කොමඩි රාමුවේ මාව කොටු කළා

සරත් පීරිස්
අගෝස්තු 29, 2019

කම්ටු ගෙදර 
ඊට්ටු ගෙදර 
ගෙට්ටු ගෙදර 
සිග් සැග් සූ . . .

මෙහෙම කියමින් බයිසිකල් රෝදයට හුළං ගහපු කෙනෙක් මීට බොහෝ කලකට පෙර පුංචි තිරයේ ජනප්‍රිය වුණා ඔබට මතක ඇති. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ප්‍රමාද වැඩියි ටෙලි නිර්මාණයේ එදා මෙලෙස දෙබසක් කියමින් පුංචි තිරයේ එක් රැයකින් ජනප්‍රිය වූ සරත් පීරිස් පුංචි තිරයේත්, වේදිකාවේත්, රිදී තිරයේත් රංගනයන් ඔස්සේ පේ‍්‍රක්ෂකයන් වෙත පැමිණියේ විවිධ චරිත රැසක් රඟමින්. බොහෝ විට හාස්‍ය උත්පාදක රංගනයන් ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සරත් පීරිස් මේ වන විට පසු කරමින් සිටිනුයේ තම රංගන ජීවිතයේ හතළිස් වන වසරයි.

මේ දවස්වල වේදිකාවේද? සිනමාවේද? පුංචි තිරයේද ඔබ හමුවන්නේ?

වේදිකාවේ වගේම සිනමාවේත් මේ දවස්වල මම කටයුතු කරනවා. ජීවන් හඳුන්නෙත්ති නිර්මාණය කළ සාරිගැටේ වේදිකා නාට්‍යයේ මම නිහාල්ටත්, ඩාන්සින් ස්ටාර් මිස් නාගිනා නාට්‍යයේ ශාරුක් ඛාන්ටත්, අශෝක සෙනරත් මුදලිගේ නිර්මාණයක් වූ මිස්ටර් බීන් වේදිකා නාට්‍යයේ ඩොක්ටර්ටත් මම රඟපානවා.

ඊට අමතරව උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ප්‍රසිඩන් සුපර් ස්ටාර් චිත්‍රපටයේ පොලිස් නිලධාරියකුට මෙන්ම ආරක්ෂක භටයකුට මා ද්විත්ව චරිතයක් කරනවා. ගින්දරී – 2 චිත්‍රපටයේ පත්තර කන්තෝරුවක කාර්ය සහායකයකු ලෙසින් රංගනයේ නියැළෙනවා.

වසර හතළිහක් පුරාවට ඔබ රංගනයේ නියැළි ගමන් මඟ ගැන තෘප්තිමත්ද?

ඔව්. එත් මාව එක රාමුවක් තුළ අධ්‍යක්ෂවරු කොටු කිරීම ගැන මා තුළ තියෙන්නේ කනගාටුවක්. අදටත් ඒ රාමුව එසේමයි. දුන්නොත් චරිතයක් ඒක කොමඩි.

ඔබ රංගන ශිල්පියෙක් වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ?

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේම මගේ ලොකු ආශාවක් තිබුණා රඟපෑමට. එවක පාසලේ පවත්වපු විවිධ ප්‍රසංගවලදී ඒ සඳහා මාත් ශිල්පීන් සමඟ රංගනයෙන් දායක වුණා. ඒ කෙටි නාට්‍ය සඳහා ගුරුවරුන්ගෙන් වගේම යාළුවන්ගෙනුත් ප්‍රශංසා ලැබුවා.

ඔය අතරේ මගේ පාසල් මිත්‍රයෙක් වගේම කිරුළපන මගේ ගමේ යාළුවෙක් වූ ප්‍රේමදාස හෙට්ටිහේවා මට ආරාධනා කළා ඔහුගේ බහු කෝළං සොහොන් බෙරේ නාට්‍යයේ රඟපෑමට. ප්‍රසිද්ධ වේදිකාවේ මගේ මුල්ම රංගනය වූයේ බහු කෝළං සොහොන් බෙරේ නාට්‍යය. එළිමහන් වේදිකාව තුළ වෙසක් නාට්‍ය සඳහාත් මා දායක වුණා. ඔය අතරේ මගේ මිත්‍රයකු වූ අශෝක සෙනරත් මුදලි දේශ ද්‍රෝහියා නාට්‍යයේ රඟපෑමට මට ආරාධනා කළා. එහි ආරච්චිල චරිතය රඟපෑ මාව ඔහුගේම ‘මෙහෙව් රටේ’ වේදිකා නාට්‍යයේ රඟපෑමට ආරාධනා ලැබීමත් සමඟ මගේ වේදිකා නාට්‍ය රංගන ජීවිතයේ ලොකු පරිවර්තනයක් සිද්ධ වුණා.

ඔබ වේදිකාව තුළ ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ වැලනොකැඩී?

