තාම පොලු තියලා තියෙන්නේ දෙන්නයි

රන්බැඳි මිනිස්සුගේ අල්ලිස් අප්පු අනුර ශ්‍රීනාත්
අගෝස්තු 8, 2019

පුංචි තිරයේ මේ දවස්වල දිග හැරෙන ‘රන්බැඳි මිනිස්සු’ ටෙලි නාට්‍ය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වී හමාරයි. එහි රංගනයේ නියැලෙන බොහෝ චරිත අද වන විට ප්‍රේක්ෂක නෙත් පැහැරගෙන අවසානයි. එහි රංගනයේ නියැලි බොහෝ නළු නිළියන්ට අද මඟ තොටේදී පවා ප්‍රේක්ෂක ප්‍රතිචාර අත්දකින්නට සිදුව තිබෙන වට පිටාවක් තුළ අපට අහම්බෙන් හමු වුණා රන් බැඳි මිනිස්සු ටෙලි නාට්‍යයේ අල්ලිස් අප්පු. ටෙලි නාට්‍ය පුරාවට ඔහු අල්ලිස් අප්පු වුණත් අපි සැබෑවට ඔහු හඳුනන්නේ අනුර ශ්‍රීනාත් ලෙසින්.

* මඟ තොටේදී පේ‍්‍රක්ෂක ප්‍රතිචාර අතරේ රැඳී සිටිමින් ඔවුන් සමඟ ළෙන්ගතුව සිටි අනුර ශ්‍රීනාත් හා කතාබස් කරන්නට අපිත් මොහොතක් වෙන් කර ගත්තා.

* ඉතිං කොහොමද අල්ලිස් අප්පු?

වරදක් නෑ අපේ ඇත්තො. මම හොඳින් ඉන්නවා. පේනවා නේද මට තියෙන ප්‍රතිචාර. මම කරපු චරිතයට ප්‍රේක්ෂකයෝ මේ තරම් ආදරේ නම් ටෙලි නාට්‍ය පුරාවට අනෙක් චරිත එක්ක මොන තරම් ඔවුන් ළෙංගතු වෙලාද කියලා හිතාගන්න පුළුවන්නේ.

* ඔබ අල්ලිස් අප්පුට කැමතිද?

මොකද නැත්තේ. මමනේ මහ වෙද ඇත්තෝගේ ප්‍රධාන ගෝලයා. වෙද ඇත්තන්ගේ ගෙදර වෙද හෙදකන් කරන්නේ මහ වෙද ඇත්තාගේ නියමයන් පරිදි මමනේ.

* වට්ටෝරු ගත ටෙලි නිරමාණයන්ගෙන් වෙනස් මඟක් ගත් ටෙලි නිර්මාණයක් රන්බැඳි මිනිස්සු. ඒ වෙනුවෙන් ඔබ මොන වගේ කැප කිරීමක් ද කළේ?

මේ ටෙලි නාට්‍යයේ පිටපත ලිව්වේ සෝමවීර සේනානායකයන්. මෙය ඔහුගේ අවසන් ටෙලි නාට්‍ය පිටපත් රචනය. මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් පුෂ්පකුමාර සැබැවින්ම සෝමවීර සේනානායකයන්ගේ තිර රචනයේ චරිතවලට සර්ව සාධාරණයක් කරන්න උපරිමයෙන් කැප වුණු කෙනෙක්. හැම සීන් එකකට සැබෑ දේ යොදා ගත්තා. මට මතකයි මේ නාට්‍යයේ දර්ශනයකට දවසක්ම ඇත්ත මඟුල් ගෙයක් ලෑස්ති කළා. එදා ඈත අතීතයේ සියලු දේවල් ඇතුළත්ව සමහර සීන්වලට විශාල මුදලක් යොදවලා අලි ගෙනාවා. මාරවිල වගේ ප්‍රදේශවලින් අශ්ව කරත්ත ගෙනාවා. සමහර සීන්වලට ඒ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව එක් කර ගත්තා. මේ වගේ සැබෑ පරිසරයක් තුළ සැබෑ රංගනයන් එළි දකිමින් නිර්මාණය වූ රන් බැඳි මිනිස්සු ඒ සැබෑ බව තාත්වික බව අද ජන ආකර්ශණය දිනා ගත්තා.

