මම තර්කොව්ස්කි බර්ග්මාන් දැන සිටියේ නෑ

සුබා සිවකුමාරන්
අගෝස්තු 8, 2019

දෙරණ සිනමා සම්මාන උලෙළේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සුබා සිවකුමාරන්. ඇගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය හවුස් ඔෆ් මයි ෆාදර්ස් හෙවත් නොමියෙන මතකයයි. යාපනයේ ඉපදුණු ඇය කුඩා කාලයේම මව්පියන් සමඟ එංගලන්තයට පිටමං වූයේ එවකට පැවතුණු ත්‍රස්තවාදී කලබල හේතුවෙන්. ඇය ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ හැදී වැඩී උසස් අධ්‍යාපනය සඳහා යළි එංගලන්තයට ආවේ උසස් අධ්‍යාපනය සඳහා. රැකියාව කරන අතරතුර චිත්‍රපටකරණයේ යෙදී උපන් රටේදී සම්මානයට පාත්‍ර වූ ඇය පදිංචි එංගලන්තයට පිටත් වීමට පැය කීපයකට පෙර සරසවියට ගොඩ වූයේ අපේ ආරාධනය පිළිගෙන. ඇය සිය සිනමාගමනය පිළිබඳ කීමට පෙර කෙටියෙන් මෙසේ පැවසුවාය.

මම රටින් පිටව සිටියත් ඒ යුගයේ බොහෝ ශ්‍රී ලාංකිකයන් රටහැර විදෙස්ගත වූ නිසා අප අවට සිටියේ මේ රටින් පැමිණි වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ජවිපෙට සම්බන්ධ වූ අය වැනි අපේම විවිධ පිරිස්. මම උසස් අධ්‍යාපනයට හැදෑරුවේ දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව. මම හාවඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවා. ඒ අතර සුනාමි ව්‍යසනයෙන් අසරණ වූ දරුවන්ට උපකාර කිරීම සඳහා අධ්‍යාපනය සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ 2006 වනතුරු වසර දෙකක් ලංකාවේ රැඳී සිටිමින් දිවයින පුරාම පාසල්වල අඩුපාඩු සකස් කිරීමට කටයුතු කළා. ඒ අවස්ථාවේ තමයි මට ලංකාවේ සියලු ගම්මාන දකින්න ලැබුණේ. හම්බන්තොට, මිරිස්ස වෙරළ තීරය දිගේ මඩකලපුව අම්පාර වගේ සුනාමියෙන් අනතුරට පත් වෙරළබඩ බොහෝ පාසල්වලට අපි උපකාර කළා. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනවර්ගවල දරුවන් සමඟ කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. එය මට විශාල අත්දැකීමක් වුණා. පස්සේ මම නිව්යෝක් ගියා. ඊටපසුවයි නැවත ලන්ඩනයට ආවේ.

ඔබ සිනමාකාරිනියක වීමේ ගමන් මඟ දැනගන්නත් අපි කැමතියි?