මෙහෙව් රටේ නාට්‍යයේ ගුරු පිස්සා චරිතය සමඟ මට වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් ආරාධනා ගලා ගෙන ආවා. මේ වෙන කොට වේදිකා නාට්‍ය විතරක් එකසිය තිහක විතර මම රඟපාලා ඇති. ගාමිණී සිල්වාගේ රෝමියෝ ජුලියට් නාට්‍යයේ මගේ රඟපෑම් දුටු දයානන්ද ගුණවර්ධන මහතා ඔහුගේ නරිබෑනා, ජසයා ලෙන්චිනා ආදී නාට්‍ය සඳහා මාව සම්බන්ධ කර ගත්තා. මේ අයුරින් මාව එක් එක් නිර්මාණකරුවන් අතරේ ජනප්‍රිය චරිතයක් වුණා.

මේ අතරේ ඔබ සම්මානයට පවා පාත්‍ර වෙනවා?

1978 හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ලේ කඳුළු දහදිය නාට්‍යයේ මා උසාවියේ තෝල්කයා ලෙසත් බෲටන් ලෙසත් ද්විත්ව චරිතය රඟපෑවා. එහිදී මා රඟපෑ බෲටන් චරිතය වෙනුවෙන් මට සම්මානය හිමි වුණා.

වේදිකා නාට්‍ය රැසක රංගනයන් ඉදිරිපත් කළ ඔබේ වඩාත් පෙම් බඳින වේදිකා නිර්මාණ හා චරිත මොනවාද?

සිකුරු යුද්දේ - ෂෙවකින්, දෙව්ලොව යනකං - බූරුවා, මෙහෙව් රටේ – ගුරු පිස්සා, පැංස දෙකේ හංසයා - දෙවියා, සාරි ගැටේ – නිහාල්, ලේ කඳුළු දහදිය – බෲටන් හා තෝල්ක, ඩාන්සින් ස්ටාර් මිස් නාගිනා - ෂාරුක් ඛාන්, ආයිත් ඉතිං හෙට – පාසල් ශිීෂ්‍යා.

පුංචි තිරයේත් ඔබ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා?

මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය වුණේ දයානන්ද ගුණවර්ධනගේ දෙන්න දෙපොළේ ඒකාංගික ටෙලි නාට්‍යය. ඊට පස්සේ මට රූපවාහිනියේ ටෙලි නාට්‍ය රාශියකට එක පිට එක දායක වෙන්න ලැබෙනවා. ලොක්කේ මාමා, හත්පණ, සරුංගලය, නෑදෑයෝ, පළවෙනියා සහ දෙවැනියා, කතන්දර පිටුව, ගමන, ප්‍රමාද වැඩියි, සඳගලතැන්න, අන්දර වැට, සත්සර රංගන ආදී ටෙලි නාට්‍ය පණහක පමණ මට රඟපාන්න අවස්ථාව උදා වුණා.

අසූව අනුව දශකයේ ඔබ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්?

ලොක්කේ මාමා, ගමන, ප්‍රමාද වැඩියි, අන්දරේලා, හත්පණ, අපූරු වංගෙඩිය, අපුරු ගම ආදී ටෙලි නිර්මාණවල මා කළ චරිත ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳ ගත්තා. අදත් සමහරු මම ලොක්කෙ මාමා, ප්‍රමාද වැඩියි නාට්‍යවල කියපු දෙබස් කියලා සතුටු වෙන අවස්ථාත් ඕනෑ තරම්.

සිනමාවට ඔබේ දායකත්වය ලැබෙන්නේ බොහොම අඩුවෙන්?

මම සිනමාවට ආසා වුණත් මම ආස කරන චරිත මට ලැබුණේ නැහැ. ආරියරත්න විතානගේ අධ්‍යක්ෂණය කළ අතුරු මිතුරු චිත්‍රපටයේ තමයි මුලින්ම රඟපෑවේ. ඊට පස්සේ බහුබූතයෝ, ගින්දරී 1 – 2, විශ්මය, ටක් ටික් ටුක්, සෙලීනාගේ වලව්ව, ප්‍රසිඩන් සුපර් ස්ටාර් ආදී චිත්‍රපට කීපයක රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

ඔබ චිත්‍රපට නර්තන ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා?

මම රඟපෑ මෙහෙව් රටේ වේදිකා නාට්‍යය නැරැඹූ චිත්‍රපට නැටුම් අධ්‍යක්ෂවරයකු වූ රෝලන්ඩ් ප්‍රනාන්දු මහතා ඔහු නැටුම් අධ්‍යක්ෂණය කළ රන්මිණිමුතු සිංහල චිත්‍රපටය සඳහාත්, නාන් උන්ගල් කෝලන් දෙමළ චිත්‍රපටය සඳහාත්, රිවර් ඔෆ් ද ගි‍්‍රඩ්කැමා ඉංග්‍රිසි චිත්‍රපටය සඳහාත් මාව චිත්‍රපට නැටුම් ශිල්පියකු ලෙස සම්බන්ධ කර ගත්තා.

රංගන මාධ්‍ය ත්‍රිත්වය ගත්තොත් ඔබ වඩාත් ළෙන්ගතු මොන මාධ්‍යයටද?

