මගේ සිහිනය සිනමාවයි

රුචිනි විජේසුන්දර
සැප්තැම්බර් 12, 2019

අලුත් ගායිකාවක් සරසවියට ගොඩ වුණා. ඒ ඇයගේ නවතම ගීතය ගැන අපට කියන්න. සරසවිය පුවත්පත නිසාම කලාවට ආදරය කරන්නට වූ ඇය රුචිනි විජේසුන්දර. ඉතින් විමසමු ඇගේ වතගොත...

රුචිනි අපට කියන්නකෝ ඔබ ගායිකාවක් කළ මුල්ම ගීතය ගැන?

මුලින්ම කීවේ සඳ කඩා වැටී කියන ගීතය. නාරද විජේසූරිය පද රචනය කළේ. නාලක අංජන කුමාර සංගීතවත් කළේ. ඒකට කිසිම රූපරචනයක් කළේ නැහැ. ගුවන්විදුලියේ තමයි ප්‍රචාරය වුණේ.

මතක් කරමුද පද පේළි කීපයක්?

සඳ කඩා වැටී මුහුදේ - තරු බලා හිඳී දුකසේ

නෙතු අයා හිඳීනු මිස - හඬා පලක් වෙද‍‍

සැබෑ නොවන සිහිනේ...

ළඟදි කළ ගීතය මොකක්ද?

සඳවත පායාවිදෝ කියලා ගීතයක්. ඒක ලීවේ චන්ද්‍රසේන තලංගම. සංගීතය දිලුම් තේජන. රූප රචනය කළේ සන්දේශ් බණ්ඩාර. රංගනයෙන් දායක වුණා රශී පබා සන්දීපනී, දිනේෂ් නිලංක. මේ දවස්වල ඔක්කොම නාළිකාවල වගේ ඒ ගීතය ප්‍රචාරය වෙනවා. එය පොඩි අත්හදා බැලීමක් වගේ කළේ. මෙතුවක් කළ ගීත නවයටම වඩා සංගීතය අතින් වෙනස් විදිහට. මම කලින් කල ගීතවලට වැඩි වශයෙන් යොදාගත්තේ ඉලෙක්ට්‍රොනික සංගීත භාණ්ඩ. ඒ්ත් මේකෙ ඊට වෙනස්. වීඩියෝ එකත් බොහෝ දුරට හින්දි ගීතයක් බලනවා වගේ කියලා බොහෝ දෙනා කීවා. හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. යූ ටියුබ් ඔස්සේත් මේ ගීත නරඹන්න පුළුවන්.

දැන් අපට කියන්නකෝ කොහොමද සංගීතය පැත්තට රුචිනි යොමු වුණේ කියලා?

පොඩි කාලේ ඉඳන් ගායන හැකියාව මට තිබුණා. ඇහෙන සින්දු හරියටම කියනවා කියලත් අම්මලා කියනවා. මම කොළඹ විශාඛා විද්‍යාලයට ගියේ. ඉස්කෝලෙදි සංගීතය කළේ නම් නැහැ. කේමදාස පදනමේ කෙටි කාලයක් හිටියා. ළඟදි ඉවත් වුණා. ඒත් මම විශාරද විභාගය සම්පූර්ණ කළා.

පාසලේදී සංගීතය නොකළේ?

මම ඉංග්‍රීසි සාහිත්‍යය තමයි ඒ වෙනුවට තෝරාගත්තේ. පොඩි කාලේ ඉඳන් සින්දු කීව‌ට පස්සෙ තමයි මගේම ගීත ඉදිරිපත් කරන්න ඕන කියලා හිතුවේ.

ඔබේ මව්පියන් සංගීතයට සම්බන්ධද?

නැහැ. පවුලේ කවුරුත් සංගීතයට සම්බන්ධ නැහැ. මම සංගීතය පැත්තට යනවාටත් අම්මලා මුලදි කැමති වුණේ නැහැ. ඒත් මම දිගටම ගායනය කරද්දි අම්මා ටිකෙන් ටික කැමති වුණා. තාත්තා නම් තාමත් කැමති නැහැ මම හිතන්නේ.

