කාන්තා හිංසනය

මම ලසර්දාගෙන්ම පෙන්වනවා
අගෝස්තු 29, 2019
 හාන්ස් බිලිමෝරියා

 

"ද ලසර්දා හිතු මතයට වැඩ කළ නපුරු මිනිසෙකි. ඔහුගේ සැහැසිකම් කොතරම් දරුණු වී ද යත්, සිංහලයන් හා මුස්ලිම්වරුන් පමණක් නොව, පෘතිගීසිහු ද, නොයෙක් විට එය පිළිකුල් කළ හ. ප්‍රතිකාල් දෙව්ගැති කුටිඤ්ඤෝ පියතුමා විශේෂයෙන්ම ලසර්දා පිළිකුල් කළේය. ද ලසර්දා වැඩ බැලීම කළ නිලමක්කාරයෙකි. කොළොම්තොට නියම ආණ්ඩුකාර පදවිය ලද්දේ, ලොපෝ ද බ්‍රිටෝ නම් සෙන්පතියකු විසිනි. කොළොම්තොට කොටුවක් තනා ගැනීමට සෑහෙන පිහිටක් ලබනු වස්, ගෝවේ ප්‍රතිරාජයා වෙත ගූඪ මන්ත්‍රණයකට ගිය යථෝක්ත ආණ්ඩුකාරයා විසින් ස්වකීය අනුපස්පිතියෙහි දී හිතු මනාපයට අමුතු කිසිවක් නොකරන ලෙස මේ උප සෙනෙවියාට වෙසෙසින් නියම කරන ලදී. එසේ වුව, ද ලසර්දා එය නොතකා නොයෙක් නොපණත්කම් කළේය."

 

ඩබ්ල්යූ. ඒ. සිල්වා විසින් රචිත විජයබා කොල්ලය නව කතාවේ මෙරට පෘතුගීසි ජාතික නිලධාරියකු වූ ‘ද ලසර්දා’ හඳුන්වා දෙන්නේ මෙලෙසිනි. දශක ගණනාවකට පසු මෙම නවකතාව රූ ගැන්වී රිදී තිරයේ දිග හැරී ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය සිනමා නිර්මාණයේ ද ලසර්දාගේ චරිතයට පණ පොවන්නේ හාන්ස් බිලිමෝරියා විසිනි. පරාක්‍රම ජයසිංහගේ කේ සෙරා චිත්‍රපටයේ බිලීගේ චරිතයට පණ පෙවූ හාන්ස් වසර කිහිපයකට පසුව ද ලසර්දා ලෙසින් මෙලෙස අප හමුවට පැමිණ සිටියි.

‘‘මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ විජබා කොල්ලය චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබීම ගැන ලොකු සතුටක් දැනෙනවා. මගේ දෙවැනි සිනමා රංගනය ලෙස එහි ද ලසර්දා නම් චරිතයට පණ පෙවීමට අවස්ථාව ලැබුණේ. එය මගේ රංගන දිවියේ සුවිශේෂි අත්දැකීමක්.’’

 

චරිතයට ආරාධනා ලැබෙන්න පෙර ඩබ්ල්යූ. ඒ. සිල්වාගේ විජයබා කොල්ලය නවකතාව කියවා තිබුණාද?

චරිතය ලැබෙන්න පෙර නම් ඩබ්ල්යූ සිල්වාගේ විජයබා කොල්ලය නවකතාව කියවා තිබුණේ නැහැ. චරිතය වෙනුවෙන් ආරාධනා ලැබුණාට පසුව නවකතාව පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. චිත්‍රපටයේ පිටපත ලැබුණාම එයත් හොඳීන් කියවා තේරුම් ගෙන චරිතයට ප්‍රවිශ්ට වුණා.

 

ඔබේ නම සමඟ ඔබත් පෘතුගීසි ජාතිකයන්ට නෑදෑකම් කියනවා වගේ?

මම උපත ලැබුවේ ලංකාවේදීයි. මම ශ්‍රී ලාංකිකයි. අපි හැමෝම මිශ්‍ර ජාතිකයන්. අපේ මිත්තණියගේ පාර්ශවයෙන් එහෙම නෑකම් තියෙනවා. පවුලේ අතීත තොරතුරු අනුව කපිතාන් කෙනෙක් විදියට ආව කෙනෙක් ගැනත් කියෙවෙනවා. හැබැයි ඔහු නම් ද ලසර්දා වගේ නෙවෙයි කියලා මම හිතනවා.

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණය?

නාට්‍ය ශිල්පියෙක් විදියට මම බොහෝ අධ්‍යක්ෂවරු සමඟ කටයුතු කර තිබෙනවා. ඒ අතරේ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ආචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණය හොඳීන් දැනුණා. අපට රංගනය වෙනුවෙන් නිදහස ලබාදීම මා ඔහුගෙන් දුටු විශේෂම ලක්ෂණය යි. යම් අවස්ථාවක අපි වැරදි නම් ඔහු අපි නිවැරදි කරනවා මිසක් මොනම අවස්ථාවකදීවත් රංගනය බලෙන් ගන්න උත්සාහ කළේ නැහැ.

 

විජයබා කොල්ලය ඔබේ දෙවැනි සිනමා රංගනයයි. සිනමාවට වඩා ඔබ වේදිකාවට ගොඩක් සමීපයි?

