නැතිබැරියාව කියනවට වඩා

පුළුවන් විදියට පුළුවන් දේ කරමු
සැප්තැම්බර් 5, 2019

හේමාල් රණසිංහ

 

අප සිටින්නේ කලාලයේ ගේට්ටුව අසලයි. අපද නැටවෙන තරමේ වේගරිද්ම ගීතයක් කන වැකේ. හෙමින් සීරුවේ ප්‍රධාන දොරටුව අසලට ළං වී එබී බලමු. තරුණයෝ පහළොස් දෙනෙක් පමණ නැටුමක් පුහුණු වෙති. හේමාල් අප දකියි. අතක් ඔසවා සුහදත්වය පළ කරයි. මම අභිනයෙන් පවසන්නේ, පුහුණුවීම ඉවර කරන්නකෝ වැන්නකි. ඇත්තෙන්ම මේ මොහොතේ අප දකින්නේ ප්‍රවේගයේ නර්තනයේ යෙදෙන හේමාල් මිස ආදරණීය කතාවක ගායකයා හෝ තාල හි ගුරුවරයා හෝ විජයබා කොල්ලයේ නයනානන්ද නම් නොවේ. මොහොතකට සංගීතය නතර වෙයි. ලද ඉසිඹුවේ ඔහු අප වෙත දිව එයි.

 

 

'අනේ සමාවෙන්න. අනිද්දා ෂූටින්. අවුරුදු හතරකට විතර කලින් නවත්තපු චිත්‍රපටියක ඉතිරි කොටසක් දැන් තමයි ඉවර කරන්න හදන්නේ. ඉතින් මටත් අවුරුදු හතරකට කලින් හිටිය ගාණට වෙනස් වෙන්න වුණා. හරි. හරි. දැන් පුළුවන් අපට කතාකරන්න.' සුපුරුදු සිනාවෙන් යුතුව ඔහු කියන්නේ අපේ සිනමාවේ ස්වභාවය නොවේදැයි මට සිතේ. යළි සංගීතය ඇරඹෙයි. ඉන් ඈතට යා යුතුය. නැතහොත් අපේ කතාවට බාධාවකි. වැහි බීරුමේ හීන් පොද මහ වැස්සකට අත වනන්නාක් මෙනි. රංගන ශිල්පියකුට හා මාධ්‍යවේදියකුට අව්ව වැස්ස බාධාවක්ද? අපි පුටු දෙකක් මිදුලට ඇද ගනිමු. තිලක් ද කැමරාව අතැතිව අප අනුකරණය කරයි. මම කතාව අරඹමි.

 

 ඇක්ෂන් ෆිල්ම් එකක්ද?‍

ඇක්ෂන්මත් නෙවෙයි ලව්, ෆැමිලි වගේ කන්සෙප්ට් එකක යන පවුලේ සියලුදෙනාට බලන්න, සරල වින්දනයක් ලබන්න පුළුවන් චිත්‍රපටයක්. පූජා, උද්දික, ශේෂාද්‍රි එහෙම තමයි මා එක්ක රඟපාන්නෙ.

 

 සරල වින්දනය... සරලව කීවොත් කමර්ෂල්... කැමතිද එහෙම චිත්‍රප‌ට බෙදනවාට?‍

ඇත්තෙන්ම මේ චිත්‍රපට බෙදන විදිහට නම් මම කැමති නැහැ. මේ ලෝකෙ ආර්ට්, කමර්ෂල් කියලා චිත්‍රපට බෙදන්නේ නැහැ. ඒක මේ ලංකාවේ බෙදීමක්. කමර්ෂල් ඇතුළෙ ආර්ට් තියෙනවා. ආර්ට් ඇතුළෙ කමර්ෂල් තියෙනවා. මම නම් ඔක්කොම දකින්නේ එක කුලකයක් හැටියට. ප්‍රේක්ෂකයාට පොදුවේ රසාස්වාදයක් ලබාදෙන්න පුළුවන් නිර්මාණයකට දායක වෙන්නයි මට ඕනෙ. මගේ ඔක්කොම චිත්‍රපට හඳුන්වන්න කැමතිත් එහෙම. ඉතින් ප්‍රේක්ෂකයා තමයි වර්ගීකරණය කරගත යුත්තේ තමන් වින්දනයක් ලැබුවාද නැද්ද කියලා.

