මං අහිංසකයි හැබැයි මගේ චිත්‍රපට අහිංසක නැහැ

නිශාන්ත වීරසිංහ
සැප්තැම්බර් 12, 2019

ජය ශ්‍රී ඇමතිතුමා යනුවෙන් මම ඔහු පිළිගත්තෙමි. ජය ශ්‍රී ජය ශ්‍රී හැබැයි මං ඇමැති කෙනෙක් නම් නෙවෙයිනෙ. ඔහු කීවේ සරසවිය ඡායාරූපාගාරය තුළ හරි බරි ගැහෙනා ගමන්ය. මං ජය ශ්‍රී ඇමැතිතුමා කියලා ඔබේ චිත්‍රපටය ගැනයි මතක් කළේ. මම එලෙස කියා ඔහු සමඟ කළ සංවාදය සනිටුහන් කිරීමට පටන් ගත්තෙමි.

පළමුව ඔබ ඔබ විසින්ම හඳුන්වා දෙන්න?

මම නිශාන්ත වීරසිංහ. බොහොම අහිංසක නිර්මාණකරුවෙක්.

ඒ වුණාට ඔබේ නිර්මාණ ඔබ තරම් අහිංසක නැහැ. මේ දවස්වල තිරගත වන ඔබේ නවතම චිත්‍රපටය වුණත් එහෙමනෙ?

ඒක හරි. කියන්න තියෙන දේ මූණටම කියලා දානවනෙ. බලන්න අපේ දේශපාලන පරිසරය දිහා. පොදු ජනයා මේක දන්නවා. මං කොහොමත් දේශපාලන ප්‍රහසනවලට ප්‍රියයි. මගේ පළමු චිත්‍රපටය එතුමයි මෙතුමයි. එකෙනුත් යම්තාක් දුරට ඒක කළා. ජය ශ්‍රී ඇමතිතුමා හරහාත් මං කරන්න සහ කියන්න උත්සාහ කරන්නේ ඇත්ත. සමාජ යථාර්ථය.

කොහොමද ජය ශ්‍රී ඇමැතිතුමා තැනෙන්න පටන් ගන්නේ?

සිනමාකරුවො හැටියට අපට මිනිස්සු අඬවන්න ලෙහෙසියි. ඒත් හිනස්සවන්න එහෙම බැහැ. ටිකක් අමාරු කාර්යයක් ප්‍රේක්ෂකාගාරය හිනැස්සිම. මං ඒ චැලෙන්ජ් එකත් එක්ක තමයි සිනමාපට හදන්නේ. හොඳ චිත්‍රපටයක් හදමු කියලා මෙහි නිෂ්පාදක ජනිත මාරසිංහයි මමයි සාකච්ඡා කර කර හිටියේ. ඒ වෙලාවෙ මං ඔහුට පිටපතක් පවා දුන්නා. ඔහු ඊට එකඟ වුණත් මට ඒක මදි. ඔය වෙලාවේ මට එක්තරා විදෙස් රටක කතාවක් මතක් වුණා. මං කියවලා තියෙන පොතක තමයි ඒක තිබුණේ. එක්තරා සමාජවාදී පුද්ගලයෙක් අර කියන්නේ උග්‍ර සමාජවාදියෝ කියලා. අන්න එහෙම කෙනෙකුට තවත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කරලා. හදවතේ අයිතිකාරයා අර සමාජවාදියාට ප්‍රතිවිරුද්ධ අදහස් දැරුව කෙනෙක්. සර්ජරි එකෙන් පස්සේ සමාජවාදියා ධනවාදියෙකු වෙලා. අන්න ඒ ප්ලොට් එක පොඩ්ඩක් වෙනස් කරලා කතාවක් ලිව්වා. කතාවේ දේශපාලඥයකුට හදවතක අවශ්‍යතාවයක් මතු වෙලා. බද්ධ කරනවා එතැන් පටන් දේශපාලඥයාගේ සිදුවන පෙරළිය තමයි කියවෙන්නේ.

ඔබේ පළමු චිත්‍රපටය එතුමයි මෙතුමයි සඳහා චෝදනා ආවා. හිතපු තරම් හාස්‍යජනක බවක් එහි තිබුණේ නැහැ?

