පැණි කුරුල්ලෝ හදන කැදැල්ලේ වරුවක්“

අගෝස්තු 29, 2019

නවීන පන්නයට නිමවුණු නිවෙසේ ගේට්ටුව තිබුණේ වැසූ අයුරින් ය. මා පෙර මඟ බලා සිටියේ ඒ ගේට්ටුවේ දොරෙන් සුදු හාමිනේගේ මුහුණ එබෙනා තුරු ය. තත්පර කිහිපයක් ගිය තැන ගේට්ටුව විවෘත විය. එහෙත් ඉන් එබුණේ සුදු හාමිනේගේ මුහුණ නොවේ. තරුණ යුවතියකගේ මුහුණකි. ඈ මට නිවෙසට පැමිණෙන්නැයි ඇරැයුම් කළා ය. මම නිවෙසෙට ඇතුළු වීමි. එවිට නම් මා ඉදිරිපසට පැමිණියේ මා බලාපොරොත්තුව සිටි සුදු හාමිනේ ය. ඇගේ උවන සරසන සුපුරුදු සිනහව තවමත් එහෙමම ය.

“දැන් මට උදව්වට දයා ඉන්නවා.”

මා පෙර මඟට පැමිණි යුවතිය පිළිබඳ සඳහනක යෙදෙමින් ඈ පැවැසුවේ මිණි කිංකිණි සිනහව නංවමිනි. එහෙත් සුදු හාමිනේට නම් වූයේ එවැනි සිනහවක් නොවේ. ඈ ගැමි හුරුවට හැදුණු ගැහැනියකි. මේ ගැමි ගැහැනිය මගේ සිත ගත්තේ මීට වසර 12කට පමණ පෙර ය. ඒ එකල ජාතික රූපවාහිනියේ විකාශය වූ සහන් විජේසිංහ නිෂ්පාදනය කළ ‘සුදු හාමිනේ’ ටෙලි නාට්‍යයේ උන් සුදු හාමිනේ ය. ඒ ‘සුදු හාමිනේ’ ටෙලි සිත්තම එකල මෙරට ටෙලි සිත්තම් නැරැඹූ බොහෝ නරඹන්නන්ගේ මනසේ වෙනස්ම අදහසක් සටහන් තැබූ නිර්මාණයකි. ඒ නිසා ම ජන මනසේ තැන් පත් වූ ජීවිතය ජයගත් සුදු හාමිනේ නම් ඒ ගැහැනියගේ චරිතයට පණ පෙවූ ඈ හා ඈව පුංචි තිරයට ගෙනා ඔහු සොයා මම කලකට පසුව ඇගේ නිවෙසට ගොඩවැදුණෙමි. ඒ ගයනා සුදර්ශනී හා සහන් විජේසිංහගේ කැදැල්ලට ය.

සුන්දර ලෙස සැරැසුණු ඈ දුටු විගස තවත් චරිතයක් මගේ මතකයට පිවිසියේ ඉබේ ය. ඒ මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 9.00ට විකාශය වන ‘පැණි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ රාජිකා නම් මැරවර ගැහැනියයි.

