සන්ධ්‍යා ගැන ලියන්න හිතුණේ බොහෝ කලකට පෙරදියි

සුනිල් ලීනස්
සැප්තැම්බර් 12, 2019

පුරා දශක ගණනාවක් සිනමා පුවත්පත් , සඟරා සමඟ ජීවිතය ගත කළ ඔහු මෙරට සිනමා කලා ඉතිහාසයේ ‍බොහෝ සැමරුම් ඇත්තෙකි. සිනමාවේ බොහෝ ජනප්‍රිය චරිත සමඟ සමීපව ඇසුරු කරමින් ඔවුනගේ තතු වලින් පුවත්පත් පිටු පිරවූ ඔහු සිනමා පාඨකයින් අතර මෙන්ම කලාකරුවන් අතරද නමක් දිනාගත් අයෙකි. ඔහු සුනිල් ලීනස්ය. සිනමා මාධ්‍යය හා සම්බන්ධ පොත් කිහිපයක්ම රචනා කළ ඔහු පසුගියදා සිය නවතම කෘතිය දොරට වැඩුවේය.එය මෙරට සිනමාවේ ජනප්‍රියතම හා දක්ෂතම නිළියක වූ සන්ධ්‍යා කුමාරි පිළිබඳ ලියවුණකි. මෙම ලිපිය“ සිනමාවේ නොමියෙන දෑස‘ නමින් ලියැවුණු එම පොත පිළිබඳ ඔහු සමඟ කළ කතා බහකින් සැකසුණකි.

සන්ධ්‍යා කුමාරි පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීමට ඔබට සිතුණේ ඇයි?

මේ අදහස මීට බොහෝම කාලෙකට ඉස්සර මට කියලා තිබුණේ ආරියරත්න කහවිට විසිනුයි.නමුත් ඒ කාලයේ මම ලේඛන කලාවෙන් ටිකක් ඈත්වෙලා හිටපු නිසා ඒක කරන්න බැරුව ගියා.

ආරියරත්න කහවිට ඔබට මේ අදහස දුන්නේ සන්ධ්‍යා කුමාරි ජීවතුන් අතර ඉන්නකොටද?

ඔව් . ඒ කාලේ සන්ධ්‍යා කුමාරි අපි නිතරම මුණ ගැහුණා. ඇය සමඟ නිතර කතා බහ කළා.ඒ නිසා ඇය පිළිබඳ බොහෝ තොරතුරු මා දැන සිටියා. මට මතකයි ඒ කාලේ ඇගේ ආදර කතා පවා මට කියලා තිබුණා. ඒ අතරම මම ඇය පිළිබඳව බොහෝ ලිපි විවිධ පුවත්පත් , සඟරා වලට රචනා කළා. අද ඒවා සියල්ල ඇසුරින් තමයි මම මේ පොත ලිව්වේ.

සන්ධ්‍යා කුමාරිත් සමඟ ඔබේ තිබුණු සබඳතාවය පිළිබඳ අපි මතක් කළොත් අතීත ස්මරණයන් කොයි වගේද?

