ආර්යා එකම කතාවක් නිමාවන් දෙකක්

දිලීප ජයකොඩි
අගෝස්තු 15, 2019

යස්ස ලමිස්සි, තුන් මෝල්ලු, ඇට ගැහියන්, 105, හැපි බර්ත්ඩේ, ලයිල ලයිල ලා! වැනි පරිවර්තන කෘති කියවා ඇති ඔබට දිලීප ජයකොඩි නම් ලේඛකයා පිළිබඳ අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ඔහු විවිධ රසයෙන් යුත් විදෙස් කෘති රැසක් ඔබ වෙත සිංහලෙන් ගෙනා බව බොහෝ කලෙක සිට ඔබ හොඳීන් දන්නා කරුණකි. එසේම ඔහු ස්වතන්ත්‍ර නිර්මාණ 5ක් ද මේ වන විට සිය රසික රසිකාවන් වෙනුවෙන් දියාද කළ නවකතාකරුවෙකි. ඔහුගේ සයවැනි ස්වතන්ත්‍ර නිර්මාණය අනිද්දා එනම් 17වැනිදා සෙනසුරාදා සවස 2.30ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ඔබ වෙත පිරිනමනු ඇත. මේ දිලීප ජයකොඩි සිය 'ආර්යා' පිළිබඳවත් පරිවර්තන හා ස්වතන්ත්‍ර ලේඛනය පිළිබඳවත් සරසවියට දැක්වූ අදහස් බිඳකි‍.

ඔබේ ආර්යා ගැන අපට කියන්න?

මේ තමයි වැඩි ප්‍රසිද්ධියක් දීලා එළි දක්වන මගේ පළමුවෙනි පොත. මීට කලින් මම පොත් එළිදැක්වීමක් කරලා නැහැ. මම කැමතියි මේ කෘතිය වර්ග කරන්න පොලිටිකල් ත්‍රිලර් නැත්නම් දේශපාලන ත්‍රාසකයක් හැටියට. හැබැයි එහෙම කිව්වාට මෙය බිහිසුණු ලෙස ලේ වගුරාගෙන යන කතාවක් නෙවෙයි. මේ වගේ පොත් බොහොමයක් ලෝකේ ලියැවී තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධය අලළා ලියැවුණු කෘතිවල මේ ත්‍රාසක ස්වභාවය දකින්න පුළුවන්. සුගතපාල ද සිල්වාගේ බල්ලෝ බත්කති කෘතියත් මේ ගණයේ කියලයි මට‌ හිතෙන්නේ. පොත කියවලා ඉවර වුණාම 'අඩෙහ් මේ වගේ දේකුත් වෙන්න පුළුවන්නෙ' කියලා හිතෙන ගතිය. ඒ් වගේම ආර්යා ලෝකයේ සෑම කාලෙකම පැවතුණු, පවතින සදාකාලික දේශපාලන බල අරගලය පිළිබඳ කතාවක්.

ආර්යා, ආර්යාවක් ද?

ඒහෙමමත් නැහැ. ඒත් දේශපාලන බල අරගලයක් තුළ ගැහැනියකට යා හැකි දුර ගැන මෙහි කතාවෙනවා. ප්‍රධාන චරිතය කාන්තාවක්. අපේ රටේ දේශපාලන බල අරගලය දැකලා අහල‌ තිබෙන ජනතාවට මෙය තමන්ගේ අත්දැකීම් සමඟ හොඳීන් ගළපා ගන්න හැකි වෙයි කියලා හිතනවා. මේ පොත එළි දැක්වීමේදි කතා පවත්වන තිදෙනාටත් ආරාධනා කළේ පොත ගැන කියන්න නෙවෙයි. මේ පොතේ ඇතුළත් වෙනවා දේශපාලනය හා මාධ්‍යය, දේශපාලනය හා ලිංගිකත්වය, දේශපාලනය සහ බලය (හෙජමනිය). මේ කතා නායිකාව මුලින්ම මාධ්‍යවේදිනියක්. ඒ ඔස්සේ තමයි ඇය ගමන අරඹන්නේ. ඉන් පස්සේ දේශපාලනයේ තිබෙන අසම්මත ලිංගික චර්යාවන් මෙයට සම්බන්ධ වෙනවා. ඒවායින් බිඳ වැටුණු රාජ්‍ය පවා තිබෙනවානේ. ඒ දේවල් ගැන තමයි දේශකයන් පවා කතාකරන්නෙ. අනෙක මේ පොතේ අවසානයන් දෙකක් තිබෙනවා. මීට පෙර එවැනි අවසානයන් දෙකක් කවුරුන් හෝ ලේඛකයකු යොදා තිබුණාද කියා මම හරියට දන්නේ නැහැ. දේශපාලන බල අරගලය නිමේෂයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මේ පොතෙත් අවසානය සිදු වූ පසු තව පොඩි පරිච්ඡේදයකින් වෙනස් අවසානයකට ගමන් කරනවා.

ඒ සබඳතාවන් පිළිබඳ ඔබේ පෞද්ලික මතය?

