මහේන්ද්‍ර-සේවියර් අබිබවා සහාය නළුවා වූ පුංචි සුදම්

අගෝස්තු 22, 2019

2019 වසරේ සිග්නිස් ටෙලි සිනමා සම්මාන උලෙළේ හොඳම සහය නළුවා වීමේ භාග්‍ය උදා වූවේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ මධුර චාරිකා චිත්‍රපටයේ රඟපෑ සුදම් කටුකිතුලේ පුංචි පුතුටය. 2018 වසරේ තිරගත වූ චිත්‍රපට විසි හයක් අතරින් හොඳම සහය නළුවාවීමේ භාග්‍ය උදා වූ සුදම් කටුකිතුලේ පුංචි පුතු තමන් ලැබූ සම්මානයේ සතුට සරසවිය හා බෙදා ගත්තේ අපත් සමඟ කතාබහට එක්වෙමින්.

සුදම් පුතා හොඳම සහය නළුවා වීම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි.

සම්මානයක් ගැන බලාපොරොත්තුවක් තිබුණාද?

අපෝ නෑ. සම්මාන උලෙළට එන්න අරාධනා පතක් ලැබුණා. මමත් ගියා.

උලෙළ වෙනුවෙන් තරඟ වැදුණු චිත්‍රපට විසි හයක් අතුරින් තමයි ඔබ හොඳම සහය නළුවා වෙන්නේ?

කොහොම හරි සහය නළුවා වෙනුවෙන් නිර්දේශිත නාමාවලියට දැවෙන විහඟුන් චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා, ගෝල් චිත්‍රපටයේ සේවියර් කනිෂ්ක මධුර චාරිකා චිත්‍රපටයේ සුදම් කටුකිතුලේ ලෙසත් නිර්දේශිත නාමාවලියේ රූප පෙරහර තිරයේ දිග හැරුණා.

ඒ වෙලාවේ බලාපොරොත්තු සහගත සිතුවිල්ලක් හිතට ආවද?

කොහෙත්ම නෑ. මගේ නම තිරයේ වැටෙන කොට මට පුදුමයක් ඇති වුණා. ඒත් මට සම්මානය ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුණේ නෑ.

බලාපොරොත්තු නොවූ හොඳම සහය නළුවා සම්මානය ඔබ ලබාගත්තේ?

වීණා ජයකොඩි මහත්මිය අතින්.

හොඳම සහය නළුවාට සම්මානය වගේම ප්‍රශංසා සුබපැතුම් එහෙමත් ලැබෙන්න ඇති?

ඔව්, ඔව්. ගොඩක් අය සුබපැතුවා. ප්‍රවීණ ආධුනික කියලා නෑ. හැමෝම මට සුබ පැතුවා. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය වගේම ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයා පවා මට සුබපැතුවා, හොඳයි පුතේ සතුටුයි, ඔයාට සුබ අනාගතයක් කියලා.

මධුර චාරිකා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සම්මාන ලබන ඔබ එදා මේ චරිතය නිරූපණය කරන කොට මොන වයසේද පසු වුණේ?

දැන් මගේ වයස අවුරදු 11 යි. මේ චිත්‍රපටයේ රඟපාන කොට මගේ වයස අවුරුදු හයක් විතර.

පුතාට පාසලෙන් එහෙමත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණාද?

මම මුලින්ම ඉගෙන ගත්තේ බියගම කණිෂ්ඨ විද්‍යාලයේ. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තමයි මම කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඇතුළත් වුණේ. දැන් මම හය වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මගේ යාළුවෝ වගේම ගුරු මෑණිවරු පියවරු මට ගොඩක් ප්‍රශංසා කළා.

මධුර චාරිකා පුතාගේ මුල්ම චිත්‍රපටයද?