මට සන්ධ්‍යා කුමාරිව ඉස්සරලාම මුණ ගැහෙන කොට මම පාසලින් අයින් වුණ තරුණයෙක්. එතකොට මම පුවත්පත් කලාවට ඇවිත් නෑ.ඉඳහිට ජනතා පත්තරේට කවි එහෙම ලියනවා ඔය කාලේ සඟරාවක් කරන්න ඕන කියලා හිතලා ඒකට වෙ‍ළෙඳ දැන්වීම් හොයන්න මම මහන්සි වුණා.ඒ කාලේ රත්මලානේ ඉඳලා පානදුරට පයින් යනවා මේ සඟරාවට වෙළෙඳ දැන්වීම් හොයන්න.එහෙම යනකොට මට උපාලි ගරාජ් එක හමුවුණා. මම හිතුවා කතා කරල බලන්න ඕන කියලා දැන්වීමක් ගන්න පුළුවන්ද කියලා.ඉතින් මම කතා කළාම ගේ ඇතුලෙ ඉඳන් ආවේ ලස්සන කාන්තාවක්. ඒ වෙනකොට චිත්‍රපට වලින් මම ඈව දැකලා තිබුණ නිසා අඳුන ගත්තා මේ ඉන්නේ සන්ධ්‍යා කුමාරි කියලා.ඉතින් මම විස්තරය කිව්වම ඇය කිව්වා උපාලි මහත්තයා දැන් ගෙදර නෑ ඒ නිසා වෙන දවසක එන්න කියලා. මම ආපසු පානදුරට යනකම් ඇවිද ගෙන ගියා එකම දැන්වීමක් වත් ලැබුණෙ නෑ. අන්තිමට මම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ඒ සඟරාව මුද්‍රණය කළා.ඊට පස්සෙ මම තවත් සඟරාවක් කරන්න පටන් ගත්තා. ඒ කාලේ අපේ ගමේ කොළඹ මෝදරම තමයි හිටියේ එස්. පී සාමි. එයාට කොළඹ පළවැනි හරස් වීදියේ බාටා සාප්පුවක් තිබුණා. මම ගියා එයා ළඟට දැන්වීමක් ගන්න. එයා කිව්වා ඔය ඉස්සරහා ලේන් එකේ තමයි සිරිල් .බී .පෙරේරා ඉන්නේ එයා ළඟට ගිහින් දැන්වීම ලියාගෙන එන්න කියලා. රුපියල් පණහක් මගේ අතට දුන්නා.සිරිල් .බී පෙරේරා මට දැන්වීම ලියලා දුන්නා . ඒත් එක්කම දවසක් මම ගියා ආරියරත්න කහවිට මුණගැහෙන්න. කතා බහ කරලා ඉවර වෙලා කිව්වා පොඩ්ඩක් යමු රත්මලානෙට ගිහින් එන්න කියලා. අපි දෙන්න ගිහින් නැවතුණේ සන්ධ්‍යා කුමාරි ගේ ගෙදර.එදා තමයි සන්ධ්‍යා මම දැකපු දෙවැනි දවස. ආරියරත්න කහවිට මාව සන්ධ්‍යාට හඳුන්වා දෙන කොටම ඇය කිව්වා මම මෙයාව දන්නවා මීට කලින් දවසක් අපේ ගෙදර ආවා නේද ? කියලා.එදායින් පස්සේ අපි අතරේ හොඳ මිතුරු කමක් ඇතිවුණා.

ඒ වෙනකොට සන්ධ්‍යා කුමාරිගේ චිත්‍රපට ඔබ නරඹලා තිබුණද?

ඔව්. මම ධීවරයෝ බලන කොටත් මට අවුරුදු 10 ක් විතර ඇති. තවමත් මතකයි ‘ගාමිණී සිනමා ශාලාවේ බැලුවේ.එතකොට අපි හිටියේ කොළඹ මෝදර.අපේ අම්මාගේ නංගිලා එහෙම පික්චර් පිස්සෝ. එන එන චිත්‍රපටිය බලනවා. මහ රෑ හමු වූ ස්ත්‍රිය, සැනසුම කොතැනද එහෙම මම හරිම ආස කරන චිත්‍රපට.

සන්ධ්‍යා කුමාරි කොයි වගේ කෙනෙක්ද?

එයා හරිම ලස්සන ධනවත් කාන්තාවක්. මට මුණ ගැහෙන විට දරුවෝ දෙන්නම හම්බවෙලා.ඒ වුණාට දරුවෝ ඉන්න අම්ම කෙනෙක් කියලා කියන්නවත් බෑ.හරි පොඩි පාටයි. එයා ගෙදර ඉඳගෙන දරුවන්ගේ වැඩත් කරගෙන චිත්‍රපටවල වැඩත් කරගෙන මහත්තයා ගේ බිස්නස් වලටත් උදවි කළා.සන්ධ්‍යා කුමාරි විවාහ වෙලා හිටිය උපාලි ලොකු ධනවතෙක්. ඒ ගොල්ල පදිංචිවෙලා හිටියේ අක්කර දෙකක විතර ඉඩමක. ඒකට අල්ලපු ඉඩමේ තමයි රන්මල් හෝටලය තිබුණේ. සන්ධ්‍යා කුමාරි ගේ ගම කොටහේන. බ්ලූමැන්ඩල් තට්ටු නිවාසෙ තමයි එයා හිටියේ.උපාලි ගේ නංගී තමයි ඒ දවස්වල අක්ක නඟෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒ හිතවත් කමට තමයි උපාලි සන්ධ්‍යා කුමාරිව හොයාගෙන ගිහින් ආදරය ප්‍රකාශ කරල විවාහ වුණේ.ඒගොල්ල හොඳ විවාහ ජීවිතයක් ගත කළා. පස්සෙ කාලෙක උපාලි රිය අනතුරකින් මිය ගියා. ඊට පස්සෙ තමයි සන්ධ්‍යාගේ ජීවිතේ ටික ටික වෙනස් වෙන්න ගත්තේ. ලොකු දුවව විවාහ කරල දුන්නා. කොහොම වුණත් බොහෝ දෙනෙක් කියන්නේ එයා ටිකක් හුදකලා වුණා කියලයි.පස්සෙ කාලෙක තමයි එයාට ශමල් අතපත්තු මුණ ගැහෙන්නේ . සන්ධ්‍යා එයාගේ දේපළ විකුණලා දරුවන්ට දෙන්න ලෑස්ති කළා .ඒ දේපල විකිණීම සම්බන්ධයෙන් ආපු අතරමැදියෙක් තමයි ශමල්. ඔහුත් එක්ක හිතවත් කමත් ගොඩනැඟිලා ඔහුව විවාහ කර ගත්තා. සන්ධ්‍යා නැති වෙන කොටත් ඔහුත් සමඟ තමයි හිටියේ.ඒ විවාහය වසර දෙකක් වැනි කෙටි කාලයයි තිබුණේ.