 

 ඒත් නර්තන විලාස, කතාවේ ගැඹුරුබව, වට්ටෝරු වගේ දේවල් එක්කත් මේ වෙනස එනවානේ?

මම නම් කියන්නෙ ඒ වට්ටෝරු තියෙන්න ඔ්නා. ඒකෙ තේරුම අනෙක් ශානරවල චිත්‍රපට හැදෙන්න ඔ්නෙ නෑ කියන එක නෙවෙයි. මීට අවුරුදු කීපයකට කලින් ලංකාවෙත් පස්වෙනි මණ්ඩලයක් තිබුණනේ. ඒකට වෙනම ප්‍රේක්ෂකාගාරයකුත් තිබුණා. ප්‍රේක්ෂකයා‌ට කැමති නම් තෝරාගන්න චිත්‍රපටත් තිබුණා. එහෙම විවිධ වර්ගයේ චිත්‍රපට හැදෙන තරමට තමයි කර්මාන්තය ඉදිරියට යන්නෙ. ප්‍රේක්ෂක රසවින්දනය සාපේක්ෂයි. එක චිත්‍රපටයක් හැම දෙනාටම විඳීන්න බැහැනේ.. ඉතින් විවිධ රසයන්ට ගැළපෙන විවිධ කෘති හැදෙන්න ඕනා.

 

 රංගනයත් විවිධයි. කොහොමද ඒ ගැන හිතන්නේ?

රංගනය කියන එක මමත් තාම හොයාගෙන යනවා. ඒ නිසා එය මෙහෙමයි කියලා හඳුන්වාදීමක් කරන්න මට බැහැ. සමහරු කියන්න පුළුවන් රඟපානවා කියන්නෙ රඟ නොපා ඉන්න එක කියලා. මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. තවත් අය කියයි රඟපෑම කියන්නෙ බොරුවක් කියලා. මම ඒක විශ්වාස කරන්නෙත් නැහැ. ඇත්තක් ප්‍රතිනිර්මාණය කිරීම රංගනය කියලා හිතන්න කැමතියි. ඒ ඇත්ත තුළ අපි ඒ මොහොතේ ජීවත් වනවා. මට ඒ්ක ඇත්තක්. රඟපෑම බොරුවක් නම් අපි කොහොමද ප්‍රේක්ෂකයාට ඒක ඇත්තක් කියලා ඔප්පු කරන්නේ. ඒ නිසා රඟපෑම බොහොම සජීවී දෙයක්. තාම මට හරියට අර්ථකථනය කරන්න බැහැ. අතපත ගාමින් හොයනවානේ.. (සිනාසී) අහුවුණ දවසක කියන්නම්.

 අතපතගාමින් යන්න වුණත් කාගේ හරි උදව්වක් ඇතිනේ?

