මෙය චූලවංශයක කොටසක්

ධර්මන් වික්‍රමරත්න
අගෝස්තු 8, 2019

පාරිසරික අධ්‍යාපන, ගවේෂණ, චාරිකා සටහන්, පාරිසරික ජනමාධ්‍ය නාමාවලිය, මාධ්‍ය පුහුණු අත්පොත් මෙන්ම 71 අප්‍රේල් කැරැල්ලේ කුරුටු ගී, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය, මැයි දින ඉතිහාසය සහ 87 තහනම් මැයි දිනය ආදි කෘති 52ක් සිංහල ග්‍රන්ථ නාමාවලියට එක් කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න විසින් විරචිත ජනප්‍රියම කෘති ලෙස ජවිපෙ දෙවැනි කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ දිය ඇලි 382ක් පිළිබඳ වූ පිටු දහසකින් පමණ යුත් ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. ඔහුගේ 53 වැනි කෘතිය 'සටනින් සටන' - ජවිපෙ දෙවැනි කැරැල්ලේ අතිශය සංවේදී සත්‍ය කතාවේ දෙවැනි ඛාණ්ඩයයි. අපි ඒ පිළිබඳ ඔහු සමඟ මෙසේ කතාබහක යෙදුණෙමු.

මේ කෘතිය ලිවීමට නිමිත්ත පිළබඳ මුලින්ම විස්තර කතා කරමු?

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ජවිපෙ දෙවැනි කැරැල්ල තීරණාත්මක සන්ධිස්ථානයක්. 60,000ක් තරුණ තරුණියන් මෙහිදී ඝාතනය වුණා. ඒත් මෙහි සත්‍ය කථාව බොහෝ දුරට සමාජගත වුණේ නැහැ. නිරන්තර ප්‍රචාරය වුණේ විකෘති වුණු තොරතුරු, උපකල්පන සහ කටකතා ආදියයි. ඒ නිසා ලංකාවේ මහාවංශය හා සමාන ඉතිහාසයක චූල වංශයක් පිළිබඳ කොටසක් තමයි මේ ලියා තිබෙන්නේ. මේ පිළිබඳ කරුණු ගවේෂණය කරන්න වසර 15ක් පමණ ගත වුණා. සිදුවීමෙන් වසර 29ට පසුවයි මේ පොත එළි දකින්නේ. 1818 උඩරට කැරැල්ල පිළිබඳ මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද නොලීවා නම් අපි දන්නේ සුද්දා ලියූ දේ පමණයි. ඒ් වගේම ජවිපෙ දෙවැනි කැරැල්ලටත් ඉතිහාසයක් තිබෙනවා. ඔවුන් සටන් කළ අරමුණ පමණක් නොවේ සංවිධානාත්මක ගුණය පිළිබඳවත් පළමු වරටයි මේ සටහන් වන්නේ. 71 කැරැල්ල පිළිබඳ නම් මහ නඩුව තිබුණා. පොඩි නඩු කොමිෂන් සභා 140ක් තිබුණා. ඒ් හැම එකටම සාක්ෂි, නියෝග තිබුණා. ඒ්ත් 88-89 යුගයේ නායකයන්ගේ සිට පහළ තලය දක්වාම සියලු දෙනා මුළුමනින් ඝාතනයට ලක්වුණා. එයින් ඉතිහාසයේ ලොකු හිඩැසක් ඇති වෙනවා. එය තමයි මේ ග්‍රන්ථයෙන් අනාවරණය කර තිබෙන්නේ.

කොහොමද පාඨක ප්‍රතිචාර? විවේචන එහෙම තිබෙනවාද?