ඔය බල අරගල සියල්ල ලෝකයේ පැවතුණා. ඉදිරියටත් තියේවි. පියවිව පවතින ලෝකයේ පමණක් නොවෙයි මනඞකල්පිත ලෝකයේ පවා උදාහරණයක් ලෙස මහාභාරතයේ සිට ඉලියඩ් දක්වා දිව්‍යලෝකයේ පවා තිබෙන්නේ මේ බල අරගල. ප්‍රශ්නෙ තියෙන්නේ ඒ දේශපාලනයේ සිදුවන සෑම වෙනස්කමක්ම වක්‍රව හෝ අපටත් බලපානවනේ...‍ එතකොට තමයි මහජනතාව මේවාට මැදිහත් වන්නේ. උදාහරණයක් විදිහට බණ්ඩාරනායක ඝාතනයට හේතු වුණේ විමලා විජේවර්ධන සහ චීවරධාරියකු අතර තිබුණු සම්බන්ධය. ඒ ඝාතනය සිදු නොවුණා නම් මේ රට වෙනස්ම පැත්තකට යන්න තිබුණා. ඒවා ජනතාවට බලපානවා.

ඇයි ඔබ මෙවැනි වස්තුබීජයක් කෙරෙහි යොමු වුණේ?

ඇත්තටම මම පරිවර්තන කරද්දි වුණත් බොහොම කැමැතියි විවිධ ශානර (ප්‍රවර්ග) ඔස්සේ ගමන් කරන්න. කාලයක් මම මැදපෙරදිග කතා ගැන ලීවා. පස්සේ දරුවන් අපචාරයට ලක්වන කතා ලීවා. ඊටපස්සේ චේතන්ගෙ වගේ වෙනම පැත්තක පොත් ලීවා. ඇත්තෙන්ම දැන් මම ස්වතන්ත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. මීට පෙර මම ලියූ නිල් දිය යහන, ආදර කතාවක්, මීයෙක් ඇවිත් කෙටිකතා පොතක්, වාසනා දිනේකි මේක වෙනස් ආරක්, අනෙක් කෘති දෙකම අන්තර්ජාලයෙන් කරුණු අරන් ලියපු අද්භූත ගණයට අයත් කතා‍. මම කිසිම වෙලාවක යම් ශානරයකින් ලියන්න ඕනා කියලා පටන් ගන්නේ නැහැ. ලියාගෙන යද්දි තමයි පොත ඒ ඒ ගණයන්ට වැටෙන්නේ. අනෙක මට හිතෙනවා අපේ රටේ පාඨකයාට විවිධ රසයන් ලබා ගැනීමේ අයිතිය අහිමි වෙලා තිබෙනවා ඒකාකාරී ප්‍රස්තුතයන් දිගින් දිගටම ලේඛකයන් තෝරා ගැනීම නිසා. අපේ සාහිත්‍යයේ වුණත් නව නළු රසයක් තිබෙනවානේ. ඒ සියලු රසයන් විඳීමේ අයිතිය පාඨකයාට තිනෙවා. ඒත් ඉතිහාස කතා, විද්‍යා ප්‍රබන්ධ ආදිය සඳහා විශාල කැපකිරීමක් කර පර්යේෂණයේ යෙදෙන්න ඕනා. ඒ සඳහා තිබෙන අලසකම හෝ අකමැත්ත නිසා පහසුවෙන් ලිවිය හැකි ආදර කතාවලට යොමු වෙනවා කියලයි මට හිතෙන්නේ.

ඔබ පරිවර්තන සහ ස්වතන්‍ත්‍ර අතර වෙනස දකින්නේ කොහොමද?‍

අපි වචනාර්ථය කොහොමත් දන්නවානේ. ඊට අමතරව මම හිතන්නේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීම පරිවර්තනයක‌ට වඩා බොහොම අසීරු කාර්යයක්. මොකද පරිවර්තනයකදී අපට මඟ පෙන්වීමක් තිබෙනවා. පිටුගණන දන්නවා. කරුණු සියල්ල දන්නවා. භාෂා දෙක යොදා ගැනීම පිළිබඳ දන්නවා නම් වාඩිවෙලා ලියාගෙන යන එකයි තියෙන්න‍. ඒත් ස්වතන්ත්‍ර කෘති එහෙම නෙවෙයි. උදාහරණයකට මගේ ආර්යා පොතේ අවුරුදු 30-40ක් පුරා දිවෙන කතාවක් තිබෙන්‌නේ. ඒ කාලවකවානුව, චරිත, සිදුවීම් හරියට ගැළපෙන්නත් ඕනා. අනෙක අපි කියන දේ පාඨකයාට සමීප සිදුවීමක් වන්නත් පුළුවන්. ඒ නිසා නිර්මාණයකදී වඩාත් සැලකිලිමත් වෙන්න වනවා. ඉතින් මට මූලික කරුණු සෙවීමට‌ මාස තුන හතරක් ගියා. ඊට අමතරව මට මාස හතරක් පමණ ගතවුණා ලියන්න. මම සාමාන්‍යයෙන් තරමක් වේගයෙන් ලියන කෙනෙක් නිසාත් එකතු කරගත් කරුණු තිබුණු නිසාත් ඉක්මනින් ලියාගන්න පුළුවන් වුණා කියලා හිතනවා. මීට වඩා ශාස්ත්‍රීය මට්ටමේ කෘතියක් නම් සමහර විට මීට වඩා කල්ගත වන්න පුළුවන්‍.