* ඔබ ටෙලි නාට්‍ය චිත්‍රපට නළුවෙක්ම පමණක් නොවෙයි. එයින් එහාට ගිය නාට්‍ය නිෂ්පාදකයෙක්. නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. වේදිකා නාට්‍ය චිත්‍රපට තිර රචකයෙක් වගේම ගායකයෙක්?

රංගන ශිල්පියෙක් ලෙස මම කලාවට අවතීර්ණ වුණත් අද වෙන කොට මම විවිධ ඉසවු කීපයක් ඔස්සේ මගේ හැකියාව එළි දක්වල තියෙනවා. මේ හැම දේකින්ම මම ප්‍රේක්ෂකයන්ට සමීපයි. මේ වෙන කොට මම වේදිකා නාට්‍ය අටක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මගේ පළමු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය වුණේ ලස්සන ලොවක්. ඊට පස්සේ සැබෑ ඉසුරු, සිනා කුරුල්ලෝ, ඉසුරු සොයා, ඉසුරු තරුව, සඳකඩ පහණ, සූකිරි කීටයා වගේ නාට්‍ය නිර්මාණ කළා. ඒ අතරින් සඳ කඩපහණ වඩාත් ජනප්‍රිය වුණා. ඊට අමතරව සමනල දඩයම නමින් ටෙලි නාට්‍යයක් සිංදු නලාව නමින් ඒකාංගික ටෙලි නාට්‍යයක්, සීට්ටු කඩේ මාර වැඩේ නමින් ටෙලි චිත්‍රපටයක් මම අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව රංජිත් සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ හමුවන තුරා චිත්‍රපටයේ තිර නාටකය මම රචනා කරනු ලබුවා.

* අල්ලිස් අප්පුට ප්‍රතිචාර ලබමින් මේ දවස්වල මොන වගේ නිර්මාණ වෙනුවෙන් ද රංගනයේ නියැලෙන්නේ?

නාලක තලගලගේ කෙම්මුර කළුවර ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිද්ධ කරනවා. ඊට අමතරව උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රසිඩන් සුපර් ස්ටාර් රූපගත කිරීම්වලත් ගින්දරී 2 චිත්‍රපටයේ දෙබස් කැවීමේ කටයුතුවලත් නියැලී ඉන්නවා.

ඔබේ රංගන ජීවිතයේ ආරම්භය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ?

මේ වෙන කොට මගේ රංගන ජීවිතයට අවුරුදු 37 ක්. මගේ රංගනයේ තිඹිරි ගෙය වුණේ වේදිකාව. ජයසේකර අපොන්සුගේ අහස කඩා වැටේ නාට්‍යයේ තමයි මම මුල්වරට රඟපෑවේ. ඒ 1982 ජුලි 10 වැනිදා. එදා මෙදාතුර මම වේදිකා නාට්‍ය 78 ක රඟපාලා තියෙනවා. ඒ වෙන කොට මට වයස අවුරුදු 16 ක් විතර ඇති.

* වේදිකාව නිසාවෙන් ඔබ සම්මානනීය වුණා?

1985 දී කිංස්ලි රෙග්ලස්ගේ මිතුරු හතුරු වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවෙන් ලැබුණා හොඳම සහය නළුවා සම්මානය.

* වේදිකාව ඔබේ ජීවය බඳුයි කියන ඔබ මේ වන විට වේදිකා නාට්‍ය කොපමණක ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත්තාද?

