විජයබා කොල්ලයෙන් ඉවත් වුයේ ඇයි

බුද්ධි කීර්තිසේන හෙළි කරයි
අගෝස්තු 8, 2019

ඉකුත් සතියේ සරසවිය සිනමා පුවත්පතහි මැද පිටුවේ පළවූ මහචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලය සිනමාපටය පිළිබඳ පුවත්පත් ලිපියෙහි යම් කරුණු සම්බන්ධව චිත්‍රපට නිෂ්පාදක බුද්ධ කීර්තිසේන ලිපියක් මඟින් සරසවියට දන්වා තිබේ. තිරගත වන විජයබා කොල්ලය නිෂ්පාදනය කරනු ලැබුවේ එච්. ඩී. ප්‍රේමසිරි වුව ද එම සිනමාපටය ආරම්භයට සැලසුම් කොට තිබුණේ බුද්ධි කීර්තිසේනගේ නිෂ්පාදනය යටතේය. ඒ සඳහා මුහුරත් උලෙළක් ද පසුගිය වසරේ පවත්වන ලදී.

මේ දෙදෙනාම සරසවිය සම්මාන දිනූ චිත්‍රපට නිෂ්පාදකවරුන්වීම විශේෂත්වයකි.

විජයබා කොල්ලය මාගේ සිනමාවක් ලෙස නිෂ්පාදනය කිරීමත් මා පුත් බූඩි කීර්තිසේනගේ නිර්මාණයක් වශයෙන් එය එළිදැක්වීමත් මාගේ අභිලාෂය විය.

එහෙත් පසුගිය අගෝස්තු 01 දා ‘සරසවිය’ පුවත්පතේ ‘විජයබා කොල්ලය’ පිළිබඳව අර්ජුන නමින් පළ වූ ලිපියේ එම සිනමාවේ නිෂ්පාදන කටයුතු ගැන නිවැරදි නොවූ කරුණු ගණනාවක් සටහන් කර තිබුණි. බූඩි ‘විජයබා කොල්ලය’ සිනමා ගත කිරීමේ අයිතිය ලබාගත්තේ වසර 11 ත් පෙරය. ආචාර්ය තිස්ස අබේසේකර ලවා තිර රචනය සැලසුම් කර ගන්නේ ද ඒ අරමුණ ඇතිවය.

එහෙත් නිෂ්පාදන කටයුතු ප්‍රමාද විය. ‘විජයබා කොල්ලය’ නිෂ්පාදනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මට තිබිණි. සැලසුම් ප්‍රමාද වීම නිසා බූඩිට වෙනත් කටයුතුවල යෙදීමට සිදු විය. බූඩි එක තැනක නතර වන සිනමාකරුවකු නොවේ. ඔහු තම අදහස් මෙන්ම නිර්මාණ ගැන ද අලුතින් හිතයි.

නිෂ්පාදනය ප්‍රමාද වීම නිසා විජයබා කොල්ලය පිළිබඳව බූඩිගේ අදහස් ද වෙනස් විය. ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්න බූඩි එම චිත්‍රපටය නොකරන්නේ නම් එහි අයිතිය ලබා දෙන මෙන් ඉල්ලිමක් කළත් මම ඊට එකඟ නොවිමි. වරක් දෙවරක් නොව කීප වතාවකම ඉල්ලා සිටියදී නැවත වරක් බූඩිට එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලෙස මා කීවත් එකඟ වූයේ නැත.

මහාචාර්යතුමා සමඟ එය නිෂ්පාදනය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින ලදී. එය ඇත්ත වශයෙන්ම සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රපටයක් විය යුතු බව ඔහුගේ මතය විය. ඒ අනුව ‘විජයබා කොල්ලය’ මගේම නිෂ්පාදනයක් වශයෙන් සිදු කිරීමට මහාචාර්යතුමා සමඟ සැලසුම් සකස් කළෙමි. චිත්‍රපටයේ අවසන් පිටපත දක්වා රුපියල් මිලියන 40 කින් පමණ නිම කිරීමට සුනිල් ආරියරත්න මහතා සහ මා එකඟතාවයකට පැමිණියෙමු. යෝජිත මුදල ගැන කිසි ගැටළුවක් නොවීය. අවශ්‍ය මුදල් මම වෙන්කර ගතිමි. සැලසුම් සකස් කිරීම මහාචාර්යතුමාගේ වගකීම විය.