ඔබට, ඔබ ලේඛකයකු බව හැඟෙන්නේ කුමන කෘතිවලින්ද?

මම කීවා වාගේ පරිවර්තනයකදී අපට මඟපෙන්වීමක් තිබෙනවා. ඒත් ස්වතන්ත්‍ර නිර්මාණයකදී ඊට වඩා තෘප්තියක් තිබෙනවා. ඒක හරියට අරන් හදාගත්ත දරුවකු සහ තමන්ගේම දරුවකු අතර තිබෙන වෙනස වගේ. අරන් හදාගත් දරුවට අපි ආදරෙයි. ඒත් තමන්ගේම දරුවාට ආදරේ කරන්නේ ලේ බැඳීමකුත් එක්ක. අනෙක තමන් පිළිබඳ තක්සේරුවකට එන්න පුළුවන් ස්වතන්ත්‍ර කෘතියකින්. පරිවර්තනයකට වඩා භාරධූර කාර්යයක්.

ඔබ පොත් ලියන්නේ කුමක් අරභයාද?

පළමුවෙන්ම මගේ තෘප්තිය සඳහා. වාණිජ පරමාර්ථයට වඩා මට අවශ්‍ය පාඨකයාගේ සතුට. එය ඇත්තෙන්ම කුසලයක්.

අපි ග්‍රන්ථ ප්‍රකාශනය සහ කර්තෘභාගය පිළිබඳවත් කතා කරමු?

ප්‍රකාශකයන් සදාකාලිකව නඟන මැසිවිල්ල තමයි කඩදාසි මිල. ඒ බද්ද අඩු වන්නේ නැහැ. වක්‍රව ඒ විපාකය ගෙවන්නේ පාඨකයන්. අඩුම ගානේ රුපියල් 500ක් ගෙවන්න වෙනවා පොතක් ගන්න. පැවතුණු සහ පවතින රජයන් ගණනාවකට මෙය කියා තිබුණත් තවම විසඳුමක් නැහැ. කර්තෘභාගය පිළිබඳ ලෝක සම්මතය තමයි සියයට දහයේ කතාව. එහිදී අපේ රටට අදාළව ගත්තාම වෙළෙඳපොළ හරිම පුංචි වීම ගැටලුවක්. කර්තෘ සහ ප්‍රකාශකයා අතර තිබෙන සම්බන්ධය අනුව තමයි සියල්ලම සිදුවන්නේ. දෙදෙනා අතර හොඳ සම්බන්ධයක් නැත්නම් ප්‍රකාශකයාට පුළුවන් වංචනික දේවල් කරන්න. පොත් 2000ක් මුද්‍රණය කරලා 1000යි කියන්නත් පුළුවන්. ඒ වගේම පැරැණි ලේඛකයන්ගේ ඇතැම් කෘති, උදාහරණයකට සතුරු සිතක්, සිතට සිතක් වගේ පොත් මාස තුනට 15000ක් පමණ මුද්‍රණය වුණා කියලා ප්‍රකාශකයන් කියනවා. ඒ වගේ යුගයක් තිබුණා රටේ‍. ඒ වුණත් දැන් කාලෙ නම් පොත් දාහක් විකුණා ගන්නත් අමාරුයි කියලයි පේන්නෙ. මුහුණු පොතේ පොත් කියවන්නන්ගේ එකතු මඟින් දෙන ප්‍රචාරයත් මෙයට වැදගත් බව කියන්නම ඕනා. ඇත්තෙන්ම සියයට දහය වුණත් කමක් නැහැ හරිවිදිහට කෙරෙනවා නම්.

මේ පොතෙන් පස්සෙ?

මට දැන් ස්වතන්ත්‍ර පිළිබඳ වැඩි ඇල්මක් ඇතිවෙලා නිසා ඒ සඳහා දිරිය වැඩියෙන් ලැබිලා තිබෙනවා. පරිවර්තන අමතක කරන්නෙත් නැහැ. මෙතෙක් මම කරමින් හිටියේ වසරකට පරිවර්තන හතරක් වගේ. ඒත් ස්වතන්ත්‍රවලට වැඩි කාලයක් ගතවන නිසා පරිවර්තන දෙකකුත් ස්වතන්ත්‍ර එකකුත් වසරකට කරන්න පුළුවන් වෙයි කියා හිතනවා. තවත් අලුත්ම වස්තු බීජයක් සිතේ පැළ වී තිබෙනවා. එයත් අමුතුම විදිහේ කෘතියක් ලෙස පාඨකයන්ට දායාද කරන්නයි බලාපොරොත්තු වන්නෙ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.