ඔබේ ජීවිතයේ රුකියාව අරඹන්නෙත් සිනමා මාධ්‍යව්දියෙක් විදියටද?

නැහැ මම වෘත්තියෙන් මෝටර් කාර්මිකයෙක් විදියට රැකියාව කළා.ඒ අතරතුර තමයි සිනමා ලේඛකයෙක් විදියට මතු වුණේ.කලා, මංජුසාව වැනි සඟරා ඒ අතරෙ මම කළා. 83 ජූලි කලබල කාලේ එනකොට කලා සඟරාව නතර වුණා. 84 දී විතර මට රැකියාව නිසා කොළඹින් පිට යන්න වුණා.ඒ කාලෙ ටිකක් මගේ ලේඛන ජීවිතය නැවතුණා.නමුත් මම සන්ධ්‍යා කුමාරිත් එක්ක තිබුණ හිතවත් කම නැවතුණේ නෑ.

ඔබ ග්‍රන්ථකරණයට යොමු වුණේ කොහොමද?

ලේඛන ජිවිතයන් ඈත් වෙලා තාලයක් ගතවෙලා ඉන්න කොට දවසක් රූපවාහිනිය නරඹමින් හිටියා .මම දැක්කා දිලීප අබේසේකරගේ වැඩසටහනක් යනවා මම හිතන්නේ 2007 මුල වගේ වෙන්න ඕන.මම හිතුවා මමත් මොනවහරි කරන්න ඕන කියලා හිතුවා. ඒ පාර තමයි චිත්‍රපට වාර්ෂිකය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ විජය කුමාරතුංග ගැන පොතක් කළා.ආරියරත්න කහවිට ගැන පොඩි පොතක් කළා. ප්‍රේමදාස මහත්තයා ගැන පොතක් කළා. සන්ධ්‍යා තුමාරි ගේ පොත චරිත කතා වලින් පස්වෙනි පොත. මේ පොත ලියලා තියාගෙන ඉන්න කොට මම අසනීප වෙලා එක්තැන් වුණා. ඔහොම ඉන්න කොට රොෂාන් වෙදගමගේ කියලා තරුණ දරුවෙක් මාව බලන්න ආවා.එයා මගේ පුතා ගේ වයස.එයා මගේ පොත පත් බලලා සන්ධ්‍යාතුමාරි ගැන පොතක් ලියලා තියෙනවා කිව්වම එයා ඒකෙ ප්‍රකාශනය බාර ගත්තා.එයාට මම මේ පොත දුන්නා. ‘‘සිනමාවේ නොමියෙන දෑස‘‘ කියන මේ පොත මේ තරම් ලස්සනට ප්‍රකාශයට පත් වුණේ ඔහු නිසයි. ඔහු ඉතාම අලංකාර දොරට වැඩුමක් කරලා මේ පොත එළියට දැම්මා. ඇත්තටම මේ පොතේ සන්ධ්‍යා කුමාරි ගේ ජීවිත කතාව වගේම ඇගේ දුර්ලභ ගනයේ ඡායාරූප සහ ඈ රඟපෑ චිත්‍රපට පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. ඇයට ආදරය කරන බොහෝ රසික පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. ඒ අයට මේ පොත හුඟක්ම වටිනවා. අනිත් පැත්තෙන් ඇය පිළිබඳ ග්‍රන්ථයක් මේ වනතුරු සකස් වී තිබුණේ නෑ. ඒ නිසා මේක මතු පරිශීලනයටත් ප්‍රයෝජනවත් වෙයි.රොෂාන් වෙදගම ගේත් මේ පළවැනි පොත.

ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

පොතක් ලියලා තියෙනවා. ‘‘ලාංකික සිනමාවේ සුපිරි තරු කියලා. ඉදිරියට ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.