ලියන්න බෑ කටපාඩම් බෑ බයිලා ගැන බයිලාවක් නොවන කතාවක්

පර්සි රාජපක්ෂ
අගෝස්තු 29, 2019

වාද බයිලා ලියලා තියාගෙන, පාඩම් කරගෙන ඇවිත් ගයන්න බැහැ. ඒ වෙලාවට අනුව ඉදිරිපත් කරන තර්කවලට, අදහස්වලට ගැළපෙන විදියටයි බයිලා ගයන්නේ. ඒත් බයිලා ගයන තාල තිස්හයක් බයිලා ගායන කලාවේ ඇතුළත්. ඒ තාල අනුවයි ගයන්නේ.

බයිලා සක්විති පරපුරෙන් පැවැත එන පර්සි රාජපක්ෂගේ කලා ජීවිතයට වසර හතළිස් හතරකි. ඔහු ආරම්භ කරන ලද පර්සි රාජපක්ෂ වාද බයිලා සංගීත කලා ආයතනයට වසර 19කි. මේ සියලු දේ සිහිපත් කරමින් ලක්ෂපතියේ පර්සි රාජපක්ෂ වාද බයිල ගායකයා සංවිධනය කරන වාද බයිලා තරගය හා සම්මාන ප්‍රදානය මේ මස 31 වැනිදා රාත්‍රි 8.00ට මොරටුව මුරවත්තේ පැවැත්වෙයි.

ඔබ බයිලා තරගවලින් දිනලා සම්මාන ගන්නේ බොහොම තරුණ කාලයේ නේද?

මම බයිලා කියන්න පටන් ගන්නේ 1975 වසරේ. මගේ ළඟයි බයිලාවලින් දිනා ගත්ත ලංකාවේ තිබෙන ලොකුම කුසලාන දෙක තිබෙන්නේ. එකක් අඩි තුනයි අඟල් අටක්. ඒ බයිලා ගායනය සංවිධානය කළේ දෙහිවල කරගම්පිටියේ. එහි විනිශ්චය මණ්ඩලයේ හිටියේ අරීසෙන් අහුබුදු සූරීන්. එදා ඒ බයිලා වාද තරගයට සහභාගි වුණේ පරණ වාදබයිලා සූරයකු වූ මරදාන රූබන්, තොටළඟ කුසුමපාල, රත්මලානේ ටී. ඩී. ගුණතිලක, කොම්පඤ්ඤ වීදියේ ආනන්ද තිස්ස, ඒ. සිරි ප්‍රනාන්දු, වසන්ත මදුරාවල, සුමතිපාල පෙරේරා ඇතුළු එකල බයිලා ලෝකයේ නම හෙල්ලූ පිරිසක්. එහි සංගීතය කරන ලද්දේ වොලී බැස්ටියන්. ඔවුන් සියලුදෙනා අතරින් කප් එක ගන්න ලැබුණේ මටයි. ඊට පස්සේ 94 වසරේ පැවැත්වුණු ලොකුම වාද බයිලා තරගය තිබුණේ අඟුලානේ. ඒ කප් එකේ උස අඩි 5යි. හරියටම මගේ උස. ඒ කප් එකත් මා දිනුවා. ඊට පස්සේ මා ඇතුළු කිහිපදෙනකුට වාද බයිලා සඳහා විදේශ ගත වීමට අවසර ලැබුණා.

ඔබ වාද බයිලා ගයන්න කැමැත්තක් දක්වන්නේ කුමන කාලයක පටන් ද?

ඒ කාලයේ මඟුල් ගෙවල්වල තිබුණේ පැදුරු සාජ්ජයක්. අපේ අයියා කෙනකු වුණු වික්ටර් ජයසිරි ඒ පැදුරු සාජ්ජවලට ගිටාර් ප්ලේ කළා. ඒ යන විට සින්දු ගයන්න ඔහු මාවත් එක්කගෙන ගියා. ඒ කාලයේ මම පුංචි කොල්ලෙක්. සින්දු කියලා අවසානයේ ඒ මංගල උත්සවවල වාද බයිල දෙන්නෙක් ඇවිත් වාද බයිලා ගයනවා. මේ වගේ සහභාගි වුණු එක් අවස්ථාවකයි අඟුලානේ එම්. එච් ප්‍රනාන්දු කියන බයිලාකරුවා හඳුනා ගැනීමට ලැබෙන්නේ. එක්තරා අවස්ථාවක ඔහු මට ආරාධනාවක් ගෙනෙනවා. ඒ බයිලා තරගයක් පැවැත්වෙන බවත්, එහි පැමිණ බයිලා ගයන්න කියලත්. මේ වන විටත් මම හිටියේ බයිලා ගයන්න බොහොම කැමැත්තෙන්.

ඔබ ඒ ආරාධනාව පිළිගන්නවා?

කල්දෙමුල්ලේ කරුණාදාස කියලා සාමාන්‍ය විදියට බයිලා ගයන ගායකයෙක් සිටියා. ඔහු ළඟට ගිහින් මා විස්තරය කියලා ඉල්ලුවේ බයිලා ගයනා ටිකක්. ඔහු මට බයිලා ගායනා ටිකක් දුන්නා.