නෑ. මේක මගේ දෙවැනි චිත්‍රපටය. මගේ මුල්ම චිත්‍රපට රංගනය තමයි නුවන් ජයතිලක මාමා අධ්‍යක්ෂණය කළ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ කසුන් කියන පුංචි දරුවාට රඟපෑවේ මම. ඒ චිත්‍රපටයේ මම රඟපාන කොට මට වයස අවුරුදු පහක් විතර ඇති. කොහොම හරි මොන්ටිසෝරියේ අවසන් වසරේ තමයි මම එතකොට ඉගෙන ගනිමින් හිටියේ.

මේ වෙන කොට පුතා චිත්‍රපට විතරක් නෙවෙයි ටෙලි නාට්‍ය කිහිපයකටමත් රංගනයෙන් එක් වෙලා?

මම මේ වන විට ටෙලි නාට්‍ය හතක රඟපාලා තියෙනවා. මිණිගං දෑල, ගැමුණු මහ රජ, සී රජ, දස්කොන්, රන් හිරු රැස්, මද්දහන, ගිරවි. ඒ අතරින් ගිරවි ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. ඒ වගේම චිත්‍රපට හතරක මේ වන කොට රඟපාලා තියෙනවා. සුළඟ අප රැගෙන යාවි, මධුර චාරිකා, බන්ධනය, තට්ටු දෙකේ ඉස්කෝලේ. මේ චිත්‍රපට අතුරින් ලලිත් රෝහිත එදිරිසිංහ මාමා අධ්‍යක්ෂණය කළ තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.

පුතාගේ අයියාත් රංගන ශිල්පියෙක්?

ඔව්. අයියා 2016 වසරේ සරසවිය සම්මාන උලෙළේදී ඇඩ්ඩ්‍රස් නෑ චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතය රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානයක් පවා දිනාගත්තා. මගේ අයියා තමයි ප්‍රවීන් කටුකිතුලේ. මමයි අයියයි මුලින්ම එකට රඟපාන්නේ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටයේ. ඇඩ්ඩ්‍රස් නෑ, සිරි පැරකුම්, මිගෙට්ටු වත්තේ ගුණානන්ද, පුංචි අන්දරේ ආදී චිත්‍රපට බොහොමයක රඟපානවා. ඒ වගේම පාන්බට්ටා, පුංචි පැන්චි, අසිනි චායා, දස්කොන් ආදී ටෙලි නාට්‍ය බොහොමයකත් රඟපෑවා.

මධුර චාරිකා චිත්‍රපටයට පුතා සම්බන්ධ වෙන්නේ කොහොමද?

මගේ අයියා ජැක්සන් ඇන්තනී මාමාගේ ඇඩ්ඩ්‍රස් නෑ චිත්‍රපටයේ රඟපෑවා. ඒ චිත්‍රපටයේ ඩබින්වලට අයියාව තාත්තා ඩිල් ස්ටුඩියෝවට එක්ක එනවා. දවසක් ඔය ආ ගමනකදී එතනදි උදයකාන්ත අංකල් හමු වුණා. උදය අංකල් තාත්තාගෙන් අහලා තිබුණා චිත්‍රපටයක් කරන්න යනවා මට මේ පුංචි පුතා කැරැක්ටර් එකකට දෙන්න පුළුවන් ද කියලා. ඒ වෙනකොට මම සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටයේ රඟපාලා තිබුණා. ඒ හමුවෙන් තමයි උදය මාමා මාව මධුර චාරිකා චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ.

පුතා රංගනය ගැන හැදෑරීමක් කරනවද?

අපෝ නැහැ. මම ඒ ගැන ඉගෙන ගැනීමක් නම් තවම කරන්නේ නැහැ. මගේ මුලික අරමුණ හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න. රඟපාන එක මගේ වෘත්තීය කර ගන්න මගේ අදහසක් නැහැ. මම රඟපෑව නම් ඒ මගේ සහජ හැකියාවක්. මගේ පියාවත් කලාවට සම්බන්ධ නැහැ. තාත්තාගේ සීයා නම් ඒ කාලේ චිත්‍රපටවල රඟපාලා තියෙනවා.

