ප්‍රශ්නයක් පිළිබඳ ගැයූ ගීතයක් ගත්ත ද ඒවා අනෙක්වා අතර දීප්තිමත් වන්නේ එම තේරීම නිසාවෙනි.

‘දැන් මම පුතාට ගයන්න ගීතයක් තෝරත්දි වුණත් පුතාටත් ඒ ගැන වටහලා දෙනවා. මහින්ද හාමුදුරුවන්ගේ කවි පෙලේ මෙහෙම තියෙනවානේ,

‘තමන් ලැබූ දිවි පෙවෙතේ - කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් උඹෙන් පුතේ - මෙළොවට කිසි පලක් නැතේ

අනිත් පැත්තෙන් මට තව සතුටක් තියෙනවා. අද විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන බොහෝ විද්‍යාර්ථීන් ඔවුන්ගේ පර්යේෂණ කාර්යයන් සඳහා මගේ ගීත තෝර ගන්නවා. එහෙම කරන්නේ ඒවායේ කිසියම් අර්ථාන්විතභාවයක් තියෙන නිසානේ. ඉතින් එවන් විද්‍යාර්ථීන්ගේ ගමන් මඟ හෙළි පෙහෙළි කරගැනීමට සමත් නිර්මාණ ඉතිරි කර තිබීමත් ලොකු දෙයක්නේ...’

එදා අද හෙට සේම මතු මතුත් මේ ගීත ඉතිරි වන්නට හේතුවක් වන්නේ ඒ අරුත් පිරි බවය. වත්මනෙහි ඇසෙන බොහෝ ගීත එක රැයින් ජනප්‍රිය වනවා සේම එක රැයින්ම බැස යන්නේ ද සුනිල් එදිරිසිංහයන් වැනි වූ මෙරට ගීත කලාවට ආදරය කරමින්, සැබෑ සෙනෙහෙසින් බොහෝ තැන් ඉවසීමෙන් සොයා බලා අධ්‍යයනය කරමින් කරනා නිර්මාණයන් අනාගතයටත් බැබලෙන්නේද එහෙයිනි.

වර්තමාන නිර්මාණත් එක්ක බලනකොට 70 – 80 දශකයේ නිර්මාණ කොතරම් සුගායනිය ද කියලා හිතෙනවා. කවදාවත් ආයෙත් ඒ කාලය ලැබෙන්නේ නෑ. ඒක ඉවරයි. නමුත් ඉස්සරහටත් ඒක පැවතෙනවා. අද එවැනි නිර්මාණ බිහි නොවෙන්න හේතු කාරණා ගොඩාක් තියෙනවා. සමාජමය විපර්යාසය ප්‍රධාන හේතුවක්. හැම තිස්සෙම මිනිසා වෙනස් වෙනවා. සංස්කෘතිය වෙනස් වෙනවා. සිතුවිලි වෙනස් වෙනවා. ඒ අතරම විද්‍යාව තාක්ෂණය දියුණු වෙනවා. මේවත් එක්ක මිනිස්සුන්ට හිතන්න කාලයක් නැති වෙනවා. මිනිස්සු යන්ත්‍ර වෙලා ඉවරයි. රේඩියෝ එකක් ළග ඉඳගෙන අහන්න වෙලාවක් නෑ. ඒ තරම් කාර්යබහුලයි. ඒ තත්ත්වයට දැන් අපි පත් වෙලා. මේවත් එක්ක ගුණධර්මත් පිරිහෙනවා. මිනිස්සුන්ගේ රසාස්වාදයත් පල්ලෙහාට යනවා. නමුත් මම දන්නවා සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටින අපි වැනි කෙනෙකුගේ ප්‍රසංගයකට අඩුවක් නැතිව සෙනඟ එන්නෙත් ඔවුන්ට අවශ්‍ය දේ අහන්න තැනක් නැති නිසයි.

කොහොම වුණත් අඩ සියවසක් ගෙවුණ මගේ සංගීත දිවියේ මේතාක් මා සමඟ සිටි සෑම කෙනෙකුටම කෘතගුණ පිදීම තමයි දැන් මට ඕනෑ කරන්නේ. මට ඔවුන් කරපු උපකාරවලට මම කරපු ප්‍රතිඋපකාර මදි කියල තමයි හැම තිස්සෙම මට හිතෙන්නේ. ඕනෑම කලා ශිල්පියෙකුට තමන්ගේ නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් වෙලා ඉහළ යන කොට ඔහු ලබා ගත් ඥානනය නැවත ප්‍රධානය කරන්න හදනකොට ඒකට ආයුෂ ඉඩ දෙන්නේ නෑ. ඒක තමයි සනාතන සත්‍යය. ඒක වළක්වන්න බෑ. ඒක මම අවබෝධ කරගෙන ඉන්නේ. ගෙවුණු ජීවිතේ ගැන මම සතුටු වෙනවා. හෙට මට ගීතයක් කියා ගන්න බැරි වුණත් අසතුටක්, දුකක්, කනගාටුවක් නැහැ.

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.