සමන් සොයිසාගේ සංග්‍රාම - දොස්තර, රංජිත් ද අල්විස්ගේ දුම්මල වරම - දේවසිරි, මියුරි සමරසිංහගේ සරසවියට ඇබෑර්තුවක් - සංගීත මාස්ටර්, ප්‍රියන්ත ඊශ්වරගේ සාම පුරාණය – අතකොළු චරිතය, සුනිල් ලියනආරච්චිගේ පැංෂන් මහත්තයා - කවි කොලකාරයා, ස්ටැන්ලි ලියනගේ අල්ලපු ගෙදර - සංගීත මාස්ටර්, අනුර මාපිටිගමගේ පරපෝෂිතයෝ - කාකාස, ඩග්ලස් ෆොන්සේකාගේ අහස් ගුණ්ඩු - විමුක්ති ආදී නිර්මාණ වගේම චරිතත් තියෙනවා.

* ඔබ සිනමාවට එක් වන්නේ ජනකාන්ත නළුවකු වු විජය කුමාරතුංගයන්ගේ ආශිර්වාදයෙන්?

ඔව්. එතුමන්ගේ ආශිර්වාදයෙන් තමයි මම චිත්‍රපට නළුවෙක් වුණේ. ඒ 1984 දී ක්‍රිස්තු චරිතය චිත්‍රපටයෙන්. විජය කුමාරතුංගයන් රඟපෑ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ එතුමන්ගේ අනුගාමිකයකුගේ රංගනයක් තමයි මම රඟපෑවේ. එදා මෙදාතුර චිත්‍රපට 27 ක රඟපාලා තියෙනවා මේ වන විට.

* චිත්‍රපට රංගනය තුළ ඔබ වඩාත් ප්‍රේක්ෂකයන් අතරට එක් වුණේ?

චන්ද්‍රරත්න මාපිටිගමගේ ඉර ළඟ චිත්‍රපටයේ පත්තරකාරයා, උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී යකදුරා, කොස්තාපල් පුඤ්ඤසෝම මස් කඩ මුදලාලි, චන්ද්‍රරත්න මාපිටිගමගේ සිහිනය දිගේ එන්න වේටර් චිත්‍රපටවල රංගනය කා අතරත් අදත් මතකයේ තියෙනවා.

* කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය වගේම ගින්දරී චිත්‍රපටයත් ඔබට අලුත් අත්දැකීමක් රංගන ජීවිතයට එක් කළා?

ගින්දරී චිත්‍රපටයේ මම යකුදුරාට රඟපෑවේ. හෝකන්දර පැත්තේ වත්තක එළිවෙනකන් අපි තොවිලයක් කළා. අන්තිමට මමත් අනුර බණ්ඩාර රාජගුරුටත් දර්ශනයේ අවසානයේ ළිඳකට පනින්න තිබුණා. අපි දෙන්නා ළිඳට පනින කොට පාන්දර පහයි.

කොස්තාපල් පුඤ්ඤාසෝම චිත්‍රපටයේ මස් කඩ මුදලාලි හරියට මිනිස්සු අතර ජනප්‍රිය වුණා. රත්මලානේ මස් කඩේක තමයි රූපගත කිරීම් කළේ. මට මස්කඩ මුදලාලි වෙන්න, මම කඩේ මස් මුදලාලි මස් කපන හැටි විකුණන හැටි දවසක්ම බලන් හිටියා. ඊට පස්සේ මස් කඩේ මම පැයක් මස් වික්කා. දර්ශනයට ලයිට් කැමරා සෙට් කර ගන්නකන් මම තමයි මස් කඩේ මුදලාලි. මගෙන් මිනිස්සු ඇවිත් සල්ලි දීලා මස් ගත්තා. කාටවත් වෙනසක් දැනුණේ නැහැ. උදයකාන්ත කියන්නේ අපේ රංගනයේ සියුම් දේත් අපූරුවට උකහා ගන්න පුළුවන් සියුම් අධ්‍යක්ෂවරයෙක්. ඒ හින්දම අපිත් ඒ වෙනුවෙන් උපරිම කැප කිරීම සිද්ධ කරනවා.

* රංගනයේ නියැලි චිත්‍රපට තිරගත වන්නත් තව ඇති?

