ෂෙහානි

බොලිවුඩ් වීඩියෝවකට
සැප්තැම්බර් 5, 2019

 

සුජාතා ටෙලි සිතුවමේ සුජාතා ලෙස රඟමින් සිටි රංගන ශීල්පිනිය එම චරිතයෙන් ඉවත් වූ පසු ඒ වෙනුවට ආදේශක නිළියක් සොයා ගැනීමට එම නාට්‍යයේ නිෂ්පාදන කණ්ඩායමට සිදු විය. එතැන සිටි කාගේ හෝ කෙනෙකුට ෂෙහානි කහඳවලව මතක් වුණේ එවිටය. ඒ වන විටත් ඇය ගීත රූප රචනා කිහිපයකටත් දෙරණ නාළිකාවේ නිවේදිකාවක ලෙසටත් සිය හැකියාව ලබා දෙමින් සිටියාය. ෂෙහානිගේ පළමු ටෙලි සිතුවම වූයේ චාමර පීරිස්ගේ ඇසිඩ්ය. සුජාතා නාට්‍යයේ සුජාතාට දෙවැනි වර පණ දෙන්නට ෂෙහානි එකඟ විය. ඉන් ඈ ලැබුවේ ඉමහත් වූ ජනප්‍රියත්වයකි. අද ද ඇය සමහරු හඳුන්වන්නේ සුජාතා නමිනි.

 

 

ත ෂෙහානි ඉතා දිගු කලක් ඔබ නිහඬව සිටියා?

ඔව්, අන්තිමට රඟපෑවේ සඳපිනි වැස්ස නාට්‍යයේනෙ.

 

ත මෙදා සැරේ ඒ නිහඬ බව බිඳින්නේ මොන වගේ නිර්මාණවල රඟපාමින්ද?

රොමේෂ් සුගතපාල අයියගෙ අලුත්ම මියුසික් වීඩියෝවෙ රඟපෑවා. ඒකෙ නම මිහිරාවි. තව විශේෂම කාරණයක් තියෙනවා. මට හින්දි සින්දුවක වීඩියෝවක රඟපාන්න ලැබුණා. මේ මාසෙ ඒක රිලීස්. රාජ්දීප් චැටර්ජි කියන බොලිවුඩ් ගායකයා තමයි සින්දුව කිව්වේ.

 

ත සුජාතා නාට්‍යයේ ඉවත් වූ නිළියගේ ප්‍රතිපූර්ණයට ඔබට කතා කරන්නෙ. දෙවතාවක් හිතුවේ නැද්ද එහෙම චරිතයක් කරන්න?

නැහැ. මං ඒ වෙලාවෙ කල්පනා කළේ මේ චරිතය කළාම මට ලැබෙන වාසිය කුමක් ද කියලා. ඇත්තටම මං එන කාලෙ. එහෙම තියෙද්දි මේ වගේ ප්‍රධාන චරිතයකට කතා කළාම අත හරින්නට බැරි වුණා. නාට්‍යයට ගියාට පස්සෙ අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්නගෙන් බැණුම් ඇහැව්වා. අඬපු අවස්ථාත් තියෙනවා. ඒ හැම දෙයක්ම ඉවසීමෙන් විඳ දරාගෙන හිටියේ මට එතැනින් අත්දැකීම් ගන්න පුළුවන් බව දන්න නිසයි.

ත ඔබට ලැබෙන සෑම චරිතයක්ම ඔබ බාර ගන්නේ නැහැ. මොනවද ඊට හේතු?

එකක් මූල්‍යමය ගැටලු. මං රංගන කලාවේ වටිනාකම අඩු කර ගන්නේ නැහැ. මේකට හරි මිලක් තියෙන්න ඕන. තමන්ම හදාගත්තු නමත් එක්ක කියන්න පුළුවන් මිලක් තියෙනවානෙ. අපි ඒවා පහතට දමන්න අවශ්‍ය නැහැ කියන මතයේ මං ඉන්නවා. ඒ වගේම සමහර නාට්‍යවලට ගිහින් මාස කිහිපයක් ගමක නැවතිලා ඉන්න ඕන. මට එහෙම ඉන්න බැහැ. මගේ අම්මව බලාගෙන ඉන්නෙ මං විතරයි. ඇයව දාලා දුර නාට්‍යවලට යන්න බැහැ.

 

ත ඔබ ආඩම්බරකාර චරිතයක් කියලා සමහරු කියනවා?

මා මං ගැන ආඩම්බරයි. ඔබ ඔබ ගැන ආඩම්බර වෙනවා වගේ මං මං ගැන අඩම්බරයි. වෙන ආඩම්බරකමක් නැහැ.

 

ත ඔබ විරාමයක් ලබා ගනිමින් රඟපාන්නේ ඇයි? කාලෙකදි ඔබ පේන්නත් නැහැ?

එහෙම තමයි නිළියක් වුණාම. නිතර පේන්න ඉන්න අවශ්‍ය නැහැ. අවුරුද්දට බාර ගන්නේ එක නාට්‍යයද ඒක හරියට කරන්නයි මගේ අදහස.

 

ත ඔබ රඟ නොපා ඉන්න කාලය තුළදී ඕනෑ තරම් ක්ෂේත්‍රයට ඔබේ පරපුරේ නිළියෝ එනවා. ඒ අය ඔබට අභියෝගයක් නොවේද?

අභියෝගයක් නම් තමයි. ඒ මොහොතවල්වලට මං දැනගන්න ඕන මගේ සැඟවුණු දක්ෂතා මඟින් හැකියාව පෙන්වන්න. සමහරුන්ට තියෙන දක්ෂතා මට නැහැ. මට තියෙන දේවල් ඔවුනට නැහැ. අන්න ඒ හැකියාවෙන් ඒ කියන්නේ හිඩ්න් ටැලන්ට්ස්වලින් ප්‍රයෝජනයක් ගන්නවා නම් කාටවත් කවුරුවත් අභියෝගයක් නෙවෙයි.

 

ත ෂෙහානි මේ වන විට පෙම්වතියක්ද?

පෙම්වතියක් වෙලා හිටියා. දැන් නැහැ.

 

ත ක්ෂේත්‍රයේ අයගෙන් විවාහ යෝජනා එනවා ඇති?

ඔව්. හැබැයි ඒවා විවාහ යෝජනාද කියලා සැකයි.

 

ත එහෙනම් ඒවා අයුතු යෝජනාද?

එහෙම තමයි බොහෝ විට. කතා කරගෙන එද්දි මං දන්නවා මේ මොකාටද එන්නේ කියලා. අයියේ මට ඔයා මගේම අයියා කෙනෙක් වගෙයිනෙ කියලා ෂේප් වෙනවා.

 

ත ෂෙහානිගෙ ගම කොහෙද?

කඩුවෙල.

ත ඉගෙන ගත්තු පාසල?

මුණිදාස කුමාරතුංග විදුහල, බෝමිරිය.

ත උපන් දිනය?

පෙබරවාරි විසි හතර.

ත ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

දඟ, ඉක්මනින් තරහා යන ගායනයටත් දක්ෂ කෙනෙක්.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.