සිකුරු යෝගය සමඟ එන උදර්ශි දමයන්ති රත්නායක

අගෝස්තු 8, 2019

  මේ දිනවල තිරගත වන සිකුරු යෝගය සිනමා පටයෙන් හා ස්වාධීන රූපවාහිනියේ විකාශය වන නිරාවරණ ටෙලි සිත්තමෙන් හමුවන උදර්ශි දමයන්ති රත්නායක ඔබ කාටත් මතකයට එන චරිතයකි. මේ ඇය සමඟ යෙදුණු පිළිසඳරයි.

උදර්ශි විස්තර ටිකක් කියමුකෝ?

මම උදර්ශි දමයන්ති රත්නායක. මගේ ගම බඩල්කුඹුර. අපේ පවුල පුංචි පවුලක්. තාත්තා නම් විශ්‍රාමිකයි. අම්මා අපිව හොඳින් බලාගෙන ගෙදර ඉන්නේ. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා. එයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ.

ඔබ පාසල් වියේදීම කලාවට නැඹුරුව සිටි කෙනෙක්ද?

ඔව්. මම පාසල් කාලේදිම තමා රංගනයට පිවිසුණේ. මගේ පාසල මො/ නිශ්ශංක ජාතික පාසලයි. එහිදී මම ඒ. ඩී. අමරසිංහ සර් යටතේ අජාසත්ත, ආලවක දමනය, සරසවි වරම වේදිකා නාට්‍යවල රංගනයේ යෙදුණා. මේ නාට්‍යවලින් පළාත් දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහණ ද ලැබුවා.

උදර්ශි අදටත් වෙනත් වෘත්තියක හීන දකින්න කැමති කෙනෙක් නේද?

මගේ බලාපොරොත්තුව තිබුණේ ව්‍යාපාරික පැත්තට නැඹුරුවෙන්න. ඒත් මට මේ වෘත්තියේ නිරත වන්නට අවස්ථාව උදා වුණේ අහම්බෙන්. දැන් නම් ආශාවෙන් මේ ගමන යනවා.

ඔබ කොළඹට එන්නේ?

මම මුලින්ම නිරූපණ ශිල්පිනියක් ලෙසයි කොළඹට එන්නේ. ඒ එක්තරා පුවත්පතක පළ කළ දැන්වීමක් අනුවයි. එදා තිබුණු පරීක්ෂණයට මුහුණ දීලා මම තේරෙනවා. එදා ආපු ගමන තමා මේ දැන් කලාවේ යන්නේ.

මේ වන විට ඔබ සිකුරු යෝගය සිනමාපටය හැර තවත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙලාද?

මම මේ වන විට වෙනත් නිර්මාණ දෙකකට දායක වෙන්න කතා කරලා තියෙනවා. රසික ලියනගේ ගේ නවතම සිනමාපටයට හා සුරංග ද අල්විස්ගේ ළඟදීම රූපගත කරන සිනමාපටයටයි.

දැනට සම්බන්ධ වූ නිර්මාණ මොනවාද?

ටෙලි නිර්මාණ ගණනාවකට සම්බන්ධ වුණා. කිදුරංගනා, අපූරු ගමන, කෝරලේ මහත්තයා, අත්තම්මා, ඉසුරු සංග්‍රාමය, සඳට අහස ආදරෙයි, පත්තිනි, නිරාවරණ, ආටක නාටක හා එරංග සේනාරත්නගේ නවතම ටෙලි සිත්තටම ද සම්බන්ධ වෙනවා. සිනමාපටයක් ලෙස මුලින්ම සම්බන්ධ වුණේ බර්මින් ලයිලිගේ සිකුරුයෝගයටයි. ඒක නිසා මට දුර ගමනක් යන්න අවස්ථාව උදා වුණා.

ඔබ දැන් සුන්දර ගම අතහැරලා කොළඹ ඇවිත් නේද?

නැහැ. මම කොහොමත් ගමට ආදරෙයි. ඒත් මේ ක්ෂේත්‍රයේ වැඩවලට යන්න එන්න පහසුවට ගල්කිස්සේ ඉන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.