වසර 12කට පසු යළිත් ගායන ලොවට

සැප්තැම්බර් 12, 2019

නටුවෙන් ගිලිහුණු පින්න මලක් 
සුළඟට පාව ඇවිත් 
මගෙ හද මඬලේ නතර වෙලා 
සෙනෙහස් සුව විඳිමින්...

මීට අවුරුදු දොළහකට දහතුනකට විතර ඉස්සර මේ ගීතය අපේ රටේ ජනප්‍රියම ගීත ගොන්නට එක් වී තිබුණා ඔබට මතක ඇති. එවකට ආධුනික ගායකයකු වශයෙන් ක්ෂේත්‍රයට පැමිණි තරුණයකු වූ ප්‍රියාල් අමරසිංහ මේ ගීතයේ අයිතිකරුවායි. ඉන් පසු කලෙක ඔහු මේ නමින්ම තමන්ගේ ගීත ඇල්බමයකුත් නිකුත් කළා. ජනප්‍රියත්වයේ ඉහළටම යන අවධියක හිටි හැටියේම ඔහු ක්ෂේත්‍රයෙන් සමු ගත්තා. ශ්‍රාවක සිත් සතන් තුළ ආදරණීය හැඟුම් පුබුදුවමින් ආකර්ෂණීය කට හඬකින් ගීත ගැයූ ඔහු පිළිබඳ ඒ අවධියේ බොහෝ දෙනෙක් සොයන්නට වුණා.

පසුගිය දිනක ඔහු හදිසියේම අපේ කාර්යාලයට ගොඩ වැදුණා. පෙරදා මතකය ඒ ආකාරයෙන්ම රැකගෙන ඔහු නැවතත් අපේ ගායන ක්ෂේත්‍රයට පැමිණි බව කියන්නට ඒක හොඳම අවස්ථාව කර ගත්තා.

ඉතින් ප්‍රියාල් මොකද හිටපු ගමන්ම ක්ෂේත්‍රයෙන් අයින් වුණේ?

ඇත්තටම 2005 වර්ෂයේදී මම ජපානයට ගියා. ඒක නිසයි මට ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණේ. මගේ බලාපොරොත්තුව තිබුණේ හොඳ කාරෙකක් අරගෙන එන්නයි. ගියේ දිගටම එහේ ඉන්න හිතාගෙන නොවේ. නමුත් ගියාට පස්සේ සතිය දෙක වුණා. මාසේ අවුරුදු වුණා. යාළුවෝ ගොඩාක් මුණ ගැසුණා. ඒ වගේ එහේ ජීවත් වෙනකොට සුඛෝපභෝගී ජීවිතයට හුරු වුණා. ආදායම් තත්ත්වය හොඳයි. ඒ නිසා අවුරුදු 12 ක්ම ඉඳලා තමයි ලංකාවට ආවේ.

ඔය අවුරුදු 12 ලංකාවේ හිටියා නම් කලාකාරයෙක් විදියට හුඟක් ඉස්සරහට යන්න තිබුණා කියලා හිතෙන්නේ නැත්ද?

ඇත්තටම හිතෙනවා. මට ලංකාවේ ඉන්න කාලෙත් කාරෙකක් තිබුණා. නමුත් මට ලද දෙයින් සතුටු වෙන්න බැරිකම තිබුණා. ඒ නිසා තමයි සුඛෝපභෝගී ජීවිතේ හොයාගෙන ගියේ. නමුත් දැන් හිතෙනවා ඒ අවුරුදු 12 මෙහේ හිටියා නම් මම හුඟාක් දුර ගිහින්. තව සින්දු ගොඩාක් කියන්න තිබුණා.

ප්‍රියාල්ගේ සංගීත ජීවිතේ ඇරඹෙන්නේ කොහොමද?

මම සංගීතය කියන විෂය කවදාවත් ඉගෙන ගෙන නෑ. මම උසස් පෙළ විභාගයටත් වාණිජ විෂයයන් කරපු කෙනෙක්. නමුත් මම පුංචි දවස්වල ඉඳලම සංගීතයට කැමැතියි. නිතර සින්දු අහනවා. සින්දු මුමුණනවා. ඒ එක්කම මගේ අම්මටයි තාත්තටයි හොඳට සින්දු කීමේ හැකියාව තිබුණා. මගේ උපන් ගම වෙන්නේ හඟුරන්කෙත. මම අධ්‍යාපනය ලබලා ඉවරවෙන කාලේ වෙනකොට අපේ තාත්තා වේයන්ගොඩින් ඉඩමක් අරගෙන පදිංචියට ආවා. ඒ එන කාලේ වේයන්ගොඩ අවට පරිසරයේ හරියට සංගීත කණ්ඩායම් බිහි වී තිබුණා. මමත් ඉතින් සින්දු කියන්න ආස නිසා පොඩි සංගීත කණ්ඩායමක සිංදු කියන්න එක් වුණා. ඔය කාලේ තමයි මට රෝහණ ධර්මකීර්තිව හම්බ වෙන්නේ. ඔහුත් එක්ක හිතවත් වෙලා ඉන්න කාලේ මගේ ‘නටුවෙන් ගිලිහුණ පින්න මලක්’ ගීතය ගැන කිව්වා. ඊට පස්සේ තමයි ඒක ගීතයක් බවට පත් වෙන්නේ.