මම මේ ගමන ඇරඹුවේ 2011 වසරේදි  I too have a name (මටත් නමක් තිබේ) කියන කෙටි චිත්‍රපටය තනමින්. එය මඩකලපුව ප්‍රදේශයේ කන්‍යා සො‌හොයුරියක් පිළිබඳ කතාවක්. නිම්මි හරස්ගම, සුබා විජේසිරිවර්ධන එහි රඟපෑවා. මම චිත්‍රපට හැදෑරූ කෙනෙක් නෙවෙයි. ඇත්තටම මගේ පසුබිම සකස් වෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරීනියක් හැටියට. මම බොහෝ වෙලාවට කටයුතු කරන්නේ ගොවීන් සහ පාසල් දරුවන් සමඟ. මම හැදී වැඩුණේ ලන්ඩන් නුවර. ඒත් මම සුනාමි ව්‍යසනය වුණු මොහොතේ ලංකාවට ආවා. මම නිරන්තර චිත්‍රපට කරන්න ආසාවෙන් හිටියා. ඒ්ත් මම මේ ක්ෂේත්‍රයේ කිසිකෙනකු හඳුනන්නේ නැහැ. ඒ නිසා කොහොම මේ කටයුත්ත ආරම්භ කළ යුතුද කියා නොදැන සෑහෙන කාලයක් ගත වුණා. පසුව මම ප්‍රදීපන් කියලා මගේ යාළුවෙකුගේ ෂැඩොස් ඔෆ් සයිලන්ස් කියන කෙටි චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කළා. ඊට පස්සේ තමයි මම මගේ කෙටි චිත්‍රපටයට පදනම දැම්මේ. මේ වෘත්තාන්ත චිත්‍රපටය මගේ දෙවැනි නිර්මාණය. ඊට පස්සේ මම ටියුනීසියාවේ බ්ලූ බර්ඩ් කියලා කෙටි චිත්‍රපටයක සම අධ්‍යක්ෂණය කළා. එය ටියුනීසියාවේ ආපණ ශාලාවක දෛනික ජීවිතය, සංස්කෘතිය පිළිබිඹු වන කතාවක්. ඒ් තමයි මගේ සිනමා ජීවිතය.

'නොමියෙන මතකය' ශ්‍රී ලංකාව පාදක කරගත් චිත්‍රපටයක්?

ඔව්. එය ඉංග්‍රීසියෙන් ඩ්ධභඵඥ ධට ර්ර ජ්චබඩඥප'ඵ. ඇත්තෙන්ම එය සංකල්පීය චිත්‍රපටයක්. ඉන්ද්‍රජාලික යථාර්ථය මුසු වූ සුරංගනා කතාවක් වගේ ගම්මාන දෙකක් සහ වනාන්තරයක් පාදක කරගත් කතාවක්. ඒ් ගම්මාන දෙක කොහේ තිබෙනවාද කියා නොකීවාට එකක් සිංහල ගම්මානයක් අනෙක දෙමළ ගම්මානයක්. චිත්‍රපටයේ සිංහල සහ දෙමළ භාෂා දෙකම භාවිත වෙනවා. ඉංග්‍රීසි උපසිරැසි යොදා තිබෙනවා.

එය සංහිඳීයාව පාදක කරගත් වස්තුබීජයක්ද?

ඇත්තෙන්ම මට අනුව නම් ඒ ගම්මාන දෙකම බොහෝ සෙයින් සමානයි. ඒ්ත් ගම්මාන දෙකේම අයට දරුවන් ලැබෙන්නෙ නැති නිසා ඒ් දෙගොල්ලන්ටම සිදුවෙනවා දරුවන් ලබාගැනීමට වනාන්තරයේ රහස් සොයා යන්න. ඒ අතර තව තව දේ හෙළි වෙනවා. මේ කතාවේ විශේෂයෙන් සදහන් වන නමක් හෝ ගැටලුවක් පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒ්ත් තිස් වසරක් පුරා දෙපාර්ශ්වයටම සිදු වූ දේවල් පිළිබඳ සංකේතාත්මක අවධානයක් යොමු කරනවා මිස ප්‍රතිනිර්මාණයක් කරන්නේ නැහැ.

ඔබ මේ වස්තුබීජය සොයා ගත්තේ?

මම හිතන්නේ මම මේ මිථ්‍යා විශ්වාස ආදිය පිළිබඳ තරමක් උනන්දුවෙන් හිටියා. මගේ අම්මා කතෝලික, තාත්තා හින්දු භක්තිකයෙක්. ඉතින් හින්දු ආගමේ රාමායනය, මහාභාරතය වගේ දේවල් තිබෙනවා. කතෝලික ආගම සැලකුවත් ජේසුතුමන් වනවදින අවස්ථා තිබෙනවා. එතුමන් තමන් තුළම විවිධ වෙනස්වීම් අත්දකිනවා. මේ පුරාවෘත්ත සමඟයි අප හැදී වැඩුණේ. ඒ සංකේතාත්මක සහ උපමාකතා ආදිය මාව උද්දීපනය කළා.