මුලින්ම කියන්න ඕනේ මගේ පවුල් පසුබිමෙන්ම අපි සිනමා රසිකයන්. අපේ දෙමව්පියන් ඒ පරිසරය හදලා දුන්න‌ට මම ස්තූතිවන්ත වෙනවා. අපි පුංචි ළමයි විදිහට මේ පුළුල් තිරයේ දැක්ක හැම චරිතයක්ම හරිම දැවැන්තයි. ඒ හැම චරිතයක්ම මගේ ගමනටත් උදවු වුණා. මම මේ විෂයය පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදෙද්දි එය ප්‍රගුණ කළ හොඳ පිරිසක් මට ඇසුරු කරන්න ලැබුණා. මහේන්ද්‍ර පෙරේරා වගේ රඟපෑම විෂයයක් හැටියට හදාරන, එය අන් අයට බෙදා දෙන අයගේ ඇසුර ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අපි ඔන්සෙට් තමයි ගොඩක් වැඩ කළේ. එක එක අධ්‍යක්ෂවරු, කාර්මික ශිල්පීන් නළු නිළියන් එක්ක අත්දැකීම් වෙනස්. පටන්ගත්ත දවසේ ඉඳන් වතුරකට දාපු ලී කෑල්ලක් වගේ ගල්මුල්වල වැදි වැදි යන ගමනක් තමයි තියෙන්නේ. ඒ වගේම අන්තර්ජාලයෙන් අපට අධ්‍යයනය කරන්න බොහෝ දේ තිබෙනවා. මම ගොඩාක් චිත්‍රපට බලනවා. දැන් ඉරාන චිත්‍රපට ගත්තොත් ලංකාවෙ ඒවාට බොහෝම ආසන්නයෙන් යන ඒ්වා. මම අකමැතියි කියන්න ලෝකෙ චිත්‍රපටයක් නැහැ. මොකද.. සමහර චිත්‍රපට බැලුවාම එහෙම චිත්‍රපට කරන්නෙ ඇයි? චිත්‍රපටයක් නොකළයුත්තේ කොහොමද කියලාවත් හිතන්න පුළුවන්නේ? අනෙක මම ආසයි පුද්ගලයන්ගේ චරිතාපදාන කියවන්න. හැබැයි විශේෂයෙන් එක්කනෙක් නම් කරන්න බැහැ. චිත්‍රපට කර්මාන්තය ඉදිරියට යන්න නම් විවිධ ස්වරූපවල ශිල්පීන් ඉන්න ඕනා. බ්‍රැන්ඩොලා, රාජ් කපූර්ලා, ගාමිණි- ටෝනි - විජලාගේ ඉඳන් ඊට පෙර පසු ලෝකෙ ඕනෑම රටක ඔ්නෑම ශිල්පියෙකුට, ශිල්පිනියකට මම කැමතියි. නම් වශයෙන් කීවොත් සමහර විට ඔබ අහයි අපෝ එයාටත් කැමතිද කියලා. ඔව්. මම එයාටත් කැමතියි. මොකද මගේ මේ මුළු වටපිටාවම, හැම මිනිසෙක්ම, හැම සතෙක්, ගහක් කොළක්මත් මගේ ගමනට, අධ්‍යයනයට අත්වැලක්. ලංකාවේ රංගනය පිළිබඳ පාසල් නෑ. හැබැයි ඔය නැතිබැරියාව කිය කිය ඉන්නවාට වඩා එතනින් එහාට මොකක්ද කරන්නෙ කියන දේ තමයි අපි හිතන්න ඕනෙ. අපට පුළු පුළුවන් විදිහට පුළුපුළුවන් දේ කරන්නයි අවශ්‍ය.

 

 ලෝකේ චරිතාංග නළුවන් ඔවුන්ගේ චරිත වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරනවා. බාහිර ස්වරූපය පවා වෙනස් කරගන්න. අපේ ජනප්‍රිය උදාහරණය විරාගයේ අරවින්ද?

 

මම මෙහෙම කියන්නම්කෝ‍. මගේ චිත්‍රපට ටික බැලුවාම ඒ හැම චිත්‍රපටයකදීම අපි අභ්‍යන්තරයෙන් විතරක් නෙවෙයි බාහිර පෙනුමෙන් පවා කැප වෙන්න ඕනා. වේශ නිරූපණයෙන් කරන වෙනස්වීම්වලට වඩා වෙනස් හැඩහුරුකම්, පෙනුම, චර්යාවන් ගන්න මම උත්සාහ කළා. ඒවා කොයිතරම් සාර්ථකද කියල ප්‍රේක්ෂකයන් තමයි තීරණය කරන්න ඕනා. මම දන්නවා ඊට වඩා තවත් දේවල් කරන්නත් පුළුවන් කියලා. දැන් වුණත් මම මේ චරිතය වෙනුවෙන් බර අඩු කරලා ඉන්නේ. එළියෙදි රසිකයන් අහනවා මොකද මේ ඇදිලා ගිහිල්ලා, අසනීපයක්ද, තමන්ගැන බලාගන්නෙ නැද්ද එහෙම කියලා. ඒවා අහලම ඇතිවෙන වෙලාවකුත් තියෙනවා. හැබැයි හිත යටින් තෘප්තියක් තියෙනවා මම කරන දේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා. හැබැයි ලංකාවේ එහෙම කැපවීම් කරන්න හරි අමාරුයි. විරාගය කරන කාලේ වගේ සිනමාවක් තිබුණා නම් මම හරි කැමතියි. ඒත් හිතන්න මේ මොහොතේ මම කරන්නේ අවුරුදු හතරකට කලින් කළ චරිතයක ඉතිරි කොටස. එතකොට නළුවෙක් හැටියට මම කොයිතරම් අපහසුවකට පත්වෙනවාද? ඒ අවුරුදු හතරෙදි මම බාහිර හා අභ්‍යන්තර වශයෙන් කොයිතරම් වෙනස්වෙලාද? එතකොට චරිතයක තියෙන රංග වක්‍රයට (කැරැක්ට ආර්ක්) ඒක කොයිතරම් බලපානවාද? නිකං වැඩේ කරලා සල්ලි අරන් ගෙදර යනවා නෙවෙයිනේ අපි. චිත්‍රපටය බලන්න එන අයට සාධාරණයක් කරන්න එපැයි. ඉතින් පහුගිය ටිකේ නොකා නොබී එදා බාහිර ස්වරූපය ගන්න නම් කැප වුණා.