ඉතිහාසය කියවන්න ජනතාව දැන් උනන්දු වෙලා තිබෙනවා ඔවුන්ගේ නිම්වළලු පුළුවල්වෙලා නිසා. ඉතිහාසය කියන්නේ කියවිය යුතු දෙයක්. ඒසේ කියවන්න නම් පොත් ලියැවෙන්නත් ඕනා. ඇත්තෙන්ම මේ කෘතිය ඉතාම අභියෝගාත්මක, දුෂ්කර ක්‍රියාවක්. පසුගිය වසර දෙකහමාර තුළ මෙහි ප්‍රථම කාණ්ඩයේ පිටපත් 12000ක් මුද්‍රණ වාර හතකදි නිකුත් කළා. ජාතික පුවත්පත් තුනකින් මේවායේ කරුණු ප්‍රචාරය කළා. ඒ්වාට ලැබුණු ප්‍රතිචාර සමඟ මම ඒ අභියෝගය ජයගත්තා කියලා හිතෙනවා. ඉතාම සුළු පිරිසක් ඉන්නවා තමන්ට විතරයි මේවා ලිවීමේ අයිතිය තිබෙන්නේ කියලා හිතන. සමහර දේශපාලන පක්ෂ, කල්ලි, කණ්ඩායම්, පුද්ගලයන් මේ අතර ඉන්න පුළුවන්. එයට හේතුව මේ සත්‍ය හෙළි වීම තමන්ට පෞද්ගලිකව පාඩුවක් බව ඔවුන් උපකල්පනය කිරීම. හැබැයි මම ලීවේ කිසියම් පක්ෂයක ඉතිහාසය නෙවෙයි. මේ රටේ එක්තරා කාලපරිච්ඡේදයක ඉතිහාසයක්. ඒ පිළිබඳ ලිවීමේ, දැනගැනීමේ අයිතිය ඹ්නෑම පුරවැසියකුට තිබෙනවා. මම හිතන්නේ කවුරුන් හෝ විරුද්ධ වෙනවා නම් ඒ් පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් විය යුතුයි. අනෙක එහෙම විරුද්ධ කිසිවෙකු මෙතෙක් මට නිවැරැදි දේ කුමක්ද කියන්න ඉදිරිපත් වෙලාත් නැහැ. මුළු ඉතිහාසය පිළිබඳව මම කළ ගවේෂණයෙදි පුද්ගලයින් 1500ක් පමණ හමුවුණා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කළා. කොළඹ පමණයි පෞද්ගලික වාහනයක ගමන් කළේ අන් සියල්ල පොදු ප්‍රවාහනයෙන්. මෙය ලාභය තකාම කළ දෙයක් නෙවෙයි. මොකද පොතේ පිරිවැය ආවරණය වන්න නම් පිටපත් 3700ක් වත් විකිණෙන්න ඕනා. මේ වෙද්දි පිටපත් දහසක් පමණ අලෙවි වී තිබෙනවා. මම විශ්වාස කරනවා ඉතිරියත් ඔය ආකාරයෙන්ම සාර්ථක වෙයි කියලා මොකද ඉතිහාසයක් පරණ වන තරමට තමයි වටිනාකම වැඩි වන්නේ. මේ ග්‍රන්ථයේ සියයට 95ක් කරුණු නිවැරැදියි කියා මා දන්නවා. ඉතිරි සියයට පහේ සත්‍යය දන්නේ සක්‍රයගේ පුතා මහවයිමා විතරයි.

කෘතිය සම්පාදනය කිරීම සඳහා ඔබ ඇසුරු කළේ කෙබදු මූලාශ්‍රද?

සංවිධාන ව්‍යූහය තුළ පවතින දේවල් දැන ගැනීම ඉතා අපහසු කාර්යයක්. ඒ සඳහා මම ජවිපෙ දේශපාලන බල මණ්ඩලයේ හිටපු 13 දෙනාගෙන් හත් දෙනකු සමඟ මම සමීපව ඇසුරු කළා. මධ්‍යම කාරක සභාවේ හිටපු 35න් අතිබහුතරය, ශිෂ්‍ය ව්‍යාපාරයේ අතිබහුතරය ඇසුරු කළා. මම මේ සමහර සිදුවීම් දැක්කා. ඇහුවා. ඇතැම් සිදුවීම්වලට කේන්ද්‍ර වුණු නායකයින් සිදුවීමත් සමඟ ක්ෂණිකව හමු වුණා. ඇතැමුන් ජීවතුන් අතර නැති වුණත් ඔවුන්ගේ දෙමාපියන්, දරුවන්, සොයුරු සොයුරියන් ජීවතුන් අතර. මම ඔවුන් හමු වුණා. එහිදී මට ඉහළ ප්‍රතිචාර ලැබුණා. පොත පළ වූ පසු ඔවුන් මට කීවේ ඔවුන්ට මේ කෘතියෙන් සාධාරණයක් ඉටු වුණු බවයි. මොකද මෙතෙක් කාලයක් ත්‍රස්තවාදීන් ලෙස හැඳීන් වූ පිරිසකට මෙහි සත්‍ය තොරතුරු නිසා ඒ් හංවඩුවෙන් මිදෙන්න ලැබුණා. දිස්ත්‍රික්ක 19 සන්නද්ධ, දේශපාලන ලේකම්ලා 93ක් හිටියා ඉන් ජීවත් වීමේ වාසනාව ලැබුණේ අටදෙනකු වැනි ඉතා සුළු පිරිසකට. ඒ් අය මම මුණගැසුණා. ඔවුන් සැඟවී සිටීමේ හිඩැස නිසා තමයි මෙතුවක් මෙහි තොරතුරු අතිශයෝක්තියෙන් වාර්තා වුණේ. කවුරුත් හරි නමක්, උපන්දිනයක් පළ කළේ නැහැ. ඒ්ත් මේ කෘතියේ ඒ සියල්ල සඳහන් වනවා. ඒවා වැරැදි නම් නිවැරැදි තොරතුරු සැපයීමේ අවස්ථාවත් තිබෙනවා. සමහර විට වාසගම් ආදියේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ඒත් ඝාතන ආදිය සම්බන්ධ නම් ගම් මම හෙළි කළේ නැහැ ඔවුන්ට අසාධාරණයක් වෙයි කියා සිතුණු නිසා.

