“බර්ෆි” චිත්‍රපටියේ ප්‍රියංකාගේ චරිතය මට ලැබුණා නම්

- අරුණි මෙන්ඩිස්
අගෝස්තු 15, 2019

රූප රචනා නොකරනවා කියලා වාරණයක් දමාගෙන නැහැ. දැනට විෂුවල් කිහිපයක් කළා. ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා.

 

දුටු පමණින් ඇය ඔබට හඳුනාගන්න පුළුවන්. මේ අර දෙවැනි ඉනිමෙ රඟපාන කෙනා නේද කියලා ඇතැම් අයගේ සිත් මුමුණාවි. සමහරු ඇය දන්නේ නිවේදිකාවක විදිහට. ඒ ජාතික නාළිකාවේ විකාශය වන රස මොහොත සහ ලොතරැයි වැඩ සටහන්වලින් ඇය දකින නිසා. ඇගේ නම අරුණි මෙන්ඩිස්. කලාකරුවන් බොහොමයක් නිජ භූමිය කොට ගත් මිගමුව පුරවරයෙන් තමයි අරුණිත් කලා ලොවට පිවිසෙන්නේ. අපි ටිකක් කතා කරමු ඇයත් එක්ක.

අරුණි ඔබ හිටියට වඩා දැන් ජනප්‍රියයි?

මං හිතන්නේ දෙවැනි ඉනිම නාට්‍යයේ නිලු නිසා. මේ දවස්ල මාව ගොඩක් දෙනෙකු හඳුනන්නේ ඒ චරිතයෙන්. පහුගිය දිනවල ඉරේෂ් ලොකුබණ්ඩාර අයියගේ ඉඩෝර වැස්ස නාට්‍යයෙත් හිටියා. ඒකෙත් මං කළේ අමුතු චරිතයක්. මේ කාලයේ නම් ජනප්‍රිය නිලු නිසා තමයි.

ඔබ දිගටම නිලූ නමින් හඳුන්වාවිද?

එහෙම වෙන එකක් නැහැ. වර්තමානයේ තිබෙන තත්ත්වයත් එක්ක නාට්‍යයක් ඉවර වුණාම මිනිස්සුන්ට ඒ නාට්‍යයේ චරිත ඒ එක්කම අමතක වෙනවා. දවසකට නාට්‍ය කීයක් නම් විකාශය වෙනවද. ඉස්සර එහෙම නැහැනෙ. ඉස්සර නාට්‍යවල චරිතත් මිනිස්සුන්ට මතකයි. මේ දවස්වල මට නිලූ කියාවි. ඒ චරිතයෙන් හඳුනා ගනීවි. නාට්‍ය ඉවර වුණාට පස්සේ අමතක වේවි.

නිලූට බනිනවා නේද පේ‍්‍රක්ෂකයෝ?

ඔව්. ටිකක් නපුරු කෙනෙක්නෙ. නිලූ නිසා මට එක එක අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. මේ ළඟදි දවසක ශෝක් වැඩක් වුණා. මමයි අංජුලා අක්කයි ඩ්‍රාමා එකේ වාහනයක නැගලා ෂූට් එකට එනවා. අපි එන අතරමගදි පොඩි බඩගින්නක් දැනිලා දෙන්නම ගියා ළඟ තිබුණු පේස්ට්‍රි ෂොප් එකකට. එතැන කවුන්ටරේ හිටියේ ගැහැනු ළමයෙක්. මං හිතන විදිහට ඇය තමයි ෂොප් එක කරගෙන යන්නේ. අපි දෙන්නව දැකපු වෙලාවේ ඉඳලා ඇය තරමක් අපහසුවෙන් ඉන්න වගක් පෙනුණා. සල්ලි ගත්තෙත් අපට කෑම බෙදුවෙත් මොකක්දෝ අපහසුවකින්. බැරිම තැන අංජුලා අක්කා ඇයගෙන් ඇහැව්වා නංගි මුකුත් අවුලකද ඉන්නේ කියලා. ඒකටත් ඇය මුකුත් කිව්වෙ නැහැ. එයා අපට ටී දෙකක් දෙන්න අනෙක් පැත්ත හැරිලා ටී මැෂින් එක දිහා බලලා තේ දාන ගමනුත් ඔළුව අපේ පැත්තට හරවගෙන හිටියේ. මෙයා ටී දෙක දාලා බයෙන් වගේ අපිට දෙන ගමන් අපෙන් ඇහැව්වා මේ ඔයාලා මේ කෑමවලට නම් කැරපොත්තො දාන්නෙ එහෙම නැහැනෙ කියලා. ඔය කාලේ තමයි මමයි අංජුලයි එකතු වෙලා නාට්‍යයේ උදේනිගේ ජූස්බාර් එකට කැරපොත්තෙක් දාන්නේ. අපි දෙන්නමනෙ මේ ෂොප් එකටත් ආවේ. අර ගෑනු ළමයා බය වෙලා තියෙන්නේ ඒකයි.

වසර දහයකට ආසන්න රංගන ජීවිතය තුළදී ඔබ රඟපෑ චරිත ගැන තෘප්තිමත්ද?

මගේ සිහිනය වුණේ නිළියක් වෙන්න. එය මං සැබෑ කරගෙන තියෙනවා. යම් යම් නිර්මාණ බලද්දී විශේෂයෙන් විදෙස් චිත්‍රපට, ඒවායේ චරිත මටත් රඟපාන්න තිබුණා නම් කියලා. ඔය බාර්ෆි වගේ චිත්‍රපටවල ප්‍රියංකා චොප්රා කරපු චරිතය අපිට ඉතින් ඒ වගේ චරිත ලැබෙන්නේම නැති තරම්නෙ. එතරම්ම නොවුණත් නිසොල්මනේ හැඟීම් ප්‍රකාශනත් එක්ක තියෙන චරිත රඟපාන්න ආසයි.

සිනමාවේදී ඔබට ලැබුණු අවස්ථා අඩුයි?

දැනට මං චිත්‍රපට පහක පමණ රඟපාලා තියෙනවා. ඒවාට හොඳ ප්‍රතිචාරත් ලැබුණා. සිනමාවේදී ලැබුණු චරිත ගැන සෑහීමකට පත්වන්න මට අමාරුයි.

ඒ වගේම ඔබ පරපුරේ රංගන ශිල්පීන්ට සාපේක්ෂව ඔබ ගීතමය රූප රචනාවලත් නැහැ?

රූප රචනා නොකරනවා කියලා වාරණයක් දමාගෙන නැහැ. දැනට විෂුවල් කිහිපයක් කළා. ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා.

සාමාන්‍යයෙන් අසාධාරණයක් වුණොත් අරුණි මොකද කරන්නේ?

බොහෝ වෙලාවට අමාරුවෙන් වුණත් නිශ්ශබ්දව ඉන්නවා. කතා කරලා වැඩක් නැහැ සමහර අසාධාරණ දේවල් ගැන.

මෙතෙක් ඔබ කළ චරිත අතරින් ඔබට වඩා විශේෂ චරිතයන් ගැන සඳහනක් කළොත්?

පියස නාට්‍යය සහ ඉසුරු සංග්‍රාමයේ මං කරපු චරිත විශේෂයි. චිත්‍රපටවලින් ගත්තොත් ප්‍රේමය නම් චිත්‍රපටයේ මං රඟපාපු නර්ස්ගේ චරිතය ගැන තෘප්තිමත්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.