ජගත් චමිලගේ ගෙදරට

'වාසි ගොඩයි'
සැප්තැම්බර් 5, 2019

 

රාස්සිගේ අව්දැල්ල මොරටුව නගරය හැමතැනම විසිර ගොසිනි. වරින්වර කඩා හැලෙන වැස්සක ලකුණු ඈත අහසේ දිස් වෙයි. ජනාකීර්ණ නගරයේ පදික වේදිකාවේ නිතරම ගැවසෙමින් සෑම දිනෙකම සතියේ දිනවල රාත්‍රි 9.30ට අපේ නිවෙස වෙත ඔහු පැමිණෙන්නේ සිනහ මුසු මුහුණෙනි. ඔහුගේ මුවඟින් කියැවෙන එක් අනිවාර්ය වචන කිහිපයකි.

 

“වාසි ගොඩයි.”

කරත්තයක් තල්ලු කරමින් විවිධ තොරොම්බල් විකුණමින් ජීවිතය ගෙන යන්න ඔහු ගන්නා තැත මගේ සිහියට නැඟෙයි. මා මේ පදික වේදිකාවට වී බලාගෙන සිටියේ ඒ උත්සාහවන්ත තරුණයා පදික වේදිකාවේ එහා කොණෙන් මතු වන තුරු ය. මේ වන විටත් විනාඩි කිහිපයක් ගත වී අවසන් ය. වේගයෙන් දිවෙන රථපෙළ අතර මම මගේ දෑස රැඳෙව්වෙමි. මා ඉදිරිපස නතර වූයේ මෝටර් රථයකි. ඔහු සිටියේ එහි ය. තල්ලු කරගෙන යන අත් කරත්තය වෙනුවට අද ඔහුගේ අත රැඳීි ඇත්තේ ස්ටියරින් වීල් එකකි. එහි උන් කුඩා දියණියෝ හා පුතණුවෝ මා දෙස ම බලාගෙන සිටිති. මම වාහනයට ගොඩවැදුණෙමි.

 

“මේ දවස්වල වාසි ගොඩ ද?”

මම ඔහුගෙන් විමසුවේ රථයට ගොඩ වූ පසුව ය. ඒ උත්සාහවන්ත තරුණයා මෙන්ම වර්තමානයේ තිබෙන ආර්ථික ප්‍රවාහයේ ගමන් කරන මිනිසුන්ගේ ස්වභාවය කියාපාන චරිතයකට පණ පොවන ඔහු ජගත් චමිල ය. මේ දවස්වල කා අතරත් ජනප්‍රිය ඔබ කවුරුත් දන්නා ඉමිටේෂන් චරිතය මඟින් ඔහු අප අතරට පිවිසෙන්නේ කාගේ වුවද හදවත ඇද බැඳ තබා ගනිමිනි.