කාන්තාවක් වීම සිනමාකරණයට, අධ්‍යක්ෂණයට වෙනස් ආකාරයකින් බලපානවාද?

මම හිතන විදිහට කාන්තාවක් වීමේ ප්‍රායෝගික ගැටලු කීපයක් නම් තිබෙනවා. අපි දින 25ක් පමණ වනාන්තරයක හිටියේ. කැලේ වැසිකිලි පහසුකම් ආදිය නැහැ. මමත් මගේ රංගන ශිල්පිනියත් පමණයි කාන්තාවන් හැටියට හිටියේ. සර්පයන්ට අපි බය වුණා. ඒවා සුළු ප්‍රායෝගික ප්‍රශ්න. මම හිතන්නේ පිරිමි අයට ඒ්වා ඒ තරම් ප්‍රශ්න නෙවෙයි. හැබැයි කාන්තාවක වීම කැමරා කාචයෙන් ලෝකය, ජීවිතය වෙනස්ව දකින්න හොඳ හේතුවක්. ඒ වගේම අ‌පේ කණ්ඩායමටත් මෙය වෙනස් අත්දැකීමක් වන්න ඇති. මොකද ඔවුන් නිතරම වැඩ කරන්නේ පිරිමි අය සමඟනේ. ඒත් මම කිව යුතුමයි මගේ ශිල්පීන් සහ කණ්ඩායම මාව ඉතා හොඳීන් ආරක්ෂා කළා. ඒ වගේම පුදුම විදිහට උදව් කළා. ඒ නිසා කාන්තාවක් වීම මට වාසියක් වුණා.

ඔබ දිනූ සම්මානය පිළිබඳ මොකද හිතෙන්නේ?

එය ඇත්තෙන්ම නැඟීඑන නිර්මාණකාරිනියක් ලෙස මට විශාල උනන්දුවක් උත්තේජනයක් ඇති කරන්න හේතු වුණා. මගේ හැඟීමේ හැටියට මේ රටේ සියලුම වර්ගවල සිනමාවන් ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ, සංකල්පීය, හාස්‍යෝත්පාදක, නාටකීය ආදි ඕනෑම වර්ගයක් අපට සමරන්න පුළුවන් ඒ්වායේ අනන්‍ය රීති අනුව. අපට ප්‍රධාන ධාරාවේ කෘතියකින් සංකල්පීය ලක්ෂණ බලාපොරොත්තු වන්න බැහැ. අපි උගත යුතුයි විවිධ වර්ගයේ සිනමා කෘති ඒ ඒ ආකාරයෙන් රසවිඳීන්න. ඉතින් මට ලැබුණු මේ සම්මානයෙන් තහවුරු වෙන්නේ මේ රටේ විවිධ සිනමා ක්‍රමවේදවලට ඉඩක් තිබෙන බවයි.

ඔබ එවැනි වර්ගීකරණයකට කැමතිද?