ඒත් අභ්‍යන්තරය? අනෙක එක චරිතෙකට ඇඟ මහත් කරගෙන ෂූට් කරලා බාගෙට නතර කරනවා. තවත් චරිතෙකට කෙට්ටුවෙන්න කීවාම ඒක කරන්න එපැයි. හැබැයි මම මල්ටි ටාස්කිං මිනිහෙක් නෙවෙයි. එක වැඩක් අස්සෙ තව වැඩක් කරන්න පුළුවන් දක්ෂයෝ ඇති. හැබැයි මම එක චිත්‍රපටයක් කරද්දි තව එකක් දාගන්නේ නැහැ. මොකද ඒ චරිත දෙක දෙකක්. වෙනම නාඩියක්. ඉතින් කැප කරන්න බැරි ශිල්පීන් කියලා කෙනෙක් අපේ රටේ නැහැ. හැමෝම ඒකට සූදානම්. ඒ නිසා මම හිතන්නේ චිත්‍රපටයක් එකදිගට රූපගත කිරීම තමයි සාර්ථක. අනෙක ඇග්‍රිමන්ට් එකක් අස්සන් කරද්දි කියන දේවල් ඒ විදිහටම කෙරෙනවා නම් තමයි කැප කිරීම් කරන්න පුළුවන්.නැත්නම් අපි කොහොමද පවතින්නෙ. ආයෙත් අපි ඍණාත්මක දේවල් කතා කරනවාද මන්දා. කරන්න බැහැ කියන දේ කියන්න මම කැමති නැහැ. හැබැයි නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා නම් හොඳයි. මොකද මගෙත් තියෙනවානේ මාසේ බිල් ටිකක් ගෙවන්න.

 

 අපේ සිනමාව තුළ නළු නිළියන්ට ලැබෙන වටිනාකම මදි කියලයි සමහරු කියන්නෙ?

 

මමත් තාම හොයනවා කොහොමද ඒ වටිනාකම පවත්වා ගන්නේ කියලා. චිත්‍රපටයක් බලද්දි මුලින්ම ප්‍රේක්ෂකයා දකින්නේ රංගන ශිල්පීන්. ඒ නිසා තිරය පිටුපස ගොඩක් පිරිස ඉන්න බව දන්නවා වුණත් මුල්ම කමෙන්ට් එක එන්නෙත් නළු නිළියන්ට‍. ඒත් අපි ඒ සියල්ල දරාගන්නේ ක්‍රමවේදයක් නැති පරිසරයක.

 

 ගාමිණි ෆොන්සේකා මහත්මයා ඒ වෙනුවෙන් සටන් කළා. අද බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා වත්මන් පරපුරේ සුපිරි තරුවක් බවට ඔබ පත්වෙයි කියා. ඒ සිවිල් බලය මේ සඳහා භාවිත කළ හැකිවෙයිද?