එසේ වුවද නිෂ්පාදන කළමනාකරු ලෙස පත් කර ගත් අය අතිශයෝක්තියෙන් සකස් කළ වැරදි නිෂ්පාදන වියදම් වාර්තාවක් මා වෙත ඉදිරිපත් කරන ලදී. එම නිෂ්පාදන කළමනාකරු සුනිල් අරියරත්න මහතාගේ චිත්‍රපට කීපයක කලින් වැඩ කළ අයෙකි. මා එකඟ වූ වියදම් වෙනුවට අමතරව රුපියල් මිලියන ගණනක් වැඩියෙන් ගණන් සාදා තිබිණ.

මා සිනමාවට ආධුනිකයකු ලෙස සැලකුවත් චිත්‍රපට 7 ක් සහ ටෙලි නාට්‍යයක් ද නිෂ්පාදනය කිරීමෙන් හා සිනමා ශාලා පරිශ්‍රයක් ද පවත්වාගෙන යාම තුළින් මට ද සිනමා කර්මාන්තය හා චිත්‍රපට නිෂ්පාදනයේ වියදම් ගැන සාමාන්‍ය තරමින් දැනුමක් තිබිණ. එමෙන්ම මා ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශක සංගමයේ සභාපතිවරයා ද වේ. සාවද්‍ය ‘බජට්’ ගැන මට අත්දැකීම් හා හැඟීමක් තිබේ.

මාගේ කලින් නිර්මාණවල සේවය කළ නිෂ්පාදන කළමනාකරුවකු සහ චිත්‍රපට අධ්‍යක්ෂ වී. සිවදාසන් මහතා සහ මහාචාර්යතුමා සමඟ එක් වී නැවත මුළු ‘බජට්’ එකම පරීක්ෂා කරන ලදී. එය සාවද්‍ය ගිනුම් සහිත රුපියල් මිලියන 20 ක් පමණ වැඩිකර සැලසුම් කළ එකක් බව තහවුරු විය. කලින් සැලසුම් කළ පරිදි නළු නිළියන් හා කාර්මික ශිල්පීන් ද තෝරාගෙන ‘විජයබා කොල්ලය’ නිෂ්පාදනය කිරීම සැලසුම් කළෙමි. ඒ අනුව නළු නිළියන්ට හා කාර්මික ශි්ලපීන්ට අත්තිකාරම් ද ගෙවා දර්ශන පසුතල ද නවාතැන් ද තෝරා ගනු ලැබිණි.

ඒ අතර මා රෝගාතුර වීමෙන් දිගින් දිගටම මාස 4 ක් පමණ රෝහල් ගතවීමට සිදු විය. යළි යළිත් අසනීප වීම නිසා වෛද්‍යවරු මා හට විවේකයෙන් සිටින ලෙස උපදෙස් දෙන ලදී.

ඒ අනුව ‘විජයබා කොල්ලය’ නිෂ්පාදනය ප්‍රමාද විය. මාගේ අසනීපයත් වෛද්‍යවරුන්ගේ උපදෙසුත් නිසා අති දැවැන්ත නිර්මාණය මට අධීක්ෂණය කිරීමට නොහැකි බැවින් මහාචාර්යතුමාට තිර නාටකය භාරදී එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ චිත්‍රපටයක් ලෙස ‘විජයබා කොල්ලය’ නිෂ්පාදනය කිරීමට සහයෝගය ලබා දුනිමි.

‘විජයබා කොල්ලය’ නිෂ්පාදනයේ සත්‍ය තොරතුරුයි මේ. මහාචාර්යතුමා සහ ප්‍රේමසිරි මහතාගේ සුසංයෝගයෙන් විජයබා කොල්ලයට හරියටම හරි සාධාරණය ඉටු විය. එය මට සතුටකි.

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.