ලොකු වුණාම ජනප්‍රිය නළුවෙක් වෙනවා

බිහාර මහෝද දිල්ෂාන්
සැප්තැම්බර් 12, 2019

සරසවිය කන්තෝරුවට පුංචි පුතෙක් එක්කගෙන පෙනුමැති අම්මා කෙනෙක් ආවා. ඔවුන්ට ඕනෑ වුණේ මේ පොඩිත්තාගේ දස්කම් ගැන ලෝකෙට කියන්න. .

පුතාගේ නම?

බිහාර මහෝද දිල්ෂාන්.

ඉස්කෝලේ?

ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය මිනුවන්ගොඩ.

කීයෙ පන්තියේද?

හත වසරේ.

ඉස්කෝලේදී වැඩියෙන්ම කැමැති විෂයය?

ඩ්‍රාමා කරන්න තමයි.

ඉස්කෝලේ නාට්‍යවල රඟපානවද පුතා?

තාම නැහැ. තාම ඉගෙන ගන්නවා විතරයි.

නාට්‍යවලට අමතරව සින්දු කියන්න නටන්න එහෙමත් පුළුවන්ද?

පුළුවන්.

පුතා පුළුවන් යැයි කෙටියෙන් කියූව ද මව එහි විස්තර කියන්නට වූවාය.

ප්‍රයිමරියේ ඉන්නකොට පුතා තමයි සමිතිවල එහෙම ඔක්කොම සින්දු කියන්නේ. සිරි පැරකුම් චිත්‍රපටයේ සින්දුව නිතරම කියන නිසා මෙයාට ‘ගමේ කොල්ලා’ කියලා නමකුත් වැටුණා.

නිසංකා මවගේ ඒ විස්තරයෙන් පසු යළිත් මම බිහාර වෙත හැරුණෙමි.

මොන වගේ ටෙලි නාට්‍යවලද බිහාර රඟපාලා තියෙන්නේ?

රවීන්ද්‍ර විජේරත්නගේ කුටු කුටු මාමා තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය. ඒ අයගේ දුරුතු ක්‍රියේෂන්ස් ඇකඩමියේ අවුරුද්දක් කෝස් එක කළා. ඒකේ රවීන්ද්‍ර රන්දෙණිය සර්, ජැක්සන් සර් වගේ අය රඟපාන හැටි ඉගැන්නුවා. හිටපු ගමන් ඩ්‍රාමා කරනවා. හිටපු ගමන් කැමරා ගෙනල්ලා ඒවාට බය නැති කරනවා. එහෙම පුරුදු වුණ නිසා කුටු කුටු මාමා ටෙලි නාට්‍යයේ ප්‍රතිභා චරිතය කරද්දී කැමරාවට වැඩිය බය හිතුණේ නැහැ.

තව මොන නාට්‍යවලද රඟපෑවේ?

ගුණරත්න කියලා සර් කෙනෙක්ගේ ඇට්ටරයා කියන නාට්‍යයේ ගල්වලේ ළමයකුගේ චරිතයක් කළා.

මොන වගේ චරිත කරන්නද පුතා වැඩියෙන් කැමති?

සතුටින් ඉන්න චරිත, සෙල්ලම් කරන චරිත, විනෝදාත්මක විහිළු චරිත කරන්න කැමතියි.

නාට්‍යකරණයට අමතරව මොනවාද කැමතිම විෂයයන්?

සංගීතය, ක්‍රීඩා, විද්‍යාව විෂයයන්ට තමයි කැමති.

එයට ද ඌන පූරණය සැපැයුවේ අම්මා නිසංකාය.

පුතා ගැන මට හරි ආඩම්බරයි. මෙයා හැම දේටම දක්ෂයි. රඟපානවට අමතරව වයර් ස්විච් හදන්න හරි දක්ෂයි. සෙල්ලම් බඩුවක් ලැබුණත් මුලින්ම කරන්නේ කඩලා හදන එක. ඒ අතර මගේ පුතා පවුලට හරිම ආදරෙයි. නංගිලා දෙන්නෙකුයි අයියයි ඉන්නවා. ඒ හැමෝවම තාත්තා වගේ බලා ගන්නේ මේ පුතා. අධ්‍යාපනයට නම් මම නිතරම එයාගේ පසුපසින් ඉන්නවා. එයාගේ ප්‍රාර්ථනාව ඉටු කරන්න අත දෙන එක තමයි මගේ අරමුණ.

බිහාර පුතාගේ ප්‍රාර්ථනාව මොකක්ද?

හොඳ ජනප්‍රිය නළුවෙක් වෙන එක.

සරත් පීරිස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.