රඟපාන්න යන එක ඉගෙන ගැනීමට බාධාවක් නොවෙයිද?

මම ඉගෙන ගන්න වැඩ අතපසු කරන්නේ නැහැ. නිවාඩු කාලයේ තමයි රූපගත කිරීම් සඳහා සහභාගි වෙන්නේ. පාසලේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරන අතරේම තමයි මම රඟපෑමත් කරන්නේ. ඒක නිසා මට මව්පියන්ගෙනුත් සහයෝගය ලැබෙනවා. ගුරුවරුන්ගෙනුත් සහයෝගය ලැබෙනවා.

රඟපාන්න ගිහින් අකරතැබ්බවලට මුහුණ දුන්නේ එහෙම නැද්ද?

සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය රූපගත කළේ මීමුරේ වගේම රිවස්ටන්වල. එතකොට මම අවුරුදු පහක විතර පුංචි දරුවෙක්. ඒ චිත්‍රපටයේ වැඩ කළ මාමලා මාව කර තියාගෙන කඳුවල අරන් ගියා. හරිම සීතලේ කූඩැල්ලෝ කකා තමයි ෂූටිං කලේ. මධුර චාරිකා චිත්‍රපටයේ රඟපාන කොට එක සීන් එකක් තිබුණා මගේ සීයා හේමසිරි ලියනගේ මාමා සමඟ මම බස් එකෙන් කොළඹ එන සීන් එකක්. ඒ සීන් එකේ බස් එක බ්‍රේක් ගහන කොට මම ඉස්සරහට නැමෙන දර්ශනයක් තිබුණා. කොහොම හරි බස් එක බ්‍රේක් ගහපු පාර මගේ නහය ඉස්සරහ සීට් එකේ වැදිලා නහයෙන් ලේ ගලන්න ගත්තා. ඒ පාර උදයකාන්ත මාමා හොඳටම බය වෙලා ඒ දුෂ්කර ප්‍රදේශයේ හුඟක් ඈත ගිහින් අයිස් කැට ගෙනල්ලා මගේ නහයේ ලේ එන එක නතර කළා. ඔය වගේ දේවලුත් මට සිද්ධ වුණා.

පුතාගේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ තාත්තා ප්‍රදීප් කටුකිතුලේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ අම්මා චම්පිකා සුදර්ශනී. ඇය ගෘහනියක්. මගේ අයියා ප්‍රවීන් කටුකිතුලේ රඟපානවා වගේම තාම පාසල් අධ්‍යාපනය ලබනවා. මම පදිංචි වෙලා ඉන්නේ 453/1, නව නුවර පාර, බියගම ලිපිනයේ.

පුංචි වයසට මේ ආ ගමන ගැන මොකද හිතෙන්නේ?

අද මේ සම්මානය ලබන්න මා වෙනුවෙන් ගොඩක් දහදිය හෙලපු මාමලා නැන්දලා ඇති. මගේ අම්මා තාත්තා වගේම මාත් සමඟ අත්දැකීම් බෙදා ගත්ත මගේ අයියා වගේම යාළු මිත්‍රයොත් ඇති. මේ හැම දෙනාගෙම සහයෝගය මට නොලැබෙන්න මේ ගමන මට කොහෙත්ම එන්න ලැබෙන්නේ නැහැ. මාව නිර්මාණවලට දායක කර ගත්ත අධ්‍යක්ෂවරුන්ට වගේම මා වෙනුවෙන් දුක් කරදර වින්ද ඒ දේවල් සතුටින් විඳ දරා ගත් හැම දෙනාටම බොහොමයක් පිං. මා මේ ලබපු සම්මානනීය ඇගැයුම ඒ හැමෝටම උපහාරයක් වේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.