“මේ දවස්වල රූපවාහිනිය නරඹන්නන් අතර තිබෙන හොඳ නාට්‍යයක් ‘නෝපාකින්’ කියන්නේ. මෙහි ටෙලි නාට්‍යය පිටපත ලියන්නේ අසංග සායක්කාර. තිළිණ බොරලැස්සයි මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මේ නිර්මාණයේ මට තියෙන්නේ වෙනම සෙග්මන්ට් එකක්. ගිහාන් ප්‍රනාන්දු වෙනම සෙග්මන්ට් එකකින් දායක වෙනවා. අපේ ඉසුරු සහ ඩබ්ලිව්. ජයසිරි ඇතුළු අනෙක් නළු නිළියන් වෙනම පැත්තකින් මේ නිර්මාණයට එකතු වෙනවා. මෙන්න මේ විදියටයි ‘නෝ පාකින්’ දිග හැරෙන්නේ. නෙතලි නානායක්කාර වෙනම චරිතයක් කරනවා. මේ චරිතවලට කැමැති අකැමැති දෙපිරිසක් ඉන්නවා. හැබැයි පොදුවේ ගත්තට පස්සේ මේ නාට්‍යය හොඳම නාට්‍යය කියලා මං කියන්නේ නැහැ. ඒත් මේ නාට්‍යය හොඳට විඳීන්න පුළුවන්. මේ සමාජයේ අද වන විට බොහොම ආතතියෙන් වැඩ කරන ශ්‍රම දායකත්වයකුයි අපට තිබෙන්නේ. ශ්‍රමය සපයන සෑම කෙනෙක්ම එය පෞද්ගලික ද රජයේ ද කියලා නැහැ. ඔවුන් සියලු දෙනාම ඉන්නේ මානසික ආතතියට ලක් වෙලා. ඒ පිරිස අතර මමත් ඉන්නවා. ඒත් මේ නාට්‍යය ඒ මානසික ආතතිය නිදහස් කරනවා කියන කාරණය මට අහන්න ලැබුණේ රූපවාහිනිය නරඹන්නන්ගෙන්. ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ නාට්‍යයේ මා රඟපානවා. රූපවාහිනිය නරඹන්නන්ගෙන් ලැබෙන ජනප්‍රසාදයත් සමඟ අපට හැඟෙන්නේ ඔවුන්ට පවුලේ සියලු දෙනා සමඟම එකට එකතු වී නරඹන්න හැකි නිර්මාණයක් කාලයකට පසුව පැමිණ ඇති බවයි. එවැනි නිර්මාණයකට සතුටින් රංගන දායකත්වය ලබා දීමයි මා මේ දවස්වල සිදු කරන්නේ. මා වගේම අනෙක් නළු නිළියන් වුණත් මෙහි රංගන දායකත්වය දක්වන්නේ බොහොම සතුටින්.”

ඔහු ගමනාන්තයට පැමිණ තිබේ. ඒ මොරටුවේ මොරටුමුල්ල පිහිටි ඔහුගේ නිවෙස වෙත ය. මෝටර් රථය නවතන හඬ ඇසී අප ඉදිරිපසට පැමිණියේ මධූ ය. එනම් පියුමි උත්පලාය. ජගත් චමිලගේ බිරිය වීමට පෙර ඈ අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රීගේ දියණියයි.

මධූව මට මුණ ගැසුණේ මීට වසර අටකට පමණ පෙර ය. එකල ඔවුන්ගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තා වූ මෙහි සිටින පුතණුවන් ඉපදී මාස කිහිපයක් ගත වූවා පමණි. අලුත් අමුත්තාගේත්, එකම දියණියගේත්, ජගත් චමිල ඇතුළු සියල්ලන්ගේ සැප දුක සොයන අටියෙන් අප එහි පිවිසි අයුරු මට අද වගේ මතකය. අද වන විට ඔවුන් දෙදෙනා දැනුම් තේරුම් ඇති වැඩුණු දරුවන් දෙදෙනෙකි. ලොක්කී වෙනුරි කිනාරා ය. පොඩ්ඩා පන්සිළු පවන් ය.

“ඕලෙවල් වෙනකම් මං පාසල් ගියේ ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමයට. පසුගිය දවස්වල මා උසස් පෙළ සඳහා දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ උසස් පෙළ ගණිතය අංශයෙන් හදාරන්නයි.”

ලොක්කී පාසල් කටයුතු කරගෙන ගිය ද රඟපෑමට හොර ය. ඒත් ඈ රඟපානවාට ජගත් චමිලගේ අකැමැත්තක් නැත.

“දුවව රඟපෑමට යොමු කරන්න ඕන. පසුගිය කාලයේ නම් දුවට ඒ සඳහා නිර්මාණ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. ඒත් ඕලෙවල් ලිව්ව නිසයි ඒ නිර්මාණවලට දායකත්වය දැක්වූයේ නැත්තේ. ඉදිරියේදී ඈට ඒවාට සහභාගි විය හැකියි.”

දියණියගේ හැකියාව ගැන දන්න අනෙක් කෙනා විදියට මධු පවසන්නේ සිය දියණියගේ ඉදිරි කටයුතු පිළිබඳ ය.