එහෙම ඉල්ල ගත්ත බයිලාවලින් බයිලා ගයන්න පුළුවන් ද?

ඒ විදියට ඉල්ල ගත්ත බයිලා ගායනා කරමින් දිගින් දිගටම බයිලා ගයන්න බැහැ. අනිවාර්යයෙන් වාද බයිලා ගායකයකු නම් හිටි වන කවි කිවීමේ හැකියාව තියෙන්න ඕනෑ. ඒ අවස්ථාවට උචිත විදියට ගොතලා කියන්න ඕනෑ. ඒ ගෙතුම මගේ ඇඟේ තිබුණු දෙයක්. ඒ බයිලා කියන්න ගිහින් මම දින්නා. මේ දිනුමත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ මගේ ඇඟට බයිලා ගැයීම පුරුදු වුණා. ටික ටික මට විවිධ වැඩවලට කතා කළා.

එකල ඔබගේ ගුරුවරයා වන්නේ ප්‍රසිද්ධ බයිලා ගායකයෙක්?

මිල්ටන් අයියයි මාව කොම්පඤ්ඤ වීදියේ ආනන්ද තිස්ස නම් බයිලා ගුරුතුමාට භාර දෙනවා. එතැන් පටන් මා ඔහු යටතේයි බයිලා ගයනා පුරුදු පුහුණු වන්නේ. ඒ වගේ ම අපේ පරම්පරාව හඳුන්වන්නේ සක්විති පරම්පරාව නමින්.

බයිලා සක්විති පරම්පරාව පැවැත එන්නේ කාගෙන් ද?

බයිලා සක්විති විදියට හඳුන්වන්නේ එම්. එස්. ප්‍රනාන්දු අයියා. ඔහුගේ ගෝලයා මිල්ටන් අයියා. මිල්ටන් අයියාගේ ගෝලයා ආනන්ද තිස්සයි. ඒසිරි ප්‍රනාන්දුයි. ආනන්ද තිස්සගේ ගෝලයා මමයි. මම වගේ ම සරත් කුමාරත් ඔහුගේ ගෝලයෙක්. අපි සියල්ලන්ගේ එකමුතුවෙන් සැදුණු සක්විති පරම්පරාවටයි අප අයත් වන්නේ. එහෙමත් නැත්නම් එම්. එස් පරම්පරාව කියලත් අපට කියනවා. තවත් පරම්පරාවක් තිබෙනවා. ඒ සිරිවර්ධන පරම්පරාවයි.

ඒ පරම්පරාව වෙනත් එකක් ද?

පවුලිස්, වසන්ත, සුමතිපාල කියන්නේ සිරිවර්ධන පරම්පරාවේ අයයි.

එම්.එස් පරම්පරාවත් අනෙක් අයත් අතර තිබෙන විශේෂ ලක්ෂණ මොනවා ද?

තවමත් එම්. එස් පරම්පරාව වැටිලා නැහැ. අදත්, හෙටත් බයිලා තරගයක් තිබුණොත් ඒක දිනන්නෙත් එම්.එස්. පරම්පරාව තමයි. මම කාට ඉගැන්වුවත් ඒ අයව අයත් වන්නේ එම්.එස්. පරම්පරාවටයි. චක්‍රවත්ති පරම්පරාවටයි.

වාද බයිලා ගයන මොකක් හෝ ක්‍රමවේදයක් තිබෙනවා ද?

වාද බයිලා ලියලා තියාගෙන, පාඩම් කරගෙන ඇවිත් ගයන්න බැහැ. ඒ වෙලාවට අනුව ඉදිරිපත් කරන තර්කවලට, අදහස්වලට ගැළපෙන විදියටයි බයිලා ගයන්නේ. ඒත් බයිලා ගයන තාල තිස්හයක් බයිලා ගායන කලාවේ ඇතුළත්. ඒ තාල අනුවයි ගයන්නේ. ඒක ලෙහෙසි පහසු දෙයක් නොවයි. වාද බයිලයක් ආරම්භ කළාට පස්සේ ඊට පසුවදා දක්වාත් ඒ බයිලා වාදය යන්න පුළුවන්. වාද බයිලා තරගයකදි එක් කෙනෙකුට එක් කෙනෙක් දෙවැනි වෙන්නේ නැහැ. ඒ නිසා මේ කලාව අනෙක් කලාවලට දෙවැනි වන්නේ නැහැ.

බයිලා ගයන විට ඔබගේ කණ්ඩායම් දෙක කලින් සූදානම් වූ කුමක් හෝ කාරණයක් මූලික කරගෙන ද ගයන්නේ?

ඒ අවස්ථාවේ දෙන මාතෘකාවට අනුවයි අප බයිලා ගයන්නේ. දෙන්නෙක් කපිරිඤ්ඤා තාලයෙන් බයිලා ගායනයට පිවිසිලා තිබෙනවා යැයි සිතන්න. ඒකට අපට තිබෙන කාලය තත්පර 16ක කාලයක්. ඒ කාලය ඇතුළත අපි බයිලාව නිර්මාණය කරගෙන එළියටත් දැමිය යුතුයි. ඒකයි මේ බයිල කලාව අපහසු කලාවක් බව මා පවසන්නේ.