 

මම තාම දන්නෙ නැහැ එහෙම බලයක් ම‌ට තියෙනවාද කියලා. ෆොන්සේකා මහත්මයලෑ කාලෙන් පස්සේ ඒ සිවිල් බලය යටපත් කර තිබෙනවා වගේ තමයි මට හැඟෙන්නේ. මම හිතන්නේ.. (කල්පනාකර සිනා සී) සිවිල් බලයක් රංගන ශිල්පියකුට ලැබෙන ඒක ගැන බය ඇති. හැබැයි මම හිතන්නේ තනියම පාවිච්චි කරනවාට වඩා කණ්ඩායමක් එක්ක හිටියොත් බලය වැඩියි. ගාමිණි ෆොන්සේකා මහත්මයාටත් ඒ දේ පවතින ආකාරයෙන් කරන්න බැරි වුණේ තනි වුණ නිසා වෙන්න ඇති සමහර වි‌ට.

 

 ඔබ අයිති අලුත් පරපුරට ඒ කණ්ඩායම් හැඟීම තිබෙනවාද?

මම ඔය සංගම්වලට ගිහින් නැවතුණා. මොකද මට තේරුම්ගන්න බැහැ ඒවා මොන පැත්තටද යන්නේ කියලා. මම කැමති නැහැ හැමෝම එකතුවෙලා වැඩ කරනකොට තනියෙන් ගමන් යන්න හදන අයට. යනවා නම් අපි එක අරමුණක යන එක කණ්ඩායමක් විදිහට යන්න ඕනා. කවුරුහරි කෙනෙක් ගිහින් වෙන කෙනකුට හේත්තු වුණොත් වැඩේ අවුල් වෙනවා. ඇත්තම කීවොත් මම උත්සාහ කළා එක ළඟින් හෝ යන අදහස් ඇති අය සමඟ එකතුවෙලා යමක් කරන්න. පිටරටවල තිබෙන සංගම් වගේ කර්මාන්තය වෙනුවෙන් යමක් කරන්න. මම කැමතියි සංගමයක් තියෙනවා නම්. අඩුම ගානේ මිනිස්සු වැඩ කළ යුතු සීමාවවත් තීන්දු කරන්න. සාමාන්‍ය සේවකයන් පැය 8යි වැඩ කරන්නේ. අපි, නළුනිළියන්, කාර්මික ශිල්පීන් සමහර දවසට නිදිත් නැතුව පැය 24ත් පන්නලා ෂූටින් කරනවා. ඒ වගේ මූලික දේවල් ගැනවත් කතාකරන්න තිබුණා හරි පිළිවෙළක් තියෙනවා නම් එක එක කොන්වල ඉඳන් තනියෙන් කෑගහනවාට වඩා. හැබැයි ඉස්කෝලෙ යන කාලෙ හරි ටීම් ගේම් කරපු අය නම් ඒකෙ ස්පිරිට් එක අඳුනගනියි කියලා හිතනවා. චෙස් ඇදපු අයට මම හිතන්නේ නෑ මේක හරියයි කියලා. මොකද ඒගොල්ලො ් හිතන්නෙ තනියෙන්.

 

 ගමක වුණත් තරුණයන් තමයි එකට හිතන්නේ?

මම කියන්නේ නැහැ අපි එකට හිතන අය නෙවෙයිමයි කියලා. අනෙක මම විතරයි හරි කියලා හිතන්නේත් නැහැ. ඒත් ඇත්තටම අද වට පිට බැලුවොත් තරුණයන් කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා නැතුව අතරමං වුණ ගතියක් පේන්න නැද්ද? අපිටත් සමහර වෙලාවට එහෙම නැතුවා නෙවෙයි. අනෙක් දේ අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වෙනවාට වඩා අවශ්‍ය දේකට හරියට යොමු වෙනවාද කියන ගැටලුවයි ම‌ට තියෙන්නේ. ( මම නළල රැලි කර අනවශ්‍යදේ කුමක්ද කියන්නා සේ බලන්නෙමි. ඔහු එය තේරුම් ගනී) මම කියන්නේ දේශපාලනය වගේ දේවල් ගැන. ඇත්තෙන්ම මේ වෙලාවෙ රටේ දේශපාලනය තියෙන්නෙ අවුලකනේ? ඉතින් මම හිතන්නේ තරුණ රංගන ශිල්පීන් ඒකෙ පැටළෙන්න ඔ්නෙ නෑ කියලයි. ඇයි අපි දේශපාලනඥයන් මත යැපෙන්නේ? ඔයා කිව්වනේ මටත් සිවිල් බලයක් ලැබෙනවා කියලා ඒ සිවිල් බලය කියන දේ නැති කරලා තියෙන්නෙත් ඔය දේශපාලනඥයන් තමයි. ඉතින් ඇත්තටම යමක් කරන්න ඕනෙ නම් අපි අපිටම කරගන්න පුළුවන්. ඒකම බලයක් බවට පත්වෙනවා.