ඒ සින්දුව එක රැයින් ජනප්‍රිය වුණා නේද?

ඔය ගීතය මමම ලියලා මගේම මෙලඩි එකකට මම කිය කිය හිටියේ. රෝහණ ධර්මකීර්ති මුණ ගැහුණම ඔහුට මේක කියලා පෙන්නුවා. ඔහු තමයි ඒකට සංගීතය එක් කරලා සම්පූර්ණ ගීතයක් බවට පත් කළේ. ඉතින් මේ සින්දුව අතිශයින්ම ජනප්‍රිය වුණා. මට සංගීත ප්‍රසංග ගලාගෙන ආවා. ඔහොම ඉන්න කොට වජිර රෙකෝඩ් බාර් එකෙන් ඇවිත් මට කැසට් එකක් කරන්න කතා කළා. ඒකත් ඒ නමින්ම කළා. නමුත් ඒ වෙනකොටත් මම ෆුල් ටයිම් සංගීත කටයුතුවලට යොමු වෙලා හිටියේ නෑ. පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙලයි හිටියේ. මගේ සින්දුව ජනප්‍රියත්වයේ උපරිම තලයේ තියෙන කොට මට ජපන් යන්න වුණා.

අවුරුදු 12 ට පස්සේ ඔබට නැවත ලංකාවට එන්න හිතුණේ ඇයි?

දීර්ඝ කාලයක් ඉන්නකොට මට ලංකාවේ ජීවිතේ ගැන ආදරේ හිතුණා. ජපන් ජීවිතේ හරියට මෙෂින් වගේ, යාන්ත්‍රිකයි. නිදහසක් නෑ. විවේකයක් නෑ. ආදරණීය සබඳතා, නෑදැකම් නෑ. ලංකාවේ ජීවත් වුණු මට අපේකම දැනෙන්න පටන් ගත්තා.

මගේ යෞවනය, ළමා විය ගෙවුණු සුන්දර හඟුරන්කෙත මතක් වුණා. එහි ඥාති සබඳතා, යාලු මිතුරුකම් කොච්චර සුන්දර ද කියලා හිතුණා. ඒ නිසා මට හිතුණා නැවත ලංකාවට එන්න ඕන කියලා.

ජපානෙදි සින්දු කිව්වෙ නැත්ද?

කිව්වා. එහෙදි පාටිවලදී එහෙම කිව්වා. මට ආසාව තිබුණා ගීත ටිකක් කරන්නත්. එක සින්දුවක් එහෙදි කළා.

වසර 12 ට පස්සේ ලංකාවේ ගීත ක්ෂේත්‍රය වෙනස් වෙලා කියලා ඔබට දැනෙන්නේ නැත්ද?

ඔව්. මම එන කලේ තිබුණ ට්‍රෙන්ඩ් දැන් නෑ. අපිට එන්න අද වගේ අඥචතඪබර ඉඩධඹ තිබුණේ නෑ. නමුත් අවු: 12 ට පස්සේ ඇවිත් මම ‘පින්න මලක්’ සින්දුව ප්‍රසංග වේදිකාවේ කිව්වා. එදා වගේම අදත් ඒකට කැමති අය ඉන්නවා. තාමත් ඒ රසය මිනිස්සු විඳිනවා කියලා මට දැනුණා. පින්න මලට තාමත් රසිකයන් ආදරෙයි. මම හදාගත්ත ආවේණික ගමන් මඟේම ඉදිරියට යන්න ඒ නිසා මම තීරණය කළා. මේ විදියේ සින්දු ප්‍රිය කරන රසික රසිකාවෝ ගොඩාක් ඉන්නවා කියලා මේ ආව ටිකට මට තේරිලා තියෙනවා. ඒ නිසා ඉදිරියට අලුත් නිර්මාණ ටිකක් කරන්න මේ දිනවල කටයුතු කරමින් ඉන්නවා.

දැන් දිගටම ගායකයෙකු හැටියට ඉන්නද කල්පනාව?

එහෙම නෑ. දැනටත් මම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් විදියට කටයුතු කරනවා. ඉදිරියේදී මේ දෙකම සමබරව කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම රැකියාව කරන ආයතනයෙන් විශාල සහයෝගයක් මට ලැබෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.