එක එක අය බලන්නේ එක එක විදිහටනෙ. සමහරු මගේ චිත්‍රපටයට කැමැතියි. සමහරු එහෙම නැහැ. මොන දේ කිව්වත් මොන විචාර ලියැවුණත් ඒවා දරාගන්න පුළුවන් වෙන්න ඕනෑ. මට විතරක් නෙවෙයි ඕනෑම නිර්මාණකරුවකු එහෙම වෙන්න ඕන. මං මෙහිදී තව කාරණයක් මතක් කරනවා. අපේ චිත්‍රපට අතාත්ත්විකයි කියලත් කියනවනෙ. ඇත්ත. චිත්‍රපටයක් වුණාම අතාත්ත්වික තැන් තියෙනවා. අතාත්ත්වික චරිතත් තියෙනවනෙ. ඔය කියන විදිහට ස්පයිඩර් මෑන් වගේ චිත්‍රපට කරන්නත් බැරි වෙනවා ඒවයේ සියලුම දේ අතාත්ත්විකනෙ. කමඩියක් වුණාම අතාත්ත්වික දේවල් කරන්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

දිගින් දිගටම දේශපාලඥයින් විවේචනය කරමින් චිත්‍රපට තනන නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් දේශපාලන ඇරියස් එකක් ඔබ මේ චිත්‍රපට හරහා කවර් කර ගන්නේ කියලා?

බුදු අම්මෝ නෑ. මේ වන තෙක් දේශපාලඥයින්ගේ පස්සේ ගිහිල්ලා නැහැ. ෂූටිංවලදී ලොකේෂන් පහසුකමක් ලබාගෙන තියෙනවා හැර වෙන කිසිම උදව්වක් ඉල්ලලත් නැහැ. දේශපාලන හාස්‍යයක පොඩි වෙනම රසයක් තියෙනවා. අනික මිනිස්සු ආසයිනෙ ඇත්ත දකින්න චිත්‍රපටයකින් හෝ නේද . . .

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වුණ පසුවත් ඔබ සහාය අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කටයුතු කරගෙන යනවා?

මම පිටපත ලියන නිර්මාණවල බොහෝ විට සහාය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කරන්නෙ මං. මේ දවස්වලත් එහෙමයි. සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන ද ගේම් චිත්‍රපටයේ තිර රචනයට මං සම්බන්ධයි. සහාය අධ්‍යක්ෂවරයාත් මම. ලංකාවේ තියෙන තත්ත්වෙ අනුව හැමදාම චිත්‍රපට අධ්‍යක්ෂවරු හැටියට ඉන්න බැහැ. එහෙම හිටියොත් ජීවත් වෙන්න බැහැනෙ.

අවසන් කොට මොකද කියන්න තියෙන්නේ?

කාරණා කිහිපයක් තියෙනවා. එක ජය ශ්‍රී ඇමැතිතුමා චිත්‍රපටයේ නිෂ්පාදක ජනිතයි මමයි තවමත් යාළුයි. සමහර චිත්‍රපට නිර්මාණය වෙලා ඉවර වෙද්දි දෙන්නා තරහයිනෙ. මේකෙ එහෙම නැහැ. මං කියන්නේ ඔහු මගෙත් එක්ක නොවුණත් වුණත් ඔහු දිගටම චිත්‍රපට කරන්න ඕන. මේ කාලය චිත්‍රපටය ප්‍රදර්ශනයටත් හොඳයි කියලා මං හිතනවා. කලින් චිත්‍රපටය නරඹලා දේශපාලඥයින් කිහිප දෙනෙකු කතා කළා. චෝදනාත් එල්ල කළා. මේකෙත් එහෙම වෙයි. තව කාරණයක් තියෙනවා, ඒක මෙහෙමයි. අවුරුදු තිහක් මං කලාව ඇතුළෙ කරක් ගහනවා. කිව්වට විශ්වාස කරන්න සිනමා උලෙළවලදී අපිව කපනවා. අපි චිත්‍රපට අධ්‍යක්ෂවරු. ඒත් අපි ඒවායේ නැහැ. අපේ චිත්‍රපට කැපිලා. සම්මාන නම් ඕන නැහැ. අපි හදන චිත්‍රපටවලට සම්මාන දෙන්නේ නැහැනෙ. නමුත් සම්මාන දෙන චිත්‍රපටවලට වඩා කැප කිරීමක් සමහර ශිල්පියෝ අපේ චිත්‍රපටවලදී කරනවා. උදාහරණයක් හැටියට සටන් ශිල්පියෝ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.