 ඒත් අපේවගේ රටවල එහෙම හැදෙන බලවේගවල අවසානය වුණෙත් දේශපාලනයමයි?

 

ඒ, දේශපාලනයට යොමු වීමක් නෙවෙයි. පවතින ක්‍රමය යටතේ දේශපාලනය මඟින් දේවල් නිශ්චිත කරගන්න වෙලා තිබෙනවා. ඔ්නෙම රටක අපට නිදහසේම ජීවත්වෙන්න බෑනේ. අපි‌ව ගැටගහලනේ තියෙන්නේ. නැත්නම් මිනිස්සු උන්මත්තකයො වගේ හැසිරෙන්නත් පුළුවන්නෙ. පාලනයක් තිබුණට කමක් නැහැ. ඒක පමණ වඩා නොයනවා නම්. ඉතින් අපට පුළුවන් නම් රටේ දියුණුව වෙනුවෙන් සැලසුමක් හරියට හදාගන්න, අර සිවිල් බලය පාවිච්චි කරලා දේශපාලන බලාධිකාරයෙන් සැලැස්ම සම්මත කරගන්න පුළුවන් වෙයි නේද?

 ඒ කියන්නෙ ඔබේ ගමනෙ කෙලවරත් දේශපාලනයද?

නෑ.නෑ. මගේ ගමන දේශපාලනය කරගත්තොත් ලංකාවේ චිත්‍රපට නරඹන මේ පොඩි සංඛ්‍යාව තවත් බෙදෙනවා. විශේෂයෙන් සිංහල චිත්‍රපට. මම මොකටද එහෙම බෙදන්නේ. කලාත්මක වාණිජ කියල බෙදනවා, කැමති නළුවෝ නිළියෝ වගේ බ්‍රෑන්ඩ්ස් හදාගෙන බෙදෙනවා. මම නළුවෙක් හැටියට ගත්තොත් (නැවී පුංචි ගල් කැටයක් පෙන්වා) මෙන්න මේ වගේනේ ක්ෂේත්‍රයේ. ඉතින් ඒ් මදිවට පාටවලටත් මිනිස්සු බෙදන්නෙ මොකටද? අනෙක කලාවෙන් දේශපාලනයට ගිය අපේ අය මොකද කළේ? ආපහු ආවනේ නේද? ඉතින් ඔ්නෙද ගිහින් ආපහු එන්න. (සිනාවක් පා) එක්කො යනවා නම් යන්න ඕනෙ හරියටම. මම ආසා මේකටනේ මේක තමයි මගේ පැෂන් එක. (ලාලසාව)මට ඒක ඩිස්ටර්බ් කරගන්න ඕනෙ නැහැ පොලිටික්ස්වලින්.

 

 මටම එන්න වෙන එකක් නෑ නේද තව කාලෙකින් එදානම් කීවේ මෙහෙමයි කියලා?

නෑ.නෑ. පොඩි පොඩි සමහර දේවල් තිබුණ තමයි පහුගිය අවුරුදුවල. ඒත් මම නම් ඇත්තටම ගියේ නැහැ. මගේ අම්මා තාත්තා මල්ලි සීයා ඔක්කොම ආයුර්වේද වෛද්‍යවරු මාතලේ. අපි පොඩි කාලෙ ඉඳන් හිටියේ ලෙඩ්ඩුයි බෙහෙතුයි එක්ක. හැබැයි වැඩ ටික ඉවරවෙලා රෑ9.30 ෂෝ එකට යන්න පුරුදු කළෙත් තාත්තමයි. ඒක අපේ ගෙදර සංස්කෘතියක් වෙලා තිබුණා. 88-89 කලබල කාලෙත් චිත්‍රපට ශාලාවලට ගිනි තිබ්බ කාලේ අපේ ගෙදර පැදුරු දාලා ලයිට් ඔ්ෆ් කරලා දමිළ පවුල් කීපයක් එක්ක ටීවී එකේ ෆිල්ම් බලනවා. මට නම් ඒක හරිම ජොලි. හැබැයි ඉතින් තාත්තම තමයි වැඩේ වරද්දගත්තේ මට ඒ පුරුද්ද ඇති කරලා. ඒ නිසා ඔය දෙක ඇති. දේශපාලනය ඕනෙම නැහැ.