“දුව සාමාන්‍ය පෙළ ඉතා විශිෂ්ට සාමාර්ථ ලබා ගත්ත දරුවෙක්. ඒ නවයක් එයාගේ ප්‍රතිඵල.”

තාත්තා කෙනකුට තවත් ආඩම්බර වීමට කාරණා කුමකට ද? දියණිය පිළිබඳ කියන ජගත්ගේ මුහුණේ රැඳුණු සතුට කියාපාන්නේ එවැනි කාරණයක් ම නොවන්නේ දැයි මට හැඟිණි. නිවෙසේ දුව පැන නටන දඟයා පොඩ්ඩා පන්සිළු ය.

“මම ඉගෙන ගන්නේ ශාන්ත සෙබස්තින් විද්‍යාලයේ 6 ශ්‍රේණියේයි ඉන්නේ. චාමර ජයවීර මාමාගේ ‘අල්තාරය පාමුල’ නත්තල් නාට්‍යයෙයි මම මුලින්ම රඟපෑවේ. තාත්තාත් එක්ක චිත්‍රපටයක මුලින්ම රඟපෑවේ ලලිත් මාමාගේ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’යි. මුලින්ම නම් මම හිතාගෙන හිටියේ ගායකයෙක් වෙන්නයි. ඒත් දැන් ඒ අදහස වෙනස්.”

ඔවුන් දෙදෙනා හැම විටම ඉන්නේ එකටම ය. නූලත් ඉදිකටුවක් මෙන් වූ ඔවුන් අධ්‍යාපන කටයුතුවලට අමතරව සිය මවට නිවෙසේ කටයුතුවලට සහාය වන්නේ බොහෝ කැමැත්තෙනි.

“පාසල් කටයුතුවලට වගේම ගෙදර කටයුතුවලදිත් මේ දෙන්නා මට සහය වෙනවා. මට කිසිම කරදරයක් ඇත්තේ නැහැ. දෙන්නාගේ වැඩේ එක එක කෑම හදන එක. දුව විවිධ කෑම හදන පර්යේෂණ කරන්න දක්ෂයි. චීස් කොත්තුව දුව හදන ප්‍රියතම කෑමක්.”

මධූ එසේ පවසන විට ජගත් චමිල මතක් කර දෙන්නේ ඒ වෙලාවෙහි පුතුගේ ක්‍රියාකලාපයයි.

“අක්කට මල්ලි උදව් වෙන්නේ හදන කෑම කාලා. එයා ඉතින් ඒ කෑම කන්න දක්ෂයා”

තාත්තාගේ වචන ඇසෙන විගසම ඔහු අම්මාගේ ඇඟේ වෙලෙන්නේ සැඟවීමට සිතාගෙන මෙන් ය. ඒ අතර ඔහු දුවගෙන ගොස් රැගෙන එන්නේ ගිටාරයකි. ගිටාරය වයන්න වෙනුරි වගේම පන්සිළු දක්ෂ ය. දුව ගිටාරය වයයි. පුතා අත ඇත්තේ කොංගෝවයි. ඒවා වයා ඔවුහු ගී ගයති.

“සී සීකඩ විසිරුණු සිතිවිලි

දිය බුබුළේ නළියන පෙණ කැටි වාගේ

නැතිවෑ

හුදකලාව තනීවී සිටියම

සිහින ආකරේක වැටුණා වාගේ

නිමක් නෑ.....”

ඔවුන්ගේ මියුරු ස්වරයට ජගත් චමිලත් අලගු තබයි.

“මට ඕන කළා සංගීතය කියන දේ මේ දෙන්නගේ ජීවිතයේ සාමාන්‍ය එකක් බවට පත් කරන්න. මම එච්චර සංගීතය සම්බන්ධයෙන් අති දක්ෂයෙක් නොවෙයි. එහෙම වුණත් ඔවුන් දෙන්නට ඒ අධ්‍යාපනය ලබා දෙන්න මට වුවමනා වුණා. ඒ සඳහා මා ඔවුන්ව ගුරුවරුන් වෙත යොමු කළා.”