සාමාන්‍යයෙන් අපි ප්‍රධාන ධාරාවේ, කලාත්මක ආදි වශයෙන් හඳුන්වද්දීම විවිධ සිනමා භාෂාවන් තිබෙන බව පැහැදිලි වෙනවා. ඒක තමයි ප්‍රධාන වෙනස. ඒ්ත් ඒ සියල්ලම චිත්‍රපට. ඒ සියල්ල අපට කතා කරනවා. අපේ භාවයන් කලඹනවා, අපට හිතන්න අවස්ථාවක් දෙනවා. ඒ සියල්ල සත්‍යයයි. ඒත් සමහර විට අපි වැඩෙන්නේ එක්තරා ධාරාවක සිනමාවක් සමඟ. උදාහරණයක් විදිහට මම හැදී වැඩෙන්නේ දෙමළ කොලිවුඩ් සිනමාව සමඟ. ඉතින් මම ඉතා කුඩා කාලෙදිම මේ වගේ වෙනම භාෂාවක් තිබෙන බව පමණක් දැනගත්තා. හැබැයි මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක්වත් තර්කෝස්කි, බර්ග්මාන් කියලා නිර්මාණකරුවන් ඉන්න බව දැනගෙන හිටියේ නැහැ. ඒ අයගේ චිත්‍රපට බලලා තිබුණෙත් නැහැ. ඒ නිසා මම දෙමළ සිනමාවට ආදරෙයි. කලාත්මක සිනමාවටත් ආදරෙයි. සියලුම සිනමාවන්ට ආදරෙයි. ඒත් ඒ්වා සියුම් ලෙස වෙනස්. අපි ඒවා වෙනස් වෙනස් අයුරින් දකින්න හුරු විය යුතුයි. එයයි වැදගත් කරුණ.

ඔබේ භාවිත භාෂාව ඉංග්‍රීසි, ඉතින් කොහොමද බහුතරයක් දෙනා සමඟ ගනුදෙනු කළේ?

ඒක තරමක අභියෝගයක් තමයි. ප්‍රධාන නළුනිළියන් සහ තාක්ෂණ ප්‍රධානීන්ට ඉංග්‍රීසි බස හසුරුවන්න පුළුවන්කම තිබුණා. ඒත් ආලෝකකරණ ශිල්පීන් වගේ බිම් මට්ටමේ පිරිසට එය පහසු වුණේ නැහැ. ඒ නිසා මට බොහෝ වෙලාවට අංගචලන, ඉඟි මඟින් තමයි සන්නිවේදනය කරගන්න වුණේ. ඒත් ඒකේ තිබුණු වාසිය තමයි සියලුදෙනාම වැඩි අවධානයක් යොමු කරමින් දර්ශන තලයේදී කටයුතු කිරීම. මමත් ඔවුන් කියන දේ පිළිබඳ බොහෝ අවධානයෙන් හිටියේ. අපි බොහොම අඩු වචන සංඛ්‍යාවක් යොදා ගත්තේ. ඊට වඩා අපේ කැපවීම ඉතා විශාලයි. දෙමළ සහ සිංහල දෙපිරිසම මේ චිත්‍රපටයේ රඟපවා. දෙමළ අයට නම් ඒතරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. අනෙක මගේ තිර පිටපත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තිබුණා. සියලුම භාව ප්‍රකාශනයන් ඒහි ලියා තිබුණා. මොකද මගේ ශබ්ද පරිපාලක ඉන්දීය ජාතිකයකු නිසා ඔහුට අන් අය සමඟ කතා බහ අපහසු වුණා. මේ චිත්‍රපට කණ්ඩායම ජාතීන් හතරක සංකලනයක් විදිහට දර්ශන තලයේ කටයුතු කළේ. ඒනිසා හැමදෙනාටම සන්නිවේදනයේ අපහසුතා ජයගන්න සිදුවුණා.

ඔබ සිනමාව හදාරා නැති බව කීවා. පළමු වෘත්තාන්ත චිත්‍රපටය කිරීමේදී ඒ අභියෝගයට මුහුණ දීමට යෙදූ උපාය මොනවාද?