 

 එතකොට මොඩ්ලිං කළේ?

මම ඇත්තටම මේ ක්ෂේත්‍රයට එන දොරක් හොයාගෙන ආවේ. මම කිසි කෙනෙක් දන්නේ නැහැ. අපේ පැත්තෙවත් ක්ෂේත්‍රයේ කෙනෙක් හොයාගන්න හිටියෙත් නැහැ. අදනම් ෆෝන් එකෙන් හරි හොයාගන්න පුළුවන්. අපේ කාලේ එහෙමත් නෑ. මට ලැජ්ජයි කාගෙන් හරි අහන්නත්. ඉතින් මම එක එක මාර්ග හොයාගෙන යද්දි තමයි ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට වැටුණෙ. ඒක හරි පාර කියලා මම කියන්නෙ නැහැ. මම කැමතියි අපට තිබුණා නම් නාට්‍ය හා රංගකලාව හදාරලා ඒ ආයතනයකින් එන්න.

 වේදිකා නාට්‍යවලට යොමු නොවුණෙ?

මම එකක් කළා. ඒකෙන් මට වැඩක් වුණෙත් නැහැ. මගෙන් නාට්‍යයට වැඩක් වුණෙත් නැහැ කියලයි මම හිතන්නෙ. ඒත් වේදිකාවට තාමත් ආසයි. ඒක වෙන කලාවක් සහ අභ්‍යාසයක්. වේදිකාවේ රංගනය චිත්‍රපටයකට ගැළපෙන්නෙ නැහැ. හැබැයි අපට රංගනයේ පාලනය හදාගන්න ඒ පුහුණුව වැදගත් වෙනවා. හැබැයි මුලින් කීවා වගේ මම බහු කාර්ය පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ මගේ කාලය යොදවන්න අමාරුයි. කවදා හරි එකක් කරනවා කියන එක හිතේ තියෙනවා. ඒක පොඩි හැරවුම් ලක්ෂයක්. හැබැයි මම ඒක කොහොම හරි ගන්නවා.

 හිතේ තියෙන හැමදේම එහෙම කොහොම හරි ගන්නවාද?

(ඇස් විදහා බලයි) මගේ ලොකු බලාපොරොත්තු නැහැ ජීවිතේ. මම මේකට ආ..සයි, මට මේක ඕ...නෙමයි කියලා දේවලුත් නැහැ. පොඩි කාලෙවත් දේවල් පස්සෙ හඹාගෙන ගිහින් අරගන්න පුරුද්දක් මට නැහැ. මගේ පිඟානට වැටෙන ඔක්කොම කන්නෙත් නැහැ. කඩාගෙන ගෙනත් දාගන්නෙත් නැහැ. තොරලා බේරලා මට ඕන ටික විතරයි කන්නෙ.

 

 ටෙලි නාට්‍ය එකකයි ඔබ හිටියේ?

ඔව්. ජයලත් මනෝරත්න මහත්මයාගෙ අධ්‍යක්ෂණයක්. ඒකට ම‌ට හොඳම සහාය නළුවා රාජ්‍ය සම්මානයත් ලැබුණා. මම මේ වෙලාවේ සියලු දෙනාගෙන් ඉල්ලන්න කැමතියි අසනීප තත්ත්වයෙන් ඉන්න මනෝරත්න මහත්මයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු කියලා.