මේ කුමන දේ කළ ද ජගත් චමිල විවේකයක් ලද මොහොතේ නිරත වන්නේ නිවෙසේ කටයුත්තක ය. මේ කතාබහ අවසානයේ ද ඔහු සිය නිර්මාණවලට යෑමට පෙර නියැළීමට අදහස් කරන්නේ ද එවැනි කටයුත්තක ය.

“බොරු නැතුව තමන්ගේ වැඩ තමන්ම කරගන්න පුරුදු වෙන්න ඕනෑ. මාන්නක්කාරකමට ඉන්නවට වඩා එවන් පුරුදු ජීවිතයට තිබිය යුතුයි. විදේශ රටවල තමන්ගේ වැඩ කරගන්නේ තමන්මයි. මෙහේ අයට තමයි තමන් ළඟ වැටිලා තිබෙන ඇඳුම අරන් තියන්නත් වෙන කෙනක් වුවමනා වෙන්නේ. ඒවා මේ ක්‍රමවේදය ඇතුළේ මිනිස්සු හදාගෙන තිබෙන බොරු දේවල්. ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ අපි ළඟ මාන්නය තිබෙන නිසා. ඒ මාන්නය වෙනස් කර ගන්න ඕන නම් ඒකටයි අපේ දහම තිබෙන්නේ.”

ජගත් චමිල දහමට බෙහෙවින් ළැදි අයෙකි. එය සංසාරගත පුරුද්කත් ලෙස ය ඔහු දකින්නේ. ඔහු දහම කුමක්දැයි සොයයි. ඒ අනුව සිය ජීවිතය හැඩගස්වාගෙන ඇත. ඒ කුමක් කළ ද ඔහු සිය නිර්මාණ ජීවිතය වඩා ගරු කරන රංගන ශිල්පියෙකි.

“මේ දවස්වල මම තවත් නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. ඒ ‘පාස්පෝට්’ කියන චිත්‍රපටයට. ඒක කලින් වැඩ පටන් ගත්ත චිත්‍රපටයක්. යළිත් එහි වැඩකටයුතු ආරම්භ කළා. පසුකාලීනව පැවැති මිල සූත්‍රය නිසා ඇති වුණු කඩාවැටීම් නිසයි මේ නිර්මාණය අතරමඟ නතර වුණේ. ඒත් ඒ සියලු දේ මඟ හරිමින් ඒ නිර්මාණවල නිර්මාණකරුවන් ඔවුන්ගේ උත්සාහයෙන්, ධෛර්යනේ ඒ මඟෙන් ගොඩඑන්න උත්සාහ ගන්නවා. එහි ප්‍රතිඵලයක් මතයි යළිත් ‘පාස්පෝට්’ වැඩ ආරම්භ කරන්නේ. එයට අමතරව අපට හිටපු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්තයාගේ ‘ශ්‍රී සිද්ධ’ චිත්‍රපටයේ හඬකැවීම් අවසන් කළා පමණයි. අනෙක් කටයුතු කරමින් යනවා. දර්ශන රුවන් දිසානායකගේ ‘ගොවි තාත්තා’ චිත්‍රපටයේත් වැඩකටයුතු අවසන් කළා. ලලිත් රෝහිත එදිරිසිංහගේ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ චිත්‍රපටයෙත් වැඩ අවසන් වුණා.”

මේ කුමන කටයුතුවල නිරත වුවද ජගත් චමිල වේදිකාව කිසිම දිනෙක අතහැර ගත් නළුවකු නොවේ. ඔහු සක්‍රීය ලෙසම වේදිකාවේ රැඳී සිටියෙකි. කුමන වැඩකටයුත්තක නිරත වුවද ඔහු වේදිකාව අමතක නොකළේය.