ඔබේ පවුලේ විස්තරත් කියමු?

මම පවුලේ එකම දරුවා. අම්මා සෞම්‍යා විජේසුන්දර, තාත්තා රොහාන්

විජේසුන්දර වෛද්‍යවරයෙක්. මගේ සීයා උපාලි විජේවර්ධන.

‍ඔබ රැකියාවක නියැළෙන කෙනෙක්?

ඔව්. පෞද්ගලික ආයතනයක මූල්‍ය අංශයේ රැකියාවක් කරනවා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හැදෑරුවේ.

ඒ කියන්නේ සංගීතය විනෝදාංශය වශයෙන්ද තෝරාගන්නෙ?

නෑ. නෑ. මම සංගීතයටත් අනෙක් අධ්‍යාපන කටයුතුවලට තරම්ම බර දීලයි හැදෑරුවේ. මම දිගටම ගායන ක්ෂේත්‍රයේ නියැළෙන්න බලාපොරොත්තු වෙන නිසා.

ඔබ තරග ආදියටත් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවාද?

රියැලිටි තරගවලට ඉදිරිපත් වන්න කැමැත්තක් නැහැ මොකද මට ඉස්සර ඉඳන්ම ඕනා වුණේ මගේම ගීත ගයන්න. මට පොඩි අකමැත්තක් තිබෙනවා අනුන්ගේ ගීතවලින් ජනප්‍රියත්වයක් ලබන්න. ඒකෙ තේරුම මම ඒ ගීතවලට ආසා නැහැ කියන එක නෙවෙයි. මම ඒවා අහන්න, කියන්න ආසයි. ඒත් මගේ ගීතවලින් රසිකයන් අතරට යන්නයි මම වඩා කැමති.

ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට එහෙම ගී ගයන්න ලැබුණොත්?

ඒක තමයි මගේ ලොකුම හීනය. අවස්ථාවක් ලැබුණොත් මම ගොඩාක් සතුටින් බාරගන්නවා.

රඟපාන්නත් කැමතියි වගේ මට හිතෙනවා?

අකමැත්තක් නැහැ. ඒත් අම්මලා මොනවා කියයිද දන්නේ නැහැ. කලාවට මම හැම අතින්ම කැමතියි. මම වැඩියෙන්ම කැමති සිංහල චිත්‍රපටවලට. සරසවිය පත්තරය මම පොඩි කාලේ ඉඳන්ම බලනවා. ඒවා එකතු කරපු කබඩ් එකක්මත් මට තියෙනවා. මම ගායනයට යොමු වෙන්න ඇත්තෙත් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න හිතේ තිබුණු ආසාව නිසා පසුබිම් ගායනයෙන් හරි එක්වන්න තිබුණු කැමැත්තට වෙන්න ඇති.

ක්ෂේත්‍රයේ කෙනකුට හෝ රසිකයන්ට ඔබ සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණොත්?

0776003600 ඔස්සේ මට කතා කරන්න පුළුවන්. මුහුණු පො‌තේත් ඉන්ස්ටග්‍රෑම්වලිනුත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

එකොළොස්වැනි ගීතය හැටියට මොකක්ද ඉදිරිපත් කරන්නෙ?

හින්දි ගීතයක්. මම කලින් කීවා වගේ අන් අයගේ ගීත ගයන්න අකමැති නිසා මටම ලියපු හින්දි ගීතයක් තමයි ගයන්නේ. ඒ ගීතය ලීවේ හේෂානි. සංගීතය කළේ ලක්රුවන් විජේසූරිය. මුලින්ම හිතුවේ සඳවත පායා ගීතයම හින්දි බසින් ගයන්න. පස්සේ අලුත් ගීතයක් කරන්න හිතුවා. මේ ගීත සියල්ලම ආදරය, විරහව තේමා කරගත් ගීත. මම තනියෙන් ගැයූ ඒවා. ඉදිරියේදී යුග ගීයක් ගයන්නත් බලාපොරොත්තු වෙනවා.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.