ඒ ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණේ එතුමාගේ හෘද්‍යාංගම ඉල්ලීම අහකදාන්න බැරි නිසා සහ ඒකත් කරලා බලන්න ඕනා කියල හිතුණු නිසා. හොඳ පිරිසක් එක්ක හොඳ අත්දැකීමක් වගේම ඇගයීමකුත් ලැබුවා. ඒ ඇති.

 

 මෙතුවක් කළ චිත්‍රපට අතරින්

වඩාත් අභියෝගාත්මක?‍

හැම චිත්‍රපටයකම තිරපිටපත අතට ගත්තාම ඒ චරිතය මට අභියෝගයක් කියලයි මම හිතන්නේ. හැබැයි කළ චිත්‍රපට අතරින් මම කැමතිම කෘතිය මොකක්ද කියලා ඇහුවොත් ඒ ප්‍රවේගය. හේතුව මම හිතනවා මගෙන් දෙයක් ගන්න ප්‍රවේගයට පුළුවන් වුණා කියලා. ඒකට හේතුව අයවැයකට හිර නොවී, හොඳීන් සම්පත් පරිහරණය කරලා, කාලය හොඳට අරගෙන, අත්හදාබලලා නිදහසේ කරන්න පුළුවන් වීම කියලා හිතෙනවා. හැබැයි බොහෝ චිත්‍රපට රාමුවකට කොටුවෙද්දි අපිට බෑ ඒ් කාලය, සම්පත් ඉල්ලන්න. එහෙම වුණාම අපි කොහොම හරි අමාරුවෙන් චිත්‍රපටය ඉවර කරලා දෙනවා. මොනවා කළත් අපි නිෂ්පාදකයන් බේරාගත යුතුයිනේ. අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ ක්ෂේත්‍රයට එන නිෂ්පාදකයෝ ආයෙ පැත්ත පළාත නොබලා දුවන හැටි. දෙයියන්ගෙ පිහිටෙන් මගේ චිත්‍රපට ටිකේ අය නම් ආයෙ මූණ බලලා කතා කරන්න පුළුවන් ගාණට රැකිලා ඉන්නවා.

 

 ඉතින් කියමු ඉදිරි කටයුතු ගැනත්‍?

මේ වෙලාවේ විජයබා කොල්ලය තිරගත වෙනවා. එය ප්‍රේක්ෂකයන් තමන්ගේ කරගත් කතාවක්. ඒ චරිත ප්‍රතිනිර්මාණය කරන එක හරි අභියෝගයක්. සුනිල් සර්ට (මහාචාර්ය සුනිල් ආරියරත්න) මම ස්තූතිවන්ත වෙන්න ඕ නා මාව නයනානන්දට තෝරාගත්තාට. ඒ වගේම අෂාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා වගේ හොඳ පිරිසක් එක්ක වෙනස්ම අත්දැකීමක් ලබන්න අවස්ථාවක් දුන්නාට. මේ වෙලාවේ සාර්ථකව තිරගත වෙමින් ප්‍රේක්ෂකයන් සිනමාවට අද්දාගැනීමට හැකිවීම ගැන උපේක්ෂාවෙන් සහ සතුටින් බලා ඉන්නවා.

 

 අපි සිනමාව, රංගනය ගැන තවත් බොහෝ දේ කතා කළෙමු. දැන් සමුගත යුතුය. ඒ නිසා මම ඔහුට අවසන් පැනය යොමු කළෙමි. රංගන ශිල්පියකුට වඩා වටින්නේ කුමක්ද?

 

හරි අවබෝධය‍. තමන්ට කළ හැකි, කළ නොහැකි දේ, යා හැකි පරාසය ආදි දේ මඟින් තමන්ට තමන් හඳුනා ගන්න පුළුවන් නම් රංගන ශිල්පියකුට තමන්ව හරි තැනකට ප්‍රක්ෂේපණය කරගන්න පුළුවන්. අනෙක නළුවරණයේදී අදාළ චරිතයට ගැළපෙනම ශිල්පීන් තෝරනවා නම් වඩාත් සාර්ථකයි. තමන් තමන්ව අවබෝධ කර ගන්න එක නළුවන්ට අධ්‍යක්ෂවරුන්ට විතරක් නෙවෙයි පොදුවේ ඕනෑම කෙනකුගේ ගමන හදාගන්න වැදගත් වේවි.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.