“මේ දවස්වල මම කාර්යබහුල වුණා නම් ඒ වේදිකාවත් සමඟයි. එදා ඉඳන්ම මා වේදිකාවේ ඉන්නවා. මට තෝරා ගැනීමක් කරන්න තියෙන එකම මාධ්‍යය වේදිකාවයි. වේදිකාව මගේ ජීවිතයේ පිවිතුරුම ස්ථානයක් විදියටයි මා තබාගෙන ඉන්නේ. මොකද මගේ සියලු ශිල්ප හැදෑරීමට හා සියලු ශිල්ප පෙන්වීමට තියෙන එකම තැන. ඒ වගේම මගේ මතවාදවලට, වගේම පරමාදර්ශී අදහස සමාජගත කරන්න තිබෙන එකම තැන වේදිකාවයි. ඒ නිසා ඒක මා කිළිටි කරගන්නේ නැහැ. මේ දවස්වල අකිල සපුමල්ගේ ‘මඟුල් කපුවා’, ‘පුළුවන් නම් අල්ල ගන්න’ වේදිකා නාට්‍යවලට දායකත්වය දක්වනවා. සරත් ඉන්දිකගේ නාට්‍යයකට කතා කරලා තිබෙනවා. අංසක සායක්කාරගේ ‘සංගදාසගේ චූටි කලිසම’, චාමික හත්ලහවත්තගේ ‘මකරට’, ‘රජා මං වහලා’ චාලක රණසූරියගේ ‘මාරක ළිඳේ සවාරියක්’ වගේ නිර්මාණත් තවම වේදිකා ගත වෙනවා. මේ සියලු කටයුතු අතර මා කාර්යබහුල තමයි. ඒ වුණත් මේ වැඩත්, සාමාන්‍ය වැඩත් කරගෙන, බෙදා හදාගෙන සරල විදියට සමබරව කරගෙන යනවා.”

මේ සියලු දේ කරන්න ඔහුට සහාය වන තැනැත්තිය අන් කවුරුත් නොවේ. ඔහු බෙහෙවින් ආදරය කරන ඈ දයාබර මධූ ය. ඇගේ සහයෝගය නොවෙන්න ඔහුට මේ කිසිවක් පිළිවෙළකට කරගැනීමට නොහැකිය.

“මා කරන අනෙක් නිර්මාණ කටයුතුවලිනුයි නිවෙසේ කටයුතු දුවන්න අවශ්‍ය මුදල් උත්පාදනය වන්නේ. ඒදේ තේරුම් අරගෙන ඉන්න නිසා ඈ දරුවන්ගේ සියලු කටයුතු සොයා බලමින් ඒ අයව හොඳීන් බලා කියා ගන්නවා. මම හොයන්නේ සීමිත මුදල් ප්‍රමාණයක්. ඒ මුදල්වලට අසීමිත වටිනාකමක් එයාගේ පැත්තෙන් වෙනවා. ඒක මිල කරන්න බැහැ. අම්මා කෙනක් විදියට එයාගේ පැත්තෙන් වෙන සේවයට මිලක් නියම කරන්න බැහැ. එහි නියම ප්‍රතිඵල අප අද විඳීනවා. පවුලක් කියන කාරණයේදී අප විඳීන සතුට රැඳී ඇත්තේ ඒ සියලු කාරණා මතයි. ඒ වගේම අපි ළඟම ඉඳන් නිතරම උදව් කරන සුජාතා හා සහන් දෙදෙනාවත් මතක් කළ යුතුයි.”

ඔහුගේ ජීවිතයේ සතුට රැඳී ඇත්තේ සිය කැදැල්ලේ ය. ඒ නිසා ය ඔහු විවේකයක් ලද සෑම මොහොතකම සිය කැදැල්ලේ රැඳෙන්නේ. ඒ සතුට පිරුණ කැදැල්ලට සුබපැතුම් එක් කරමින් මම ඔවුන්ට සමු දුනිමි.

 

 

 

Comments

praneetha (තහවුරු වී නොමැත)
Jayawewa Jagath Chamila,
සඳු, 09/09/2019 - 20:50

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.