“ගොඩක් වෙලාවට පාතාලයේ රජ කරන්නේ පුරුෂයෙක්. ඒත් ‘පැණි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ ඒක වෙනස් වෙනවා. එතැනදි පාතාලය මෙහෙය වන්නේ ගැහැනියක්. ඈ රාජිකා. ඈ වටායි මේ කතාව ගලාගෙන යන්නේ. ඈ පාතාලය මෙහෙය වන්නේ සාමාන්‍ය පැල්පතක ඉඳගෙන නොවෙයි. රජ මැදුරක ඉඳගෙනයි. ඒ මොන දේවල් කළත් ඈ ඇගේ දියණියට පණ වගේ ආදරෙයි. එක් පැත්තකින් දරු සෙනෙහසත්, අනෙක් පැත්තෙන් පාතාලයත් මෙහෙයවමින් දෙපැත්ත සමාන කරගෙනයි ඈ ජීවිතය ගෙන යන්නේ. සැමියා මියගියාට පස්සෙයි ඈ පාතාලයේ නායිකාවක් බවට පත් වන්නේ. අද විකාශය වන ටෙලි නාට්‍ය අතරින් වෙනස්ම විදියේ කතා තේමාවක විකාශය වන ‘පැණි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර නම් අසීමිතයි. මේ දවස්වල මාව නරඹන්නන් හඳුනා ගන්නේ රාජිකාගේ චරිතයෙන්. ඔවුන්ට ඒ චරිතයේ නම පවා මතකයි. ඒ තරමටම ‘පැණි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යය මිනිසුන්ගේ හදවත්වලට ළං වෙලා තිබෙනවා.”

රාජිකා නොහොත් ගයනා සුදර්ශනී මේ චරිතය නිරූපණයෙන් බොහෝ සේ සෑහිමකට පත්ව සිටින බව අපට පෙනෙයි. ‘පැණි කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට අමතරව ඇය පසුගිය දිනවල කලා නිර්මාණ කිහිපයකට ම රඟපෑමෙන් දායකත්වය දැක් වූවා ය. ඒ ‘මොනරවිලක්’ චිත්‍රපටය සඳහා ය. ඈ වඩාත් කාර්යබහුල වී සිටින්නේ ‘පැණි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් දිගින් දිගටම කෙරෙන නිසා ය. සහන් විජේසිංහ සිය ආදරණීය සැමියාගේ හා ඇගේ නිෂ්පාදනයක් වූ ‘පැණි කුරුල්ලෝ’ ටෙලි සිත්තම නිසා ඇගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු අතපසු වී ඇත්දැයි සැකයකි.

“අපි දෙන්නාම කලා ක්ෂේත්‍රයේ නියැළෙන නිසා කාර්යබහුල බව ඇත්තයි. ඒත් මේ හැම දෙයක් ගැනම දෙන්නටම අවබෝධයක් තිබෙන නිසා දෙන්නත් එක්කම ගෙදර කටයුතුත් සමබරව කරගෙන යනවා. මට ගෙදර කටයුතුවලට ඉන්නවා සහායිකාවක්. ඈ දයා. ඇගෙනුත් උදව් ලබාගෙන ගෙදර කටයුතු හා අපේ නිර්මාණ කටයුතුත් සමබරව කරගෙන අපි දෙන්නා සතුටින් ඉන්නවා.”

ගයනා සුදර්ශනීට ප්‍රතිචාර ලැබෙන්නේ රාජිකාට පමණක් නොවේ. මේ දවස්වල තිරගත වන ඈ රඟපෑමෙන් සහභාගි වූ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ දේවකී නම් සාස්තරකාරියගේ චරිතය ද බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ චරිතයකි.

“දේවකීගේ චරිතය චිත්‍රපටයේ වරින්වර මතු වුණත් ඈ ප්‍රධාන චරිතයක් තරමටම චිත්‍රපට නරඹන්නන්ගේ මතකයට එක්වෙලා. ඒ චරිතය ගැන මට සතුටුයි. මගේ රසිකයන් ඇතුළු මේ චිත්‍රපටය නැරැඹූ අය පවා මගේ චරිතය ගැන ෆේස්බුක් එකේ කතා කරලා තිබුණා. අජිත් ගලප්පත්ති වගේ විචාරකයන් පවා මට කතා කරලා මගේ රඟපෑම ගැන අගය කළා. ඒ චරිතය මඟින් චිත්‍රපටයට ලැබුණු ආලෝකය ගැන කතා කළා. මම රඟපෑමට කැමැත්තක් දැක් වූ අධ්‍යක්ෂවරයකුයි සුනිල් ආරියරත්නයන්. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමට ලැබීමත් මට සතුටක්. මට මේ අවස්ථාව ලැබෙන්නේ බුද්ධි කීර්තිසේනයන් නිසා. ඔහු කිව්ව නිසයි මේ චරිතයට මට සුනිල් ආරියරත්නයන් කතා කළේ. පිටපත ලැබුණාට පස්සේ ඒක කියෙව්වා. ඒ චරිතය අවබෝධ කර ගැනීමේදි සුනිල් ආරියරත්නයන්ගෙන්, සහය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය හා කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගෙන් ලැබුණු සහයෝගය මෙහිදී මා සිහිපත් කළ යුතුයි.”

