එදා විජයයි, මායි, කලං එක්ක

සමන්ති ලැනරෝල් උපහාර උලෙළ සෙනසුරාදා
අගෝස්තු 22, 2019
ප්‍රවීණ රංගන ශිල්පිනී සමන්ති ලැනරෝල්

 

 හාපුරා කියලා කැමරාවට මුහුණ දුන්නේ?

හන්තානේ කතාවෙන්. මං, විජය කුමාරණතුංග, අමරසිරි කලංසූරිය තුන් කට්ටුවම සරසවිය පත්තරේ පළ වෙච්ච එකම නිව්ස් එකක් දැකලායි මේ ෆීල්ඩ් එකට ආවේ. ඒකේ තිබුණේ ‘කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්. විශ්ව විද්‍යාල කතාවක්. රඟපෑමට කැමති නම් එන්න’ කියලයි. ඒ පත්තරේ අතේ තියන් විජයයි, කලනුයි, මායි එක ළඟ එක වාඩි වෙලා ඉන්ටවීව් ආපු දවස තාමත් නිතරම මට මැවී පේනවා. එහෙව් මට ලැබුණු සරසවිය සම්මානයත් මහ මෙරක්.

ඒත් ‘දුහුළු මලක්’ තුළයි ඔබේ වාසනාව සැඟ වී තිබුණේ?

මං එහෙම හිතනවා. විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටයේ ලෙච්චමී චරිතයෙන් හන්තානේ කතාවට වඩා මං කැපී පෙනුණා.

 ‘දුහුළු මලක්’ මංගල දර්ශනයෙන් ඔබ පස්සෙන් කාර් හඹා එන්න පටන් ගත් බවටයි ආරංචි තියෙන්නේ?

ඔව්. එක ළඟ ළඟ කාර් දෙකක් ආවා. ඒ එකක හිටියේ විල්ෆ්‍රඩ් සිල්වා. අනෙකේ ආවේ හර්බට් රංජිත් පීරිස්. ඒ දෙන්න ළඟම ඇග්‍රිමන්ට් තිබුණා. විල්ෆ්‍රඩ් ‘අක්කේ මට අවසරය’ ෆිල්ම්මෙකට මට කතා කළා. හර්බට් රංජිත් ආරාධනා කළේ ‘සිල්වා’ චිත්‍රපටයට. මට ෆ්‍රෙඩී සිල්වා එක්ක රඟපාන්න ලැබුණේ එහෙමයි. වැඩිම කාලයක් ෆ්‍රෙඩී එක්ක රඟපෑ නිළිය මං වෙන්න ඇති. නිහාල් සිල්වා, බන්දු සමරසිංහ සමඟත් මං දිගු කලක් රඟපෑවා.

 පිච්චර්වල සල්ලිකාරියකට ඉඳලාම නැතිද?

අඩුවෙන් තමයි එහෙම චරිත රඟපෑවේ. වැඩිපුරම ලැබුණේ දුක් විඳින අයගේ චරිත. ඒ හැරෙන්න විජාතික චරිත සෑහෙන ප්‍රමාණයකුත් ලැබුණා. අනෙක වතු අධිකාරිවරයකුගේ දුවක් විදියට මං පුද්ගලික ජීවිතේ ගෙව්වේ සැප සම්පත් මැදයි. ඒ කාලේ වයඹ පළාතේ හුඟක් වතු පාලනය කළේ අපේ තාත්තා.

 අද ඉඳන් ආපස්සට ඒ ගමන් මඟ බලද්දී මොකද හිතෙන්නේ?

පුදුමත් හිතෙනවා. මං අවුරුදු 51 ක් තිස්සේ රඟපානවා. අදටත් විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා වුණත් කියන්නේ මං හරි වාසනාවන්තයි කියලායි. ඉතින් තුන් වතාවක් නියුමෝනියා හැදිලා ජීවිතේ බේරුණු මං පෙණහැල්ල ඉඳිමිලා තියෙද්දිත් මේ තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන එක දොස්තරලාටත් පුදුමයක්. දොන් සිරිසේන, ඇන්තනි සී. පෙරේරා එක්ක පවා රඟපෑවේ මේ මං නේද කියලා හිතුණාම හරි සතුටක් දැනෙනවා. ඒ ගමන් මඟ කටු කොහොල් පිරුණු එකක්. අපමණ දුක් විඳිමින් මං ඒ මාවතේ ආවේ. රඟපෑම කියන්නේ ඒ තරම් දුෂ්කර කටුක එකක්.

 අකරතැබ්බවලට නම් එමට මුහුණ දීලා තියෙනවා නේද?

මේ අහන්නකෝ. මට දැන් එක විදියකට වැඩි වෙලාවක් ඉඳන් ඉන්න බැහැ. කොඳු ඇට පෙළ ඇඹරිලා ඇද වෙලා. ඒ එක ටෙලි නාට්‍යයක ෂූටිං ගිහින් මාව ගල් ගොඩක් උඩට වට්ටලා හරි ඇන්ටි පනින්න පනින්න කිව්වා. මාත් පහළ මොනවාද තියෙන්නේ කියලා හොයන්නේ බලන්නේ නැතිව පැන්නා. තව ටෙලියක වැඩ කර කර ඉඳිද්දි මාව බල්ලෙක් හැපුවා. මං කකුල වෙළාගෙන ඇඳට වෙලා ඉඳිද්දි නවක අධ්‍යක්ෂවරයෙක් මට කතා කළා. මං ඉතින් කිව්වා අනේ පුතේ මං එක වැඩක ෂූටිං ගිහින් ඉඳිද්දි බල්ලෙක් කාලා එක්තැන් වෙලා ඉන්නේ කියලා.