ගින්දරී – 2, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, අන්දුන් කුන්දුන්, ජොබ්ලස් ඩග්ලස්, සදාදර ජෝති, ප්‍රීති ඇන්ඩ් ජෝයි චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

* ඔබට වඩාත් ළෙන්ගතු රසිකයෝ ඔබට වඩාත් සමීප වුණේ ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් කිව්වොත්?

ඒක මම නැහැයි කියන්නේ නැහැ. මේ වෙන කොට මම ටෙලි නාට්‍ය විතරක් 102 ක රඟපාලා තියෙනවා. 1989 ඩී. බී. සුරනිමල අධ්‍යක්ෂණය කළ අන්තිම වාඩිය ටෙලි නාට්‍යයේ රඟමින් තමයි මම පුංචි තිරයට මුලින්ම පා තැබුවේ. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේදී මම චන්ද්‍රරත්න මාපිටිගමගේ නිර්මාණය කළ ටෙලි නාට්‍ය 40 කත්, ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය 10 කත් මේ වන විට රඟපාලා තියෙනවා.

* අද ඔබේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂය රංගනය?

සහතික ඇත්ත. රඟපෑම කියන දේ මම ඉපදෙන කොට අරගෙන ආපු දෙයක්. රඟපෑම තමයි මගේ ජීවිතයේ අංක එක. මම සමාජයේ බැබලුණේ, විවාහ වුණේ, දරුවෝ හැදුවේ, දරුවන්ට උගැන්නුවේ, ගෙවල් දොරවල් හැදුවේ, දරුවෝ දීග තල දුන්නේ මේ හැම දෙයක්ම මම කළේ කලාව නිසා.

අනුර ශ්‍රීනාත් මවට කොතරම් ආදරේද ඒ හා සමානව කලාවටත් ආදරෙයි කිව්වොත්?

ඒක තමයි ඇත්ත. මගේ අම්ම තමයි කලාව කිව්වත් වරදක් නැහැ. කොච්චර මම කලාවට ආදරේද කිව්වොත් මගේ ගෙදර බිත්තිවලට කන තියල ඇහුවොත් ඇහෙයි නාට්‍ය දෙබස්. ඒ තරමට මම නාට්‍ය දෙබස් කියමින් ගෙදර ස්වයං රංගනයක නියැලෙනවා. හරියට මම කලාවට රංගනයට කෑදරයි කිව්වත් ඒක හරි. කොච්චර රඟපෑමට ආශා වුණත් කවදාවත් රඟපාන්න ඉල්ලන්න ගියේ නැහැ. දුරකථනයෙන් චරිත ඉල්ලුවේ නැහැ. මට පිටපත් රචකයෝ චරිත ලිව්වා. ආරාධනා ලැබුණා. මම රඟපෑවා. එච්චරයි.

* ලැබෙන ඕනෑම චරිතයක් ඔබ බාර ගන්නවාද?

මට කළ හැකි දෙයක්. කොච්චර කලාවට ආදරෙයිද කියනවා නම් රඟපාන්න සෙට් එකට යන්නෙත් මම පේවෙලා. මට ලැබුණ චරිත වෙන අයට ගිය අවස්ථා තිබුණා. ඒත් මම සැලුණේ නැහැ. මේ තිස් හත් වසර පුරාවට සමහර අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට මම දායක වෙලා තියෙනවා ලැබෙන මුදල ගැනවත් බලන්නේ නැතුව. මේ වසර තිස් හත පුරාවට මට මුදල් නොදී පොලු තියලා තියෙන්නේ අධ්‍යක්ෂවරු දෙන්නෙක් විතරයි. කියන්න කණගාටුයි මේ දෙන්නම අපේ නමක් දිනූ ප්‍රධාන පෙලේ අධ්‍යක්ෂවරු දෙන්නෙක්.

* කොතරම් චරිත රඟපෑවත් තවමත් ඔබ චරිත පිපාසයෙන් පෙලෙනවාද?