මේ විදියට විවිධ නිර්මාණ කටයුතුවලට සමහර විටෙක ගයනා සහභාගි වුවද ඔවුන් නිර්මාණකරණයේ යෙදෙන්නේ එක්තරා පිළිවෙළකට ය. එක්වර එක දිගටම නිර්මාණවල නියැළීම මේ දෙදෙනාගේ පුරුද්ද නොවේ. ඔවුන් ‘පැණි කුරුල්ලෝ’ නිෂ්පාදනය කරන්නේ ද වසර තුනකට පසුව ය. ඒ ගැන අදහස් දැක්වීමට ගයනා අසලට ළං වූයේ ඔහු ය. ඇගේ ආදරබර සැමියා සහන් විජේසිංහ ය.

“ටෙලි නාට්‍යවලට තියෙන රේටින් ගැන නම් මට විශ්වාසයක් නැහැ. ඒක පට්ටපල් බොරුවක්. කොහොම වුණත් අපට ලැබෙන ප්‍රතිචාර බොහොමයි. අද මම මගේ කකුලේ අමාරුවට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගියා. ඒ යන අතර මඟදි දොස්තර ගාවට වෙලාවට යන්න ලැබුණේ නැහැ. දිගටම ‘පැණි කුරුල්ලෝ’ නරඹන මිනිස්සු ඒ ගැනයි අහන්නේ. ඒ වගේ ම ළඟදි අපි මළදෙරටකට ගියා. දේහය බලන්න කලින් අපිව හඳුන ගෙන එක එක්කෙනා පින්තූ ගන්න පටන් ගත්තා. අවසානයේ ඒ අතර පෙට්ටිය වැහුවා. අපට දේහය බලාගන්න ලැබුණේ නැහැ. ඒ වගේ ප්‍රතිචාර මේ නාට්‍යයට ලැබෙනවා. මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සිවා. කිසිම නිර්මාණයක් නොකර ඉන්න වෙලාවක සිවගුරුනාදන්මයි ඇයි ඔහොම ඉන්නේ සහන් නාට්‍යයක් කරමු කියලා යෝජනා කළේ. රසික සුරවීරආරච්චියි මේ පිටපත ලිව්වේ. අපි තුන්දෙනාම අපේ ගෙදර ඇවිත් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන්ම මේ ගැන සාකච්ඡා කළා. එහෙම තමයි මේ නාට්‍යය හැදුණේ. සිවා මට කිව්වේ මේ නිර්මාණයේ සල්ලි ලැබෙන තුරු මට සතපහක්වත් එපා. හැබැයි ඔයා කැමැති ගණනක් මට දෙන්න. මම ඒ දෙන දේ සතුටින් භාර ගන්නවා. අපි වැඩේ කරන්න පටන් ගනිමු කියලා. ඔහුගේ ඒ අදහස අනුව මට මේ නිර්මාණය කරන්න පුදුම මොරාල් එකක් ආවා. සිවාට ඒ ගෞරවය දෙන්න මම කැමැතියි. ඔහු අනෙක් අයට වඩා වෙනස් කෙනෙක්. නිෂ්පාදකවරයා ගැන හිතන අධ්‍යක්ෂවරු ඉතා අඩුයි. ඒ අය අතර ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඉන්නේ අංක එකටයි.”