මේ කෘතියට ඔබේ දේශපාලන දෘෂ්ටිය බලපෑවාද?

ඕනෑම සාර්ථක ලේඛකයකුට පක්ෂ දේශපාලනයක් නැති වුණත් දේශපාලන දැක්මක් තිබෙනවා. ඒ්ත් මෙතැන තිබෙන්නේ හුදු වාර්තාකරණයක් පමණයි. අපි දේශපාලන විග්‍රහයක් මෙයට ඇතුළත් කළේ නැහැ. යම් සිදුවීමක් වුණා නම් එය කුමක්ද? එයට සම්බන්ධ වුණු පිරිස කවුද ආදියයි මෙහි සටහන් වන්නේ.

ජවිපෙ සම්බන්ධව සිනමා කෘතියකුත් මේ වසරේ එළි දැක්වුණා?

සිනමා නිර්මාණයකදි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය ආකාරයට නිර්මාණාත්මකව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වුණත් පොතකදි එහෙම බැහැ. ඒත් ජනතාව ඒවා සැබෑ ලෙසම වැලඳගන්නේ ඒ තුළ සත්‍ය කතාව දකිනවා නම් පමණයි. මොකද මෙයට කැරලිකරුවන්, ආරක්ෂක අංශ සහ ජනතාව යන පිරිස් තුනම සම්බන්ධ වෙනවා. අනෙක දෙවැනි කැරැල්ල තුළම කාන්තාවන් 2000ට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වනවා. අපි තවම කතා කරන්නේ 71 මනම්පේරිලා ගැන විතරයි. ඒයට හේතුව 71 කැරැල්ලේ අධිකරණයෙන් දඬුවම් දුන් එකම නඩුව මෙය පමණයි. ඒත් දෙවැනි කැරැල්ලේදී කිසිදු සාක්ෂියක් නැතිව කාන්තාවන් ඝාතනය වුණා. අපි ඒ් පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. තවත් අවුරුදු ගණනාවකට පසු සමාජ විද්‍යාඥයන්ට, පර්යේෂකයන්ට මේ දත්ත තොරතුරු වැදගත් වෙයි.

අපේ රටේ පසු ගැටුම් සාහිත්‍යය බොහෝ අඩුයි?

71 කැරැල්ල සම්බන්ධව නම් පොත් දුසිම් දෙකක් පමණ තිබෙනවා. එයට සම්බන්ධ වූවන් පවා අදටත් කතා කරන්නේ බොහෝ අභිමානයකින්. ඒත් ජවිපෙ දෙවැනි කැරැල්ල ඊට වඩා අතිශයින් කෲරයි. ම්ලේච්ඡයි. ඒනිසා තමන් කැරැල්ලට සම්බන්ධ වූ බව කියන්නවත් කැමති නැහැ. කෲරත්වය වැඩි නිසාම සාහිත්‍යවේදීන් අතර කතිකාවක් ගොඩනැඟුණෙත් නැහැ. උදාහරණයක් විදිහට ඔවුන් බස් වර්ජනයක් කළා දින 28ක. ඒ නිසා දහස් ගණන් මිනිස්සු කිලෝමීටර විස්ස තිහ පයින් ආවා. ඒත් බස්වර්ජනයට එකතු වුණේ නැහැ කියලා රියැදුරන් 128ක් ඝාතනයට ලක් කළා. ඉතින් එය වර්ජනයක් නෙවෙයි. බලහත්කාරයක්. ඒ වගේම සාහිත්‍යයක් ගොඩ නැඟෙන්න දත්ත සහ තොරතුරු අවශ්‍යයි. මේ පොත නිකුත් වුණාට පස්සේ මටම නිර්මාණකරුවන් තුන්දෙනකු ඇවිත් කතා කළා. ඒ නිසා මට විශ්වාසයි ඉදිරියේදී මේ සම්බන්ධව තවත් කෘති බිහිවෙයි කියලා. මම කාලයක් නිහඬව බලා සිටියේ කවුරුන් හෝ මේ තොරතුරු අනාවරණය කරයි කියලා. මට ඇත්තෙන්ම අවශ්‍යතාව තිබුණා කවුරුන් හෝ මෙය අනාවරණය කළ යුතුයි කියලා. අවසානයේ මම ලියන්න ගත්තේ කිසිවෙක් ඒ අනාවරණය නොකළ නිසයි. මම මගේ නමින්, මගේ ලිපිනයෙන් යුතුව, ඡායාරූප වගකීමෙන් යුතුව දාලා තිබෙනවා. මේ දක්වා කිසිදු තර්ජනයක් මට ඇවිත් නැහැ. හැබැයි දුරකථන ඇමතුම් නම් සතියකට සිය ගණනක් එනවා. ඔවුන් අලුත් තොරතුරු පවසනවා. සමහර අය පිළිබඳ මම පිටරටක සිටින බව කියද්දී ඔහුගේ දරුවන් මට කතා කරලා අපේ තාත්තා ජීවතුන් අතර නැහැ කියනවා. කොහොම වුණත් දෙවැනි පොතට මම උනන්දු වුණේ පළමුවෙනි පොතට ලැබුණු ප්‍රතිචාර නිසයි.