ආයේ වචන දෙකක් නෑ වේදිකාව. මාගේ උපත සිදු වුණේ වේදිකාවේ. වේදිකාව තරම් සජීවී මාධ්‍යයක් තවත් නැහැ. වේදිකාවට රඟපාන්න එනකොට අපිට ඕනේ අතුරු සිදුරු නැතුව පිරිල ගිය ප්‍රේක්ෂකාගාරයක්. එතකොට තමයි අපිට රඟපාන්න ආශ හිතෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අපිට ඒ මොහොතේම අත්විඳින්න ලැබෙන්නේ. මම අත්දැකීමෙන් දන්නවා රංගන ශිල්පියෙකුට රංගනය ඉගෙන ගන්න තියෙන හොඳම මාධ්‍ය වේදිකාව කියන එක.

එදා සේම අදත් ඔබට රඟපෑමට ආරාධනා තියෙනවාද?

අද සමහර තරුණ අධ්‍යක්ෂවරු සහය අධ්‍යක්ෂවරු අපිව දන්නෙත් නැතුව ඇති. එදා අපිට හොඳ පිළිගැනීමක් තිබුණා. ඒත් අද කාලය විසින් මේ හැම දෙයක්ම වෙනස් වෙලා. අපිව හම්බ වුණාම මූණට කියනවා ගොඩක් කාලෙකින් දැක්කේ, නාට්‍යයක් කරන්නත් යනවා. මම ඒකට ඔයාව ගන්නම් කියලා. ආයේ දවසක හමු වුණාම කියනවා මට අර කිව්ව දේ අමතක වුණානේ. ඒක මම හදිස්සියේම කළා කියලා. ඔය වගේ රැවටිලි නම් ඕනෙ තරම්.

චරිත ඉල්ලගෙන යන නළුවෙක් බවට අද ඔබ පත් වෙලාද?

නෑ. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රාජකාරි කළේ. ඒ රාජකාරි කාලය තුළ නිවාඩු තියෙන පිළිවෙළට මම රඟපෑම සිද්ධ කළා. අද මම විශ්‍රාමිකයි. දැන් මට පූර්ණකාලීනව කලාව වෙනුවෙන් කැප වෙන්න පුළුවන්. මගේ කලා ජීවිතය තුළ කිසිම දවසක මම කාගෙන්වත් චරිත ඉල්ලලා නැහැ. එහෙම මම චරිත යදින්නෙක් වුණා නම් අද මම ලංකාවේ තියෙන හැම ටෙලිවිෂන් නාළිකාවකම මගේ මූණ නිතර දකීවි.

රාමුගත රංග භූමිකාවෙන් එතෙර වෙන්න ඔබට අදහසක් නැද්ද?

අදහස නම් හොඳයි. ඒත් එතෙර වෙන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑනේ. මාව ගන්න හැම කෙනාම කොමඩි කියන රාමුවට තමයි මාව කොටු කරන්නේ.

එදා රඟපෑමයි අද රඟපෑමයි වෙනස් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මොකද නැත්තේ, අද ඉන්නේ දවස් පඩියේ නළුවෝ නිළියෝනෙ. එදා අපිට චරිතයක් ලැබුණේ පිටපතත් එක්ක. අද රඟපාන්න ගියහම සහය අධ්‍යක්ෂ ඇවිත් කියනවා පිටපත අරගෙන මෙන්න මේ වගේ චරිතයක්, මෙන්න දෙබස් ටික කියලා. ඔන්න ක්ෂණික ටෙලි නාට්‍යය. එදා අපි රඟපෑවේ රිහසල් කරලා තමයි ටේක් එකට ගියේ. අද කෙළින්ම ටේක් එකට. ඒකනේ එදා ටෙලි නාට්‍යවලට අදත් ප්‍රේක්ෂකයෝ කැමති. අද නිර්මාණශීලී බවට වඩා තියෙන්නේ මුදල් හෙවීමේ අදහස. මෙතනදි අපි කොච්චර හොඳට රඟපෑවත් රංගනය පිළිබඳ අත්දැකීම් ලබලා තිබුණත් අපිත් අර බෝට්ටුවේ ගමන යනවා. මොනවා කරන්නද?

යන්නන් වාලේ යන බෝට්ටුවේ ගමන ගැන බියක් නැද්ද?

මර බියක් තියෙනවා. හැම දේකම කඩා වැටීමක් තමයි දකින්න තියෙන්නේ. සුක්කානම අතේ තියෙන රියදුරු හරියට වාහනය පාරේ ගෙනිච්චොත් අපි කාටත් ගමන ගිහින් එන්නත් පුළුවන් වෙයි. එහෙම නොවුණොත් මුළු කලා ක්ෂේත්‍රයම මෙහෙම ගියොත් ප්‍රපාතයට වැටිලා විනාශ වෙයි.

19/3ඒ, මඩපාත පාර, කොළමුන්න, පිළියන්දල සරත් පීරිස්ගේ ලිපිනයයි.

ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.