ඇත්තෙන්ම බය හිතුණා. මම හිතන්නේ මට විතරක් නොවේ ඕනෑම අධ්‍යක්ෂවරයකුට ඒ ගැස්ම දැනෙනවා ඇති. කොතන වරදීද කියා හිතෙනවා ඇති. ඒත් මම මගේ මේ කණ්ඩායම සමඟ කෙටි චිත්‍රපටය කළ නිසා අප අතර දැඩි විශ්වාසයක් තිබුණා. ඇත්තෙන්ම අධ්‍යක්ෂවරයා දක්ෂ වන්නේ ඔහු හෝ ඇයගේ කණ්ඩායමේ ගුණාත්මක භාවයට අනුකූලවයි. මොකද අධ්‍යක්ෂවරුන් කිසිවක් දැනගත යුතු නැහැ. ඔවුන් කැමරාව හසුරුවන්න දන්නේ නැහැ. ශබ්ද පටිගත කරන්න දන්නේ නැහැ. ආලෝකකරණය දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයා කියන්නේ තාක්ෂණික ශිල්පියකු නොවේ. අධ්‍යක්ෂවරයා හරියට වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්නා වගේ. ඔහු භාණ්ඩ වාදනය කරන්න දැනගත යුතු නැහැ. හැබැයි ඔහු දර්ශනයක් දැකිය යුත්තේ කෙසේද කියා දැනගත යුතුයි. එය කිසිකෙනකුට ඉගැන්විය හැකි දෙයක් නොවේ. එය ඔබ අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන ඉගෙන ගත යුතු දෙයක්. මම සිනමා පාඨමාලා හැදෑරුවේ නැතුවාට සිනමාව පිළිබඳ ලියැවුණු බොහෝ පොතපත කාලයක් තිස්සේ කියෙව්වා. බොහෝ කාලයක් ඒ දේවල් ස්වයං අධ්‍යයනයක යෙදුණා. චිත්‍රපට බොහෝමයක් නැරඹුවා. තවත් බොහොමයක් නරඹන්න තිබෙනවා. ඒත් මම තවමත් සිනමාව හදාරන ශිෂ්‍යාවක් මිස විශේෂඥවරියක් නොවේ. සමහරුන් වගේ මට ලෝකේ තිබෙන සියලුම චිත්‍රපට නරඹන්න නම් තවම අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මම පූර්ණකාලීන රාජකාරියක නිරත වන නිසා.

ඔබේ කෘතිය ප්‍රදර්ශනය සඳහා මුදාහරින්නේ කවදාද?

මම චිත්‍රපටය රූපගත කළේ 2015 වසරේ. බූසාන් උලෙළේ ප්‍රදර්ශනය කළා. මට ලංකාවේ ප්‍රදර්ශනයට දිනයක් පිළිබඳ අදහසක් කියන්න අපහසුයි. කෙසේ වෙතත් මගේ චිත්‍රපටය පෝලිමට එක් වුණා. රැඟුම්පාලක මණ්ඩලයේ සහතිකය ලැබී තිබෙනවා. සමහර විට සති දෙකක් නැත්නම් අවුරුදු පහක් වුණත් පෝලිමේ ඉන්න වෙන්න පුළුවන්. මේ තමයි ශ්‍රී ලාංකික සිනමාවේ ස්වභාවය. නේද?

ඔබේ මීළඟ උත්සාහය කෙබඳු සිනමා කෘතියක් සඳහාද?

චිත්‍රපටයක් කිරීම කියන්නේ කායිකව වගේම මානසිකවත් බොහොම අපහසු කාර්යයක්. සෑම පියවරක්ම අවදානමක්, ගැටලුවක් සමඟ ගමන් කළ යුතුයි. දැන් මගේ ඔළුව හිස්. මම දන්න සියලුම දේ මේ චිත්‍රපටයට දැම්මා. මම හරි හෙමින් ගමනක යෙදෙන කෙනෙක්. ඉතින් කවුද දන්නේ ඊළඟටම මොනවා කරන්න වෙයිද කියලා. ඒත් මගේ හිතේ ලාංකික පවුලක් ගැන කතාපුවතක් ගොඩනැඟෙමින් තියෙනවා. ඒක බොහෝවිට ප්‍රධාන ධාරාවේ ත්‍රාසජනක චිත්‍රපටයක් වේවි.

Comments

[email protected] (තහවුරු වී නොමැත)
Excellent interview. It is great that young talent is provided exposure.
බදා, 08/14/2019 - 07:25

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.