ඔබ අලුතෙන් පොත් කීපයක්ම නිකුත් කරන බව ආරංචියි?

ඔව්. විජේවීර ඝාතන අබිරහස, මේ කැරැල්ලෙදි විජය කුමාරතුංග ඇතුළු පුද්ගලයින් 42කගේ ඝාතනය සිදුකළ කැරලිකරුවකුගේ සත්‍ය ජීවිත කතාව සහ 71 කැරැල්ල පිළිබඳ මෙතෙක් නොකියූ නොලියූ දේවල් ඇතුළත් ග්‍රන්ථ 3ක් ඉදිරි මාස කීපය තුළදී නිකුත් කෙරෙනවා. උදාහරණයක් විදිහට 1971 මාර්තු 13 විජේවීර අත්අඩංගුවට ගත් වෙලාවේ හසු වූ පස්දෙනාගෙන් කෙලී සේනානායක විතරයි තවම කතා කර තිබෙන්නේ. ඉතිරි හතරදෙනා මිය ගිය බවයි පක්ෂ ඉතිහාස පොතේ පවා තිබෙන්නේ. ඒත් මම අම්පාරේ ප්‍රේමරත්න, බටපොළ ලාල් සෝමසිරි, රියැදුරා ආදින්, විජේවීර ඝාතනය වූ අවස්ථාවේ ගෙදර හිටිය ඒ්කනායක අංකල්, විජේවීර පවුලේ අය හමුවුණා. ඒ සැබෑ තොරතුරු සියල්ල සංකලනයෙන් අපට නිශ්චිත තොරතුරකට එන්න පුළුවන් විදිහට වාර්තාමය ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. මට ඒවා නිර්මාණශීලීව වෙනස් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට තරම් කාලයක් මිඩංගු කරන්න අපහසු නිසා කවුරුන් හෝ ඒ් සඳහා යොමු වනවා නම් ඒයට ඉඩ හසර සලසා දීමට මම සූදානම්.

ඔබ මේ කැරැලි පසුපසම හඹා යන්නේ?

අනෙක් දේශපාලන පක්ෂ හෝ සිදුවීම් පිළිබඳ තොරතුරු සොයා ගැනීම හරි ලේසියි. නඩු වාර්තා ආදිය තිබෙනවා ඕනෑ තරම්. ඒ් නිසා ඕන කෙනකුට ඒ්වා ලියන්න පහසුයි. ඒත් මෙය සුවිශේෂයි. නඩු වාර්තා නැහැ. කරුණු සොයා ගැනීම අපහසුයි. මම කරන්නේ ඒ අපහසු කාර්යයයි. ඇත්තටම මම අවුරුදු 24ක් වගේ කාලේ තිබුණු තරුණ මදයත් සමඟ ඕනෑම අවදානමක් අරගෙන මේ වාර්තා කිරීම් සඳහා යොමුවෙන්න සූදානමක් තිබුණා. අද වගේ වාහන, ජංගම දුරකථන, ෆැක්ස් යන්ත්‍ර තිබුණේ නැහැ. අපි ඇඟේ උණට කාපු කට්ටම තමයි අපට පන්නරය ලබා දුන්නේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.