ඔබ නරඹන ‘පැණි කුරුල්ලෝ’ නිෂ්පාදනය වන්නේ එහෙම ය. ඒ කුමන දේවලින් දෙදෙනාම කාර්යබහුල වුවද දෙදෙනාගේ සෞඛ්‍ය පිළිබඳ සිතන්න ද ඔවුන් අමතක කර නැත.

“අපි දෙන්නා සෞඛ්‍ය ගැන බොහොම සැලකිලිමත්. ඒ නිසා ම කෑම බීම වගේ ම ජිම් එකටත් යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේ ම අපි දෙන්නා කොයිතරම් වැඩ තිබුණත් සරලව, සැහැල්ලුව, සතුටින් ඉන්නයි කැමැති. බොහෝ වෙලාවට අපේ ගෙදරට කවුරු හෝ කට්ටියක් එකතු වෙනවා. එතකොට පැදුරු පාටියක් තියලා සින්දු කියන්න අමතක කරන්නේ නැහැ. එයා කොහොමත් ලස්සනට සින්දු කියනවා. එයාගේ ජීවිතේ වැඩිහරියක් මූලික අංගයක් වෙලා තියෙන්නේ සංගීතය. මේ මොනවා දේවල් කළත් හැබැයි සහන්ට එයාගේ කෑම ටික නම් රසට ඕනෑ. කිරිබත්, ඉදිආප්ප තියෙනවා නම් දවසේම වුණත් ඒ දෙකම කාවි. ඒ තරමටම ආසයි. පොලොස් මාලුවටත් ආසයි. ඒ වගේ ම එයාගේ ඇඳුම් - පැලඳුම් ලස්සනට, පිළිවෙළට තියෙන්න ඕනෑ. සපත්තු දෙක, ඔරලෝසුව, මේස් දෙක පවා හැම දෙයක්ම සහන්ට බොහොම ලස්සනට තිබිය යුතුයි. ඒක මම හිතන්නේ ක්ෂේත්‍රයේ අයත් දන්න කතාවක්. අපි දෙන්නා දවස ආරම්භ කරන්නේ ලොකු වතුර වීදුරුවක් බීලා. ඒ නිසා ලොකු ලොකු දේවල් අපි දෙන්නා ළඟම නැහැ. සරලව ඉන්නයි කැමැති.”

සරල බව මෙන්ම සැහැල්ලු බව රැඳුණු ගයනා - සහන් කැදැල්ලේ නිතරම ඇසෙන්නේ සුමිහිරි ගීතයක පදවැල් ය. ඒ සහන් බෙහෙවින් සංගීතයට කැමැත්තක් දක්වන නිසා ය.

“සංගීතයට බොහොම කැමැතියි. ඒත් අද තිබෙන සින්දුවලින් අහන්න පුළුවන් කිහිපයක් පමණයි. නව පරපුරේ ඉන්න ගායක - ගායිකාවන් ගිරිය ගඩාගෙන කෑගහලා, හොටු හූරගෙන අඬලා කියන සින්දුනේ අද කියන්නේ. එදා අපි සින්දු අහන කොට ගායකයා ඇඬුවේ නැහැ නේ. ඒත් ඔවුන් ඒ ගී ගයලා රසිකයා ඇඬෙව්වා. අද ගායකයා අඬනවා. රසිකයා හිනාවෙනවා. ඒක තමයි වෙනස”

සහන් විජේසිංහ පවසන්නේ සංගීතයට ප්‍රිය කරන රසිකයකු ලෙසිනි. කියන්න තියෙන දේ කෙළින් කියන ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ සාධාරණ ලෙස ජීවත්වීමට ය. සාධාරණ ලෙස ක්‍රියා කිරීමට ය. එහෙත් ඔහුට තරමක් කේන්ති යන බවක් හැඟෙයි.