අනේ ඇන්ටි පුළුවන්කමක් තියෙනවා නම් ඔය ඉන්න විදියට ඇවිත් ඇක්ට් කරන්න. මටත් ඕන කළේ ඔය විදියේ මූඩ් එකක් කියලා ටෙලිෆෝන් එකේ එහා කෙළවරේ හිටිය එයා කිව්වා. මටත් මොනවා නැති වුණත් රඟපාන්නේ නැතිව ඉන්න නම් හරි අමාරුයිනේ. මං ගිහින් ඒ වැඩේ කරලා දුන්නා.

ඔය මං කිව්වේ මෑත කාලේ වෙච්ච ඒවා. ඉස්සර එලොව ගිහින් මෙලොව ආපු ඇක්සිඩන්ට් ගැන කියන්න ගියොත් දවස් ගාණක් යයි. එක පාරක් මහත්තයයි මමයි නිළියකගේ මරණ ගෙදරක යන ගමන් ඉඳිද්දි නාත්තන්ඩියේදී හැප්පුණා. මගේ දත් ටික කැඩිලා මූණ නාලු වෙලා නැවතුණා නම් මදැයි, අත පයත් කැඩිලා ඇසුත් අන්ධවෙලයි නැවතුණේ.

 අද කාලේ හුඟක් නිළියෝ නම් ඔච්චර කැපකිරීම් කරයිද මන්දා?

ඒ අය නිතරම මට ලොකේෂන්වලදී මුණ ගැහෙනවා. ඇන්ටි ඔයා හරි ඇක්ටිව්නේ. කොහොමද අනේ එහෙම ඉන්නේ කියලා හුඟ දෙනෙක් අහනවා. තව සමහරු හිනා වෙවී අහන්නේ කොහොමද ඇන්ටි ඔච්චර කාලයක් මේ ටකරම කෑවේ කියලයි. ඒත් රඟපෑම මට හුරුවක්. මට රඟ නොපා ඉඳීම අපහසුයි. අනෙක මං ඒ හුරුවෙන් මිදුණොත් මං ලෙඩ ඇඳට වැටෙන්නත් පුළුවන්. මගේ පියාගෙන් මං ඒ සත්‍ය දැක්කා. ඔහු හුරුපුරුදු ජීවන රටාවෙන් මිදී විශ්‍රාම අරන් අවුරද්දක් තරම් කෙටි කාලෙකදී අපව සදහටම තනිකර නික්මෙන්නට, පුරුදු වටපිටාවෙන් මිදිලා ඒ මානසිකත්වයෙන් එක්වරම ඈත්වීමත් හේතු වෙන්න ඇති. අනෙක මං තදින්ම ආගමානුකුල ජීවිතයකට හුරු වූ කෙනෙක්. මගේ හිත හරිම සන්සුන්. ඒ ආශිර්වාදයත් මගේ වැඩ ඉදිරියට ගෙන යන්න හේතු වෙනවා.

 අපි දැන් හැරෙන්නේ දෙවෙනි ඉනිම දිහෑට?

මේ දවස්වල මට වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ ඒ චරිතයට. දුහුළු මලක් චිත්‍රපටයට ලැබුණාට පස්සේ වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ දෙවෙනි ඉනිමේ මල්ලිකා ටීචර්ගේ චරිතයට. ඒ වෙනුවෙන් මං සාරංග මෙන්ඩිස් ඇතුළු පිරිසට ස්තූති කරනවා.

 ඒ වගේ හාස්‍යෝත්පාදක චරිත රාමුව බිඳගෙන ඔබ මැවු තවත් චරිත තියෙනවා නේද?

අපොයි ඔව්. මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වතාවක් මට කතා කළා කොමඩිවල රඟපෑවා ඇති නේද, සමන්ති මගේ අවරගිර ෆිල්ම් එකේ බිසෝ මැණිකේ චරිතයට කැමතිද කියලා අහලා ඔහු ඒ වගකීම මට බාර කළා. විවිධ චරිත රඟපෑමේ මගේ හැකියාව එයින් මටම ඒත්තු ගැන්වෙන්න ගත්තා. ‘ආදර රත්නෙ’ චිත්‍රපටයේ ‘ජුබිලි සුසාමෝ’ සින්දුවට අහිගුණ්ඨික නැටුමක් නැටුව ජවනිකාව තවමත් මඟ තොටේදී හමුවන ප්‍රේක්ෂකයන් හුඟ දෙනෙක් ආදරයෙන් සිහි කරන මගේ රංගනයක්.

 අපි අවසන් වශයෙන් අනිද්දා (24) ඔබට ලැබීමට නියමිත උපහාරය පිළිබඳ කාත කරමු?

අඩ සියවසක මගේ රංගන කාර්යයට උපහාර පිදීමක් විදියට ඉතාලියේ වෙසෙන අක්කයි – නංගියි චිත්‍රපටය කළ නිශාන්ත ජයකොඩි ඇතුළු පිරිසක් එය සංවිධානය කරනවා. එදින සවස 3 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදියි උපහාර උලෙළ පැවැත්වෙන්නේ, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ද සහයෝගය ඇතිවයි. ජීවත්ව සිටියදී එවන් උපහාරයකින් පුද ලබන්නට ලැබීම කලාකාරිනියක් විදියට මට ලොකු සතුටක්.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.