ඔව්. දැඩි පිපාසයක් මට තියෙනවා චරිත පැත්තෙන්. මට හාමුදුරු නමකගේ චරිතයක්, පූජකයකුගේ චරිතයක් කිරීමේ දැඩි පිපාසයක් තියෙනවා. අඩුම තරමින් විග් එකක් නැතුව සම්පූර්ණයෙන් හිස මුඩු කොට මේ භික්ෂුවගේ චරිතය රඟපාන්න මගේ හිතේ තියෙන්නේ භක්තිමත් ආශාවක්.

* ඔබ ගායකයකු ලෙසත් ප්‍රසංග වේදිකාවේ රසිකයන් අතරට එක් වෙනවා?

රංගනය වගේම ගායන හැකියාවත් මට උරුම වෙච්ච දෙයක්. ලැබෙන ආරාධනා පරිදි මම අදත් ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා. 1994 මම මුලින්ම සඳ තරු රෑ යාමේ නමින් ගීත දොළහක කැසට් පටයක් එළි දැක් වූවා. සමනළ යාය නමින් ළමා ගී එකතුවක් කළා. ටිකිරි සිනා නමින් රූප ගීත තැටියක් කළා. මම ගොඩක් කැමැතියි පුංචි දරුවන් වෙනුවෙන් ගී ගයන්න. ඉඩකඩ ලැබෙන්නේ කොහොමද සරස්වතී දෙවඟනගේ ඇල්ම බැල්ම මට ලබා දෙන්නේ මොනවද මම ඒ දේ අවංකව ඉටු කරනවා.

* සිනමා නිර්මාණයන් තුනක් වෙනුවෙන් ඔබ සූදානමක් තියෙන බව කිව්වේ?

මම ළඟ චිත්‍රපට පිටපත් තුනක් තියෙනවා. අද මට අවශ්‍ය වෙලා තියෙන්නේ හොඳ නිෂ්පාදකවරයෙක්. මට ඕනේ ළමා චිත්‍රපටයක්, වානිජ චිත්‍රපටයක් වගේම මැද මාවතේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. චිත්‍රපට අධ්‍යක්ෂණයේ තුන් ඈදුල් නිර්මාණයක් වෙනුවෙන් මම පිටපත් තුනක් සූදානම් කරගෙන ඉන්නවා නිෂ්පාදකයෙක් ලැබෙන තුරු.

* කලා කෙතේ අස්වනු නෙලන්නට ඔබට ගෙදරින් මොන වගේ සහයක් ද ලැබෙන්නේ?

රඟපෑම මගේ ජීවිතය කියලා මගේ බිරිය අවබෝධ කරගෙන ඉන්නේ. ඇයට රඟපෑම කියන දේ අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැහැ. ඇයත් රංගන ශිල්පිණියක්. මට බිරිය ලැබුණෙත් රඟපාන්න ගිහිල්ලා. රම්‍යතිලක තල්පිටගේ මුරණ්ඩු සිත වේදිකා නාට්‍යයේ ඇය රඟපෑවා. ඇය පුෂ්පමාලි. මමත් එහි රඟපාන්න ගිහින් තමයි ඇයව හඳුනගන්නේ. පස්සේ ඇය ලස්සන ලොවක් වේදිකා නාට්‍යයෙත් සමනල කූඩය ටෙලි නාට්‍යයේත් රඟපෑවා. විවාහයත් සමඟ ඇය රංගනයෙන් ඈත් වුණා. මගේ ලොකු දුව සදිකා. ඇය ගුරුවරියක්. විවාහකයි. පොඩි දුව තරුෂි. පුද්ගලික ආයතනයක රැකියාවේ නියුතු වෙලා ඉන්නවා.

* මේ දවස්වල අල්ලිස් අප්පුට කතා කරන්න ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දුරකථන අංකය වගේම ලිපිනයත් සඳහන් කළොත්?

කතා කරන්න 072-3440220 අංකයට. ලියන්න ලිපියක් අනුර ශ්‍රීනාත්, 267/4/බී, ඉහළ බියන්විල, කඩවත.




CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.