“සහන්ට පොඩි දේකට වුණත් කේන්ති යන බව ඇත්තයි. ඒත් කේන්ති ගියත් ඒ වෙලාවෙම ඒක ඉවරයි. හිතේ තියාගෙන ඉන්නේ නැහැ. වැඩක් කළොත් ඒ වැඩේ හරියටම තියෙන්න ඕන. කෙළින් කතා කරනවා. කියන්න තියෙන දේ කෙළින් කියන කෙනෙක්. මේ නිසාම සමහර අය හිතන්නේ සහන් හරිම ආඩම්බරයි කියලා. හැබැයි එයාව ආශ්‍රය කරද්දි ඒ කිසිම කෙනෙක් එහෙම කියන්නේ නැහැ. ඒ තරමටම එයා සංවේදියි. අනුන්ට උදව් කරනවා. බොහොම හොඳ කෙනෙක්.”

ගයනා සහන්ගේ ගති ස්වභාවය ගැන පවැසුවා ය. ඒ සහන්ගේ හැටි ය.

“ගොඩක් අය කරන්නේ හොඳට කතා කරලා යනතුරු ඉඳලා බණින එකයි. මම එහෙම නැහැ. ඕනම කෙනකුට ඕනම දෙයක් කියනවා. ඕන ලොක්කෙකුට වුණත් ඒක එහෙමමයි. ඒත් මම ඒ කිව්ව දේ හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒක එතැනින් අවසානයි.”

කුඩා කල සිටම සහන්ගේ පුරුද්දක් තිබිණි. ඒ සෑම පොතක ‘පොල්ගස්ඕවිට’ කියන නම ලිවීම ය. ඒ නමට ඔහුගේ සිතේ තිබුණේ පුදුම කැමැත්තකි. ඒ නමට තිබුණු කැමැත්ත නිසාදෝ මන්දා ඔවුන්ට නිවෙස තැනීමට ඉඩමක් ලැබුණේ ද පොල්ගස්ඕවිට ප්‍රදේශයෙනි.

“ගෙයක් දොරක් හදා ගන්න හීනෙකින්වත් හිතේ තිබුණේ නැහැ. ඒකට මූලික වුණේ මගේ නෝනා. ඈ මගෙන් අහිංසක ඉල්ලීමක් කළා. ගෙයක් හදලා දෙන්න කියලා. ඒ අතර තැනක් බැලුවා. හරි ගියා. ගෙදර ඉදි වුණා. මෙතන හරිම සැහැල්ලුයි. නිදහස්. ඒත් ඉතින් මේ කිසිම දෙයක් අපි යන කොට අරගෙන යන්නේ නැහැ. ඔක්කොම දාලා නේ යන්නේ. එහෙම කියලා කිසිම කෙනකුට තියලා මැරෙන්න මම කැමැතිත් නැහැ. කාට හරි මේ දේවල් බන්දේසියක දාලා පිරිනමන්නත් මම කැමැති නැහැ. මේවා අපි මහන්සියෙන් හම්බ කරගත් දේවල්. ඒ හින්දා අපි දෙන්නා බලා ගන්න කවුරු හරි හිටියොත් එයාට මේ දේවල් අපි දෙනවා. නැත්නම් මේ දේවල් විකුණලා අනාථ නිවාසයකට අපි යනවා.”

ඔවුන් දෙදෙනාගේ තීරණය එයයි. ජීවිතයේ ස්වභාවය තේරුම් ගෙන කටයුතු කරන ඔවුන්ගේ කැදැල්ලේ ගෙවුණු කාලය හෝරා කිහිපයකි. ඒ ඔවුන්ගේ සුහද කතබහ අතරේ ය. ඒ කතාබහට නැවතීමේ තිත තබමින් මම මේ නිවී සැනසෙන පරිසරයක වෙසෙන ගයනා - සහන් දෙපළට ආයුබෝවන් කීවෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.