ඔබ කලක් විරිඳු බණත් ලිව්වා?

මම නිහඬ රචකයෙක්. ලංකාවේ විරිඳු බණ කලාවේ ඇම්.ඩී. ගුණදාස ගැයූ ‘සිරිලක් විරිඳු බණ’ තුන්සිය පනහක් පමණ මා ලිව්වා. ඔහු ගැයූ ජාතක කතා සියල්ල ලිව්වේ මා විසින්. ඒ කාලයේ තිබුණේ කැසට්. දවසකට මා කැසට් දෙකක් ලියනවා. එක කැසට් එකකට පද එකසිය විස්සක් ලියන්න ඕනෑ.

එදා පටන් මේ දක්වා පැමිණි ගමන් මඟේ කලායතනය ඔබගේ ජීවිතයේ සංදිස්ථානයක්?

එය ආරම්භ කරලා මේ වන විට වසර දහනවයක්. මේ වනවිට ඒ මඟින් බයිලා ගයන ළමයින් හතළිස් පහක් පමණ බිහි වී තිබෙනවා. මේ කලායතනයේ තිබෙන විශේෂ බව වන්නේ මේ බයිලා ගයන්නේ පිරිමි පාර්ශ්වය පමණක් නොවීම. වාද බයිලා ගයන කාන්තාවන් කිහිපදෙනෙකුත් ඉන් බිහි කිරීමේ අවස්ථාව මට හිමි වුණා.

අපේ රටේ කලින් වාද බයිලා කලාවේ නියැළිලා හිටියේ පිරිමි පාර්ශ්වය පමණක් බව මතකයි.

ඔව්. බයිලා ගයන්න කලින් හිටියේ ගායකයෝ පමණයි. ගායිකාවෝ හිටියේ නැහැ. ඒත් මම ඒ පරිසරය වෙනස් කළා. ඒ මගේ කලායතනය මඟින්. මේ වන විට එවැනි ගායිකාවන් හත්දෙනකු පමණ බිහිව සිටිනවා. ඔවුන් අපත් සමඟ වාද බයිල ගායනයේ යෙදෙනවා.

ඔවුන්ගේ වාද බයිලා ගායනවලට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?

අප පැවැත් වූ තරගවලදි පැහැදිලිව පෙනෙන්න තිබුණු කාරණය නම් ඔවුන්ට වැඩි ඉල්ලුමක් තිබෙන බවයි. මේ සඳහා මා මුලින් පුරුදු පුහුණු කළේ මගේ දුවලා දෙදෙනා වන ශෂීරා හා ශිෂාරාටයි. ඊට පස්සේ සරත් කුමාරගේ දූවරු දෙදෙනා වන හර්ෂනී, නුවන්ෂනීවත් ඒ සඳහා පුරුදු පුහුණු කළා. බයිලා ගයන්න කැමැති තවත් කිහිපදෙනකුත් බඳවා ගත්තා. ඒ වගේ ම මගේ දියණියගේ දියණිවරුන් රිතිවි හා පෘථිවිත් දැනටමත් බයිලා ගයනවා. ඉන් බාල මිනිබිරියගේ වයස අවුරුදු හයයි.

මේ උලෙළට සහභාගි වන්නේ කවුරුන් ද?

සමස්ත ලංකා වාද බයිලා සංගමය සමඟ එකතු වෙලයි මා මේ වාද බයිලා ප්‍රසංගය සංවිධානය කරන්නේ. මේ පිරිසට මගේ කලායතනයේ පිරිසත් සහභාගි වෙනවා. සියල්ලන් එකතු වී වාද බයිලා තරගයක් පැවැත් වීමෙන් පස්සේ සම්මාන ප්‍රදානයකුත් කිරීමට නියමිතයි. නිවේදන කටයුතු කරන්නේ සුදර්මන් හෙට්ටිආරච්චියි. මේ කටයුත්ත සඳහා මට උදව් කරන්නේ මොරටුව නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වායි. ඔවුන් ඇතුළු මේ කටයුත්ත සඳහා උදව් කළ සියලු දෙනාට ස්තුති කිරීමට මා අවස්ථාවක් කර ගන්නවා.

වාද බයිලා කලාව මේ මඟින් පරපුරෙන් පරපුරට ලබා දීමටයි ඔබ අදහස් කරගෙන සිටින්නේ?

මේ කලාව අපෙන් පසුව පැවැතිය යුතුයි. ඒ සඳහා අප සමඟ කටයුතු කිරීමට කැමැති ඕනෑම කෙනකුට කලායතනයට ඇතුළත් විය හැකියි. ඒ සඳහා වයස අවුරුදු හතළිහයි උපරිමය වන්නේ. එවැනි ඕනෑම අයකුට 078- 8955311 යන දුරකථනයෙන් මා ඇමතිය හැකියි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.