මම වේදිකාවේ ගොඩක් වැඩ කරලා තියෙනවා. මම වේදිකාවට ආවේ පාසල් කාලයේදීමයි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ පාසල් වේදිකා නාට්‍යවලට දායක වුණා. එදා පටන් මේ දක්වාම මම වේදිකාවේ වැඩ කටයුතු කරනවා. ඒ ඔස්සේ රංගනය වෙනුවෙන් ලබන පන්නරය අති විශාලයි. පවුලේ සාමාජිකයන්ගෙනුත් එයට විශාල සහයෝගයක් ලැබුණා. අපේ පවුලේ අයත් වේදිකාවට වගේම සිනමාවටත් ළෙංගතුයි. අම්මයි තාත්තයි අපි පුංචි කාලයේ පටන් නිතරම වේදිකා නාට්‍ය, චිත්‍රපට නරඹන්න එක්කරගෙන යනවා. පසුකාලීනව ජීත් පීරිස් වැනි නිර්මාණකරුවන් සමඟින් මෙරට ඉංග්‍රීසි වේදිකාවේ නිර්මාණ රැසකට දායක වීමට අවස්ථාව ලැබුණා. වේදිකාවේ නාට්‍යකාරයෙක් විදියට මේ වගේ චිත්‍රපටකට දායක වීමත් අභියෝගයක්.

 

සිනමාවට අඩු දායකත්වය ලැබෙන්නේ නිර්මාණ තෝරා ගැනීමේ හේතුව ප්‍රධාන කරගෙනද?

මෙහෙමයි, ලැබෙන හැම නිර්මාණයක්ම මම භාර ගන්නේ නැහැ. ඇත්තටම එහෙම කරන්න මට වෙලාවකුත් නැහැ. සියල්ලටම වඩා මූලික වන්නේ අදාළ චරිත මට හරියන එකක් වීමයි. පිටපතක් කියවා චරිතය පිළිබඳ ලබන අවබෝධය අනුව මම මට හරියන චරිත තෝරා ගන්නවා. සිනමා දිවියේදී කේ සෙරා චිත්‍රපටයේ බිලීගේ චරිතය සහ විජයබා කොල්ලය චිත්‍රපටයේ ද ලසර්දාගේ චරිතයත් ඒ වගේ මටම ගැළපුණු චරිත දෙකක්.

 

ද ලසර්දා කිව්වාම ඔහුට හමිදුම්මාත් සුවිශේෂයි?

හමිදුම්මාගේ චරිතයට පණ දුන්නේ චුලක්ෂි රණතුංග. අපේ රටේ සිටින දක්ෂ යොවුන් රංගන ශිලිපිනියක්. ඇය ඒ චරිතය බොහොම අපූරුවට කළා. හමිදුම්මා ලෙස පණ පොවමින් ඇය ලබාදුන් සහයෝගයටත් ස්තූති කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි හේමාල්, අශාන්, සෙනාලි මේ හැමෝමත් ගොඩක් සහයෝගයෙන් වැඩ කළේ.

 

ඔබ වෘත්තිය නළුවෙක් නොවෙයි?

අපි කණ්ඩායමක් එකතුව පවත්වාගෙන යන ආයතනයක් ඔස්සේ ප්‍රජනන හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැඟී සිටීම, මානව හිමිකම් සුරැකීම වැනි සමාජ ක්‍රියාකාරීත්වයන් සිදු කරනවා. ඉතින් ඒ අතරේ මම රංගන කටයුතුවලටත් දායකත්වය ලබා දෙන්නේ විනෝදාංශයක් විදියටයි. විනෝදාංශයටත් වඩා හොඳ අවස්ථාවක් ලැබුණොත් ඒක මඟහරින්නත් කැමැති නැහැ. ඒ නිසා හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන් දායක වෙනවා.

 

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට තියෙන ඇල්ම කොහොමද?

මං ළඟ තියෙන රූපවාහිනියේ නාළිකා වැඩ කරන්නේ නැහැ. මම එය භාවිත කරන්නේ චිත්‍රපට නරඹන්න විතරමයි. ඒ නිසා ටෙලි නාට්‍ය නම් නරඹන්නේ නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇල්මකුත් නැහැ. චිත්‍රපට නරඹන්න සිනමා ශාලාවලටත් යනවා. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ කොහොම හරි නරඹනවා.

 

එහෙනම් ඔවුන් යටතේ රඟපාන්නත් විශේෂ කැමැත්තක් ඇති?

ඒ වගේ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න කවුද අකමැති. කවුරුත් එහෙම අවස්ථා නම් මඟ හරින්නේ නැහැ. නමුත් අපට ලැබෙන චරිතයත් හරියන්න ඕනිනේ.

 

විජයබා කොල්ලය නැරඹූ අයගෙන් ලද ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටය නැරඹූ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. තාම නම් කවුරුත් බැන්නේ නැහැ. මම අපේ ආයතනය සමඟ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩමුළු කරනවා. දැන් ඉතින් ඒවා කොහොම කරන්න ද කියලා හිතෙනවා. හැබැයි මට චිත්‍රපටයේ දර්ශන පෙන්නලාම දැන් විග්‍රහ කරන්න පුළුවන් වේවි.

 

ඉදිරියේදී ඔබ දකින්න ලැබෙන අලුත් චිත්‍රපට මොනවාද?

තවම නම් එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.